කොරෝනා උණුසුම මැද බලගැන්වුණු ‘බෝග 16 විප්ලවය’ : ඔබ දැනගත යුතු වැදගත්ම තොරතුරු

රටේ ජනතාවට ප්‍රමාණවත් තරම පමණක් නොව, අපනයනය කරන්නට වුවත් සෑහෙන්න ඇතැම් බෝග ප්‍රභේද වවන්නට සුදුසු පසක් හා දේශගුණයක් අප සතුව පවතී. ඒ ගැන නොසලකා හරිමින්, ලාභයට ගන්නට තිබේනම්, පිටරටින් ගෙන්වාගෙන කෑම වඩා සුදුසු වන්නේය යන මතවාදය, ඉඳහිට හෝ කිසියම් තාවකාලික කාලපරාසයකට සමාජයේ ගැවසුණු නිසා, බෝග නිෂ්පාදනයට අප සතුව තිබූ උනන්දුව විටින් විට පත්වූයේ ඇල්මැරුණු ස්වභාවයකටය.

රටට බත සපයන ගොවියා හැඳින්වුයේ ‘අසරණ ගොවියා’ නමින්ය. සියලු කරදර ඔහුටය. කුඹුරක් අස්වද්දන්නට ඔහු දරන වෙහෙසට අගයක් දෙන්නට ගෝලීයකරණය කරපින්නා ගත් සමාජයට උනන්දුවක් නොතිබුණි. බිම් සැකසීම සඳහා වතුර මුරය ගන්නා තැන සිට බිත්තර වී, පොහොර ආදී සියලු අවශ්‍යතා වෙනුවෙන් ඔහු හමුවේ ඇත්තේ අවිනිශ්චිතතාවයයි. අවසානයට නොවිඳිනා දුක් කරදර වලට මැදිවී අස්වැන්න ලද පසුවද, සාධාරණ මිලකට එය විකුනාගැනීමට හැකිවේද යන්න පවා  ඔහුට ගැටලුවකි.

අවුරුද්ද කන්නට වී තිබෙනවානම් පැරණි සමාජයේදී එය ගෞරවනීය පිළිගැනීමකට හේතු වූ කාරනාවක් විය. විවාහයක් තීන්දු කරගැනීමේදී පවා ගොඩින් සහ මඩින් ලැබෙනා බිම් කට්ටියේ වපසරිය ඒ අනුව ලොකු කර්තවයක් ඉටු කලබව අතීත තතු දන්නෝ පවසති.

එවන් ඉතිහාසයකට හිමිකම් කී ලාංකික සමාජය මෑත ඉතිහාසය තුලදී ගොවිකම හැරදා වෙනතකට ඇදී ගියේ, රටට සමාජයට දරාගත හැකි වේගයෙන් නම් නොවේ. මෙම වේගයට තිරිංගලමින් ආපසු හැරෙන් යන විධානය කර ඇත්තේ ඇසටවත් නොපෙනෙනා ක්‍ෂුද්‍ර ප්‍රාණියෙකු විසිනි. එය අපට පමණක් නොව මුළු ලෝකයටම ඇසෙන්නට කෑගසා, වියරුවෙන් කල විධානයකි. සියල්ලෝම එයට අවනත වනවා සේ පෙනේ.

