‘කන්දකාඩුව කඳවුරේ සේවය කළ’ මනෝ විද්‍යා උපදේශකවරයෙකු කරන විශේෂ හෙළිදරව්ව

පහත පළවන්නේ කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරේ කොරෝනා පොකුර ගැන එම කඳවුරේ සේවය කළ මනෝ විද්‍යා උපදේශකවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයකි. දෙවන කොරෝනා රැල්ලක් පිළිබඳ අනතුර අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දකිනවාට වඩා භයානක වූවක් බැව් මේ අදහස් මගින් ගම්‍ය වේ.   

පොළොන්නරුව කන්දකාඩුව මත්ලෝලී පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපන රැඳවියන් කොරෝනා රෝගයට ගොදුරු වීමත් සමඟ නැවතත් යටපත්ව තිබූ කොරෝනා භීතිය ඉස්මතුවී ඇත. මෙය කිසිසේත් තවත් සරල සිදුවීමක් නොවන අතර කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳව අප වඩාත් අවධානය යොමු කළ යුතු අවස්ථාවකි. 

ලාංකීය අත්දැකීම් අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ හමු වූ කොරෝනා පොකුර නැවත අපේ මතකයට නැගේ. එහි සුවිශේෂී ස්වභාවයන් දෙකකි. එයින් පළමුවැන්න වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරට වෛරසය බෝ වූයේ සුදුවැල්ලේදී හමු වූ මත්ලෝලී පුද්ගලයකු නිසාය.

දෙවැන්න වන්නේ වෛරසය වැලිසර නාවික හමුදා කඳවුර තුළ එතරම් ව්‍යාප්ත වූයේ කඳවුර තුළ නාවික සෙබළුන් හැසිරෙන සමීප ස්වභාවය නිසාය. කන්දකාඩුව තුළ මෙම සාධක දෙකම තීරණාත්මක ලෙස එකට මුසු වී ඇත. එනම් මත්ලෝලීන් දාහකට ආසන්නව සමීපව හැසිරෙන කඳවුරක වෛරසය ව්‍යාප්ත වීමයි.

කන්දකාඩුව මත්ලෝලී පුනරුත්ථාපන කඳවුරේ මනෝවිද්‍යා උපදේශකයකු ලෙස මා හට ඇති සායනික අත්දැකීම් අනුව කන්දකාඩු කොරෝනා අභියෝගය කෙතෙක් බැරෑරුම් වන්නේදැයි මම දනිමි.

කන්දකාඩුව කඳවුර තුළ පුනරුත්ථාපනලාභීන් ලංකාවේ සෑම ප්‍රදේශකින්ම උසාවි නියෝග මත වසරක කාලයක් සඳහා පැමිණි අය වෙයි. ඔවුන්ට නේවාසික පහසුකම් ඇත්තේ විශාල විවෘත ගොඩනැගිලි තුළ යුගල යහන් සමඟින්‍ ය. සෑම දිනකම ආහාර ගැනීමට, ව්‍යායාම කිරීමට, ස්නානය කිරීමට සහ දේශනවලට සහභාගී වීමට ඔවුන්ට පෝළිම් ගැසී සමීපව හැසිරීමට සිදු වේ.

එමෙන්ම සෑම දිනකම මෙම පුනරුත්ථාපනලාභීන්ව පෝළිම් කොට දැඩි ශරීර පරීක්ෂාවකට ලක් කෙරේ. එමෙන්ම ආරක්ෂක නිළධාරීන්ටද මනෝවිද්‍යා උපදේශකවරුන්ට සහ වෙනත් දේශකවරුන්ටද මොවුන්ට ඉතා සමීපව රාජකාරී කටයුතු කිරීමට සිදුවේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් යනු දිගු කාලයක් හමුදා විනය පුහුණු කළ නිලධාරීන් කණ්ඩායමකි. ඔවුන්ට සාපේක්ෂව කන්දකාඩු කඳවුරේ සිටින්නේ ආරක්ෂක නිළධාරීන් විසින් බලහත්කාරයෙන් දඬුවම් පවා දෙමින් මහත් පරිශ්‍රමයකින් තබාගනු ලබන පිරිසකි.

එබැවින් මීට පෙර අවස්ථාවලදීද ඔවුනගේ විනය පුපුරා ගිය අවස්ථාවන් තිබේ. රැඳවියන් අතර කණ්ඩායම් ගැටුම්, හොර රහසේ පලායාම් සහ සියදිවි හානි කරගැනීම් පවා වාර්තා වී ඇත. මේ අවස්ථාවේ කොරෝනා පහර දෙන්නේ එවැනි දුර්වල සතුරු කඳවුරකටය. එනම් පහර දීමට දුර්වලම ස්ථානය කොරෝනා වෛරසය මැනවින් හඳුනාගෙන ඇත.

මේ නිසා කන්දකාඩු කඳවුරේ කොරෝනා උවදුර මැඩලීමට නම් අවධානය යොමු කළයුතු විශේෂ කරුණු කීපයක් යෝජනා කරමි.

  • ඉන් පළමුවැන්න වන්නේ ‍රැඳවියන් අතර රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට සුදුසු පියවර අනුගමනය කිරීමයි.
  • දෙවැන්න පුනරුත්ථාපනලාභීන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ වැදගත්කමයි.
  • තෙවැන්න කඳවුර තුළ පුනරුත්ථාපනලාභීන් අතර සහ ආරක්ෂක අංශ අතර පීඩනය පුපුරා ගොස් ගැටුම්කාරී තත්ත්වයන් වළක්වා ගැනීමයි.
  • සිව්වැන්න ආරක්ෂක අංශ, වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරීන්ට රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමයි.
  • පස් වැන්න රැඳවියන්ව නැරඹීමට දිවයිනේ සෑම ප්‍රදේශකින්ම පැමිණෙන ඔවුන්ගේ පවුල්වල හිතවතුන්ගෙන් වෛරසය දිවයිනටම පැතිරීම වළක්වා ගැනීමයි.

මීට අමතරව මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් සිදු කළ හැකි වෘත්තිකයන් සහ මනෝ සමාජීය මැදිහත්කරුවන් ඉදිරිපත් වී මේ පිළිබඳව සමාජීය සංවාදයක් ගොඩනැගිය යුතු යැයි මම විශ්වාස කරමි. එය සමාජය කෙරෙන් කෙමෙන් බැහැර වෙමින් පැවති ආරක්ෂාකාරී උපක්‍රමයන් සහ ස්වයං විනය පවත්වා ගැනීම සඳහා නැවත පෙළඹවීමක් ඇති කරනු ඇත.

සුනෙත් ලංකේශ්වර – මනෝවිද්‍යා උපදේශක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරී, පොළොන්නරුව

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.