මාළිගාවත්ත හරහා ‘ආණ්ඩුවේ කෙරුවාව’ කියවීම සහ හෙළිවීම

ඊයේ (21) කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය මේ වන විට දේශීය සමාජජාලවලත් ජාත්‍යන්තර මාධ්‍යවලත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. එහිදී ඔවුන් අවධාරණය කරන්නේ වත්මන් අගුළු දැමීම් හමුවේ නාගරික ජනතාව මුහුණ පා සිටින අසීරු තත්ත්වයේ කැඩපතක් බවට මාලිගාවත්ත සිදුවීම සැලකිය හැකි බවයි.

මේ සිදුවීම ජාත්‍යන්තරව දකින ආකාරය ගැන අපට පැහැදිලි අවබෝධයක් අල් ජසීරා එය වාර්තා කළ ආකාරයෙන්ම වටහා ගත හැකියි. අල්ජසීරා අදාළ සිදුවීම වාර්තා කිරීමේදී යොදා ගත් ශීර්ෂ පාඨය වුණේ ”ඩොලර් 8 ක් දෙන පෝලිමේ මරණ තුනයි ” යන්නයි.

ලංකාවේද මාධ්‍ය වාර්තා කළ ආකාරයට මේ සිදුවීම සිදු වුණේ රුපියල් 1000ක ආධාරයක් ලබා ගැනීමට යාමේදී ඇති වූ තෙරපීමක් නිසයි. තෙරපී මිය යාමේ සිදුවීම් ලංකාවේ සිදු නොවන තරම් වුණත් එය ඉස්ලාම් ලෝකයට නම් අලුත් අත්දැකීමක් නොවෙයි. උදාහරණයක් ලෙස මක්කම වන්දනා සමයට සිය ගණනක් වන්දනාකරුවන් තෙරපී මිය යාම සුලභව සිදු වෙනවා. ඒ වගේම ඉන්දියාවේත් ඇතැම් කෝවිල් උත්සවවල මේ ආකාරයෙන් තෙරපී මිය යාම සිදු වෙනවා.

ඇගිල්ල දෙස නොව හද දෙස බැලීම

මාලිගාවත්ත සිදුවීම වාර්තා කිරීමේදී සහ ඇතැම් සමාජමාධ්‍යවල සිදුවන අදහස් දැක්වීම්වලදී අදාළ කාන්තාවන් පැළද සිටි බව කියන සෙරෙප්පු ප්‍රමුඛ මාතෘකාවක් වී තිබෙනවා. බොහෝ දෙනෙක් අදාළ සිදුවීම වාර්තා කිරීමේදී වින්දිත කාන්තාවන්ගේ දරිද්‍රතාව පෙන්වීම සදහා මේ සෙරෙප්පු හොද සංකේතයක් ලෙස භාවිතා කරන ආකාරය දැකිය හැකියි.

ඇත්ත, මේ සෙරෙප්පු වින්දිත කාන්තාවන්ගේ ආර්ථික දරිද්‍රතාවය මනාව පැහැදිලි කරනවා. ඒත් මේ කතාව මේ සෙරෙප්පුවලට ලඝු කළ යුතු නැහැ. මේ සෙරෙප්පු හරහා පෙන්නුම් කරන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දැමීම, ඇදිරි නීතිය පැනවීම හරහා නිර්මාණය වී ඇති දරිද්‍රතාවය සහ අඩු ආදායම්ලාභීන් මුහුණ දෙන ආර්ථික අහේනිය පිළිබද සැබෑ ඛේදවාචකයයි.