සෑම සමාජ ස්ථරයකින්ම අද පෙනෙන්නට තිබෙනා වගා කිරීමේ උද්‍යෝගය හමුවේ අනාවරණය වන්නේ අප සැවොම හඹාගොස් ඇත්තේ ගෝලීයකරණය නමැති මිරිඟුවක් පසුපස බවය. මාලිගා තනා ඇත්තේ රළ පහර වදින මුහුදු වැල්ලේ බවය. වසංගත ව්‍යසනයක් හමුවේ ආහාර හිඟයකට මුහුණදෙනු ඇතැයි බියවී තක්කු මුක්කු වී සිටින ජනතාවක් ආහාර සුරක්‍ෂිතතාවය නමැති පදයක අර්ථය සොයමින්, අහුමුලු හැමතැනම වගා කරන්නට ඇට හා පැල සොයමින් සිටී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දේශීය ආහාර නිෂ්පාදනය දිරිගන්වනු වස් ‘සෞභාග්‍යා‘ ගෙවතු වගාකිරීමේ ක්‍රියාන්විතය දියත්කරනු ලැබුවේ කෝවිඩ් වසංගතය මෙහි පැමිණෙන්නටත් පෙර සිටය. ගෙවතු දශලක්ෂයක ඉලක්කයක් අරගෙන එය සැලසුම් කරන්නට ඇත්තේ අවසානයේ වැයකළ ශ්‍රමය හා වියදමට සාධාරණ ප්‍රතිලාභයක් ලබා කටයුතු අවසන් කිරීමේ බලාපොරොත්තුවෙනි.

ඕනෑම ව්‍යාපෘතියක් සැලසුම් කරන්නේත්, අවසන් කරන්නේත් ඒ ආකාරයෙනි. එහෙත් දශ ලක්ෂයේ සැලසුමට නිපදවා බෙදාහැරි රෝපණ ද්‍රව්‍ය උණු උණුවේම අවසන් වූ අතර ඔවුහු මේ වනවිට තවත් දශ ලක්ෂයක ඉලක්කයක් ගෙන, ඒ තුලද අඩක් පමණ දුර ගෙවා දමමින් සිටී.

ජනතාව වෙතින් පිරිනැමෙන මේ හදිසි උනන්දුව තවත් දිරිමත්කිරීම උදෙසා රාජ්‍ය අංශය වෙතින් ගොවිතැනට ලබාදෙන ආකර්ශනීය සුරක්ෂිතතාවයක්ද මේ වනවිට ඉදිරිපත් කර අවසානය. ඒ ගෙවතු වගාව සඳහා නාමික සුළු මුදලකට ලබාදෙන බීජ පැකට්ටුව මෙන් සරල ඒකකයක් නොව, මහත් පිරිවැයක් යොදා බලගන්වනු ලබන වගා පැකේජයකි.

බෝග 16 කට දිරිගැන්වීම් !

මෙයට අනුව දැනට ආරම්භවී ඇති යල වගා කන්නය වෙනුවෙන්, මෙරට වගා කළහැකි අතිරේක බෝග 16 ක සංඛ්‍යාවක් වැවීම දිරිමත් කරනු ලැබේ. වියලිමිරිස්, ලොකුලූණු, රතුලූණු, සුදුලූණු, අර්තාපල්, බඩඉරිඟු, සෝයාබෝංචි, කුරක්කන්, කොල්ලු, මුංඇට,කවුපි, උඳු, තල, රටකජු, ඉඟුරු හා කහ යනු මෙම බෝග ලැයිස්තුවයි.

මේ සියල්ල දේශීයව වැවිය හැකි බෝග වන අතර මෙම සෑම බෝගයකින්ම සැලකිය යුතු ප්‍රතිශතයක් අප මේ වනවිට ආනයනය කරමින් සිටින්නෙමු. වියලි මිරිස් වැනි නිෂ්පාදනයක් ගතහොත්, ශ්‍රී ලංකාව කලෙකදී ඉන් ස්වයංපෝෂිත තත්වය පවා අත්කරගෙන තිබුණේය. එහෙත් අද දවසේ 90% කටත් එහා ප්‍රමාණයකින් මෙය ආනයනය කරනු ලබයි.

උග්‍ර විෂ සහිත කෘෂිරසායන ද්‍රව්‍යයන් පවා ඉන්දියාවේදී කිසිදු තහනමකින් තොරව භාවිතා කරන අතර, දේශීය ගොවියාගේ නිපැයුම්වල වසවිස අන්තර්ගතයට ඉව අල්ලන ඇතැමුන්, දුප්පතාගේ පොල් සම්බෝලයට පවා එකතුවෙන ඉන්දියානු මිරිස් කරලේ ඇති දෑ ගැන සැලකිලිමත් නොවීම අවාසනාවකි.

