රුපියල් මිලියන 890ක් මුහුදුට දන් දුන් වෙරළ සංරක්ෂණයේ ‘ගොබ්බ කතාව’ සහ තවත් කතා

රට දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියදී ගල්කිස්ස, කැලිඩෝ සහ අගුළාන වෙරළ තීරවල වැලි පිරවීම සදහා වැය කළ රුපියල් මිලියන 890ක මුදල මුහුදට සේදී යාම පිළිබදව සමාජය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. ජනතාවගේ බදු මුදල් මේ ආකාරයෙන් වනසා දමන නිලධාරීන් එතැනින් ද නොනැවතී සිදු කරන ‘අමන කතා‘ දෙස ජනතාව දැඩි පිළිකුලකින් බලනවා.

මේ ගල්කිස්ස වෙරළ ගොඩ කිරීම ඇතුළු වෙරළ ආර්ථිකය සංවර්ධනය නොකිරීම ගැන ගැන දීර්ඝ කතා මාලාවක පළමු දිගහැරුමයි.

‘ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ‘නාභිය‘ වන්නේ සුන්දර වෙරළතීරය බවට කිසිදු සැකයක් නැහැ. මොකද බටහිර රටවල ධනවත් සංචාරකයින් ලංකාවට එන්නේ හිරු එළිය විදින්න මිස අපි පුනපුනා කියන අපේ ප්‍රෞඩ ඉතිහාසය බලන්න නෙමෙයි. මොකද ඇත්තම කිව්වොත් ලෝකයේ රටවල් අති බහුතරයක නටඹුන් නගර තිබෙනවා. ඒවා ලංකාවේ අනුරාධපුරය – පොළොන්නරුවට වඩා විශාලයි. පුළුල්. ඒත් යුරෝපයට සීත ඍතුව ලබන විට හිරුරැස් කියන්නේ මිලක් නියමක කළ නොහැකි දෙයක්. ඒ නිසා ඒ රටවල ධනවත් සංචාරකයෝ ලංකාව, මාලදිවයින වාගේ රටවලට එනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය සජීවීව පවත්වා ගන්න නම් වෙරළ තීරය කියන්නේ අනිවාර්ය සාධයකයක්. අපිරිසිදු, අප්‍රසන්න, අවලස්සන වෙරළ තීරයකින් රටට පළක් නැහැ‘

දකුණු හා අග්නිදිග ආසියානු සංවර්ධන සන්නිවේදන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා කියනවා.

හේවාවිතාරණ මහතා කියන්නේ පිරිසිදු සහ සුන්දර වෙරළ තීරයක් ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයේ ධන නිධානයක් වන බවයි.

‘මේක ජාත්‍යන්තර සංචාරකයින්ට පමණක් නොවෙයි. දේශීය සංචාරකයින්ටත් අතිෂයින් වැදගත්. වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව වගේම රට අභ්‍යන්තරයේ ජීවත් වන ජනතාවත් මුහුදු වෙරලේ සුන්දරත්වය විදින්න කැමතියි. අපි දන්නවා ගොප්ෆේස් එකට කොච්චර දේශීය සංචාරකයෝ එනවාද ? ගාල්ල, ත්‍රිකුණාමල වෙරළ තීරවලට කොපමණ දේශීය සංචාරකයෝ එනවාද ? සැලසුම් සහගත රටක් නම්, නිර්මාණශීලී මිනිස්සු ඉන්නවා නම් වෙරළ තීරය තුළ ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න මේ දේශීය සංචාරකයින්ම ප්‍රමාණවත්. ඒත් අපි ඒක වඩේ කාරයාටයි අන්නාසිකාරයාටයි බාර දීලා අත්පිහදා ගන්නවා‘

දිගු විවේචනයක් සමග ආචාර්ය ඉන්ද්‍රජිත් කියනවා.

අපි ඔහුව හමු වුණේ ගල්කිස්ස වෙරළ තීරය ගොඩකිරීම සමග ඇතිවෙලා තිබෙන ‘හාස්‍යජනක‘ කතාවට අවශ්‍ය සමාජ – ආර්ථික විශ්ලේෂණයක් ලබා ගන්නා අරමුණින්.