යළි කතාවට ප්‍රවේශ වුණොත් මේ වන විට ලංකාවේ අති බහුතරයක් ජනතාවගේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටිලා. ඒක වැටුප් ලැබුණා කියලා රාජ්‍ය සේවකයාට පමණක් නොදැනෙන තත්ත්වයක් නොවෙයි. රාජ්‍ය සේවයේ වුණත් අති බහුතරයක් වන සාමාන්‍ය ශ්‍රේණිවල සේවකයින්ට (රියැදුරන්, කාර්යාල කාර්ය සහයකයින්, ලිපිකරුවන් වැනි) හිමි වෙන්නේ සාමාන්‍ය වැටුප පමණයි. ඔවුන්ගේ අතිකාල දීමනා සම්පූර්ණයෙන්ම නැවතී තිබෙනවා. යළි අතිකාල දීමනා ලැබෙන කාලයක් ගැන හිතා ගන්නවත් බැරි බව දැන් රජයේ කටයුතු සිදුවන ආකාරයෙන් මනාව පැහැදිලි වෙනවා.

‘මට පඩියක් කියලා දෙයක් තිබුණෙම නැහැ. ගේ හදන්න ගත්ත ලෝන් එකටයි, අපදා ණයවලටයි මුළු පඩියම කැපෙනවා. අතට කීයක් හරි ලැබුණේ අතිකාල කරලා. දැන් ඒකත් නැහැ. ලබන මාසේ ළමයින්ගේ වියදම් ආයෙත් වැඩි වෙනවා. අතිකාල නැතිව මොනවා කරන්න ද කියලා මට හිතා ගන්න බැහැ‘ අර්ධ රාජ්‍ය ආයතනය කාර්යාල කාර්ය සහයකයෙක් වන ගම්පහ නිමල් විතානවසම් මහතා කිව්වා.

මේක නිමල් ඇතුළු රාජ්‍ය සේවකයින්ට මුහුණදීමට සිදුව ඇති තත්ත්වයක් නෙවෙයි. ලක්ෂ 20ක් පමණ වන ස්වයං රැකියා නියුක්තිකයින්ට, මේසන් බාස්ගේ සිට බාබර් දක්වා වෘත්තිකයින්ට, නාටාමිවරුන්ට, ලොතරැයි අලෙවිකරුවන්, පත්තර අලෙවිකරුවන් වගේම වීදි වෙළෙදුන් ඇතුළු සමස්ත නිර්ධන පාන්තික ප්‍රජාවටම කොරෝනා නිසා සිදුව ඇති ආර්ථික අවපාතයට තදින් දැනෙනවා.

‘ප්‍රශ්නේ පටන් ගත්තේ දැන්. ෆිනෑන්ස් කම්පැණි එකෙන් කියනවා ආණ්ඩුව දුන්න ණය සහනය ගන්න එපා ඒකෙන් කිසිම වාසියක් නැහැ කියලා. එයාලා කියන කතාව ඇත්ත. පොලියෙන් සියයට 33ක් අය කරනවාලු. ණයවාරියකයට විතරලු මාස හයක සහනයක් දෙන්නේ. ඒත් අපි දන්නවා මුල් අවුරුදුවල වැඩියෙන්ම කැපෙන්නේ පොලිය. ඊට පස්සේ මාස හයකට පස්සේ අයෙත් ණය ගෙවන්න වෙනවා. මට එයාලා කිව්ව විදිහට මාස හයක් පොලියෙන් සියයට 66ක සහනයක් දුන්නත් මාස හයක් යන කොට අමතර වාරිකයක් ගෙවලා. ඒ නිසා මේකෙන් අපිට කිසිම සහනයක් නැහැ. දැන් බිස්නස් නැහැ. වාහනේ ගෙදර. වහ කන්න තමයි වෙන්නේ ‘මෙහෙම කියන්නේ කාර්යාලයීය ප්‍රවාහන සේවයක් කරගෙන යන හොරණ ගාමිණි උදය ශාන්ත.

ගාමිණි කියන ආකාරයට ආණ්ඩුව දෙනවා කියන කිසිම සහනයක් ඔවුන්ගේ ආදායම් අහිමි වීමේ ගැටලුවට ස්ථිරසාර විසදුමක් නෙමෙයි. ඒක අතීසාරයට අමුඩ ගැසීමක් වාගේ වැඩක්.