කෘෂිකර්ම නිලධාරීන් විසින් වගා උපදෙස් ලබාදීමේදී නිතරම කතාකරන ‘නිර්දේශිත ප්‍රභේද’ යන පද දෙක වර්තමාන වගා ප්‍රවර්ධන වැඩසටහන තුලදී, අවස්ථාවේ හැටියට මොහොතකට පසෙකින් තබා තිබේ. මේ නිසා උදාවී ඇති තත්වය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ බෝගයක් වශයෙන් යමක් ප්‍රවර්ධනය කර, දේශීය නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමටයි.

මේ හරහා වර්තමානයේ පවතින අතිරේක බෝගයන්හි වගා වපසරිය 100% කින් ඉහළ නැංවීමට දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුවයි. යම්කිසි බෝගයක ප්‍රභේදයකට සීමා නොවී සිටීමට තවත් හේතුවක් වන්නේ නිෂ්පාදනය කඩිනමින් ඉහල නංවාගැනීම සඳහා ගොවීන් සතුව ඇති සියලු බීජ මේ මොහොතේ පසට යට කරවීමටත්, පෙර සිට පැවත එන ගොවීන්ගේ පිළිගැනීමක් ලැබෙන යම් ප්‍රභේදයක් වේ නම් එය වැඩිපුර බෝකර ගැනීමටත්ය.

තැන තැන සැඟවුනු දේශීය බෝග ප්‍රභේද රැසක අස්වැන්න මේ හරහා වෙළඳපොළට එනු ඇත. නිරායාසයෙන්ම පාරිභෝගිකයින් විසින් ඒවාහි ගුණාගුණ විමසනු ඇත. වඩාත් ආකර්ශනීය ප්‍රභේදයන්හි අනාගත පැවැත්ම ඒ හරහා සුරක්ෂිත වනු ඇත. 

කුඩා වගාවකට බීජ නොමිලේ !

අක්කර කාලක් හෝ ඉන් ඔබ්බට අක්කර භාගයක් දක්වා ඉහත සඳහන් බෝග තනි වගාවක් වශයෙන් වගා කරන්නේ නම් රජය මගින් සම්පුර්ණ බීජ වියදම දරාගැනීමට මේ වනවිට තීරණය කර තිබේ.

අක්කර කාලකට අඩුවෙන් වවන්නේ නම් එවන් සහනයක් ගොවියාට ලැබෙන්නේ නැත. බීජ අවශ්‍යතාවය වගාකරු විසින්ම සපුරා ගත යුතු අතර, ඒවා කුමන තැනකින් කුමන මිලකට ගත්තාද, කුමන ප්‍රභේදයක බීජද, හයිබ්‍රිඩ් ද නැතිද වැනි ප්‍රශ්නත් අදාළ වන්නේ නැත. බීජ සඳහා ගෙවූ මුදල සඳහා බිල්පතක්වත් අවශ්‍ය නොවේ. එකම අවශ්‍යතාවය වන්නේ අදාළ වපසරිය තුල වගාව පිහිටුවා පෙන්වීම පමණි.

බීජ සඳහා ගෙවන මුදල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී තීරණය කරනු ලබන අතර, එය ප්‍රභේදය මත පදනම් නොවන බෝගය මත පදනම් වූ මුදලකි. යම් වගාවක වපසරිය අක්කර භාගය ඉක්මවා යමින් අක්කර පහක් දක්වා යන්නේ නම්, පළමු අක්කර භාගය සඳහා වන සම්පුර්ණ බීජ වියදමත්, අක්කර හතර හමාරක් සඳහා වන බීජ වියදමෙන් 50% කුත් රජය විසින් දරනු ලැබේ.

කුමන වපසරියක් වෙනුවෙන් වුවද බීජ වියදම ලැබෙන්නේ අදාළ බෝගයේ තනි වගාවන් පිහිටන්නේ නම් පමණක් බවද මතක තබාගතයුතු කරුණකි. බීජ වෙනුවෙන් ගොවීනට ලබා දෙන්නට බලාපොරොත්තුවෙන මෙම සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 2700 ක පමණ මුදලක් දරන්නට රජයට සිදුවෙනවා ඇත.

