දේශපාලන කුමන්ත්‍රණ සහ පාස්කු ප්‍රහාරයෙන් බැට කෑ ‘2019 ආර්ථිකයේ ඇත්ත කතාව’

2019 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පසුගිය මස 28 වැනිදා මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන්නා.

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා මෙවර මහ බැංකු වාර්ෂික වාර්තාව ගැන ලැබුණේ අල්ප ප්‍රතිචාරයක් පමණයි. ඒ වගේම මේ වාර්තාව මගින් කියවෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුවේ ආර්ථික කටයුතු නිසා රාජ්‍ය මාධ්‍ය හා රජයට හිතවත් මාධ්‍යත් මේ ගැන වැඩි අවධානයක් යොමු නොකළා විය හැකියි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලැබූ දළ දේශීය නිෂ්පාදනයේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2018 වසරේදී වාර්තා කළ 3.3% ක වර්ධනයට සාපේක්ෂව 2019 දී 2.3%ක අඩු වර්ධනයක් වාර්තා කර තිබෙන බවයි මහ බැංකු වාර්ෂික වාර්තාව 2019 සදහන් කරන්නේ. මෙහිදී මහ බැංකුව ප්‍රකාශ කරන්නේ ආර්ථිකයේ සියලුම අංශ වර්ධනය වූ නමුත් එහි අඩු වර්ධනයක් පෙන්නුම් කළ බවයි.

නිෂ්පාදනය

2019 වර්ෂයේ දළ ජාතික නිෂ්පාදිතයේ ව්‍යුහාත්මක වර්ධනයන් දෙස අවධානය යොමු කරන විට සේවා අංශය ආර්ථිකයේ ගාමක බලවේගය බවට තව දුරටත් සිය ස්ථාවරත්වය රැක ගෙන තිබෙන බව පැහැදිලිව පෙනී යනවා. එය දළ ජාතික නිෂ්පාදිතයට 57.4%ක දායකත්වයක් ලබා දෙන විට කර්මාන්ත අංශයේ දායකත්වය 26.4%ක් ලෙස තිබෙනවා. මෙවර අලුත් ආයිතමයක් ලෙස එක්කර ඇති බදු සහනාධාර 9.2%ක් වන විට රටේ වැඩිම අවධානයක් යොමු වන හා වැඩිම රාජ්‍ය ප්‍රාග්ධනයක් යොදවන කෘෂිකාර්මික අංශය දළ ජාතික නිෂ්පාදිතයට දක්වන දායකත්වය 07% දක්වා තව දුරටත් පහත වැටී තිබෙනවා. (කෘෂිකාර්මික අංශය මේ ආකාරයෙන් කැපී පෙනෙන ලෙස අවම දායකත්වයක් ලබා දුන්නත් ඇතැම් පිරිස් දිගින් දිගටම කියා සිටින්නේ ලංකාව කෘෂිකාර්මික රටක් බවයි. එහෙත් මේ තුළ අඩංගු ධීවර, වැවිලි කර්මාන්ත හා සුළු අපනයන බෝග ඉවත් කළ විට වැඩිම රාජ්‍ය අවධානයක් යොමු වන වී වගාව හා එළවළු වගාවෙන් ලබා දෙන්නේ ඉතාම අවම දායකත්වයක්)

ආර්ථිකයේ 2.3%ක් පමණ වන ‘අවම‘ වර්ධනයට දායකත්වය ලබා දුන් අංශවල වර්ධනයන් විමසන විට එහි වැඩිම කොටසක් නියෝජනය කරන්නේ කර්මාන්ත අංශයයි. 2.7%ක වර්ධනයක් සදහා ප්‍රධාන වශයෙන් නිෂ්පාදන හා ඉදිකිරීම් අංශවල වර්ධනය හේතු වී තිබෙනවා.

ජාතික නිෂ්පාදිතයේ වර්ධනයට බදු සහනාධාරය මගින් වීම විශේෂත්වයක්. එය 2.6ක වර්ධන දායකත්වයක් ලබාදී තිබීම විශේෂත්වයක්.

2.3%ක වර්ධන දායකත්වය ලබා දුන් සේවා අංශයේ වර්ධනයට තොග හා සිල්ලර වෙළෙදාම ප්‍රධාන වශයෙන් දායක වී තිබෙනවා.