‘ආණ්ඩුව කියන කිසිම සහනයක් අපිට නැහැ. ලෝක වෙළෙදපොළ අඩු වුණ ඉන්ධන සහනය අපිට දුන්නේ නැහැ. 65ට දුන්න පරිප්පු, 100 දුන්න සැමන් සහනය අකුල ගත්තා. හාල්වලට මිල පාලනයක් දැම්මට හාල් රුපියල් 100ට වැඩියි. පොල් ගෙඩිය 80යි. පොල්තෙල් බෝතලේ 400යි. දැන් දැන් එළවළුවල ගාණත් ඉහළ යනවා. කෝ ආණ්ඩුව දෙනවා කිව්ව සහන. කාටද ඒකා ලැබුණේ. අපි නම් කියන්නේ කොරෝනා ආව දා ඉදලා ආණ්ඩුව අපිට ඇන්දුව ඇරෙන්න කළ දෙයක් නැහැ‘ මෙහෙම කියන්නේ පාදුක්කේ හිරන්ත රණසිංහ. ඔහු වෘත්තියෙන් සංවර්ධන නිලධාරියෙක්. ආණ්ඩුවේ කිසිම සහනයකට හිමිකම් නොවීව අයෙක්.

‘පසුගිය මාස දෙකම ගෙදර හිටියේ. දාහක් ප්‍රශ්න මැද්දෙයි සැලෝ් එක ඇරියේ. ඒත් වැඩ නැහැ. අද දවසයට හම්බ වුණේ රුපියල් 800යි. මේ ෂොප් එකට රුපියල් 30,000ක් ගෙවන්න ඕනෑ. බඩු ගන්න ගත්ත බැංකු ණයවලට, ලයිට් බිල්, වතුර බිල් ඔක්කොම එකතු කළාම මාසේට 40,000ක් විතර යනවා. අපි දැන් අතින් පාඩු පිටයි බිස්නස් කරන්නේ. මගෙ මහත්තයත් කරන්නේ බිස්නස්. එයාටත් වැඩ නැහැ. ඒත් කඩ කුලී, ගෙවල් කුලී ඒවා එක්කොම ගෙවන්න ඕනෑ, කොහොම ඔළුව උස්සන්න ද කියලා හිතා ගන්න බැහැ‘ බණ්ඩාරගම රූපලාවන්‍ය ආයතනයක් පවත්වා ගෙන යන ඩිල්කි කල්දේරා කියනවා. ඇය කියන විදිහට පසුගිය මාස දෙකම ජීවත් වෙලා තියෙන්නේ පොළියට ගත්ත සල්ලිවලින්.

‘අපිට වැඩ නැහැ. තව මාස දෙක තුනකට නෙමෙයි හය හතකට ඔළුව උස්සන්න බැරි පාටයි‘ ඇය කියනවා.

යළිත් කොළඹට

මේ කොළඹ, මාළිගාවත්ත වැනි අධි නාගරික පළාත්වලින් බැහැර ජනතාව කියන කතාව. අපි යළිත් මාළිගාවත්ත සිදුවීමට පාදක වන ආර්ථික අහේනියට ආවොත් ඔවුන් මුහුණ දෙන තත්ත්වය හිතා ගන්නවත් බැරි තරම් ඛේදවාචකයක්.

‘මේ පැත්තේ කාටවත් ස්ථිර රස්සා නැහැ. බසාර් එකේ බිස්නස් කරනවා, නාටාමි වැඩ, බයිට් කරත්ත ඔය වාගේ වැඩ තමයි හැමෝම කළේ. හෝටල්වල වැඩ කළ, පොඩි පොඩි බිස්නස් කළ ත්‍රීවිල් හයර් කළ අය තමයි මේවායේ ඉන්නේ. ඒ කාටවත් මාස දෙකක් තිස්සේ කිසිම ආදායමක් නැහැ. ගමේ මිනිස්සුන්ට වාගේ වතුර ටික, පළා කොළ ටික අපිට නැහැ. හැමදේම සල්ලිවලට තමයි ගන්න ඕනෑ. ඉතිං අපේ ගෑනු උදවිය රුපියල් දාහක් දෙනවා කිව්වාම දුවන්නේ නැතිව ඉදිවිද ? අද අපිට රුපියල් දාහක් නෙමෙයි දහයත් වටිනවා. ඒ තරම් නට්ටම් වෙලා අපි ඉන්නේ ‘

