‘මුකුණුවැන්න – කිඹුල්වැන්න’ වෙනස නිවැරදිව හඳුනා නොගත්තොත් ‘අන්ධ වීමේ’ අවදානමක් !

වෙළඳපොලේ ඇති කිඹුල්වැන්න හඳුනාගැනීම ඉතා පහසුය. සාමාන්‍ය මුකුණුවැන්න වලට වඩා ලොකුවට වැඩී ඇති නිසා මෙය නිසැකවම පාරිභෝගික අවධානය වැඩියෙන් දිනාගනී. ලපටි අවස්ථාවේදීම මෙම ශාකයේ මල් හටගෙන තිබේ. මුකුණුවැන්න වල මල් පිපෙන්නේ තරමක් මේරූ විටයි. විශේෂ ලක්‍ෂණයක් වන්නේ මල් වලට කැපී පෙනෙන නටුවක් තිබීමයි. මුකුණුවැන්න මල් වල නටු හඳුනාගැනීමටත් අපහසු තරම්ය.

කිඹුල්වැන්න කතාව අලුත් එකක් නොවේ. මා විසින් මුල්වරට මේ ගැන ලියුවේ 90 දශකයේ මැද භාගයේදීය. කෙටියෙන් නැවතත් හඳුන්වා දෙනවා නම් මෙය ආගන්තුක මෙන්ම ආක්‍රමණශීලී වල් පැලෑටියකි. හැඩරුව බැලුවහොත් හොඳින් සරුවට වැඩුණු මුකුණුවැන්න පැළෑටි ගොන්නක්  සේය. මේ නිසාම මේ දිනවල බොහෝ සුපිරි වෙළඳසැල් වල පවා ඉතා ආකර්ශණීය පලාකොල රාක්කවල ‘මුකුණුවැන්න’ නමින් මේවා අසුරා තිබේ. දුටු පමණින් පාරිභෝගික සිත් පැහර ගන්නා  නිසාම ඔවුන්ද දෙවරක් සිතන්නේ නැත.

Alteranthera philoxeroides යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කිඹුල්වැන්න පැලෑටිය (Alligator Weed) සම්භවය ලබා ඇත්තේ දකුණු ඇමරිකානු භූමියේය. නැව්වල පුරවාගෙන එන ජලය හරහා 1880 දී පමණ මෙය මුලින් පැමිණ ඇත්තේ නවසීලන්තයටයි. 1946 දී ඕස්ට්‍රේලියාවෙන් මෙම ශාකය සොයාගෙන ඇත. චීනයේ ඇති භයානකම ආක්‍රමණික ශාක 12 තුළට ඇතුල්වීමට තරම් පැතිරීමක් කිඹුල්වැන්න විසින් චීනයේදී අත්පත් කරගෙන තිබේ. අද මෙය නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ තහනම් ශාකයකි. තම තෘණභූමි හා ජලාශ මෙයින් ආරක්‍ෂා කරගැනීම උදෙසා වාර්ෂිකව ඔවුන් වැයකරන ධනස්කන්ධය අති මහත්ය.

1990 දී පමණ ඇමරිකා එක්සත් ජනපදයටද මෙම ශාකය පිවිසී ඇති අතර, මේ වනවිට එය මිසිසිපි ගංගාවේ කොටසක්ද වසාගෙන පැතිරී තිබේ. ජලය මතුපිටත්, ජලාශ්‍රිත ගොඩබිම්වලත් මෙය වැවෙන නිසා වඩාත් නිවැරදිව හැඳින්විය හැක්කේ උභයජීවී ශාකයක් ලෙසයි. හොඳින් වැවෙනවිට එහි දඬු මීටර් 10 ක් පමණ දික්වේ.

තවත් අපූර්ව සිද්ධියක් වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින් 60 දශකයේ පමණ සිට මෙය තම ගෙවත්තේ වවාගෙන මුකුණුවැන්න සේ සිතා ආහාරයට ගෙන තිබීමයි. මෙල්බර්න් හි සේවය කල ආක්‍රමණශීලී ශාක විශේෂඥයෙකු වන ආචාර්ය ලලිත් ගුණසේකර මහතා මෙම වරද හඳුනාගෙන 1995 දී පෙන්වාදී ඇති අතර එම වකවානුවේදීම හම්බන්තොට ප්‍රදේශයෙන් මුල්වරට මෙරටදී කිඹුල්වැන්න සොයාගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ලාංකිකයෙක් සරුවට වැවෙන මුකුණුවැන්න ප්‍රභේදයක් යයි සිතා මෙය රැගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. නිරෝධායන අංශය මගහැර ශාක රැගෙනවිත් කරගත් තවත් අකරතැබ්බයකට මෙය හොඳ උදාහරණයකි.

මෙම ශාකය අනුභවය පිළිබඳව තවමත් නිශ්චිත නිගමන වලට එළඹී නැත. එහෙත් ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් පවසන්නේ අන්ධභාවය ඇතිවීම දක්වා ආබාධයන් කිඹුල්වැන්න අනුභවයෙන් ගව ආදී සතුන්ට ඇතිවිය හැකි බවයි. ඕස්ට්‍රේලියානුවන් මෙය අනුභව නොකරන නිසා මිනිසාට වන අවදානම කෙබඳුදැයි සෙවීමට ඔවුන් පර්යේෂණ කරන්නේ නැත. එවැනි තොරතුරු වැදගත් වන්නේ අපටයි.

