රටක් අහිමි ‘රට විරුවෝ’- මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය ගැන ඇත්ත කතාව

විදෙස් ගත ශ්‍රමිකයන් රට විරුවන් ලෙස හැදින්වනුයේ මන්ද? එයට ආර්ථික විද්‍යා දැනුම පිරි පුද්ගලයෙකුට එක එල්ලේම පිළිතුරු දිය හැකි වුවත් සාමාන්‍ය දැනුම හෙබි පුද්ගලයෙකු හට මෙය උමතූකෝටික ගැටළුවක් ලෙස පෙනී යාමට හැකිය. එම නිසා බොහෝ දෙනා මෙම විදෙස් ගත ශ්‍රමිකයන් ගේ දායකත්වය දෙස බලනුයේ සාමාන්‍ය දැනුම පිරි ඇසිනි. එම නිසා, විදෙස් ගත ශ්‍රමිකයන් රට ගියේ තම සුභ සිද්ධිය තකා පමණක් බවත් ඔවුන්ගෙන් රටට සිදුවූ සෙතක් නොමැති බව බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අදහසයි.

මෙලෙස බොහෝමයක් ඉහත මතය දරන අතර, එය උපයෝගී කර ගෙන අද දූෂිත දේශපාලකයන් මෙම විදේශ ගත ශ්‍රමිකයන්ගේ අසරණභාවය හමුවේ තම දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගනිමින් සිටියි. විදෙස් ගත ශ්‍රමිකයන් විදෙස් ගත වුයේ තම පුද්ගලික ප්‍රතිලාභ සඳහා පමණක් බව තරමක් සත්‍ය වන අතර එහෙත් ඔවුන් ගෙන් රටට සෙතක් නැති බව අමුලික බොරුවකි.   

ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙම ඍණ ආකල්පය වෙනස් කර ගැනීමට නම්, ඔවුන්ට විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ආර්ථිකයට ලබා දෙන දායකත්වය මැනවින් වටහා ගැනීම වැදගත් වේ. මෙම විදෙස් ගත ශ්‍රමිකයන්ගේ සෘජු දායකත්වය ලැබෙනුයේ ඔවුන් ශ්‍රී ලංකාවට එවන විදේශ ප්‍රේෂණ මගිනි. ශ්‍රී ලංකා මහා බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවන්ට අනුව 2018 වර්ෂයේ ඇමරිකානු ඩොලර් බිලියන 7ක් සහ 2019 වර්ෂයේ ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක් විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට ඒවා ඇත.

2019 වර්ෂයේ එම ප්‍රේෂණ මගින් වෙළද ශේෂයේ හිඟය 84% කින් පිරිමසා ගැනීමට හැකිවී ඇත. මෙම වෙළද ශේෂයේ හිඟයට හේතුව රටේ ආනයන වියදම අපනයන ආදායම අභිබවා යාම වෙන අතර, මුළු මහත් ශ්‍රී ලාංකිකයන් පරිභෝජනය කරන ආහාර, යානා වාහන, බොර තෙල්, අමුද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩ මෙම ආනයන වියදම් තුලට ඇතුලත් වේ. පසුගිය වර්ෂයේ මෙරට ඇඟලුම් අපනයෙන් ලැබුණ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5කි. සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න අතර තේ අපනයනයෙන් උපයන විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන1.4 කි. මෙයට අනුව මෙරට වාර්ෂික විනිමය ඉපැයීම් වලින් පළමු තැන කිසිදු විවාදයකින් තොරව රට විරුවන්ගෙනි. කෙටියෙන් සඳහන් කලහොත් අද ශ්‍රී ලාංකිකයන්ගේ යහපත් පාරිභෝගික ජීවන තත්වයක් ලබා ගැනීමට සහය ලබාදී තිබෙන්නේ රට විරුවන්ගේ විදේශ ප්‍රේෂණය, නැතිනම් ආණ්ඩුවට ඒ සඳහාද ණය ලබා ගැනීමට සිදුවේ 

වර්ෂ 2006- 2019 දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, 2009 වර්ෂයේදී 100% ක්ම වෙළද ශේෂය ආවරණය කර ගැනීමට මෙම විදේශ ප්‍රේෂණ මගින් හැකි වී අතර ඉන් පසු එය සාමාන්‍යයෙන් 70%- 80% අතර පවත්වා ගෙන ඇත. පහත ප්‍රස්ථාර මගින් මෙම තොරතුරු නිදර්ශනය කර ඇත

