අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අනුපාතිකයන් අඩු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
එම නිවේදනයේ සදහන් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (15) දිනයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවත් ඒ අනුව බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා වූ පදනම් අංක 500කින් අඩු කර ඇති බවයි.
හදිසි අවස්ථාවක දී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීන්දු කරනු ලබන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය මෙලෙස අඩු කර ඇති බව ද අදාළ නිවේදනයේ සදහන් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අනුපාතිකය පදනම් අංක +300ක ආන්තිකයක් සහිත ව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) හා අනුකූලව ස්වයංක්‍රීයව ගැළපීම සඳහා ඉඩ හැරීමට තීරණය කර තිබේ.
බැංකු අනුපාතියකය යනු කුමක්දැයි අප කළ විමසීමකදී ජ්‍යේෂ්ඨ බැංකුකරුවෙකු සදහන් කළේ වාණිජ බැංකුවල තාවකාලික ද්‍රවශීලතා අරමුණු ඉටුකර ගැනීම සදහා මහ බැංකුව අත්තිකාරම් ප්‍රදානය කිරීමේ දී ඒ සඳහා පැනවෙන පොලී අනුපාතිකය ‘බැංකු අනුපාතිකය‘ ලෙසින් හැඳින්වෙන බවයි.