ස්වදේශිකත්වයේ කලු කුහර වෙනුවට ‘ගෝලීය දේශප්‍රේමයක්’ අත්‍යවශ්‍ය යුගයක්

 සුමිත් චාමින්ද

වත්මන් අර්බුදය ගෝලීය එකකි. අනතුරට මුහුණ පා සිටින්නේ සමස්ත මානව වර්ගයාය. දුෂ්ට කොරෝනා වෛරසය මිනිසුන් විසින් ගොඩ නගන සීමා මායිම් නොතකයි; සමාජ විෂමතා නොතකයි; දේශ සීමා නොතකයි. ඒ අනුව දැන් මිනිස් වර්ගයාට තම පැවැත්ම පොදුවේ අනතුරට හෙළන ‘ගෝලීය සතුරෙකු’ අභිමුඛ වී සිටී.

‘ගෝලීය දේශප්‍රේමයක්’

ඒ කොතෙක්ද යත්, තම රට අඩුවෙන් අනතුරට නිරාවරණය වී ඇතැයි පෙනුණු විට කොරෝනා වෛරසය ‘වූහාන් වෛරසය’ නැතහෙත් ‘චීන වෛරසය’ ලෙස හැඳින්වූ එක්සත් ජනපද ජනාධිපතිවරයාහට පසුව ඔහුගේ ජාත්‍යන්තර ප්‍රතිමල්ලවයා වන චීන ජනාධිපති ෂී ජින් පින් සමග දුරකතන සංවාදයක නිරත වන්නට සිදුවිය.

සාක් නායකයන්ද, යුරෝපා සංගමයේ නායකයන්ද, ජී – 07 නායකයන්ද කොරෝනා වෛරසයට එරෙහි පොදු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළහ. පණිවුඩය ඉතා පැහැදිලිය. මේ අභියෝගයට ජාතික – රාජ්‍යමය විසඳුම් හෝ ඊනියා ස්වදේශිකවාදී විසඳුම් නොමැත. ඇත්තේ ගෝලීය සහයෝගීතාවන් ඔස්සේ ගොඩ නගා ගන්නා වූත් විසඳුම්ය. ඒ අනුව, අද අවශ්‍යව ඇත්තේ ප්‍රදේශමය, ජාතිකමය, කලාපීය සහ ජාත්‍යන්තර යනාදී තලයන් ගණනාවකින් යුතුව සංවිධානය කෙරෙන ගෝලීය සාමූහික අධිෂ්ඨානයකි. අවශ්‍ය නම් එයට ‘ගෝලීය දේශප්‍රේමයක්’ කියාද කිව හැකිය.

දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ කොරෝනා විරෝධී කාර්ය සාධක බලකාය මෙම ගෝලීය යථාර්ථය ප්‍රායෝගිකව පිළිගෙන ඇත. මේ අනුව, රටවල ගුවන් තොටුපොළවල්, වරායවල් වසා දැමීමෙන්වත් රටවල් ‘ලොක් ඩවුන්’ කිරීමෙන්වත් කිසිසේත්ම ගෝලීය සහයෝගීතාවයෙන් බැහැරවීමක් අදහස්වන්නේ නැත.

විසඳුම ඇත්තේ තම තමන්ගේ ස්වදේශික හුදකලාවාදයන් තුළ යැයි අදහස් වන්නේද නැත. හරියට පුද්ගලයන් අතර මීටරයක දුර පවත්වා ගැනීමෙන් ඔවුන්ගේ අන්‍යොන්‍ය සහයෝගීතාව අහෝසිවීමක් අදහස් නොවන්නාක් සේ මය.

මෙම ‘දුරස්තභාවයේ සහයෝගීතාව’ පිළිබඳ ආචාර ධර්මය පිළිනොගන්නා සියලුම ආකාරයේ ආගමිකවාදී, අරාජකවාදී සහ රොමාන්තිකවාදී ප්‍රවණතා විසින් අපව මෙහෙයවනු ලබන්නේ වඩාත් විනාශකාරී අන්තයකටය.