‘ලංකාවේ වෙරළ තීරයන් ගත්විට ගල්කිස්සට ප්‍රම්‍රඛ තැනක් හා වටිනාකමක් හිමි වෙනවා. ඒක ඓතිහාසිකවත් එහෙමම තමයි. යටත් විජිත යුගය ගත් විටත් ලංකාවේ ජනප්‍රියම වෙරළ තීරය බවට පත් වුණේ ගල්කිස්ස වෙරළ තීරය. ගල්කිස්ස මහ හෝටලය කියන්නේ ලෝක පූජිත තැනක්. ඇන්ටන් චෙකොෆ් කියන ප්‍රකට රුසියානු ලේඛකයා එහි නවාගත් බවටත් ප්‍රකට කරුණක්. ඒ වගේම ලංකාවේ දේශීය ධනපති පන්තිය ගැවසුණ, ජීවත් වුණ ප්‍රමුඛ පළාතක් තමයි ගල්කිස්ස කියන්නේ. අද පවා එහි වෙනසක් නැහැ‘

මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් පෙන්වා දෙන්නේ ලංකාව වෙරළ තීරයෙන් හා සාගර සම්පත්වලින් කිසිදු පළක් නොගත් රටක් බවයි.

‘ලංකාව කියන්නේ දූපතක්. අපිට මේ වන විට වර්ග කිලෝ මීටර් මිලියන ගණනක මුහුදු කලාපයක් තිබෙනවා. අසීමිතව භාවිත කළ හැකි සාගරයක් තිබෙනවා. අපිට පහළින් ඇන්ටාටිකාව දක්වා කිසිම රටක් නැහැ. අනෙක් පැත්තෙන් අප්‍රිකාව දක්වා – ඉන්දුනීසියාව දක්වා. ඒත් අපි තාම මේ දැවැන්ත සාගරයෙන් ගන්නේ මුහුදු මාළු ටිකක් අල්ල ගන්න එක විතරයි. මං කියන්නේ ලංකාව ඊනියා කෘෂිකාර්මික රටක් කියනවාට වඩා ධීවර කර්මාන්තය ප්‍රමුඛ කරගත්, සාගර ආර්ථිකය මත රැදෙන රටක් බවට පරිවර්තනය කළ යුතුයි. මොකද අපිට භූමිය තියෙන්නේ වර්ග කිලෝ මීටර් 65,610ක් පමණයි. ඒත් මහා සාගරය වර්ග කිලෝ මීටර් මිලියනයක්. ගොඩබිම වගේ 15 ගුණයක්. ඒ වගේම දැවැන්ත වෙරළ තීරයක් අපිට තියෙනවා. ලංකාවේ ජනාධිකම පළාත් ඒ මුහුදු තීරය වටා නිර්මාණය වෙලා තිබෙනවා. ඒත් අපි ඒ මහා ධන නිධානය ගැන කිසිම තැකීමක් නැතිව මොකක්ද අන්ධ භක්තියකින් ලංකාව කෘෂිකාර්මික රටක් කියලා කියනවා. මට මේක වටහා ගන්න පුළුවන්. ඒත් අපේ පාලකයින්ට සහ ජනතාවට බැහැ‘

ආචාර්ය ඉන්ද්‍රජිත් කියනවා.

ඔහු සදහන් කරන ආකාරයට මේ විකෘතියට මුල කුල සාධකයයි. ලංකාවේ දේශපාලන බලය ගොවිගම කුලය අත පවතින විට ඔවුන් ඔවුන්ගේ ප්‍රමුඛ / එකම ආර්ථික කටයුත්ත වන කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දීම ගැන පුදුමයක් නැති බවයි ආචාර්ය ඉන්ද්‍රජිත් කියන්නේ.