මුලාශ්රය : මුදල්අමාත්යංශ 2019 වාර්ෂිකවාර්තාව

එමෙන්ම, ලෝක බැංකු වාර්තාවන්ට අනුව මෙරට සෑම නිවාස 11න් එක් නිවසක් මෙම විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ වලින් යැපෙති. විදේශ ගත සේවකයෙක් සාමාන්‍යයෙන් මසකට වරක් ප්‍රේෂණය කරන අතර ප්‍රේෂණය කරන සාමාන්‍ය මුදල මසකට රු 40,000 ක් බව දළ වශයෙන් තක්සේරු කරයි. එය දළ වශයෙන් වාර්ෂික ඒක පුද්ගල ආදායමේ ප්‍රමාණයන් 70% දක්වා ආවරණය කිරීමට සමත් වේ.

මෙම සෘජු දායකත්වයට අමතරව විදේශ ප්‍රේෂණ මගින් දුප්පත් ග්‍රාමීය ප්‍රදේශවල බැංකු රහිත කුටුම්භයන්ගේ ණය සීමාවන් ලිහිල් කිරීම, වත්කම් සමුච්චය කිරීම සහ ව්‍යාපාරික ආයෝජන සඳහා පහසුකම් සැලසීම, මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සහ දරිද්‍රතාවය අඩු කිරීම වැනි සාධක මතින් ක්ෂුද්‍ර ආර්ථිකයට යහපත් දායකත්වයක් ලබා දෙන අතර මෙමගින් රජයට විදේශ වත්කම් ප්‍රමාණය වැඩි කර ගනිමින් රටේ ආර්ථිකය හොඳ මට්ටමකින් පවත්වා ගෙන යාමට හැකි වේ.

මෙම විදේශ විනිමය පිළිබඳව තව දුරටත් විශ්ලේෂණ කිරීමේදී පෙනී යන්නේ, 50% කට වඩා විදේශ විනිමය ප්‍රේෂණය කරනු ලබන්නේ මැද පෙරදිග රටවලින් වීමයි. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ තොරතුරු වලට අනුව මුළු ශ්‍රමිකයන්ගෙන් 80% කට වඩා ශ්‍රමිකයන් රැකියාවේ නියුක්ත වනුයේ සෞදි අරාබි රාජ්‍යයේ, කටාර් රාජ්‍යයේ, එකසත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේට් රාජ්‍යයේ වේ. පහත ප්‍රස්ථාරය මගින් මෙම තොරතුරු නිදර්ශනය කර ඇත.

මුලාශ්රය : මුදල්අමාත්යංශ 2019 වාර්ෂිකවාර්තාව.

රජයේදෙබිඩිපිළිවෙත

අද ශ්‍රී ලංකා රජයට විදේශගත ශ්‍රමිකයන් කොරෝනා රෝගීන් ලෙස තම මව් රටට පැමිණීම හිසරදයක් වී ඇත. සීෂෙල්ස් වලින් රෝගීන් බෙහෙත් ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීම health tourism බව රජයේ අමාත්‍යවරුන් මාධ්‍ය වලට පුරසාරම් දොඩද්දී, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමිය පවසන්නේ ශ්‍රී ලාංකිකයන් රෝගීන් වී පැමිණීම ඉතා බරපතල ගැටළුවක් බවයි. මෙයින් ගම්‍ය වනුයේ රජයට ඇති නොහැකියාව හා බෙලහීනභාවයයි.

රජය මේ මොහොතේ විදේශ ගත ශ්‍රමිකයන් ගේනවා ගැනීම් හිතා මතාම කල් මරමින් සිටියි. එයට හේතු කීපයක් ම ඇත. එනම් රජයට මේ අවස්ථාවේ කොරෝනා ආසාදිතයන් ගණන අඩු මට්ටමකින් පවත්වා ගෙන මහා මැතිවරණයකට යමින් තමන් සාර්ථක ලෙස මෙම වසංගතය මැඩ පැවැත්වූ බව හුවා දැක්වීමටය. රජය මේ මොහොතේ තම රටේ ප්‍රමාණවත් නිරෝධායන මද්‍යස්ථාන නොමැති බවත්, විදේශ ගත ශ්‍රමිකයන් මෙරටට ගේනවා ගෙන වැඩි වන ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීමට තම සෞඛ්‍යය අංශ ශක්තිමත් නැති බව පැවසුවත්, දිනෙන් දින තම රජය Covid -19 වසංගතය සාර්ථකව මැඩ පැවැත්වූ බව පවසමින් පුරසාරම් දොඩති.