සමාජ සහයෝගීතාව පවත්වා ගැනීමට නම් සමාජ දුරස්තභාවය පවත්වා ගත යුතුය

ස්වොයි ශිෂෙක් පවසන පරිදි මේ යුගයේ සමාජ සහයෝගීතාව පවත්වා ගැනීමට නම් සමාජ දුරස්තභාවය පවත්වා ගත යුතුය. මන්දයත් අප අපගේ අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් අසල්වැසියා වෙත මෙම දුෂ්ට වෛරසය රැගෙන යාමෙන් වැළකිය යුතුය. මෙම ‘දුරස්තභාවයේ සහයෝගීතාව’ පිළිබඳ ආචාර ධර්මය පිළිනොගන්නා සියලුම ආකාරයේ ආගමිකවාදී, අරාජකවාදී සහ රොමාන්තිකවාදී ප්‍රවණතා විසින් අපව මෙහෙයවනු ලබන්නේ වඩාත් විනාශකාරී අන්තයකටය.

ගෝලීය වශයෙන් ගත්තද තත්ත්වය එබඳුය. ඇතැම්විට ජාතිකමය වශයෙන් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා විදේශිකයන් රට තුළට පැමිණීම පාලනය කරන්නට සිදුවේ; අධීක්ෂණය කරන්නට සිදුවේ. නමුත් එය කිසිසේත්ම ස්වදේශිකත්වයේ හුදෙකලා දෘෂ්ටිවාදී ගුහාවලට රිංගීමක් ලෙස නොගත යුතුය.

දෘෂ්‍යමානයට පෙනෙන්නට දෙය සැබෑවක් නොවේය යන්නට මෙය කදිම නිදර්ශනයකි. කෙසේ වුවත්, කොරෝනා අර්බුදය පිළිබඳ වඩා පුළුල් ප්‍රවේශයක් ගොඩ නගා ගන්නට නම්, අප පළමුවෙන් මේ දිනවල නව ජනප්‍රියත්වයක් අත්පත් කරගනිමින් තිබෙන ස්වදේශිකවාදී සහ ජාතිකවාදී අගතීන් බැහැර කළ යුතුව තිබේ. එම අගතීන් යුක්තිසහගත කෙරෙමින් පවතින්නේ තවත් මූලික දුර්මතයකිනි. එනම් ගෝලීයකරණය පිළිබඳ දුර්මතයයි. අපි ප්‍රථමයෙන් එහි ව්‍යාජත්වය පරීක්ෂා කර බලමු.

මෙහිදී පළමුවෙන් කිවයුත්තක් නම් අර්බුදය ගෝලීය එකක් යැයි කීමෙන් එය ගෝලීයකරණය විසින් නිර්මාණය කරන ලද්දක් යැයි කිසිසේත්ම අදහස් නොවන බවයි. ගෝලීයකරණය නමැති සමකාලීන සංසිද්ධියට බොහෝ පෙර පටන් අතිශයින් දරුණු හා විනාශකාරී වසංගත ලොව පුරා ව්‍යාප්ත වී ගොස් තිබේ.

ගෝලීයකරණ පිළිබඳ දුර්මත

මෙහිදී පළමුවෙන් කිවයුත්තක් නම් අර්බුදය ගෝලීය එකක් යැයි කීමෙන් එය ගෝලීයකරණය විසින් නිර්මාණය කරන ලද්දක් යැයි කිසිසේත්ම අදහස් නොවන බවයි. ගෝලීයකරණය නමැති සමකාලීන සංසිද්ධියට බොහෝ පෙර පටන් අතිශයින් දරුණු හා විනාශකාරී වසංගත ලොව පුරා ව්‍යාප්ත වී ගොස් තිබේ. ක්‍රි.ව. 1346 සිට 1353 කාලපරිච්ඡේදය තුළ පැතිර ගිය ‘කළු මරණ’ (Black Death) වසංගතයෙන් චීනය, පර්සියාව, උතුරු අප්‍රිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු ලොව බොහෝ ප්‍රදේශවල ජනයා පීඩාවට පත් විය. එය කොතරම් විනාශකාරී වූයේද කිවහොත් යුරෝපීය ජනගහනයෙන් තුනෙන් එකක් පමණ මරුමුවට පත් කරන්නට සමත් විය. එම වසංගතයද ආරම්භ වූයේ යැයි සැලකෙන්නේ වත්මන් චීනය පිහිටි ප්‍රදේශයෙනි. එයින් ද බරපතළම ව්‍යසනයකට ලක්වූයේ වත්මන් ඉතාලිය සහ ස්පාඤ්ඤය පිහිටි ප්‍රදේශවල ජනයාය.