අක්කර පහක් තුළ බෝග කීපයක් වවන්න බැරිද?

බීජ සහනාධාරය ලබමින්ම එවන් වගාවක් කරන්නටද ප්‍රතිපාදන සලසා දී තිබේ. උදාහරණයක් වශයෙන් අක්කර තුනක භූමියක අක්කර කාල බැගින් නිර්දේශිත බෝග අතුරින් බෝග 12 ක් වැවිය හැකිය.

ඒ සෑම අක්කර කාලකම තනි වගා වශයෙන් බෝග පිහිටුවා ඇත්නම් බෝග වර්ග 12 සඳහාම වූ බීජ වියදම සම්පුර්ණයෙන්ම රජය මගින් දරනු ඇත. යම් වගාකරුවෙක් විසින් බඩඉරිඟු අක්කර 4 ක් ද, කවුපි අක්කර කාලක්ද, රටකජු අක්කර 6 ක්ද වවා ඇතියයි සිතමු. ඔහුගේ බීජ සහනාධාරය වන්නේ බඩඉරිඟු සඳහා නම් අක්කර භාගයකට 100% ක් සහ අක්කර තුන හමාරකට 50% ක් වශයෙන්ය.

මීට අමතරව කවුපි අක්කර කාල සඳහා වැයවූ සම්පුර්ණ බීජ වියදම ඔහුට ලැබේ. රටකජු අක්කර භාගයක් සඳහා සම්පුර්ණ බීජ වියදමත්, අක්කර හතර හමාරක් දක්වා බීජ වියදමෙන් 50% ක කොටසකුත් ඔහුට ලැබෙන අතර ඉතිරි රටකජු අක්කරය සඳහා වැයකළ බීජ වියදම ලැබෙන්නේ නැත.

වගාව කවදා ඇරඹිය යුතුද?

මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ 2020 යල වගා කන්නය වෙනුවෙනි. දැනටමත් යල කන්නය ඇරඹි තිබේ. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශ වල ප්‍රමාදවී මහ කන්නය අවසන් වූ අවස්ථා තිබෙන නිසා ප්‍රමාදවී ඇරඹෙන යල කන්නයන් සඳහාද බීජ සඳහා වන මුදල් ප්‍රතිපූර්නය කරගැනීමේ අවස්ථාව තිබේ.

වගාව ඇරඹුණු වහාම පළාතේ කෘෂිකර්ම උපදේශකවරයා හමුවී ඔහු භාරයේ ඇති ලේඛනයෙහි තම වගාවේ විස්තර ඇතුලත් කල යුතුවේ. මහවැලි බල ප්‍රදේශවල නම් මෙම තොරතුරු භාරගන්නේ ඒකක කලමානාකරු විසිනි. ඔවුන් විසින් වගාව පරීක්ෂාකර බලා භාවිතා කර ඇති බීජ පිලිබඳ තක්සේරු කරනු ලැබේ. මුදල් ලබාදෙන්නේ එම තක්සේරුවට අනුවය.

මෙම බෝග වලට රක්ෂනාවරණයකුත් ලැබෙනවා

බඩඉරිඟු, අර්තාපල්, ලොකුලූණු, සෝයාබෝංචි, හා මිරිස් වැනි බෝග සඳහා ගොවි රක්ෂණ මණ්ඩලය මගින් වසර ගණනාවකට පෙර සිටම රක්ෂනාවරණයක් ලබාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර,. ඉතිරි බෝග 11 ද, මේ යටතට ගනිමින් යම් කොන්දේසි මත රක්ෂණය ලබාදීමට ඔවුහු මේ වනවිටත් සැලසුම් සම්පාදනය කරමින් සිටී.

මේ නිසා ස්වාභාවික ආපදාවකදී හෝ වන සතුන්ගෙන් සිදුවන හානියකදී හෝ ගොවියා ආරක්ෂා කිරීමටද රජය කටයතු කරමින් සිටින බව පැහැදිලිය. ඒ ගැන විස්තර ඉදිරියේදී දැනගැනීමට හැකිවේවි. මේ මොහොතේ ගොවියා කල යුත්තේ කන්නය පමා නොකොට, තමාගේ යල ගොවිතැන ආරම්භ කිරීමයි.

නිෂ්පාදනය වැඩිවෙනකොට අස්වැන්නට ලැබෙන මිල පහළ යයිද?

මිල උච්ඡාවචනය යනු ලාංකික ගොවියා හැමදාමත් මුහුණදෙන ගැටලුවකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බෝග පුරෝකථන වාර්තා සාදමින් අද වගා කරන බෝගයේ අස්වැන්නට අනාගතයේදී ලැබෙන මිල පිළිබඳව අනාවැකි ගොවි ජනතාවගේ ජංගම දුරකතනයටම යැවූවද, ගතානුගතික ගති සිරිතට අනුගත වෙමින්, මිල වැඩි බෝගයම වගාකිරීමට ඇති පුරුද්ද අතහැරීමට තවමත් බොහෝ දෙනෙක් අසමත් වී සිටී.

මේ නිසා සිදුවන්නේ රටට අනවශ්‍ය අස්වැන්නක් එකවිට ලැබීමෙන් මිල පහළ යාමයි. මෙම වැඩසටහන යටතේ සලකාබැලෙන බෝග සියල්ලම යම් ප්‍රමාණයකින් ආනයනය කෙරෙන බෝගයන්ය. එසේම ඒවා ඇතැම් ආනයනය කෙරෙන ආහාර බෝගවලට ආදේශක බෝගයන් ලෙස භාවිතාකල හැකි ඒවාය.

උදාහරණයක් වශයෙන් මෙරට සෑදිය නොහැකි රතු පරිප්පු වෙනුවට භාවිතා කල හැකි ආදේශක බෝග වශයෙන් කවුපි හා මුංඇට මෙන්ම කොල්ලු ද මෙහි අන්තර්ගත වේ. ඉදිරියේදී විදේශ වෙළඳපොළෙහි ආහාර හිඟවීම හෝ ආනයනය සඳහා අප සතුව ඇති පමණට විදේශ විනිමය නොමැතිවීම හෝ වැනි තත්වයක් හමුවේ, දේශීය ආදේශක ආහාර සුලභව ඇත්නම් ජනතාවට සිදුවන්නේ ඒ වෙත යොමුවීමටයි. වෙනත් විකල්පයක් ඔවුනට නැත. ඒ නිසා පෙරදී සිදුවූවාක් මෙන් ආනයනික ආහාර හා තරඟයට යා නොහැකිව මිල පහළ යනවා වැනි සිද්ධියක් අනාගතයේදී සිදු නොවේවියයි සිතීම සාධාරණය.

යම් ලෙසකින් නිෂ්පාදනයන්ට ගැලපෙන මිලක් නොලැබෙන්නේ නම් රජය මගින් සහතික මිලක් යටතේ අස්වැන්න මිලදී ගැනීමේ වැඩසටහනක්ද දැන් සිටම ඉදිරිපත් කර තිබීම තව දුරටත් ගොවියා දිරිමත් කිරීමකි. මේ අනුව බෝග සඳහා යෝජිත රජයේ සහතික මිල රුපියල් වලින්   කිලෝග්‍රෑමයක් සඳහා මෙසේය.