‘මුහුදු සමග කිසිම ගනුදෙනුවක් නොකළ සිංහල රජ කාලේ ගොවිතැන ප්‍රමුඛ ආර්ථික කටයුත්ත වීම ගැටලුවක් නැහැ. මුහුදු සම්පත් ගැන ඒ කාලේ අවබෝධයක් සහ වටිනාකමක් නැහැ. මාලු විතරයි මුහුදෙන් ලැබුණේ. ඒත් කාර්මික විප්ලවයෙන් පස්සේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා. මුහුද අශ්‍රිත ජාතීන් තමයි යටත් විජිත බිහි කරමින් අධිරාජ්‍ය නිර්මාණය කළේ. පෘතුගාලය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ එංගලන්තය ඒ සදහා උදාහරණ. පුරාණ කාලේ වුණත් ග්‍රීසිය අධිරාජ්‍යවාදීන් වුණේ මුහුදු බලය නිසා. ඒත් පුරාණ කාලයේ සිට ලංකාව සාගරය වෙනුවට වැවට මුල් තැන දුන්න නිසා කුඩා නැව් කිහිපයකින් ආපු ආක්‍රමණිකයින්ට පහසු ගොදුරක් වුණා. ඒ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට 1505දී පෘතුග්‍රීසි ආගමනය දක්වා සිදු වුණා. කිසිම පාලකයෙක් රට වටා පිහිටි මුහුද ගැන අල්පමාත්‍ර සැලකිල්ලක් දැක්කුවේ නැහැ. නෞකා ඉදි කිරීම වාගේ කිසිම දෙයක් ප්‍රගුණ කළේ නැහැ. ඒ වෙනුවට වැව් හැදුවා. සාගර විද්‍යාව දියුණු කරගෙන මුහුදින් ආපු ආක්‍රමණිකයෝ වැව් හැදුව ජාතිය යටත්කර ගත්තා‘ ආචාර්ය ඉන්ද්‍රජිත් කියනවා.

ඔහු කියන්නේ දළ ජාතික නිෂ්පාදනය ගණනය කරන විට එහි ව්‍යුහාත්මක අගය ගොනු කරන, කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා අංශය යන කොටස් ත්‍රිත්වය පවා විකෘතියක් බවයි.

‘දළ ජාතික නිෂ්පාදිතය ගණනය කරන කොට කෘෂිකර්ම කියන අංශයට ධීවර (සාගර හා වෙරළ ආර්ථිකය) ඇතුළත් කරලා තිබෙනවා. ඒත් ධීවර කර්මාන්තය කියන්නේ එයටම අනන්‍ය වූ ආර්ථික කටයුත්තක්. ලංකාවට ඒක මාළු ඇල්ලීම වුණාට ජාත්‍යන්තරව ඊට වඩා අතිෂය පුළුල් කර්මාන්තයක්. ඒ තුළ නෞකා – බොට්ටු තැනීම සිට පුළුල් ආර්ථික අංශයක් තිබෙනවා. ඒක සම්පූර්ණයෙන් නොකතා හැරයා සියයට 03කටත් වඩා අඩු සැබෑ ආර්ථික දායකත්වයක් දෙන කෘෂිකර්මාන්තය (වැවිලි බෝග ද මේ විකෘතිය තුළ පීඩාවට පත්ව සිටිනවා) රටේ දැවැන්ත රාජ්‍ය ආයෝජනයක් හා සහනාධාරය (පොහොර ඇතුළු) ලබන ආර්ථික කටයුත්ත බවට ප්‍රසාරණය වී තිබෙනවා‘

මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් පෙන්වා දෙන්නේ කෘෂිකර්මාන්තය ප්‍රමුඛත්ය ලැබීම ගොවිගම කුල සාධකය මත පදනම් වූ විකෘතියක් බවයි. එය අදවත් නිවැරදි විය යුතු බව ඔහු පෙන්වා දෙනවා. (මේ ගැන ආචාර්ය ඉන්ද්‍රජිත් සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පසුව පළ වෙනවා)

ගල්කිස්ස ගැන කතාව යළි

ගල්කිස්ස වෙරළ තීරය අපහරණය කිරීම ගැන ආරම්භ කළ සාකච්ඡාව වෙනතකට ගිය නිසා යළි අපි ඒ වෙත පැමිණෙනවා.

