ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විදේශ අමාත්‍යාංශයේ සහයෝගය

ගෝලීය සැපයුම් දාමයන් හා සැපයුම් කටයුතු බිඳවැටීම් ඇතුළු අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද, මෙම අමාත්‍යාංශයේ සහ විදේශ දූත මණ්ඩලවල ක්‍රියාකාරී ස්ථාවරය මඟින් නව වෙළඳපල ස්ථාන සොයා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ නැවුම්/සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහයෝගය ලබා දෙන බව එම අමාත්‍යාංශය විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙහි ආර්ථික බලපෑම සහ ශ්‍රී ලංකාවට එයින් එල්ල වන ඉල්ලීම් හා අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2020 ජුනි 10 වැනි දින ‘අද දෙරණ’ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා මෙම ප්‍රකාශය සිදුකළ බවයි එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විශේෂයෙන්  ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අපනයන සඳහා අහිමි වූ වෙළඳපල, යථා තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට සහ නැවත අත්පත් කර ගනිමින් නව අවස්ථා සක්‍රීය කර ශ්‍රී ලාංකික අපනයන කෙරෙහි ඇති කර ඇති බලපෑම අවම කිරීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රජයේ අනෙකුත් ප්‍රධාන ආර්ථික නියෝජිතායතන සහ පෞද්ගලික අංශය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව පුළුල් ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ගෙන ඇත.  2020 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායම, මැයි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති අතර, සංශෝධිත ප‍්‍රක්ෂේපණවලට අනුව එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙහි ආර්ථික බලපෑම සහ ශ්‍රී ලංකාවට එයින් එල්ල වන ඉල්ලීම් හා අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2020 ජුනි 10 වැනි දින ‘අද දෙරණ’ සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා මෙම ප්‍රකාශය සිදුකළේය.

කොවිඩ්-19 වසංගත  ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේ සිට, එයින් ඇතිවන අහිතකර බලපෑම් මැඩපවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට පහසුකම් සැලසීම පිණිස, මෙම අමාත්‍යාංශයේ ‘ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන’ අපනයන සංවර්ධන මණ්ඩලය සහ තේ මණ්ඩලය වැනි නියෝජිතායතන සමඟ සහයෝගයෙන් යුතුව වැදගත් උත්ප්‍රේරක කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව අතිරේක ලේකම්වරයා පැවසීය.

ගෝලීය සැපයුම් දාමයන් හා සැපයුම් කටයුතු බිඳවැටීම් ඇතුළු අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද, මෙම අමාත්‍යාංශයේ සහ විදේශ දූත මණ්ඩලවල ක්‍රියාකාරී ස්ථාවරය මඟින් නව වෙළඳපල ස්ථාන සොයා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ නැවුම්/සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

විකාශනය වෙමින් පවතින ගෝලීය කොවිඩ්-19 තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සහ රබර් මත පදනම් වූ  නව නිෂ්පාදනයන්ට අදාළ වූ  වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන කටයුතු වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ (මුහුණු ආවරණ සදහා නව වෙළඳපොළ 12 ක් ද, ආරක්ෂිත ගවුම්  සදහා නව වෙළඳපොළ 17 ක් ද, රබර් අත්වැසුම් සදහා නව වෙළඳපොළ 12ක් ද , අත් සනීපාරක්ෂක ද්‍රව්‍ය සදහා නව වෙළඳපොළ 12ක් ද වශයෙන් මේ වන විට අපනයනයන් ක්‍රියාත්මක වේ). මෙම අමාත්‍යංශය විසින් කරන ලද මැදිහත්වීම් තුළින්, අභියෝගාත්මක තත්වයන් යටතේ සහ ශ්‍රී ලංකා තේ මෙට්‍රික් ටොන් 344 ක් තුර්කියට ද  මෙට්‍රික් ටොන් 220 ක්  ඊජිප්තුවට ද අපනයනය කර ඇති අතර, ශීත කළ ආහාර මෙට්‍රික් ටොන් 30 ක් ඕමානයට අපනයනය කර ඇත.

ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) ඉල්ලීම පරිදි, මෙම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව පුද්ගලික ආරක්ෂක උපකරණ නිෂ්පාදනය සඳහා  අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගත හැකි ස්ථාන සාර්ථකව සම්බන්ධීකරණය කර ඇති අතර, එමඟින් බොහෝ රටවලින් පැමිණෙන ඉහළ යන ඉල්ලුමට සරිලන සේ අදාළ නිෂ්පාදන වෙළදපොළට සැපයීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වී ඇත. මෙහිදී  නිශ්චිතව අමුද්‍රව්‍ය සැපයිය හැකි සැපයුම්කරුවන් 53 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇත.

පශ්චාත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේදී, මෙම අමාත්‍යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව නව වෙළඳපොළවල් අත්පත් කර ගැනීමට සහ පවත්නා වෙළඳපොළවල ඉල්ලුම ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව, ඉදිරි කාලය තුළ දී ඉල්ලුම වැඩිවිය හැකි අපනයන ක්ෂේත්‍ර 15 ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

වර්තමානයේ සමස්ත ලෝකයේම පවතින අවහිරතා, අභියෝග සහ අවස්ථාවන් සැලකිල්ලට ගනිමින්, පොල්, සැකසූ ආහාර, මුහුදු ආහාර, කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික් හා විදුලි උපකරණ, සැපයුම් සේවා, මුද්‍රණ කටයුතු, පිඟන් සහ පෝසිලේන් භාණ්ඩ, ආයුර්වේද සහ ශාකසාර, ශරීර සුවතා නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, සමුද්‍ර හා අක්වෙරළ ඉංජිනේරු කටයුතු, ඉදිකිරීම් සහ බෝට්ටු හා නැව් තැනීම ආදී වූ ක්ෂේත්‍රයන් ඉලක්ක කරගත් පුළුල් ක්‍රියාමාර්ග මේ අනුව සැලසුම් කෙරෙමින් පවතී. මෙහි ඉදිරි පියවරක් ලෙස, ආයුර්වේද හා ශාකසාර, පිඟන් සහ පෝසිලේන්, බෝට්ටු සහ නැව් තැනීම, ඉලෙක්ට්‍රොනික් හා විදුලි අංශ ඇතුළුව, ඉහළ යමින් පවතින ඉල්ලුමට අනුව සකස් කරගත් ප්‍රමුඛතා අනුව එකකට පසු එකක් ලෙස සිදුකෙරෙන වෙබ්නාර් සහ වීඩියෝ රැස්වීම් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සැලසුම් කොට ඇත.

මෙම කර්තව්‍යයේ දී, විදේශ සබදතා අමාත්‍යාංශය විදේශ දූත මණ්ඩල සහ පෞද්ගලික අංශය සමග ද, මෙම අවස්ථාවේදී ජාත්‍යන්තරව භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වාගෙන යන ගුවන් සමාගම් කිහිපයෙන් එකක් වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ද ඉතා සහයෝගයෙන් කටයුතු කරමින් සිටියි.

හැකි සෑම අවස්ථාවකදීම නැවත මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම තුළින් ද  මෙම ගුවන් ගමන්වල ශක්‍යතාව වැඩිදියුණු  කර ඇති අතර, එමඟින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය යන දෙකම සියලු පාර්ශ්වයන්ට වඩාත් ලාභදායී ලෙස හැසිරවීමට අවස්ථාව උදා වී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.