එමෙන්ම විදේශ ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම මඟ හරිමින් ඔවුන්ගේ විදේශ විනිමය ශ්‍රී ලංකාවට එවන මෙන්ද නිවේදන නිකුත් කරයි. ඒ සඳහා ජනාධිපති මාධ්‍ය අංශය 2020 අප්‍රේල් මස 11 වෙනි දින නිවේදන අංක 48 නිකුත් කරමින් ප්‍රකාශ කරනුයේ විදේශ මුදල් තැන්පත් කිරීමට නව ආකර්ශනීය බැංකු ගිණුමක් හඳුන්වාදෙන බවයි.

විදේශ අමාත්‍යංශය පවසන අන්දමට, ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 26 පමණ විදෙස් ගතව සිටින බවත් ඉන් විදේශ ශ්‍රමිකයන් ලක්ෂ 16 පමණ වේ. ඔවුන් අතුරෙන් දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට බල පොරොත්තුවෙන් සිටින්නේ 41,000 පමණ පිරිසක්ය, එය ප්‍රතිශතයක් ලෙස ගත විට 1.5% කි. එයද විදේශ අමාත්‍යංශයට මාස 3ක් ගත වීමෙන් පසුව අදියර කීපයක් යටතේ කළමනාකරණය කර ගැනීමට අපොහසත් වී තිබේ. එනමුදු අගෝස්තු 1 වැනි දින සිට විදේශ සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා විදේශ සහ සංචාරක අමාත්‍යංශය දැන්ම සිටම පිඹුරුපත් සකස් කරමින් තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් ලියාපංදිචි වූ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය මාර්තු මස අග වන විට 17,000 වූ අතර එය මස 3 ක කාලයක් තුල 41,000 දක්වා වර්ධනය වී ඇත. එයට ප්‍රධානම හේතු වී ඇත්තේ ඔවුන් ගේ රැකියා අහිමවීම් සහ ඔවුන් ජීවත් වන විදේශ රටවල Covid -19 වෛරස ව්‍යාප්තිය දරුණුවීම්ය.

මෙම පිරිසට ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් මාර්තු අග ප්‍රකාශ කර සිටියේ, ඔවුන් සිටින රටවල ශ්‍රී ලංකාවේ Covid- 19 ව්‍යප්තිය මර්ධනය වන තෙක් රැදී සිටින ලෙසය. එම උපදෙස් නිසි අයුරින් පිළිපදිමින් මෙම විදෙස් ගත ශ්‍රමිකයන් අනේකවූ දුෂ්කරතා වලට මුහුණ දෙමින් බලාපොරොත්තු දල්වාගෙන සිටියද, රජය ඔවුන් දෙස අවධානය යොමු කරේ නැත. ඒ වෙනුවට අවතැන් වූ සිසුන්ට මුලිකත්වය දීය යුතුයි පවසා ප්‍රභූ පැලැන්තියේ සහ රජයේ සේවයේ නියතු විවිධ පාර්ශව වල සිසුන් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමට උත්සුක වුහ. මෙය දෙස අසරණ වූ විදෙස් ගත ශ්‍රමිකයන් උපේක්ෂාවෙන් බලා සිටියද ඔවුන් නිතරම මැසිවිලි නැගුවේ ඔවුන්ගේ රැකියාව අහිමිවී ඇති හෙයින් ඔවුන් ගැනද සළකා බලන ලෙසය.

එහෙත් ශ්‍රී ලංකා රජය දැන් පවසන්නේ මෙම අසරණවූ විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලංකාවට රැගෙන එමෙන් Covid-19 ආසාදිතයන් වැඩි වන බවත් එම නිසා එය සීමා කල යුතු බවයි. නමුත් රජය මේ අතර විදේශ සංචාරකයන් සදහා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, අගෝස්තු 1 වැනි දින සිට විදේශ සංචාරකයන් පැමිණෙන විට නිරෝධානය කිරීම අවශ්‍ය නොවන බවත්, PCR පරීක්ෂණ මගින් Covid-19 වෛරස ව්‍යාප්තිය තුරන්කළ හැකි බවත් සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් තුමා 2020 ජුනි 2 වන දින ප්‍රසිද්ධ පුවත්පතකට‍ පවසා ඇත. රජයේ මෙම දෙබඩි ප්‍රතිපත්තියේ හමුවේ අසරණ වූ විදේශ ශ්‍රමිකයන් තම රැකියාවද අහිමි වී කිසිම දෙයක් කර කියා ගත නොහැකිව, තමන් ලංකාවට ගෙන්වා ගන්නා දිනයක් පැමිණෙන තෙක් ඇගිළි ගනිමින් බලා සිටී.