‘ගල්කිස්ස වෙරළ තීරය කියන්නේ මේ රටේ සුන්දරතම වෙරළ තීරයන්ගෙන් එකක් වුණත් මේ වනවිට ගල්කිස්ස වෙරළ කියන්නේ සල්ලි ගිලලා කුණු වමාරපු තැනක්‘ ආචාර්ය ඉන්ද්‍රජිත් කියනවා.

ඔහු පෙන්වා දෙන්නේ කොළඹ වරාය නගරය බිහි කිරීම සමග අනිවාර්ය අභියෝගයක් වන සෙසු කලාපවල වෙරළඛාදනය ගල්කිස්සට අරුමයක් නොවිය හැකි බවයි.

‘අද ආන්ලෝදනයට ලක්ව ඇති ගල්කිස්ස වෙරළ තීරයට වැලි පිරවීමේ ව්‍යාපෘතිය හැදින්වෙන්නේ ‘දකුණු කොළඹ වැලි පෝෂණ කිරීමේ ව්‍යාපෘතිය‘ කියලයි. එය කොටස් තුනකින් සමන්විත ව්‍යාපෘතියක්. ඒ යටතේ බටහිර වෙරළ තීරයේ ප්‍රමුඛ ස්ථාන වන කැලිඩෝ, අඟුලාන හා ගල්කිස්ස වෙරළ තීරයන් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. වාර්තා වන ආකාරයට මේ ව්‍යාපෘතියේ සමස්ත කොන්ත්‍රාත් වියදම රුපියල් මිලියන 890ක් වන මෙම ව්‍යාපෘතිය ලබාදී තිබුණේ ඩෙන්මාර්කයේ සමාගමකටයි‘

ආචාර්ය ඉන්ද්‍රජිත් තමන් සතු වාර්තා පෙරළමින් විස්තර කරනවා.

‘ රුපියල් මිලියන 110ක් වැය වූ මෙම ව්‍යාපෘතිය යටතේ ගල්කිස්ස වෙරළ තීරයට වැලි ඝන මීටර් 150, 000ක් පොම්ප කිරීමට යෝජනා වී තිබුණා. ඒ සඳහා අවශ්‍ය වැලි කියුබික් මීටර් ලක්ෂ අටක් ගෙන තිබෙන්නේ රත්මලාන දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් දෙකත් හයත් අතර දුරකින් පිහිටි වැලි නිධියකින් බවයි වාර්තා වෙන්නේ. වෙරළ සංරක්ෂණයේදී මෙය අතිදැවැන්ත ප්‍රමාණයක්. ඒ කොහොම වුණත් පසුගිය කොවිඩ්-19 රට අගුළු දාලා තිබෙද්දී, ඒ කියන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී මේ වැලි පොම්ප කිරීම ආරම්භ වුණා. පසුගිය දා නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම සමග යළි මේ වැලි මුහුදට ගසා ගෙන ගොස් තිබෙනවා. මං මුලින් සදහන් කළ ආකාරයට මේ රටේ ජනතාව සතු රුපියල් මිලියන 890ක් මුහුදට දලා තිබෙනවා‘

මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය යටතේ වැඩි පොම්ප කිරීම සිදු වූ කැලිඩෝ වෙරළ තීරයත් මේ වගේම (ව්‍යාපෘති වාර්තාවට අනුව එම වෙරලේ වැලි පොම්ප කිරීම මාර්තු මාසයේ දී අවසන් කර තිබෙනවා) අඟුලාන වෙරල තීරයේ ද පොම්ප කළ වැලි මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා.

‘මේ ගැන කිතුලට නැග්ග මිනිහා කියන කතා නිලධාරීන් කියන්න පුළුවන්. ඒත් මේක දැවැන්ත දූෂණයක් වගේම විනාශයක්. මේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි‘ ආචාර්ය ඉන්ද්‍රජිත් අවධාරණය කරනවා.