මේ මාළිගාවත්තේ සිදුවීම ගැන දුරකථන සංවාදයට එක් වෙමින් රිස්වාන් අහමඩ් කිව්වා.

ඔහු කියන කතාව ඇත්ත. මේ නාගරික තමයි කොළඹ ලස්සන කරන පිරිසිදු කරන්නියගේ සිට වීදි ගණිකාව දක්වා වන සියලු සේවා ලබා දෙන්නේ. ඒක අපිට අවුලක් වුණත් ඔවුන්ට අවුලක් නොවන බවයි රිස්වාන් එක්ක කළ කතාවෙන් තේරුණේ.

‘කතාව ඇත්ත. කොළඹ නාටාමිලාගේ ඉදන් හැමෝම මේ තට්ටු ගෙවල්වල ඉන්නවා. එදාවේල හොයා ගන්න මිනිස්සු තමයි ඔක්කොමලා. කිසිම ඉතුරුවක් නැහැ. ඉතුරු කරන්න තරම් ආදායමකුත් කාටවත් නැහැ. ඒ නිසා කවුරු හරි එයාලාගේ රස්සාව ගැන කතා කරනවා නම් ඒක හරි නැහැ. අපි නැත්නම් මේ කොළඹට මොකද වෙන්නේ ?‘ රිස්වාන් අහනවා.

රිස්වාන්ගේ හිතවත්කම එක්ක මාළිගාවත්තේ රෙනුෂා එක්ක කතා කරන්න අපිට පුළුවන් වුණා. තිදරු මවක් වන රෙනූෂාගේ සැමියා බයිට් විකුණනවා.

‘මට රස්සාවක් නැහැ. ඒත් මමත් නිකං හිටියේ නැහැ. මරදානේ හෝටල්වලට වුවමනා කෑම හැදුවා. කඩදාසි උර හැදුවා. ඒ වගේ වැඩ ගොඩක් කළා. ඒත් පහුගිය මාස දෙකටම ඒ කිසිම වැඩක් නැහැ. මහත්තයාගේ බිස්නස් එක නැහැ. අපි ඉන්නේ කුලියට. මාසෙට දහ දාහක් ගෙවන්න ඕනෑ. ඉතිං අපි ජීවත් වෙන්නේ කොහොමද ? අපිට ආණ්ඩුවෙන් කියලා ලැබුණේ රුපියල් පන්දායක් විතරයි. ඒක මොනවා කරන්නද ? ගමේ මිනිස්සුන්ට වාගේ අපිට ගෙවතු වගා නැහැ. කොස් පොලොස් නැහැ. අද දවල්ට කන්න දෙයක් නැතිව මං ආටා පිටිවලින් රොටි දෙක්ක හැදුවා. අපි කියන්නේ මේ වැඩවලින් වැඩියෙන්ම කරදර විදින්නේ කොළඹ අපියි. අපිට මාස දෙකක් තිස්සේ එළියට යන්න බැහැ. හිරකාරයෝ වාගේ ‘රෙනූෂා කියනවා.

අපි රුපියල් 1000ක් ගන්න ගිහින් කාන්තාවන් තිදෙනෙක් මිය ගිය කතාව ගැන රෙනූෂාගෙන් ඇහුවා.

‘ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. අපි හැමෝම ඉන්නේ සතයක්වත් නැතිව. කාටවත් ආදායමක් නැහැ. තව දවස් කීයක් මෙහෙම ඉන්නද ? අපිව නොමරා මරණ වැඩ තමයි මේ වෙන්නේ‘ ඇය කියනවා.

