‘සේනා’ ආයිත් ඇවිත් – විනාශයෙන් ගැළවීමට නිවැරදි විසදුම් මෙන්න !

රටේ ප්‍රධාන ආහාරය වශයෙන් භාවිතා කෙරෙන සහල් හැරුණුවිට ඉදිරි පෙළ සිටිනා බෝග අතරින් බඩඉරිඟු වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. 2018 වසරේදී සාමාන්‍ය අස්වැන්න වශයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.8 ක් ලබමින් හෙක්ටයාර් 70,895 ක් තුළ බඩඉරිඟු වවා අප මෙට්‍රික් ටොන් 270,041 ක අස්වැන්නක් ලබාගෙන තිබුණත්, රටේ අවශ්‍යතාවය කොපමණද යත්, මෙට්‍රික් ටොන් 119,086 ක ප්‍රමාණයක් ආනයනයද කර ඇත. මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි 500 කට අධිකය.

පිටරටින් එන ප්‍රභේද සමග හරි හරියට තරඟ කරන්නට සමත් දේශීය දෙමුහුම් බඩඉරිඟු ප්‍රභේදයන්ද ලාංකික පර්යේෂකයින් අතින් බිහිවී ඇති නිසාත්, වර්තමාන කොවිඩ් වසංගත තත්වය හමුවේ ඉදිරියේදී පිටින් එන ආහාර බෝගයන්හි නිත්‍ය සැපයුමක් ගැන සැක පහළවී ඇති නිසාත්, රජය මගින් ලහිලහියේ හඳුන්වාදුන් අතිරේක බෝග වර්ග 16ක් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනටද බඩඉරිඟු ඇතුළත්වී තිබේ. වර්තමාන තත්වය මත වාරිජලය ලැබෙන හොඳින් ජලවහනය සිදුවෙන වියලි කලාපීය කුඹුරු ඉඩම් කොටසකත් බඩඉරිඟු වවන්නට රජය විසින් දිරිමත්කිරීම් මුදාහරිමින් සිටී.

සේනා ද පුරුක් පණුවාද ? සැකහැර දැන ගන්න

බඩඉරිඟු කියනා විටම අපගේ මතකයට එන්නේ 2018 වසරේ මාස් කන්නයත් සමග වගාව ආක්‍රමණය කළ සේනා දළඹුවාගේ පුවතයි. අද කොවිඩ් වසංගත පුවත් ජනමාධ්‍යය ඔස්සේ විසුරුවා හරින්නේ කෙබඳුද, එදා රූපවාහිණී තිර මතට සේනා දළඹුවා යනු නැතුවම බැරි චරිතයක් බවට පත්වී තිබුණි. එදා මෙදා තුර ගෙවුණු කාලය තුළ නම් ‘සේනා’ ගැන එතරම් කතාබහක් ඇති නොවුණත්, යල වගා කන්නයක් ඇරඹී ඇති මේ මොහොතේ වගාවේ ආරක්ෂාව ගැන යළි සිහිපත් කිරීම ගොවි ජනතාව පැත්තෙන් බලන කල ප්‍රයෝජනවත්ය.

මහවැලි සී කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ, අනුරාධපුර ප්‍රදේශයේ පමණක් නොව බඩඉරිඟු පර්යේෂණයන්හි හදවත ගැහෙනා මහඉලුප්පල්ලම පර්යේෂණ ස්ථානය අසල ගොවිබිම් වලින්ද ‘සේනා’ මතුවෙමින් තිබෙනා බව දැන් ටික දිනෙක සිට වාර්තාවෙමින් පවතී. ඇඳිරිනීතිය බලපැවත්වීම හේතුවෙන් වගා පරීක්ෂාකිරීම් ගොවීන් අතින් අතපසු වූ නිසාද, රාජ්‍ය උපදේශකසේවා සුපුරුදු කාර්යක්‍ෂමතාවයෙන් ක්‍රියාත්මක නොවුණු නිසාද, ‘සේනා’ විසින් තාවකාලික ජයක් අත්කරගත්තා සේය. මතුවී සිටින්නේ ‘සේනා’ ද පුරුක් පණුවාද යන්නත් සැක හැර දැනගන්නා ලෙස කෘෂි නිලධාරීන් ගොවීනට දන්වා සිටී.