කෙසේ වෙතත් කිඹුල්වැන්න මගින් පසේ ඇති තඹ, ඊයම්, රසදිය වැනි බැරලෝහ අවශෝසනය කර පස පිරිසිදු කරනා බවට වාර්තා තිබේ. එනම් අපිරිසිදු ද්‍රව්‍ය දැන් ඇත්තේ පැළෑටිය තුළය. එය අනුභව නොකළ යුතුය. බැරලෝහ ශරීර ගතවීම ඉතා අවදානම් තත්වයක් වේ. එහි රෝගී තත්වයන් පිටතට පෙනෙන්නට පටන් ගන්නේ කල්ගත වනවිටයි.

කිඹුල්වැන්න හඳුනාගැනීම ඉතා පහසුය

වෙළඳපොලේ ඇති කිඹුල්වැන්න හඳුනාගැනීම ඉතා පහසුය. සාමාන්‍ය මුකුණුවැන්න වලට වඩා ලොකුවට වැඩී ඇති නිසා මෙය නිසැකවම පාරිභෝගික අවධානය වැඩියෙන් දිනාගනී. ලපටි අවස්ථාවේදීම මෙම ශාකයේ මල් හටගෙන තිබේ. මුකුණුවැන්න වල මල් පිපෙන්නේ තරමක් මේරූ විටයි. විශේෂ ලක්‍ෂණයක් වන්නේ මල් වලට කැපී පෙනෙන නටුවක් තිබීමයි. මුකුණුවැන්න මල් වල නටු හඳුනාගැනීමටත් අපහසු තරම්ය.

මුකුණුවැන්න මල්, කඳ වටා පොකුරු වශයෙන් තිබෙන අතර ඒවාට නටු නැත. අනෙක් කරුණ වන්නේ කිඹුල්වැන්න දණ්ඩ තුළ කුහරයක් තිබීමයි. මුකුණුවැන්න කඳෙහි කුහරයක් නැත. වෙළඳපොළෙහි ඔබ මිලට ගන්නා මුකුණුවැන්න මිටිය ඉතා සාරවත්ව වැඩුණු, දිගට ඇදුනු දඬු සහිත එකක් නම් එය බොහෝවිට කිඹුල්වැන්න විය හැකිය. පරීක්‍ෂාකිරීම පහසුය. පලා මිටියේ කැපුම් දාරය දෙස බලන්න. කංකුන් මිටියක තිබෙන්නා සේ දඬු මැද කුහර ඇත්නම් ඒ මුකුණුවැන්න නොවේ. නටු සහිත සුදු මල් තිබෙන්නේ නම් එයද කිඹුල්වැන්න වල ලක්ෂණයකි.

ඇහැට කනට පෙනුනාට අප තණකොළ කෑ යුතු නොවේ. කල්ක්‍රියාවට අනුව තණකොළ කෑ යුතු අය සමාජයේ සිටියත්, ඔවුන් වුවද විෂ තණකොළ නම් නොකෑ යුතුය. වෙළඳපොලෙන් කිඹුල්වැන්න ඉවත්කිරීම සඳහා හොඳම ක්‍රමය වන්නේ පාරිභෝගික දැනුවත්වීම හරහා කිඹුල්වැන්න මිලදී නොගෙන සිටීමයි. පාරිභෝගිකයා වෙතින් එය ප්‍රතික්‍ෂේප වෙත්ම, වෙළෙන්දා හරහා ගොවියා වෙතට පණිවිඩය සම්ප්‍රේෂණය වන්නේය. විකිනෙන්නේ නැති යමක් ගොවියා වවන්නේ නැත. අනිවාර්යයෙන්ම ඔහු තම කීර කොටුව පරීක්ෂාකර බලනු ඇත.

මිනිස් සිරුරට ඇතිවෙන බලපෑම පෙන්වාදෙන පර්යේෂණාත්මක දත්තයන් කිසිවක් නැති නිසා මෙවැන්නක් අනුභව නොකරන්නැයි බල කරන්නටද අපට හැකියාවක් නැත. දැන දැනම පවා අහිතකර දෑ පරිභෝජනය කරන අය ඕනෑතරම් අප අතර සිටී. එබැවින් මෙතැනදී අප අවධාරණය කරන්නේ මුකුණුවැන්න යයි සිතාගෙන කිඹුල්වැන්න අනුභව නොකරන ලෙස පමණි. වෙළඳුන් මෙය විකුණනවානම් කිඹුල්වැන්න ලෙසම විකුනනවා මිස මුකුණුවැන්න ලෙස අලෙවිකිරීම  සදාචාරාත්මක නැත. කිඹුල්වැන්න වනාහී මෙරට තහනම් ශාකයක් නොවන බැවින්, පාරිභෝගිකයාගේ හා වෙළෙන්දාගේ පුද්ගල නිදහසටද එකඟවීම උදෙසා අප එසේ ප්‍රකාශ කරමු.

සනත් එම්. බණ්ඩාර

සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.