පළමු ලෝක යුද්ධයේ නිමාවත් සමග පැතිර ගිය ඉන්ෆ්ලුවැන්සා වසංගතය නොහොත් ඊනියා ස්පාඤ්ඤ උණ රෝගයෙන් මිලියන 500ක පමණ ජනයා මරුමුවට පත්වී යැයි සැලකේ. ඉහත කී වසංගත ලොව පුරා ව්‍යාප්තවීමට අන්තර්-මහාද්වීපික වෙළෙඳාම, සේද මාවත සහ ජාතීන් අතර යුද්ධය යනාදිය බලපෑ බව සත්‍යයකි. නමුත්, ඒවා ඇතිවී, ලෝකය පුරා පැතිරී ඉමහත් විනාශයක් ඇති කළේ අප සමකාලීනව ගෝලීයකරණය යනුවෙන් හඳුන්වන සංසිද්ධියට බොහෝ පෙර බව අමුතුවෙන් කිව යුතු නැත.

කළු මරණ වසංගතයට වගකිවයුත්තේ යුදෙව්වන්ය යන මතය ව්‍යාප්ත කොට යුරෝපය තුළ යුදෙව් සංහාරයක් ක්‍රියාත්මක කෙරුණු බව සත්‍යයකි. (මෙවන් අර්බුද ඉදිරියේ වේගයෙන් පෙරට එන ස්වදේශිකවාදී, ජාතිවාදී සහ ආගමිකවාදී ප්‍රවණතා දිවෙන්නේ එවන් අන්තයක් කරාය.) නමුත්, කළු මරණ වසංගතයෙන් පසු යුරෝපය වඩාත් විවෘත වූයේ විවෘතභාවය වෙතටය.

දේශිකවාදී සංවෘතභාවයේ කළු කුහරවලට රිංගා යාම වෙනුවට

වඩා වැදගත් කාරණය වන්නේ එම වසංගතවලට මුහුණ දුන් සමාජ ඒවායෙහි ප්‍රතිඵලයක් ලෙස වඩ වඩාත් ස්වදේශිකවාදී සංවෘතභාවයේ කළු කුහරවලට රිංගා යාම වෙනුවට සැබැවින්ම එම ගතානුගතිකවාදී ආකෘතිවලින් පිටතට පැමිණියේය යන්නයි.

කළු මරණ වසංගතයට වගකිවයුත්තේ යුදෙව්වන්ය යන මතය ව්‍යාප්ත කොට යුරෝපය තුළ යුදෙව් සංහාරයක් ක්‍රියාත්මක කෙරුණු බව සත්‍යයකි. (මෙවන් අර්බුද ඉදිරියේ වේගයෙන් පෙරට එන ස්වදේශිකවාදී, ජාතිවාදී සහ ආගමිකවාදී ප්‍රවණතා දිවෙන්නේ එවන් අන්තයක් කරාය.) නමුත්, කළු මරණ වසංගතයෙන් පසු යුරෝපය වඩාත් විවෘත වූයේ විවෘතභාවය වෙතටය. නිදසුනක් ලෙස ප්‍රවේණිදාසයන්ගේ තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය විය. ප්‍රභූ ආධිපත්‍යයේ සහ පල්ලියේ ආධිපත්‍ය දුර්වල විය. ඉන්පසුව උදාවූ දෙවන සියවස තුළ අන්තර් මහාද්වීපික වෙළෙඳාම සහ යටත්විජිතකරණය වේගයෙන් වර්ධනය විය. අර්බුදයෙන් පිටතට ආ සමාජයන් හැරුණේ ඇතුළතට වඩා පිටතටය.