පුරුක් පනුවා සේනා දළඹුවා තරම් ලොකුවට වැඩෙන්නේ නැත. පැහැය බැලුවත් සේනා ට සාපේක්ෂව ලා පැහැතිය. ලපටි ඉරිඟු කරල කඳට සවිවෙන ස්ථානයෙන් සිදුරු කර ඌ කඳ තුළට යන අතර සේනා තරමට පත්‍ර කා දැමීමක් සිදු නොකරයි. මේ කරුණු අනුව පෙනෙන්නේ පළිබෝධකයා නිවැරදිව හඳුනාගැනීම වැදගත් බවයි. ප්‍රතිකාර ක්‍රමයද එකිනෙකට වෙනස්වේ. සිටින්නේ පුරුක් පනුවා නම් ‘ඩයිසිනෝන්‘ වැනි කැට සහිත කෘමිනාශකයක් සති 3-6 ක් වයස බඩඉරිඟු පැළයේ ගොබය තුළට දැමීම සුදුසුය.

ඇතැම් ගොවීන්ගේ වගාවන්ට දැන් මාස එක හමාරකට වඩා වයස් ගතවී තිබේ. අඩි හතරකට වඩා ඉහළට වගාව වැඩී ඇති මෙවැනි අවස්ථාවක පත්‍ර කීපයක් කාදමා ඇතිබවක් පෙනෙන්නේ නම් ඒ සේනා දළඹුවාගේ හානියයි. දැන් ප්‍රධාන වශයෙන් කලයුත්තේ ශාකයෙන් අලුත බිහිවෙන කරල ආරක්ෂා කරගැනීම වන නිසා, අළු, පස්, හෝ වැලි වැනි දෙයක් ගොබයට දැමීමෙන්, දළඹුවාට ලපටි කරල කරා යාමට ඇති මග ඇහිරිය හැකිවේ. සතුන් විසින් කා දමනලද පත්‍ර කොටස් වියලී ගොස්, ක්‍රමයෙන් ශාකය ප්‍රකෘති තත්වයට පත්වේවි.

සේනාට කළ යුතු ප්‍රතිකාර

ඒ නිසා එවන් වගාවක සිටිනා සතුන් රසායනිකව මර්දනය කරන්නට යාම නිෂ්පල ක්‍රියාවක් මෙන්ම අනවශ්‍ය වියදම් දැරීමක්ද වේ. අනෙක් අතට  ඝනව පත්‍ර වැඩී ඇති වගාවට පළිබෝධනාශක දියර ඉසීමද පහසු නැත. ආරක්‍ෂිත ඇඳුම් ඇඳ නැත්නම්, අනවශ්‍ය පරිදි ඉසින පුද්ගලයා දියරයට නිරාවරණය වීමද සිදුවිය හැකිය.

මීළඟට සලකා බැලිය යුත්තේ තමාගේ දණහිස තරමට උස්වූ සති කීපයක් වයස බඩඉරිඟු වගාවක් පිළිබඳවය. ගොබය තුළට අළු, පස් හෝ වැලි දැමීමෙන් කරල ආරක්ෂා කරගැනීමේ පියවර මෙතනටද වලංගුය. පත්‍ර මත දළඹුවන් දක්නට ලැබේ නම් රසායනික මර්දනයක් වෙතටද යොමුවන්න.

එයද කල යුත්තේ සම්පුර්ණ වගාවට ඉසීමෙන් නොව හානිය ඇති තැන් තෝරාගෙන දියර ඉසීමයි. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති පලිබෝධ නාශක පහක් තිබේ. මේ සියල්ල ඉතා අඩු විෂ සහිත සංයෝග වන අතර වැඩි කාලයක් වගාවේ පවතින්නේ නැතිව ඉක්මනින් වියෝජනය වී යයි. තවද මේවා ක්‍රියා කිරීම සඳහා දළඹුවාගේ සිරුරේ ගෑවිය යුතුය. එබැවින් වගාවේ පත්‍ර තෙමෙන පරිද්දෙන් මුළු වගාවම දියරයෙන් නැහැවීම තේරුමක් නැති වැඩකි. හානිය ඇති තැනට, දළඹුවා සිටින තැනට, ඉසිනයේ නොසලය හරවා ප්‍රවේශමෙන් දියරය යෙදිය යුතුවේ.

දියර ඉසිය යුතු කාලාන්තරය ගැන කියනවානම්, වඩා සුදුසු වන්නේ පළිබෝධකයා සිටින ස්ථානයටම ඉසින ලෙස පැවසීමයි. කාලාන්තරය ගැන නොසිතා පළිබෝධකයා සිටීද, නැතිද යන කරුණ මත තෝරාගත් ස්ථාන වලට පමණක්, කෘමිනාශක ඉසිය යුතු අතර නිතිපතා වගාව පරීක්ෂාකිරීමත් මේ සඳහා අතවශ්‍ය වේ.