මේක අලුත් ක්‍රමවේයකට අනුව කළ අලුත් වැඩක්

රුපියල් මිලියන 890ක් වනසා දැමූ ගල්කිස්ස (කැලිඩෝ සහ අගුළාන) වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියේ වගකීම වගේම වගවීම (තිබේනම්) සම්පූර්ණයෙන් ඇත්තේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවටයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ පිළිබඳව කියන්නේ මෙවැනි කතාවක්.

‘ගල්කිස්ස වෙරළේ ඇති වෙලා තිබ්බ වෙරළ ඛාදනය නිසා අපි කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. එතකොට මෙතනදි අපි අනුගමනය කරපු ක්‍රමවේදය තමයි ගල්කිස්ස වෙරළේ ඛාදනයට ලක්ව ඇති ස්ථානයට මුහුද දෙසට වැලි වැඩිපුර නෙරායන විදියට තමයි අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. මේකට කියන්නේ ‘සෑන්ඩ් එන්ජින් මෙතර්ඩ්‘ කියලා අලුත් ක්‍රමයක්. එතනදී අපි වැලි පෝෂණය කරන්නේ එක් ස්ථානයකට පමණයි. එම ස්ථානයේ ඊට පස්සේ වැලි අඩු වෙලා උතුරු දෙසට වෙරළ තීරණ නිර්මාණය වෙන ආකාරයට තමයි වැලි පෝෂණ ව්‍යාපෘතිය කළේ. එක තැනකට ඒ වැලි පෝෂණය සිදු කර නිසා එතනින් වැලි අඩු වෙන එක තමයි සියලු දෙනාම කතා කරන්නේ මේ ඛාදනයක් වෙනවා කියලා‘

මේ අතර වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සදහන් කර ඇත්තේ වැලි ලබා ගන්නා ස්ථානයට අදාළව පරිසර අධ්‍යනයක් සිදු කර තිබුණ ද එම වැලි තැන්පත් කරන ස්ථානවල පරිසර අධ්‍යයනයක් සිදු නොකළ බවය

මේ අදාළ ව්‍යාපෘතියේ නිසි බලධාරියා කියන කතාව. නීතිඥයෙක් වන අධ්‍යක්ෂවරයා කියන කතා ගැන සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නැත්තත් සිදුවී ඇති දේ ඇස් පනාපිටම පෙනෙන විට අවුල කුමක්ද යන්න පැහැදිලිව පේනවා.

අපි ඊළගට කැලිඩෝ සහ අගුලාන ගැන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රශ්න කළා.

‘අපි මේ ව්‍යාපෘතිය යටතේම, ‘සෑන්ඩ් එන්ජින් මෙතර්ඩ්‘ අනුව කැලිඩෝ වෙරළත් පිරවීමට කටයුතු කළා. කළු ගඟ මොය කටට ආසන්නයේ තියන වැලි ප්‍රමාණය කළු ගඟේ බැම්මත් එක්ක එතනින් ඒ වැලි ටික ඉවත් වෙලා තියනවා. ඔබට බලාගන්නට පුළුවන් එම වැලි කියුබ් ප්‍රමාණයත් උතුරු දෙසට ඒ කියන්නේ කළුතර පැත්තේ ඉදලා කොළඹ පැත්තට වෙන්න ඒ වෙරළ තීරය නිර්මාණය වෙලා තියනවා.

අපි අඟුලානේ භාවිත කරපු ක්‍රමයත් එක්ක මුහුදු දෙසට වැඩි වැලි ප්‍රමාණයක් නෙරා යන විදියට තමයි අපි ඒ ව්‍යාපෘතිය කළේ. මෝසම් කාලය අවසන් වන තෙක් බලා සිටින්නට සිදු වෙයි. මේ වැලි ප්‍රමාණය ක්‍රමක් ක්‍රමයෙන් හෙමීට හෙමීට ගමන් කරන්නේ‘

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණාත්කමව පවසන්නේ මේ වැලි සැලසුම් කළ ස්ථානවලට ස්වාභාවිකව ගමන් කර ඇති බවයි.