ස්පාඤ්ඤ උණ වසංගතයෙන් පසුව, පළමුව යුරෝපීය රටවල්ද පසුව (සැබැවින්ම දෙවන ලෝක යුද්ධයෙන්ද පසුව) ලොව සියලු මහාද්වීපවල රටවල්ද නව ජාත්‍යන්තර පර්යායකට ඇතුල් විය. කොරෝනා වසංගතය ඉහත කී පැරණි වසංගත තරම් විශාල එකක් නොවූව ද එයින් සමකාලීන ජාත්‍යන්තර පර්යයා විශාල සෙලවීමකට ලක් කරනු ලැබ තිබේ.

යානීස් වරුෆතීස් ප්‍රකාශ කරන පරිදි දැනටමත් එයින් ගෝලීය ධනවාදී පර්යායට සිදු කොට තිබෙන බලපෑම අති විශාලය. නිසැකවම එය 2006 යුරෝපීය සහ එක්සත් ජනපද මූල්‍ය අර්බුදයට වඩා ප්‍රබලය. එය බොහෝ විට 1929 මහා ආර්ථික අවපාතයටද වඩා සුවිශාල අර්බුදයක් ජනිත කරන්නටද ඉඩ ඇත.

1929 මහා අවපාතයට පසුව නාසිවාදය හිස එසවූයේ යම් සේද, 2008 අර්බුදයෙන් පසුව අන්ත – දක්ෂිණාංශික ජාතිකවාදය හිස එසවීය. (මේ ක්‍රියාවලියේ සාධනීය පාර්ශ්වය වූයේ 1929න් පසුව ස්කැන්ඩිනේවියානු රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හිසඑසවීමත්, 2008න් පසු යුරෝපා සංගමයේ පරිවාරයේ පිහිටි රටවල වාමාංශික ජනතාවාදය හිස එසවීමත්ය.) පවත්නා දේශපාලන-ආර්ථික පර්යාය සුවිශාල අර්බුදයකට ලක් කෙරෙන තත්ත්වයකදී දේශපාලන අවකාශය ග්‍රහණයට ගන්නට මාන බලන ආගමිකවාදී, ජාතිකවාදී සහ ස්වදේශිකවාදී ප්‍රවණතා ගැන අප සැලකිලිමත්ව සිටිය යුත්තේ මේ නිසාය.

ස්වොයි ශීෂෙක් පෙන්වා දෙන පරිදි, කොරෝනා වසංගතයට පසුව ආපසු ඊනියා සාමාන්‍ය තත්ත්වයට ගමන් කිරීමක් ගැන සිතිය නොහැකිය. බොහෝවිට අප ගමන් කරනු ඇත්තේ නව තත්ත්වයක් කරාය.

‘විකල්ප – ගෝලීයකරණයක්’ කරා


ස්වොයි ශීෂෙක් පෙන්වා දෙන පරිදි, කොරෝනා වසංගතයට පසුව ආපසු ඊනියා සාමාන්‍ය තත්ත්වයට ගමන් කිරීමක් ගැන සිතිය නොහැකිය. බොහෝවිට අප ගමන් කරනු ඇත්තේ නව තත්ත්වයක් කරාය. නමුත්, එම තත්ත්වය ගෝලීය සහයෝගීතාව අන්තර් සම්බන්ධය සහ සාමූහික – අධිෂ්ඨානය සහිත ‘විකල්ප – ගෝලීයකරණයක්’ කරා දිශානත වූවක් බවට පත් කරන්නේ කෙසේද? මේ මොහොතේ ලොව පුරා කොමියුනිස්ට්වාදීන්ගේ අරගලය දිශානත විය යුතු එක් නිෂ්ඨාවක් වන්නේ එයයි.