වරක් ඉසිනලද දියරය ඊළඟ වාරයේදී නොයෙදීමටද මතක තබාගන්න. එහි ‘කේතය’ වෙනස් වෙන පරිද්දෙන් සංයෝගය තෝරා ගතහැකිය. එකම කේතය දරන සංයෝගය නොකඩවා නොයෙදිය යුතු බව මින් අදහස් කෙරේ. ‘කේතය’ මගින් නිරූපනය කරන්නේ රසායනය පලිබෝධකයා මත ක්‍රියාත්මක වන ආකාරයයි. මාරුවෙන් මාරුවට වෙනස් ක්‍රියාවක් පෙන්වන ද්‍රව්‍ය යෙදීම නිසා පළිබෝධකයාට ඊට අනුවර්තනය වීමට අපහසු වේ.

රේඩියන්ට්, සක්සස්, ප්‍රොක්ලේම්, කෝරැජන්, සහ වර්ටැකො දැනට නිර්දේශිත කෘමිනාශක වේ.

මීට අමතරව පින්න ඇති හිමිදිරියේ වගාවේ පත්‍රවලට අළු ඉසීම වැනි ප්‍රතිකාර හරහා දළඹු හානිය අවම කරගත හැකිවේ.

අලුත් වගාකරුවන්ට උපදෙස්

අවසාන වශයෙන් දැන්විය යුතු වන්නේ ඉතා මෑතකදී වගාව ආරම්භ කල ගොවීන් සඳහා වූ උපදෙස්ය. ඔවුන්ගේ වගාව මේ වනවිට අඩියක් පමණ උස විය හැකිය. නැතහොත් බීජ සිටුවා දින 10-14 කාලයක් ගතවූ පත්‍ර දෙකක් පමණ ඇති වගාවක් විය හැකිය. සතියකට දෙවරක්වත් වගාව පරීක්ෂා කරන්න. සලබයා බිත්තර දමන්නේ ලපටි වගාවක පත්‍ර මතුපිට බැවින් බිත්තර කැදලි පියවි ඇසට පවා හසුකරගත හැකිය. ඒවා ඇත්නම් ඉවත්කර විනාශකර දමන්න. මෙම අවධියේදී අළු, කොහොඹ නිස්සාරකය ආදිය භාවිතයද ආරක්ෂක පියවරකි.

මීට අමතරව කලින් දැක්වූ පරිද්දෙන් හානිය ඇති ස්ථාන සොයමින් රසායනික මර්දනයට යොමුවීම අවශ්‍ය කරුණකි. ලපටි පත්‍ර වල යටිපත්තේ වෙසෙනා කුඩා දළඹුවන් මතුපිට සිවිය ඉතිරිවෙන සේ යටි පැත්තෙන් පත්‍ර සූරා කන බවත්, නූල් වැනි කොටස් සාදා ගෙන පත්‍රවල එල්ලී සිටිමින්, සුළෙඟ් පැද්දී යාබද පත්‍ර කරා ව්‍යාප්ත වන බවත් මේ අවස්ථාවේදී නිරීක්ෂණය කල හැකිය. පින්න ඇති අවස්ථාවේ අළු යෙදීමෙන් පත්‍ර මත සලබයාගේ බිත්තර දැමීමද අවහිර කල හැකි බව මතක තබාගන්න.

පරිසරයද මේ වනවිට ‘සේනා’ ව හොඳින් හඳුනන්නේය. දළඹුවා ආහාරයට ගන්නා මකුළු වර්ග, සලබයාගේ බිත්තර තුල බිජුලන බිත්තර පරපෝෂිතයින් ආදිය පරිසරයේ බහුලය. ඔවුන් හරහා සාර්ථක මර්දනයක් සිදුවී මේ වනවිට ‘සේනා’ දළඹුවා ස්වභාවික පාලනයකට යටත්වී ඇති බවක් පෙනේ. මේ සමතුලිතභාවය ගොවිතැනට වාසියකි. එය ආරක්ෂා කරගත යුත්තේද ගොවියාමය. එබැවින් අවශ්‍ය තැනට පමණක් පළිබෝධනාශක භාවිතා කරමින්, පරිසරයේ වෙසෙන හිතකර කෘමීන් ආරක්ෂා කරගැනීමටද ඔහු වගබලා ගත යුතුය. එවන් අවධානයක් ඇත්නම්, ඉදිරියට ‘සේනා’ පිළිබඳව එතරම් කලබල වියයුතු නැත.   

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.