මැදපෙරදිගශ්රමිකයන්ගේඅදෝනාව

නිල නොවන දත්ත අනුව මැද පෙරදිග සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය ලක්ෂ 15ක් පමණ වන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශ වාර්තා වලට අනුව විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් දළ වශයෙන් 90% ක් පමණ මැද පෙරදිග සේවයේ නියුතු ශ්‍රමිකයන් වේ. විදේශ අමාත්‍යංශ ලේකම් තුමා 2020 මැයි මස 17 වෙනි දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුනේ, එදින වන විට ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ලියාපදිංචි වූ මුළු ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 38,000ක් වන අතර ඉන් 28,000ක් පමණ විදෙස්ගත ශ්‍රමිකයන් බවය.

මෙම මැද පෙරදිග විදේශ ගත ශ්‍රමිකයන් ඉහත සඳහන් පරිදි, අප රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන්නද, Covid -19 වසංගතය හමුවේ දහස් ගණනින් රැකියා අහිමිවීමෙන් අද තම පවුල් සමඟ අසරණභාවයට පත් වී ඇත. ඔවුන් රජයෙන් කළ එකම ඉල්ලීම තම මව් රටට පැමිණීමට අවස්ථාව ලබා දෙන මෙන්ය. එහෙත් ගුවන් තොටුපළ වසා අදට මාස තුනකට අසන්න වුවද, පවතින රජය මැද පෙරදිග කලාපයට සපයා ඇත්තේ විශේෂ ගුවන් ගමන් වාර දෙකක් පමණි. ඒ ඩුබායි වලට සහ කටාර් රාජ්‍යයට පමණි.

කුවේට් රජයෙන් තම ගුවන් යානා දෙකක් මගින් එහි රැදවුම් කඳවුරු වල මාස දෙකක පමණ කාලයක් රැඳී සිටි නීති විරෝධී ශ්‍රමිකයන් ලංකාවට යැවූ අතර ඔවුන් ගෙන් 300කට වැඩි පිරිසකට Covid-19 අසාදිත වීම හේතු කර ගෙන එය මිනුම් දණ්ඩක් ලෙස නිර්ණය කරමින් අද මැද පෙරදිග ශ්‍රමිකයන් ගෙන්වීම තාවකාලිකව නැවත්වීමට රජය තීරණය කර ඇත.

මෙම ගත වූ මාස තුන ඇතුලත ක්‍රමානුකුලව මැද පෙරදිග රැකියා අහිමී වූ ශ්‍රමිකයන් අදියර කීපයක් යටතේ ලංකාවට ගෙන්වුයේ නම් ඔවුන්ට Covid -19 අසාදනය වීමේ සම්භාවිතාව අඩු වීමට තිබිණි. අද මේ වන විටත් කුවේට් සිටි ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රමිකයන් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර දැනට මැද පෙරදිග සේවය කරමින් සිටියදී මියගිය ශ්‍රීලාංකිකයන් ප්‍රමාණය දළ වශයෙන් 50ක් බව නිල නොවන දත්ත අනුව වාර්තා වේ. මේ අතරතුර අසරණ වී ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදේශ ගත ශ්‍රමිකයන් හට, ඔවුන් තම රටට පැමිණීම පිළිබඳව තව දුරටත් නැවත සලකා බලන ලෙස විදේශ අමාත්‍යංශ ලේකම්තුමා 2020 මැයි මස 17 වෙනි දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

අද මෙම විදෙස් ගත ශ්‍රීලාංකික ශ්‍රමිකයන් හට, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, මුලික අයිතිවාසිකම් වගන්ති අංක 14 සදහන් පරිදි, ඕනෑම ශ්‍රී ලංකික පුරවැසියෙකුට ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීම නිදහස සීමා කර ඇත. ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් පැහැර හරිමින් ඔවුන්ව කොරෝනා බෝම්බ ලෙස හංවඩු ගසා ඇත.