මෙම විකල්ප ගෝලීයකරණයන් පිළිබඳ අදහස ක්‍රම ක්‍රමයෙන් වැඩී වර්ධනය වූයේ පසුගිය දශක කිහිපය තුළදී හිස එසවූ නව – ලිබරල් ගෝලීයකරණයට එරෙහි ගෝලීය සමාජ ව්‍යාපාර තුළින්මය. ධනවාදී ගෝලීයකරණයේ ප්‍රමුඛ විවේචකයකු වන සමීර් අමීන් 2019 පෙබරවාරි 15 වැනිදා “‘Socialist Economist” සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ වත්මනෙහි වාමාංශය ‘නව – ජාත්‍යන්තරවාදයක්’ කරා ගමන් කළ යුතුව ඇති බවයි.

තමන් ධනවාදී ගෝලීයකරණයෙන් විසන්ධි වීම (de-link) පිළිබඳ අදහස ඉදිරිපත් කළේ සටන් පාඨයක් ලෙසින් බවද, ප්‍රායෝගික විකල්පය ඇත්තේ ජාත්‍යන්තරවාදය තුළ බවද ඔහු ඉතාම පැහැදිලිව අවධාරණය කරයි. විකල්ප ගෝලීයකරණයක් නොහොත් ගෝලීය විකල්පයක් හඟවමින් ශිෂෙක් පවසන්නේ කොරෝනා අර්බුදය හමුවේ ගෝලීය මහජන සෞඛ්‍යය උදෙසා වූ යාන්ත්‍රණයක් ගොඩ නැගිය යුතුව ඇති බවයි.

අර්බුදයට මුහුණදීමේදී මෙම සියලු ක්ෂේත්‍රයන් වෙත අවධානය යොමු කරන සාකල්‍යවාදී ප්‍රවේශයක් වුවමනා වේ. එසේ නොවුවහොත්, සිදුවිය හැක්කේ එක් ක්ෂේත්‍රයක ගැටලු සඳහා ඉදිරිපත් කෙරෙන හදිසි විසඳුමකින් සෙසු සියලු ක්ෂේත්‍ර අර්බුදයේ කරවටක් ගිලී යාමය.

සාකල්‍ය ප්‍රවේශ්‍ය සහ මහජන සහභාගිත්වය

කොරෝනා අර්බුදය ගෝලීය එකක් වන තරමටම සාකල්‍ය (holistic) වූවක් ද වේ. එහි අදහස එය හුදෙක් මහජන සෞඛ්‍ය පිළිබඳ සුවිශේෂී ක්ෂේත්‍රයට පමණක් සීමා වී නොපවතින බවයි. එය ආර්ථිකමය-සමාජමය, දේශපාලනික සහ සංස්කෘතිකමය මෙන්ම සමාජ මනෝ විද්‍යාත්මක යනාදී පැතිමාන ගණනාවකින් යුක්ත අර්බුදයකි.

එහෙයින්, එම අර්බුදයට මුහුණදීමේදී මෙම සියලු ක්ෂේත්‍රයන් වෙත අවධානය යොමු කරන සාකල්‍යවාදී ප්‍රවේශයක් වුවමනා වේ. එසේ නොවුවහොත්, සිදුවිය හැක්කේ එක් ක්ෂේත්‍රයක ගැටලු සඳහා ඉදිරිපත් කෙරෙන හදිසි විසඳුමකින් සෙසු සියලු ක්ෂේත්‍ර අර්බුදයේ කරවටක් ගිලී යාමය.

මීට සති දෙකකට පමණ පෙර මා ලියූ ‘කොරෝනා වෛරසය සහ කොමියුනිස්ට්වාදය’ නමැති ලිපියෙන් වෙනත් වචනවලින් අවධාරණය කරනු ලැබුවේද එවන් සාකල්‍යවාදී ප්‍රවේශයක අවශ්‍යතාවයි. එහිදී මගේ ප්‍රධාන අවධාරණයක් වූයේ වසංගතයට පිළියමක් ලෙස ‘ලොක් ඩවුන්’ කිරීමක් ඉල්ලා සිටි බොහෝ දෙනකු එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අවිධිමත් අංශයේ රැකියාවන්වල නියුතු ජනයාගේ ගැටලු පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බවයි.

