දූරියන්වල නියම රසය හා ගුණය ලබා ගන්න ‘පැහිල ඉදුණ දූරියන්’ හඳුනාගනිමු ද?

මැලේ භාෂාවෙන් ‘දූරි’ යනුවෙන් හඳුන්වන්නේ ගසක හෝ සත්වයෙක් මත පිහිටා ඇති තියුණු කටු වැනි ව්‍යුහයන්ය. දූරියන් යන නම සම්භවය ලබා ඇත්තේ ඒ ආකාරයෙනි.

දූරියෝ සෙබෙතිනස් (Durio zebethinus) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පලතුර දකුණු ආසියානු රටවලදී ගරු බුහුමන් ලබන්නේ ‘පලතුරු ලොවේ රජු’ වශයෙන්ය. එසේ නමුත් සිංගප්පුරුවේ රටපුරා දිවෙන විදුලි දුම්රිය ජාලය තුල දූරියන් රැගෙන යාම තහනම්ය.

දුම්බීම තහනම් යන නිවේදනය මෙන්ම එහි දුම්රිය මැදිරි තුල ‘No Durian’ දැන්වීම සවිකර තිබේ. එක හේතුවක් විය හැක්කේ මෙහි ඇති තියුණු කටු මගින් ජනාකීර්ණ දුම්රිය මැදිරිය තුලදී මගීන්ට යම් හිංසාවක් පැමිණිය හැකි වීමයි. අනෙක් හේතුව වන්නේ ඇතැමුන්ට ඔක්කාරය සාදවන දුර්ගන්ධයක් දූරියන් ගෙඩියෙන් නික්මීමයි.

කෙසේ නමුත්, මෙරට පවා ඇතැමුන් මෙය හඳුන්වාදෙන්නේ තමන් කැමතිම පලතුර ලෙසයි. තවත් අයෙක් ඉන් පිටවෙන සුවඳ පවා විඳගත නොහැකිව ඉන් ඈත්වෙත්දී, ජාත්‍යන්තරව ප්‍රසිද්ධ චොක්ලට් වර්ගයක් පවා දූරියන් රස සහිතව නිපදවා මැලේසියාව වැනි රටවල ලොකු මිල ගණන් වලට අලෙවි කෙරේ. දූරියන් අයිස්ක්‍රීම් පවා ඒ රටවල ජනප්‍රියය.

දූරියන් මදුලක නියම රසය, ගුණය ඇතුළුව නියම දූරියන් අත්දැකීමක් ලබන්නට නම් ඔබ අනුභව කළ යුත්තේ ගසේදීම ඉදී බිමට වැටුණු දූරියන් ගෙඩියකි. මෙම පලතුර ප්‍රියකරන්නන්ට උපරිම ආස්වාදයක් ලැබෙන්නට නම් ඊට ආවේනික සුවඳ හා රස තිබිය යුතුමය. ඒ සඳහා හේතුවෙන විවිධ රසායනික සංයෝග ගෙඩිය තුළ හොඳින් සංවර්ධනය වී මුදාහරින්නේ පැසුණු ගෙඩියක් ඉදෙන විටදී පමණි.

පල දරන කාලයට පිපෙන පළමු දූරියන් මලෙන් ගෙඩියක් ඇතිවී ඉන් පරිණත ගෙඩියක් බිහිවෙන්නට සති හයක පමණ කාලයක් ගතවේ. මේ කාලය තුලදී නොකඩවා දූරියන් මල් පිපෙන අතර, තොග වෙළෙන්දෝ ගසටම මුදල් ගෙවා අතට හසුවෙන සියලු ගෙඩි කඩාගෙන යති. ඒ අතර නොපැසුණු ගෙඩි රාශියකි. එහෙත් ඔවුන් කිසිවක් ඉවතලන්නේ නැත.