කෙටියෙන්ම කියනවනම් අද රට විරුවන්ට රටක් අහිමි කර ඇත. තම රටට එවන විදේශ ප්‍රේෂණ මගින් සුපොඛභෝගී ජීවිත ගත කරන රජයේ අමාත්‍යවරුන්, දවස් ගණන් මළ මිණි රට වටේ ගෙනයමින්, අවමගුල් උත්සව ඉහලින් පවත්වමින් සහ සෞඛ්‍යය නිර්ණායක කඩ කරමින් මුළු රටම අවදානමකට හෙලුවත්, විදේශ ගත ශ්‍රමිකයන් මේ රටට පැමිණීම පමණක්ම අවදානම් බව තම ජනතාවට පවසමින් තම දේශපාලන අභිප්‍රායයන් මුලිකත්වයට ගෙන කටයුතු කරයි.    

Covid -19 වසංගතය හමුවේ බොහෝ රටවල් තම ගුවන් මාර්ග හා නාවික මාර්ග වසා දැමු නමුත් තම පුරවැසියන්ට තම රටට ඒමට ඉඩ ලබා දුන්නේය. අප අසල්වැසි ඉන්දියාව ඇතුළු බොහෝ ආසියාතික රටවල් අප මෙන් මුළු රටම වසා දමා තිබු අතර දැන් ඔවුන් ඔවුන්ගේ විදේශ ගත ශ්‍රමිකයන් දහස් ගණනින් තම රටට රැගෙන එති. එහෙත් අවාසනාවට, අප විදෙස්ගත ශ්‍රමිකයන්ට තම මුලික අයිතිවාසිකම් සපුරා ගැනීමට අප පාලකයන් ඉඳිරියේ හඬා වැටෙමින් ඉල්ලා සිටීමට සිදුවී ඇත.

රජය තම අභිප්‍රායන් පෞද්ගලික රුපවාහිනී නාලිකා සමග එකතු වී වැරදි පුවත් මවා පාමින් රටේ ජනතාව තුල කූට ලෙස මෙම විදෙස් ගත ශ්‍රමිකයන් ගැන වෛරයක් ඇති කරමින් සිටියි. අදටත් නාවික හමුදා නියැදියෙන් Covid-19 ආසාදිතයන් හමුවන අතර එය මග හරිමින් විදේශ ගත ශ්‍රමිකයන් නිසා පමණක්ම මෙම Covid -19 ආසාදිතයන් වැඩි වන බව අමු අමුවේ ප්‍රකාශ කරති. මෙයට හොඳම උදාහරණය නම් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමිය, කටාර් සිට පැමිණි 270ක් අය අතරින් 150ක් ම රෝගීන් බව පෞද්ගලික නාලිකාවක 2020 මැයි 31 වෙනි දින ප්‍රකාශ කරන අතර එම නාලිකාවේම පසුව කටාර් සිට පැමිණි අය අතුරින් අසාදිත ගණන 26 බව ඉහත පුවත නිවැරදි කිරීමකින් තොරව නිවේදනය කිරීමය.

මීට අමතරව, රජය තම විදේශ දුත මණ්ඩල හරහා තම විදේශ ගත ශ්‍රමිකයන් හට සහන සලසන බව පුන පුනා පැවසුවද එය පුස්සක් බවට පත්වී ඇත. මැද පෙරදිග සේවය කරන බොහෝ සේවකයන් පවසන්නේ මෙම දුත මණ්ඩල නිලධාරීන් තම ගැටලුවලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වන බවත් මීට පෙර ලංකාවට යවන ලඳ විශේෂ ගුවන් යානා සඳහාද එම නිලධාරීන්ගේ මිතුරන් සහ නෑදෑයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කර ඇති බවය.

එමන්ම තවද, සමහර මැද පෙරදිග රටවල තානාපති කාර්යාල සඳහා හරි හමන් ලෙස තානාපතිවරුන් වත් පත් කර නොමැති බැවින් එම රටවල සේවය කරන විදේශ ගත ශ්‍රමිකයන් මහත් දුෂ්කරතා වලට මුහුණ පාමින් සිටියි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම මැද පෙරදිග ශ්‍රමිකයන් ලියාපදිංචි කිරීම සඳහා දහස් ගණන් මුදල් අය කරමින් ඔවුන්ව රක්ෂණය වන බව සඳහන් කරද, මේ අවස්ථාවේ ඔවුන්ට කිසි දෙයක් කිරීමට නොහැකි බව පවසමින් තුෂ්නිම්භූතව බලා සිටියි. විදෙස් ගත ශ්‍රමිකයන්ගේ ගැටළු වලදී පැන යන මෙම රාජ්‍ය ආයතන වල කාර්යය භාරය පිළිබඳව ඇතිවන්නේ ප්‍රශ්නාර්ථයක් සමඟ කලකිරීමකි 