වසංගතය පාලනය කිරීමට ඇතැම්විට දැඩි පියවර ගන්නට සිදුවිය හැකිය. නමුත් ඒ කවරක් වුවද අවිධිමත් අංශයේ සිටින සහ විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනයා සඳහා ඉදිරිපත් කරන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සමග අතිනත ගෙන යා යුතුය. කෙසේ වුවත්, මෙරට පාලනාධිකාරය ගත්තේ වෙනස් මගකි. එනම්, පළමුව ඇඳිරි නීතියේ ආවරණය යටතේ ‘ලොක් ඩවුන්’ ප්‍රතිපත්තියක් අප්‍රකාශිතව ක්‍රියාත්මක කිරීමත් ඉන්පසුව නොවැළැක්විය හැකි ලෙසම උදාවූ සමාජ ආර්ථික අර්බුදය සඳහා තරමක් ප්‍රමාද වී විසඳුම් ඉදිරිපත් කිරීමත්ය.

අර්බුදයක් ඇතිවන්නට ඉඩදී එයට විසඳුම් සෙවීම එතරම් ප්‍රඥාගෝචර ප්‍රවේශයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෙසේ වෙතත්, මොඩිගේ ඉන්දියාවට වඩා නම් මේ කාරණයේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකින් තොර ‘ලොක් ඩවුන්’ ප්‍රතිපත්තියක් සඳහා හොඳම නිදසුන ඉන්දියාව විය යුතුය.

මා පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ මහජනයා සහමුලින්ම නිවෙස්වලට කොටු කර තැබීම වෙනුවට මෙම සමස්ත අර්බුදයට මුහුණදීම සඳහා සක්‍රීය මහජන සහභාගිත්වයක් ගොඩනගා ගන්නා ක්‍රම සෙවිය යුතුය යන්නයි. සැබැවින්ම නිරෝධායනය සඳහා යම් සැලකිය යුතු පිරිසක් නිවෙස්වලට සහ තම ගම් පළාත්වලට කොටු කර තබන්නට සිදුවේ. ඒ ගැන විවාදයක් නැත.

සමස්ත අර්බුදයට මුහුණදීම සඳහා සක්‍රීය මහජන සහභාගිත්වයක්

මා පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ මහජනයා සහමුලින්ම නිවෙස්වලට කොටු කර තැබීම වෙනුවට මෙම සමස්ත අර්බුදයට මුහුණදීම සඳහා සක්‍රීය මහජන සහභාගිත්වයක් ගොඩනගා ගන්නා ක්‍රම සෙවිය යුතුය යන්නයි. සැබැවින්ම නිරෝධායනය සඳහා යම් සැලකිය යුතු පිරිසක් නිවෙස්වලට සහ තම ගම් පළාත්වලට කොටු කර තබන්නට සිදුවේ. ඒ ගැන විවාදයක් නැත. නමුත්, ජනතාවට අවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සැපයීම, අසරණභාවයට පත් පිරිස්වලට සහාය ලබාදීම යනාදී නොයෙකුත් කටයුතු සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන පොහොසත් සමාජ ක්‍රියාකාරී ස්ථරයක් මෙරට සිටී.

අනෙකාගේ දුකේදී පිහිට වන උසස් ‘ජාතික සම්ප්‍රදායක්’ අප සමාජය සතුය. මේ දිනවලද විවිධ දුෂ්කරතා මධ්‍යයේ එවන් කටයුතුවල යෙදෙන විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් සිටී. ජවිපෙ හා රතු තරුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, සර්වෝදය, දේශෝදය යනාදී කණ්ඩායම් ඒ අතුරින් ප්‍රමුඛය. නමුත්, ආණ්ඩුවේ ප්‍රවේශය වී ඇති බව පෙනෙන්නේ සමාජ ආරක්ෂණය පිළිබඳ ක්ෂේත්‍රය සහමුලින්ම තම ආධිපත්‍යය යටතේ තබා ගත හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම බව පෙනේ.