කෘෂිකාර්මික අංශය ආර්ථික වර්ධනයට දායක වී තිබෙන්නේ 0.6%ක් වැනි ඉතාම අවම අගයකින්. ඒ අවම වර්ධනය සදහා ද වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ තෙල් සහිත පලතුරු බෝග වගාව බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.

නිරීක්ෂණයන්

2018 දී 6.5%ක වර්ධනයක් වාර්තා කළ කෘෂිකාර්මික අංශය 2019 දී 0.6%ක වර්ධනයක් වාර්තා කිරීමට2019 වසරේ පැවති දැඩි අහිතකර කාලගුණ තත්වයන් ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා. එම අහිතකර කාලගුණ තත්ත්වය කෘෂිකර්මාන්තයට බලපෑ අතර තේ, රබර්, කරදිය ධීවර් කර්මාන්තය, කරදිය ජලජ ජීවි වගා උප අංශය, වන වගාව, වනාන්තර හා දැව ආශ්‍රිත නිෂ්පාදනවල සැළකිය යුතු අඩුවක් වාර්තා කිිරීමට හේතු වුණා.

තෙල් නිපදවීම සඳහා යොදාගත හැකි පළතුරු භෝග වගාව, එළවලු වගාව, පළතුරු වගාව සහ කිරි, බිත්තර, මස් හා වෙනත් නිෂ්පාදන කෘෂිකාර්මික අංශයේ අගය එකතු කිරීම වැඩි කිරීම සඳහා හේතු වී තිබෙනවා.

2019 වසරේදී වී නිෂ්පාදනය මෙ.ටොන් මිලියන 4.6ක් දක්වා එනම් සහල් මෙ.ටොන් මිලියන 2.9කට සමාන ප්‍රමාණයකට ඉහළ ගිය අතර එය දළ වශයෙන් මාස 14ක සහල් ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

2019 දී තේ වගා කටයුතුවල 1.3%ක සහ රබර් වගා කටයුතුවල 9.3%ක සෘණ වර්ධනයක් පෙන්වනවා. රබර් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 74.8දක්වා අඩු වී ඇති අතර එය වාර්තාගත අවම රබර් නිෂ්පාදනය වේ.

2019 වසරේදී කර්මාන්ත අංශය පෙර වසරේදී වාර්තා කළ 1.2%ක වර්ධනයට සාපේක්ෂව 2.7%ක වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. රෙදිපිළි, නිමි ඇඳුම්, සම් හා සම් ආශ්රිත නිෂ්පාදන, ඉදිකිරීම් සහ පතල් කර්මාන්තවල පිබිදීම මෙම වර්ධනයට හේතු වුණා.

2018 වසරට සාපේක්ෂව 2019 දී ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම 18%කින් අඩු වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක අංශය ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 7ක් ඉක්ම යන විට මුළුමනින්ම පාහේ නැවත යථා තත්වයට පත්වූ බව මහ බැංකු වාර්තාව සදහන් කරනවා.

රජයේ මුළු ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2018 වසරේ පැවති 13.4% සිට 2019 වසරේදී 12.6% දක්වා අඩුවී තිබෙනවා.

ආර්ථිකයේ යටිතල පහසුකම්

ආර්ථිකයේ යටිතල පහසුකම්වල 2019 වර්ෂයේ තත්ත්වය ඉහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වෙනවා.

එහිදී පැහැදිලි වන්නේ 2019 වර්ෂයේ අප්‍රේල් 21 වැනි දින සිදු වූ පාස්කු ප්‍රහාරය සමස්ත ප්‍රවාහන පද්ධතියට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ බවයි.

එකට පැවති රජය විසින් සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කිරීම නිසා 2018 දී රුපියල් බිලියන 39.2ක්ව පැවැති සමෘද්ධි සහනාධාර වියදම 2019 දී රුපියල් බිලියන 44්‍7 දක්වා වර්ධනය වී ඇති අතර 2018දී මිලියන 1.4ක් වූ සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2019දී මිලියන 1.9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය හා අධ්‍යාපනය සදහා වන රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පිළිවෙළින් 1.6%ක් සහ 1.9%ක් වූ බවයි මහ බැංකු වාර්ෂික වාර්තාව 2019 සදහන් කරන්නේ.

