“නිල් පවුරේ නිහඬතාව” බිඳ හෙළීම

පොලීසිය සහ සන්නද්ධ හමුදා විරෝධතාකරුවන් සමග එක් වීම! නැතිනම්, ඔවුන්ට සහයෝගීතාව ප්‍රකාශ කිරීම! මෙය එක් අතකින් අලුත් දෙයක් නොවේ. නමුත්, විප්ලවීය හැරවුමකි.

ලොව බොහෝ විප්ලවවාදී ව්‍යාපාරවලට රාජ්‍ය බලය අත් පත් කරගත හැකි වූයේ සටනේ එක් මොහොතකදී රාජ්‍යයේ හමුදාවලින් කොටසක් විප්ලවවාදීන් සමග එක් වීමෙනි.

රුසියාවේ විප්ලවීය දිනවලදී පීටර්ස්බර්ග්හි හමුදා ඛණ්ඩ කම්කරු උද්ඝෝෂණවලට පහරදීම ප්‍රතික්ෂේප කළේය. China Miéville විසින් ලියන ලද “October: The Story of the Russian Revolution” (2017) කෘතියේ එවන් සිත් ගන්නා සුළු සිද්ධියක් විස්තර කෙරේ. (මේ කෘතිය උපාලි රත්නායක විසින් සිංහලට නැගී ඇත).

එක්වරක් හදිසියේම කම්කරු පෙළපාලියකට ඉදිරියෙන් අශ්වාරෝහක හමුදාවක් මුණ ගැසිණ. ප්‍රචණ්ඩ ගැටුමක් සිදුවීමට ඔන්න මෙන්න කියා තිබිණ. නිරායුධ කම්කරුවන් වික්ෂිප්ත විය. අශ්වාරෝහක භට ඛණ්ඩය නිහඬවම ආපසු හැරී යන්නට ගියේය.

1959 ජනවාරියේදී කස්ත්‍රෝගේ ජූලි 26 ව්‍යාපාරය හවානා නගරය දක්වා පැමිණි දිගු පා ගමනේදී ඒකාධිපති බැටිස්ටාගේ හමුදාව හැර ගිය සොල්දාදුවන් රැසක් ඔවුන් සමග එක් විය. ඒ වන විටත් හමුදාවේ බෙදීම් කිහිපයක්ම නිර්මාණය වී තිබිණ.

සියෙරා මියෙස්ට්‍රා කඳුකරයේ කුඩා ගරිල්ලා කණ්ඩායමක් සමග සිටි විප්ලවවාදී නායකයා සැතපුම් 550 ක දුරක් ගෙවා දින ගණනාවක පෙළපාලියකින් හවානා නගරයට පැමිණියේ කියුබාවේ නව නායකයා ලෙසයි.

නිකරගුවාවේද තවත් බොහොමයක් තැන්වලද මෙලෙස සිදු විය. (ශ්‍රී ලංකාවේ දෙවරක්ම සන්නද්ධ අරගල ඔස්සේ රාජ්‍ය බලය දිනා ගන්නට ප්‍රයත්න දැරූ ජනතා විමුක්ති පෙරමුණට මේ ඓතිහාසික පාඩම් මග හැරුණේ කෙසේදැයි සිතා ගත නොහැකිය. රාජ්‍යයේ මර්දන උපකරණ තුළ බෙදීමක් ඇති නොකොට ශ්‍රී ලංකාව වැනි රටක විප්ලවවාදී ව්‍යාපාරයකට බලය ලබා ගත හැකි යැයි ඔවුන් කල්පනා කළාද?)

කෙසේ වුවත්, අද එක්සත් ජනපදය තුළ සිදුවෙමින් පවතින්නේ විප්ලවයකින් රාජ්‍ය බලය දිනා ගැනීම වැනි සංසිද්ධියක් නොවේ. එවැන්නක් ගැන කිසිවෙකුත් කතා කරන්නේ නැත. මෙය වාර්ගික සමානත්මතාව සහ සමාජ යුක්තිය සඳහා වූ ජනතා නැගී සිටීමකි. කාලාන්තරයක් තිස්සේ පීඩිත ජන කොටස් තුළ තෙරපෙමින් තිබූ ආර්ථික සහ සමාජයීය පීඩනයන් දැන් ප්‍රචණ්ඩ ලෙස ප්‍රකාශයට පත් වන්නට පටන් ගෙන තිබේ.

නමුත්, මට කියන්නට අවශ්‍ය කාරණය මෙයයි. කවර විරෝධතා ව්‍යාපාරයකදී වුවත් රාජ්‍යයේ මර්දන උපකරණවල සාමාජිකයින් විරෝධතාකරුවන් හට සහාය දැක්වීම ඉතාම වැදගත් සංඥාවක් බවයි. එය අරගලයේ සුජාතභාවය පිළිබඳ ප්‍රබලම සංඥාවකි.

ජෝජ් ෆ්ලොයිඩ් George Floyd ගේ ඝාතනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයේදී ඇතැම් පොලිස් නිලධාරීන් ඉතාම දරුණු ආකාරයෙන් හැසිරී ඇති බව සැබෑය. නමුත්, දැන් ඊට සපුරාම විරුද්ධ දේද සිදුවෙමින් පවතී.

ජෙනසී ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා තම හෙල්මටය සහ ආයුධ පසෙක ලා විරෝධතා පෙළපාලිය සමග එක් විය.

නිව් ජර්සිහි පොලිස් නිලධාරීන් විරෝධතා පෙළපාලියට සහයෝගීතාව ප්‍රකාශ කරමින් ඔවුන් සමග එක්ව ගමනේ යෙදුනහ. දකුණු ටෙක්සාස්හි පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන් හට පීට්සා බෙදා දුන්හ. සැන්ට කෘස්හි පොලීසිය ඉදිරිපිටදී එහි නිලධාරීන් දණ නමා සාමකාමී විරෝධතාවට සහාය පළ කළහ.

මේ අතර පොලිස් නිලධාරීන් එකිනෙකාව විවේචනය නොකළ යුතුය යන එකඟතාව නොහොත් “නිල් පවුරේ නිහඬතාව” යන්න දැන් ප්‍රසිද්ධියේම බිඳ හෙළනු ලබමින් තිබේ.

බොහෝ දේ සිදු වන්නට පටන්ගෙන තිබේ. සිදුවීම් ඇතැම්විට අප සිතනවාට වඩා බොහෝ වේගවත් විය හැකිය. අනපේක්ෂිත මොහොතක අරගලය ආරම්භ වී ඇත. ඒ අර්බුදයට යමින් සිටින ගෝලීය හෙජමොන්ගේ බල ප්‍රදේශය තුළින්මය.

සුමිත් චාමින්ද

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.