සන්නද්ධ හමුදා සිවිල් සේවයට කැඳවූ තත්ත්වයක් තුළ ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය එවන් ප්‍රවේශයකට වාසිසහගත වාතාවරණය සකසයි. මගේ අදහස නම් ආණ්ඩුව මහජන සහභාගිත්ව ප්‍රවේශය පෙරට ගත්තේ නම්, තත්ත්වය වඩා සාර්ථකව පාලනය කරගන්නටද හැකියාව තිබුණේය යන්නයි. නිදසුනක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ගොවි සංගම්, කුඩා වෙළෙඳුන්ගේ සංගම් සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගම් ඒකාබද්ධ කළ වඩා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කළ නොහැකිද? එවිට එම ක්ෂේත්‍රවල පිරිස්වලට යම් ආදායම් මාර්ගයක් ලැබේ. ඔවුන් රජයේ සහනාධාර මත යැපෙන තත්ත්වයකට වඩා එය ආර්ථිකමය ලෙස ඵලදායකය.

පසුගියදා වාර්තා වූ පරිදි දැන් දඹුල්ලේ එළවළු අලෙවි කරගත නොහැකිව ඒවායෙහි මිල විශාල වශයෙන් පහත වැටෙමින් තිබේ. එසේ වන්නේ රට පුරාම එළවළු සඳහා විශාල ඉල්ලුමක් පැවතියදීමය. වෙළෙඳපොළ ක්‍රියාවලිය සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් යටතේදී නාගරික එළවළු අවශ්‍යතාවක් ග්‍රාමීය නිෂ්පාදනයත් අතර සම්බන්ධය ගොඩ නගන යාන්ත්‍රණය නැවත සකස් කරන්නේ කෙසේද? මේ සියල්ල තම පක්ෂ යාන්ත්‍රණය යටතටත්, රාජ්‍ය යාන්ත්‍රණය යටතටත් නතුකර ගන්නට ප්‍රයත්න දැරීමෙන් සිදුවන්නේ සමාජ-ආර්ථික අර්බුදය ඔඩුදිවීමය.

අප මේ දැන් ගත කරන නිරෝධායන කාලපරිච්ඡේදය වනාහී එම අනාගත අර්බුදයට මුහුණදීමට අවශ්‍ය ජනතා ශක්‍යතා සහ ශක්තීන් ගොඩ නගා ගන්නා අවධියක් විය යුතු නොවේද? ආණ්ඩුව මහජනයා මත ‘ආරක්ෂක පියෙකු’ගේ භූමිකාව රඟදක්වන තාක් කල් එම ඉදිරි බරපතළ වගකීම පිළිබඳ මහජන විඥානයක් ගොඩ නැගීම අසීරු වනු ඇත.

දිගුකාලීන ප්‍රතිඵල කිසිසේත්ම සුබවාදී නැත

අනෙක් අතින් මහජන සහභාගිත්වය පිළිබඳ කාරණය නොතකා හැරීමෙන් ඇතිවිය හැකි දිගුකාලීන ප්‍රතිඵල කිසිසේත්ම සුබවාදී නැත. ඉදිරියේදී අප කරා එන්නේ දිගුකාලීන අර්බුදයකි. එසේම එය ඔහු බහුවිධ අර්බුදයකි. අප මේ දැන් ගත කරන නිරෝධායන කාලපරිච්ඡේදය වනාහී එම අනාගත අර්බුදයට මුහුණදීමට අවශ්‍ය ජනතා ශක්‍යතා සහ ශක්තීන් ගොඩ නගා ගන්නා අවධියක් විය යුතු නොවේද? ආණ්ඩුව මහජනයා මත ‘ආරක්ෂක පියෙකු’ගේ භූමිකාව රඟදක්වන තාක් කල් එම ඉදිරි බරපතළ වගකීම පිළිබඳ මහජන විඥානයක් ගොඩ නැගීම අසීරු වනු ඇත.

