ඉන්දු – චීන දේශසීමාවේ ගැටුම් උත්සන්න වෙද්දී කොරියානු දේශසීමාවත් ගිනි ගනී

මතභේදයට තුඩු දී ඇති කාශ්මීර කලාපයේ ලදාක්හි චීන හමුදා සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය භටයන් තිදෙනෙකු මරණයට පත්ව ඇත. පසුගිය සති කීපය තිස්සේ එම කලාපයෙහි රඳවා සිටින දෙරටේ දේශසීමාරක්ෂක භටයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් මෝදුවෙමින් පැවතිණි.

“උද්ගතව පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය කර ගැනීම සඳහා චීන සහ ඉන්දියානු හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සාකච්ඡා පවත්වමින් සිටින” බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත්කොට නැත.

පවතින ව්‍යාකූල තත්ත්වය තවත් දරුණු අතට හැරෙන මට්ටමින් හෝ ඒකපාර්ශ්වීය මට්ටමින් පියවර නොගන්නා ලෙස චීනය ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මේ අතර AFP මාධ්‍ය ජාලය වාර්තා කරන්නේ දේශසීමාව ඔස්සේ පැමිණ සිය භටයන්ට පහර දීම සම්බධයෙන් චීනය ඉන්දියාවට චෝදනා කරන බවය.

'Col Chewang Rinchen Setu', a bridge built by Border Roads Organisation (BRO) over River Shyok, connecting Durbuk and Daulat Beg Oldie in Eastern Ladakh
ඉන්දියාව විසින් ලදාක්හි ඉදිකරන ලද පාලමක් මුල් කර ගනිමින් දෙරට අතර උණුසුම වර්ධනය විය

ආසියාවේ බලවතුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක දී පළමුවරට මෙවැනි මරණ වාර්තා වූයේ දශක කීපයකට පසුවයි.

ඉන්දියාව සහ චීනය අතර පළමු සංග්‍රාමය 1962 වසරේ වාර්තා විය. එම යුද්ද්ධයේ දී ඉන්දියාවට බරපතල හානි සිදු වූ අතර එය නිම වුණේ ඔවුන්ගේ පරාජයෙනි.

තම භූමියෙන් කිලෝමීටර් 38,000ක් අල්ලාගෙන සිටින බවට ඉන්දියාව චීනයට චෝදනා කරයි. එම දේශසීමා අර්බුදය නිරාකරණය කර ගැනීමට පැවති සාකච්ඡා වට කීපයක්ම අවසන් වුණේ අසාර්ථක මට්ටමිනි.

දේශසීමාවේ ‘සීකිම්’ කලාපයේ දී චීන සහ ඉන්දියානු දේශසීමාරක්ෂක භටයන් ගුටිබැට හුවමාරු කර ගැනීමක් ද පසුගිය දා වාර්තා විය.

මතභේදයට තුඩු දී ඇති නිම්නයක් ඔස්සේ චීනය දේශසීමා මාර්ගයක් ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම 2017 වසරේ දී දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිවීමට තවත් හේතුවක් විය.

කිම් ජොන්ග් අන් කොරියානු පණිවුඩ හුවමාරු කාර්යාලය පුපුරවයි

Smoke rises from Kaesong Industrial Complex in this picture taken from the south side in Paju, South Korea

කෙසොන්ග් කර්මික සංකීර්ණය දෙසින් දුම්වලා නිකුත් වෙන ආකාරය දකුණු කොරියාව දෙසින් පෙනෙන අයුරු

කොරියානු රාජ්‍යයන් දෙක අතර පිහිටුවා තිබුණ දෙරටේ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියානු පාලනය විසින් පුපුරුවා හරිනු ලැබිණි.

එම කාර්යාලය පිහිටුවා තිබුණේ දෙරට අතර පිහිටි ‘කෙසොන්ග්’ ( Kaesong) දේශසීමා නගරය අසලය.

කොරියානු දේශසීමාවේ යුද ක්‍රියාකාරකම් පිළිබඳව යළිත් අනතුරු ඇඟවීමක් කරනු ලැබීමෙන් පසුව එම පුපුරුවා හැරීම සිදුකොට ඇත.

2018 වසරේ ආරම්භ කරන ලද එම සම්බන්ධතා කාර්යාලය පිහිටුවා තිබුණු භූමිභාගය උතුරු කොරියාවට අයත් වන අතර, එය දෙරට අතර පණිවුඩ හුවමාරුව සඳහා උපයෝගී කර ගනු ලැබිණි.

කොරෝනා වෛරස් වසංගතය පැතිර යාමත් සමග වසා දමන ලද එම සම්බන්ධතා කාර්යාලය පසුගිය ජනවාරි මාසයේ පටන් හිස්ව පැවතිණි.

Participants attend an opening ceremony of the joint liaison office in Kaesong, North Korea, September 14, 2018.
පණිවුඩ හුවමාරු කාර්යාලය උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවේ 2018 වසරේ සැප්තැම්බර් මසදීය

කොරියානු රාජ්‍යයන් දෙක අතර පසුගිය සති කීපය තිස්සේ පැවතුණේ ගැටුම්කාරී පරිසරයකි.

උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට පලා විත් සිටින කණ්ඩායම් විසින් දේශසීමාව ඔස්සේ යවනු ලබන ප්‍රචාරක පණිවුඩ එම ගැටුම්කාරී තත්ත්වය ප්‍රකෝප කිරීමට හේතුවිය.

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය වන කිම් යෝ-ජොන්ග් (Kim Yo-jong) පසුගිය සති අන්තයේ ප්‍රකාශයක් කරමින්, ඉහත කී කාර්යාලය විනාශ කරන බවට අනතුරු ඇඟවීමක් කර තිබිණි.

කොරියානු වේලාවෙන් අපරභාග 2.49 ට පිපිරීමක් සිදු වූ බව ‘එකමුතුවීම’ භාර දකුණු කොරියානු ඇමතිවරයා විසින් තහවුරු කරනු ලැබ ඇත.

Kim Yo-yong
උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය කිම් යෝ-ජොන්ග්

සිය භූමියට ප්‍රචාරක පණිවුඩ එවීමට ඉඩ සලසන බවට චෝදනා කරමින් පසුගිය සති කීපය තුළ උතුරු කොරියාව විසින් ‘සෝල්’ පාලනය හෙළා දකිනු ලැබිණි.

උතුරු කොරියාවෙන් පලා විත් සිටින කණ්ඩායම් සිය පැරණි වාසභූමිය කරා ප්‍රචාරක පණිවුඩ නිරන්තරයෙන් යවනු ලබන්නේ බැලූන් පමණක් නොව, ඩ්‍රෝන යානා (drones) ආදිය පවා උපයෝගී කර ගනිමිනි.

පසුගිය සතියේ අඟහරුවාදා (ජූනි 09) ප්‍රකාශයක් කළ උතුරු කොරියානු පාලනය ‘සෝල්’ පාලනයත් සමග සියලු නිල සබඳතා කපා හරින බව නිවේදනය කළේය.

මේ අතර අනතුරු ඇඟවීමක් කළ කිම් යෝ-ජොන්ග් කොරියානු රාජ්‍යයන් දෙක අතර පිහිටි යුද විරහිත කලාපයට (DMZ) හමුදා ඇතුළු කරන බව කියා සිටියාය.

අඟහරුවාදා (ජූනි 16), ඉහත කී සම්බන්ධතා කාර්යාලය පුපුරුවා හරිනු ලැබීමට පෙර උතුරු කොරියානු යුද හමුදා නායකත්වය ප්‍රකාශයක් කරමින්, “ඉදිරි යුද පෙරමුණ යුද බලකොටුවක් බවට පරිවර්තනය කරන” බව සපථ කර තිබිණි.

Text by – BBC Sandesaya

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.