වියලි මිරිස් 650, ලොකුලූණු 100, රතුලූණු 110, අර්තාපල් 100, බඩඉරිඟු 50, සෝයාබෝංචි 125, කුරක්කන් 175, කොල්ලු 300, මුංඇට 200, කවුපි 220, උඳු 220, තල 200, රටකජු 220, ඉඟුරු 125, අමුකහ 80, සුදුලූණු 350

සහතික මිලක් ගෙවා ගොවීන් සතු සියලු අස්වැන්න මිලදී ගැනීම හරහා, ආනයනය සීමා කරමින් හා තමා සතු ආදේශක බෝග තොග වෙළඳපොළට නිදහස් කරමින්, සාධාරණ මිලකට ආහාර සැපයීමේ මෙහෙයුමට සක්‍රියව දායක වීම රාජ්‍ය අංශයේ බලාපොරොත්තුවයි. මේ නිසා වසවිස අන්තර්ගතය ගැන දෙගිඩියාවකින් තොරව අනුභව කල හැකි ආහාරයක් ජනතාවට ලැබෙනු ඇත. දේශීය ආහාර භෝග වලට වැඩි ඉල්ලුමක් නිර්මාණය වෙමින් නිෂ්පාදකයාගේ අතමිටද සරුවෙනු ඇත.

මෙරට වී නිෂ්පාදනය අද වනවිට ඉතා යහපත් මට්ටමකට පැමිණ තිබේ. දේශීය කෘෂි විද්‍යාඥයින් දශක කීපයක් තිස්සේ කල අභිජනන පර්යේෂණයන් හේතුවෙන්, කෝටි දෙක හමාරකට ආසන්නව සිටින රටේ ජනතාවට තුන්වේලම වුවත් බත් කන්නට ප්‍රමාණවත් අස්වැන්නක් වර්තමාන වගා වපසරිය තුළින් ලබාදීමට සමත් වී ප්‍රභේද මේ වනවිට නිපදවා තිබේ.

40 දශකයේදී මෙරට සිටියේ ලක්ෂ 65ක පමණ ජනගහනයකි. එදා නිපදවූ සහල් ප්‍රමාණය ප්‍රමාණවත් වූයේ මින් තුනෙන් එකකගේ පමණ කුස පිරවීමටයි. ඉතිරි තුනෙන් දෙකම කෑවේ රට හාල්ය. එයද සීමා සහිතව ජනතාවට ලැබුනේ උප්පැන්න සහතිකයටත් වඩා ඕනෑකමින් ආරක්‍ෂා සහිතව ළඟ තබාගෙන සිටි ‘හාල්පොත’ නමැති කූපන් කාඩ්පතක් හරහාය.

අතිරේක බෝගයන්හි දේශීය නිෂ්පාදනයද ඉහළ දමන්නේ නැතිව පවත්වා ගතහොත් එදා සහල්වලට තිබූ තත්වය මුංඇට, කවුපි, මිරිස්, කහ, උඳු වැනි බෝග වලටද ඉදිරියේ උදාවීම වැළක්විය නොහැකිවේ. මන්දයත් පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ, ලෝක නිෂ්පාදනයද ඉදිරියේදී පහත වැටෙනා බැවිනි. මුදල් තිබුණත් ගෙන්වා ගන්නට දෙයක් ඒ රටවලත් ඉතිරි නොවනු ඇත. තිබෙන සොච්චම් ප්‍රමාණයත් ඔවුන්ගේම පාරිභෝජනයටම යෙදවෙනවා ඇත.

එදා පැවති සහල් අර්බුදයට වඩා මෙය භයානක තත්වයක් වන්නේ, කෝවිඩ් සාධකය ගෝලීය එකක් නිසාය. අන් රටවල ජනතාව නැගිටිනවා සේම අපද නැගිටිය යුත්තේ අපගේ ස්වශක්තින්මය. අත්වාරුව සපයන්න ලඟපාත කවුරුවත් නැත. එදා සහල් ගැන අද ලියූ ආකාරයේ ඊට අනුරූප සටහනක්, තව දශක කීපයකින් අතිරේක බෝග වෙනුවෙන්ද ලියන්නට, අනාගත ලියුම්කරුවෙකුට මග විවර කරදීමේ වගකීම ඇත්තේද වර්තමාන ගොවි ජනතාව වන ඔබටය. ඒ නිසා රජයේ දිරිගැන්වීම උපරිම වශයෙන් මේ මොහොතේ ප්‍රයෝජනයට ගනිමු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.