නිදසුනක් ලෙස මේ දිනවල මුහුණු පොතේ පළවන ජනප්‍රිය විහිළුවක් නම් ‘ගෙදරට වී නිකම් සිටීම දැන් ජාතික මෙහෙවරක් බවට පත්ව ඇති” බවය. කෙසේ වුවත්, සැබෑ තතු ඉන් බොහෝ වෙනස්ය. ඉදිරියේදී පැමිණිය හැකි ආර්ථික අර්බුදයක ප්‍රධාන අංගයක් විය හැක්කේ ආහාර අර්බුදයයි. මේ දිනවල උග්‍රවී ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳ ඉල්ලුමත්, එයට පරස්පරව පවතින නාස්තියක් විසින් මේ අර්බුදය තීව්‍ර කෙරෙන්නට ඉඩ තිබේ.

දැනටම ආණ්ඩුව මෙම අභියෝගය හඳුනාගෙන ඇති බව පෙනුණද ඒ වෙනුවෙන් ප්‍රබල අවධාරණයක් කරන බවක් නොපෙනේ. දැන් උදාවෙමින් තිබෙන්නේ ඔබ සැබෑ දේශප්‍රේමියකු නම් අඩු තරමින් මල්පෝච්චියක එළවළු පැළයක් හෝ සිටුවිය යුතු යැයි කියන කාලයකි. එසේම මෙම අර්බුදයේ පෘථුලත්වය දෙස බැලූ විට මෙය බුද්ධිමතුන්, පර්යේෂකයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, සමාජ සහ දේශපාලන ක්‍රියාකාරීන් යනාදී සියලුම සක්‍රීය මහජන අවකාශයේ සාමාජිකයන්ට ඉතාම කාර්ය බහුල සති කිහිපයක් විය යුතු බව මගේ හැඟීමයි.

නිදසුනක් ලෙස ආර්ථික විද්‍යාඥයන් සහ ආර්ථික විද්‍යා සිසුන් කොරෝනා අර්බුදයේ ගෝලීය සහ ජාතිකමය ආර්ථික බලපෑම ගැන මේ මොහොතේදීත් කඩිසරව අධ්‍යයනය කරමින් සිටිය යුතු නොවේද? අප වැනි දේශපාලන විද්‍යා සිසුන් මෙම අර්බුදයේ දේශපාලන ගම්‍යතා සමීපවත්, තියුණු ලෙසත්, ගැඹුරු ලෙසත් අධ්‍යයනය කරමින් සිටිය යුතු නොවේද? මෙය අප මුහුණු පොතේ උදාසීන ක්‍රීඩාවල නිරතවෙමින් සිටිය යුතු කාලපරිච්ඡේදයක් නොව (විනෝදයට එසේ කළාට කම් නැත) අපගේ අධ්‍යයන මේස මත වෙහෙසවෙමින් සිටිය යුතු කාල පරිච්ඡේදයකි.

අවසන් වශයෙන්, වත්මන් පාලනය කොරෝනා අර්බුදයට මුහුණ දෙන සුවිශේෂී ආකාරයත්, එහි දේශපාලන ගම්‍යාතාත් පිළිබඳව මා ලියන්නට සිතා සිටියද දැනටමත් මේ ලිපිය දීර්ඝ වී ඇති බැවින් එය පසුවට ඉතිරි කර තබමි. දැනට කීමට ඇත්තේ නව පාලනාධිකාරය නමැති ෆ්රැන්කන්ස්ටයින් ඉතාම වේගයෙන් සහ කඩිසරව නිර්මාණය වෙමින් පවතින බවයි. ශීෂෙක් පැවසූ ලෙස කොරෝනා අර්බුදයෙන් පසුව අප අවදි වනු ඇත්තේ නව යථාර්ථයකටය. එම යථාර්ථය දැන් (එහිම ආවේණික ප්‍රතිවිරෝධතාද සහිතව) අපගේ දෑස් ඉදිරිපිටම නිර්මාණය වෙමින් පවතී.

සුමිත් චාමින්ද, දේශපාලන විද්‍යා අධ්‍යනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *