Covid-19: දෙවන රැල්ලක් ගැන ජනපති හා අනිල් ජාසිංහ අනතුරු අඟවයි

ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි.

කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික ක්‍රියාවලියක උත්සාහයක් මත සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති නමුත් වෛරසය තවමත් ලොවෙන් තුරන් වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

ජනපතිවරයා මේ ආකාරයෙන් අනතුරු ඇගයීම් කරන අතරතුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරමින් ‘බරපතළ ප‍්‍රකාශයක් ’ සිදුකර ඇත.

පැවැති සීමාකිරීම් ලිහිල් කළ පසු පොදු මගී ප්‍රවාහන සේවාවල සහ රෝහල් බාහිර ප්‍රතිකාරය අංශවල ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව කණස්සල්ලෙන් යුතුව අදහස් පල කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම ස්ථානයන්හි බොහෝ පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් එකිනෙකා හා හැපි හැපී කටයුතු කරන බව පෙනෙන්නට ඇති බවයි.

විශේෂයෙන් මගී ප්‍රවාහන සේවාවන්වල ගමන් කිරීමේදී එක් අසුනක එක් මගියෙකු මගින් වශයෙන් ගමන් කිරීම මෙන්ම මුහුණු ආවරණ පැළඳීම ද ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවන ගැටළුකාරී තැන් ගණනාවක්ම හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. ඉදිරි මැතිවරණ කාලයේ දී මෙම සෞඛ්‍ය නීති උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවද අනිල් ජාසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.