ආණ්ඩුව ගැන සටහනක්

මේ සිදුවීම් ජාලය හමුවේ ආණ්ඩුවේ කතාව ගැන අදහස් අපට නැහැ. ඒත් පැහැදිලිව සදහන් කළ යුතු කතාව වන්නේ ආණ්ඩුව ‘කටින් බතල කොළ හිටවන‘ බව පමණයි. රාජපක්ෂලා පමණක් නොව ඔවුන්ගේ සහායට සිටින සිල්වලත් ‘කටින් යුද්ධ කළා වාගේ වැඩ කරන බව පමණයි පැහැදිලිව පෙනී යන්නේ.

මහා සැලසුම් සම්පාදකයා, වැඩ කාරයා වන බැසිල්ගෙන් වුණ වැඩක් ගැන හොයලා බලන්න සී.අයි.ඩී. එකට දෙන්න වෙනවා. මාධ්‍ය සාකච්ඡා, ජනාධිපති කාර්යාලයේ සිදුවන සාකච්ඡා හුදු සාද කතා බව ගොවීන් මුහුණ දෙන අර්බුදය වගේම මාළිගාවත්ත සිදුවීමක් සාක්ෂි දෙනවා.

‘ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ජනතාව මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. ඔවුන් හිතුවේ මහා යුද්ධය ජයග්‍රහණය කළ මහ මොළකරුවාගෙන් මීට වඩා දෙයක් ලැබෙයි කියලා. ඒත් ජනාධිපතිවරයාගේ තරම පරිප්පු – සැමන්වලින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පැහැදිලි වුණා. ඒ නිසා ජේ.ආර්. කිව්වා වාගේ ජනතාවට තමන් ගැන බලා ගන්න සිද්ධ වෙනවා. රාජපක්ෂ ආණ්ඩුවෙන් මීට වඩා දෙයක් වෙයි කියලා හිතනවා නම් ඊට වඩා හොදයි ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වෙන එක‘ ප්‍රවීන ආර්ථික හා දේශපාලන විශ්ලේෂක ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ අප කළ විමසීමකදී කිව්වා.

‘ජනතාව මේ කපා ගන්නේ තමන් වපුරපු දේ කියලා කියන එක හිතට වදයක් වුණත් ඇත්ත කතාවයි. යුද්ධය ජයග්‍රහණය කළ මහා වීරයා කියලා අභිෂේක කළත් ඔහුගේ කටින්ම පසුගිය 19 වැනිදා යළිත් ඇත්ත කතාව හෙළි වුණා. ඒ අනුව අපිට පේනවා නොවැම්බර් 17 ජනතාව රැවටුණා කියලා. ඉතිං දැන් ගිය නුවණ ඇත්තුලවා අද්දන්න බැහැ. ඒත් තවම අන්තිම බස් එක ගිහින් නැහැ. මේ වැඩේ මෙහෙම ගියොත් ආණ්ඩුව අන්තිම බස් එක මිස් වෙනවා. මාළිගාවත්ත සිදුවීම හරහා කියන්නේ ආණ්ඩුවේ නොහැකියාව සහ අද ජනතාව මුහුණ දී සිටින අන්ත අසරණකම. මේක තවත් තීව්‍රර වෙනවා මිස ලිහිල් වෙන එකක් නැහැ ‘ ආචාර්ය ඉන්ද්‍රජිත් කතාව අවසන් කරමින් කිව්වා.

හමාර කිරීම

මාළිගාවත්ත සිදුවීම හරහ්කඩක් සේ ගෙන කොවිඩ් අර්බුදය හමුවේ ආණ්ඩුවේ සමස්ත අසමත් වීම මැනීමට වැඩි දුර යා යුතු නැහැ. ඔබට ඔබේ පසුබිම්ය දෙස බැලීමෙන්ම ඒ බව අවබෝධ කරගත හැකියි.

සටහන – නිර්පාක්ෂික හේවිසිආරච්චිගේ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.