අවසානයට කීමට ඇත්තේ අද රජයට මෙම විදේශගත ශ්‍රමිකයන් ගැන වග තුගක් නැත, මන්ද රුපියල් කොටි ගණනක් වියදම් කර මහා මැතිවරණය ළඟ ළඟම පැවැත්විය යුතු බැවිනි. 2019 වර්ෂයේ නොවැම්බර් මස තම මුදලින් ගුවන් ටිකට් පත් ගෙන ශ්‍රී ලංකාවට පැමිණ ඡන්දය දැමු විදෙස්ගත ශ්‍රමිකයන් ගැන අද අතිගරු ජනාධිපතිතුමා බලන්නේද නැත, කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ලය.

එහෙත් මෙම අමන පාලකයන්ට මෙම රට විරුන්වන්ගේ අදෝනාවේ සාපය වැඩි කාලයකට යාමට මත්තෙන් වැදෙනු ඇත. මෙම රට විරුවන් පමණක් නොව ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් මෙම පාලකයන්ට සාප කරනු ඇත, මන්ද අසරණ වූ මේ හැම දෙනාටම මීට වඩා වෙන කල දෙයක් නොහැකි බැවිනි. අද රට විරුවන් හට ඡන්ද බලය තිබුනානම් රජයේ මෙම ක්‍රියා පිළිවෙත සම්පුර්ණයෙන්ම වෙනස් අතකට ගමන් කරන්න ඉඩ තිබුණි.

එය කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් තේරුම් ගත යුතු සත්‍යනම් ඔබ කුමන දේශපාලන පක්ෂයකට ආවැඩුවත්, පාලකයන් ආත්මාර්ථකාමී බවත්, කුමන මොහෙතේ වුවුද ඔබට මෙවැනි ඉරණමකට ගොදුරු විය හැකි බවය. මෙය විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 26 අමතක නොකළ යුතු වන අතර ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් එකතු වූ විට ලැබෙන ප්‍රථිපලය කෙසේ වෙම්දෝ යන්න මේ අමන පාලකයන් දැන සිටි. එම නිසා අදත් ඔවුන් අප ගේ ඇස් බැඳ තබන්නේ පක්ෂ පාට රෙදි කඩකිනි. එය ගලවා විවෘත මනසකින් ලෝකය දෙස් බැලීම කල හැක්කේ ඔබටම පමණයි. … ඔබටම පමණයි.

මුලාශ්:

  1. මුදල් අමාත්‍යංශ 2019 වාර්ෂික වාර්තාව, වගුව 31- විදේශ රැකියා සඳහා ප්‍රේෂණ සහ පිටත්වීම්, වගුව 5- ඉතිරිකිරීම්, ආයෝජන සහ තෝරාගත් බාහිර අංශ දර්ශක අයිතම ඒකකය.
  2. මහා බැංකු වාර්තාව, විදේශීය අංශයේ ප්‍රවණතා සහ ප්‍රතිපත්ති, ගෙවුම් තුලනය, 89 වැනි සංඛ්යා සටහන.
  3. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බාගත විශේෂ වාර්තා සහ නිවේදන අංක 131/2010, 2020 අප්‍රේල් මස 15 වැනි දින නිවේදනය.
  4. ජනාධිපති මාධ්‍ය අංශ නිවේදන. නිවේදන අංක 127, නිවේදන අංක 48, 2020 මාර්තු 27 වැනි දින නිවේදනය.
  5. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන, 2020 මැයි 24 වැනි දින නිවේදනය.
  6. විදේශ අමාත්‍යංශ ලේකම් නිවේදනය, 2020 මැයි මස 17 වැනි දින නිවේදනය, 2020 මාර්තු 28 වැනි දින

නිවේදනය.

  • ලෝක බැංකු වාර්තා සටහන.
  • අද දෙරණ උණුසුම් සිංහල ප්‍රවෘත්ති, 2020 මැයි 31 වැනි දින 2020.
  • අරුණ පුවත්පත්, ඉරු දින විශේෂ පුවත්, 2020 ජුනි මස 02 වැනි දින.
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.