“COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ලක්ෂ්මන් මහතා අරමුදලේ සභාපතිත්වය දරයි.
ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි රවින්ද්‍ර ජේ. විමලවීර මහතා අරමුදලේ ලේකම් ධූරය හොබවන අතර අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් ඇතුළු 16 දෙනෙකුගෙන් කමිටුව සමන්විතය. (අදාළ නාම ලේඛනය අමුණා ඇත)
අරමුදලට විවිධ පාර්ශ්වයන්ගෙන් ආධාර මුදල් ලැබෙමින් පවතී. එය පිහිටුවීමෙන් ජනාධිපතිතුමා අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගැනීම සදහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කමිටුවේ සාකච්ඡාවට ලක් කෙරිණ.
කොරෝනා මර්දනය සදහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය පර්යේෂණ උපකරණ හා ධාරිතා වර්ධනය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් සඳහා මූල්‍ය අවශ්‍යතා සැලසීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ අත්‍යාවශ්‍යය මහජන සේවා සපයන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය මෙන්ම ළමයින්, කාන්තාවන් අඩු ආදායම්ලාභීන් වැඩිහිටියන් ආබාධිතයන් හා අවදානමට ලක් විය හැකි පුද්ගලයන් වෙනුවෙන් මූලික අවශ්‍යතා සැපයීම අරමුදලේ අරමුණු අතර වේ. WHO, UNICEF, UNDP,WB,ADB සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කාර ප්‍රජාව හා නියෝජිත ආයතන සමග අරමුදල් රැස් කිරීම සම්බන්ධීකරණය ද අරමුදලෙන් අපේක්ෂා කෙරේ.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය අද වන විට රුපියල් මිලියන 655කට ආසන්න වී තිබේ. රක්නා ආරක්ෂක ලංකා ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 03 ක් සහ “අපි වෙනුවෙන් අපි” අරමුදලෙහි දකුණු කොරියානු ශාඛාව පිරිනැමු රුපියල් ලක්ෂ 04ක මුදල ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබිණ.
NDB බැංකුව රුපියල් මිලියන 07ක්, ලංකා හෝස්පිටල් කෝපරේෂන් හය මිලියන 6.7ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10ක්, කලම්බු ඩොක්යාඩ් පීඑල්සී ආයතනය සහ ඩී.ජේ.ඒ. සමරසිංහ මහතා රුපියල් මිලියන 05 බැගින් ද, නාගරික සංවර්ධන අධිකාරිය මිලියන් 2.5ක්, ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ සමන් ඉන්ඩස්ට්‍රිස් ඇන්ඩ් සප්ලයරස් පෞද්ගලික සමාගම රුපියල් මිලියනය බැගින් ද, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මිලියන 02 ක් ද අරමුදලට ප්‍රදානය කර තිබේ.
BASF ලංකා පෞද්ගලික සමාගම ලක්ෂ 05ක්, නුගේගොඩ ඩබ්. මංජුල බොතේජු මහතා රුපියල් ලක්ෂයකින් සහ රන්ජන් ද සිල්වා මහතා රුපියල් ලක්ෂ 02 ක් සහ ශ්‍රී ලංකා පොලිස් යුද ආබාධිත රණවිරු සංගමය රුපියල් 60,000ක් ද අරමුදලට පරිත්‍යාග කර ඇත.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන. දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.