මේ අතර බොහෝ දෙනකුගේ අවධානය ලක් නොවුණ වැදගත් කරුණක් ද මහ බැංකු වාර්ෂික වාර්තාව තුළ සදහන් වෙනවා. ඒ 2018 වර්ෂයේදී 92.6%ක්ව පැවැති සාක්ෂරතාව 2019 දී 92.5% දක්වා පහත වැටීමයි. මේ තත්ත්වය තුළළ (2018දී) ලංකාවේ පුරුෂ සාක්ෂරතාව 93.4ක් වන විට කාන්තා සාක්ෂරතාව 91.6%ක්ව පවතිනවා.

ඒක පුද්ගල ද.දෙ.නි පහළ යයි

2019 වර්ෂයේ පාස්කු ප්‍රහාරයේ බලපෑම ඇතුළු කරුණු හේතුවෙන් නිර්මාණය වූ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2019දී සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් 4079ක් වූ එ.පු.ද.දෙ.නි 2019දී 3852 දක්වා පහත ගොස් තිබෙනවා.

අපනයන – ආනයන

පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපනයන සංවර්ධනය වෙනුවෙන් බොහෝ පියවර ගනු ලැබූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා අපනයන ආදායමට ඍජු බලපෑම් එල්ල වී නැති බව පැහැදිලිව පෙනී යනවා. 2018 දී ඩොලර් මිලියන 11,890ක් වූ අපනයන ආදායම ඩොලර් 11,940ක් දක්වා ‘සුළු ‘වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ආනයන සම්බන්ධයෙන් ගත් විට 2018දී එක්සත් ජනපද ඩොලර් මිලියන 22,233 ක් වූ ආනයන විදයම 2019 දී එක්සත් ජනපද ඩොලර් මිලියන 19,237ක් දක්වා අඩු වී තිබෙනවා. එම තත්ත්වය තුළ වෙළෙද පරතරය 2018 දී -11.7 සිට 2019දී -9.5 දක්වා සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර විදේශ නිල සංචිත (ආනයනික මාස වශයෙන්) 2018දී මාස 3.7 සිට 2019දී මාස 4.6 දක්වා වර්ධනය වී තිබෙනවා.

“කෝවිඩ්-19 සහ ශ්‍රී ලංකාව: අභියෝග, ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම”

ශ්‍රී ලංකා මහ බැංකුව 2019 වාර්ෂික වාර්තාව සකස් කිරීමේදී “කෝවිඩ්-19 සහ ශ්‍රී ලංකාව: අභියෝග, ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම” යන සිරස්තලය යටතේ මෙවර විශේෂ සටහනක් ඇතුළත් කර තිබෙනවා.

එමගින් පෙන්වා දී තිබෙන්නේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව මේවන විට අනුගමනය කළ මුල් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස යම් සාර්ථකත්වයක් ලබා සිටින අතර, එම ක්‍රියාමාර්ගයන් තුළින් දේශීය ආර්ථික කටයුතුවලට වන පසුබෑම සහ ගෝලීය ආර්ථිකයේ මන්දගාමී වීම තුළින් ඇතිවිය හැකි බලපෑම නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සැළකිය යුතු බලපෑමක් එල්ල වන බව යි.

සේවා නියුක්තවන්නන්ගෙන් 60%ක් රැකියා කිරීම සහ ශ්‍රී ලංකාවේ දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් සිටින බවට ඇස්තමේන්තු කර ඇති බැවින් විශාල පුද්ගල සංඛ්‍යාවක් COVID-19 තත්වය හමුවේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ද එහි සදහන්.

ජනගහනයේ අනෙකුත් අවධානමට ලක්විය හැකි කොටස් වන වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහලින් හා ඊට ආසන්නයේ ජීවත්වන විශාල පිරිසක් මෙම තත්වයෙන් අධික ලෙස බලපෑමට ලක්විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.

චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන හවුල්කරුවන් ද සැළකිය යුතු පසුබෑමකට ලක් වන බවත් එබැවින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට සෘජු බලපෑම් එල්ල වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

සැකසුම – තුෂාධවි

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.