ඒ ගැන ඇත්ත බලා ගැනීමට ජනතාවට භාරයි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වගේම මේ ව්‍යාපෘතියේ වගකීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ලිලානි රුහුණුගේ මහත්මියට පැවරෙනවා. ඇය තමයි වෙරළ සංවර්ධන, නිර්මාණ හා පර්යේෂණ භාරව සිටින්නේ.

‘බටහිර වෙරළ තීරයේ වැලි ප්‍රවාහය තියෙන්නෙ උතුරු දෙසට, ඒක නිසා අපි අඟුලාන සහ ගල්කිස්ස වෙරළ තීරයන් දෙක වැලි පෝෂණය කරන්න, යාන්ත්‍රික වැලි පෝෂණ ක්‍රමය යොදා ගත්තා. ඒවා ක්‍රමයෙන් ඛාදනය වන ප්‍රදේශයට යන ආකාරයට තමයි අපි නිර්මාණය කළේ. අඟුලාන ප්‍රදේශයට අපි වැලි ගැහුවේ රත්මලාන වෙඩිකන්ද සහ ඒ ප්‍රදේශවල තමයි වෙරළ ඛාදනය තිබුණේ. ඊට දකුණු දෙසින් රත්මලාන ස්ටේෂන් ප්‍රදේශය තමයි අපි වැලි පෝෂණය කළේ. දැන් වෙනකොට ඒ වැලි උතුරු දෙසට ගිහිල්ලා ඛාදන තත්ත්වය අඩු වෙලා තියෙනවා. ඒ එක්කම වෙරළ තීරය නිර්මාණය වීමකුත් අපිට දකින්න ලැබෙනවා.

මේක අනීතික වැඩක් – පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන

All Turtle Conservation Units in Sri Lanka are Illegal, reveals ...

ගල්කිස්ස වැලි පිරවීමේ ව්‍යාපෘතිය ගැන සමාජමාධ්‍ය තුළ උණුසුම් සංවාදයක් සිදු වන අතර මෙම ක්‍රියාවලිය අනීතික/ නීති විරෝධී බවට ද ප්‍රබල මතයක් තිබෙනවා. මේ ගැන පරිසර නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා දක්වන්නේ මෙවැනි අදහසක්.

‘මේ අවස්ථාවේදී ගල්කිස්ස හෝටලය අසළ වැලි පුරවන ලද පරිසරයට අදාළ අධ්‍යයනයක් සිදු කළ යුතුව තිබුණා. ඒ අනුව අපට පැහැදිලිව කියන්න පුළුවන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රියා කර ඇති ආකාරය පොදු නීතියේ මූලධර්ම වලට පටහැනි බව. මොකද ව්‍යාපෘතියක් වෙරළ කලාපයේ සිදු කරන්නේ නම්, වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ පනතේ 14 වන වගන්තිය අනුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හෝ බලයලත් නිලධාරියෙකු ඒ සඳහා අවසරය ලබා දිය යුතුයි. ඒ වගේම මේ පනතේම 16 වගන්තියේ කියලා තියෙනවා සමහර ව්‍යාපෘති සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තමන්ගේ අභිමතය පාවිච්චි කරලා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් කළ යුතුයි හෝ මූලික පාරිසරික විශ්ලේෂණයක් කළ යුතුයි කියලා හිතෙනවා නම් එවැනි අවස්ථාවක එවැනි වාර්තාවක් කැඳවන්න ඕනා කියලා. මේකෙදි පාරිසරික වාර්තාවක් නොලැබීමේ ප්‍රතිඵලය ලෙස අපි දකින්නේ අධ්‍යයනය කළ යුතු කරුණු ගණනාවක් තවම අධ්‍යයනය වුණේ නෑ,” නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් නීතිඥ ජගත් ගුණවර්ධන මහතා කියා සිටියේ, මෙය පොදු නීතියේ මූලධර්ම වලට පටහැනි තීරණයක් බවයි. ඊට හේතුව තමයි මෙම ව්‍යාපෘතියේ, ව්‍යාපෘති යෝජකයා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මෙතැනදී මතුවන ප්‍රශ්නය තමයි තමන්ට තමන්ගේම ව්‍යාපෘතියක් අනුමත කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. අපේ රටේ පනත් වලට අමතරව පොදු නීතියේ පිළිගත්ත මූලධර්ම දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි තමාගේ කටයුත්ත තමා විනිශ්චය නොකළ යුතුයි. එහෙම නැත්තම් තමන් විසින් කරන දේකට තමන්ටම අවසර දිගන්න පුළුවන් කමක් නෑ. ඒ ආකාරයෙන් බැලුවත් මෙතන ලොකු දෝෂ සහගත භාවයක් තියෙනවා,” යනුවෙන් නීතිඥ ජගත් ගුණවර්ධන වැඩි දුරටත් කියා සිටියා.

ජනතාවගේ හාස්‍යයට ලක්වන නිලධාරීන් අමන කතා

බලධාරීන් සහ නිලධාරීන් කුමන කතා කිව්ව ද ජනතාව ඒවා විශ්වාස නොකරන බව මේ දිනවල ගල්කිස්ස සිදුවීම මත නිර්මාණය වී ඇති හාස්‍යජනක පෝස්ට් වලින් පැහැදිලි වෙනවා.

දේශපාලනඥයින්ගේ කතා

“මෙම ව්‍යාපෘතිය සඳහා කිසිදු පරිසර අධ්‍යයන වාර්තාවක් ලබාගෙන නැහැ කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේක දෙහිවල ගල්කිස්ස නගර සභා බල සීමාව තුල කෙරුණු ව්‍යාපෘතියක්. නමුත් නගර සභාව මේ පිළිබඳව කිසිදු දෙයක් දන්නේ නැහැ. නගරාධිපතිවරයාත් කියනවා ඔහු මේ පිළිබඳව දන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කළා මේ පිළිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියට නගර සභාව ලෙස දැනුම්දීමක් කරන්න කියලා. ඒ වගේම මේ ව්‍යාපෘතිය සිදුකළේ රට පුරා ඇදිරි නීති දාලා ජනතාව ගෙවල්වලට කොටු වෙලා ඉන්න වෙලාවක. ඒ නිසා ප්‍රදේශයේ ජනතාවටත් මේ ගැන අවබෝධයක් නැහැ. මේ සඳහා යන්ත්‍ර සූත්‍ර ගෙනවිත් තියෙන්නේ රාත්‍රී කාලයේ.

ඒ විතරක් නෙවෙයි පරිසරයට විශාල හානියක් සිදුවෙමින් තිබෙනවා. මුහුදු පැලෑටි, මුහුදු ජීවින්ට විශාල බලපෑමක් සිදුවෙලා තිබෙනවා. ඒවා මිල කරන්න බැහැ. විශාල මුදලක් අපතේ යවමින් කරපු මේ ව්‍යාපෘතිය ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.“

නාගරික මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ– “අපි දන්නා තරමින් මේකට අවශ්‍ය ආයතනවලින් කිසිදු අනුමැතියක් ලැබී නැහැ. ආණ්ඩුව කියනවානම් ඒ සියල්ල ලබාගෙන කියලා අපි තාවකාලිකව හිතමු එහෙම අනුමැතියක් තියෙනවා කියලා. නමුත් එයින් වෙනත් ගැටලුවක් පැන නගිනවා. මොකක්ද එසේ නම් මේ ව්‍යාපෘතිය නිසා දූෂණයක් වෙලා තිබෙනවා. එක්කෝ පරිසර අධිකාරිය විසින් දේශපාලකයින් විසින් හෝ කොන්ත්‍රාත් කරුවා විසින් හෝ සියලු දෙනා අතින් මේ මුදල් ගසා කෑමක් සිදුවෙලා තිබෙනවා කියලා අපිට සැකයක් තිබෙනවා. ඒ නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.“

සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.