ලංකාවේ එළවලු හා පලතුරු අස්වැන්න නෙළීමේදී මිනිසුන් පුරුදු වී ඇත්තේ කළ යුතු දෙය කණපිට හරවා කරන්නටය. මෙරට පලතුරු නෙළන්නේ ගෙඩිය හරියාකාරව පැසෙන්නටත් කලින්ය. එහෙත් සිදුවිය යුත්තේ හොඳින් පැසුණු පලතුරු ගසෙන් කඩා ගැනීමයි. එළවලු අස්වැන්න නෙළන්නේ මෝරන්න ආසන්න වෙත්දීය. නියම ක්‍රමය වන්නේ එළවලු අස්වැන්න හැකිතාක් ලපටි තත්වයේදී නෙළා ගැනීමයි.

අප අනුගමනය කරන මෙම පරස්පර ක්‍රියාවන් නිසා එළවලු පලතුරු යන දෙකම බහුල ලෙස අපතේ යයි. පසු අස්වැනු හානිය ලෙස 40% ක පමණ ඉහල අගයක් වාර්තාවන්නේ මෙම හේතුවත්, අවිධිමත් ප්‍රවාහන පුරුදුත් නිසා බව අප නොයෙක් වර පෙන්වාදී ඇතත්, එළවලු කලින් නෙලා, පලතුරු නෙලීම පමාකරන තත්වයට කටයුතු නිවැරදිවෙන බවක් නම් නොපෙනේ.

දූරියන් ගෙඩියටද මේ තත්වය බලපායි. සියල්ල වානිජකරණයට හසුව ඇති පසුබිමක  ගසේදී පැහී ඉදී වැටෙන දූරියන් ගෙඩියක මදුලක් රස විඳින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්ය. විදෙස් රටවල පවා ඉදුණු දූරියන් ගසෙන් වැටෙනා තුරු බලා නොසිට අස්වැන්න නෙලීම සිදුකලත්, ඔවුහු කඩන්නේ යම්කිසි සීමාවකින් ඔබ්බට පැසුණු ගෙඩි පමණක් නිසා පාරිභෝගික අයිතිය මෙරටට වඩා සුරැකෙනවා යයි සිතිය හැකිය.

පල දරන කාලයට පිපෙන පළමු දූරියන් මලෙන් ගෙඩියක් ඇතිවී ඉන් පරිණත ගෙඩියක් බිහිවෙන්නට සති හයක පමණ කාලයක් ගතවේ. මේ කාලය තුලදී නොකඩවා දූරියන් මල් පිපෙන අතර, තොග වෙළෙන්දෝ ගසටම මුදල් ගෙවා අතට හසුවෙන සියලු ගෙඩි කඩාගෙන යති. ඒ අතර නොපැසුණු ගෙඩි රාශියකි. එහෙත් ඔවුන් කිසිවක් ඉවතලන්නේ නැත.

රසායනික ක්‍රමවේදයන් ඔස්සේ පවා ඒවා ඉදවනු ලැබූවත්, එම ක්‍රියාවලිය හරහා සිදුවන්නේ ගෙඩිය මෙලෙක්වීම වැනි භෞතික වෙනස්කම් කීපයක් පමණි. පෙර කී පරිදි ආවේනික රස හා සුවඳ ජනනය කෙරෙන සංයෝග නිපදවීමක් නොපැසුණු ගෙඩි ‘ඉදවීමේදී’ සිදුවන්නේ නැත. මේ නිසා බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක් වන්නේ, වෙළඳපොලෙන් හොඳ දූරියන් ගෙඩියක් තෝරා ගන්නේ කෙසේද යන්නයි.

මීට ඉවහල් වෙන කරුණු කීපයක් ගැන ආචාර්ය සුභ හීන්කෙන්ද මහතා දරන්නේ මෙවන් අදහසකි. හොරණ පලතුරු බෝග පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ ලෙසද, කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද සේවය කර විශ්‍රාම ලබා ඇති ඔහු, මියන්මාරය වැනි ආසියාතික රටවල පවා පලතුරු වගාවේ උපදේශකයෙකු ලෙස සේවය කර යහමින් පලතුරු අත්දැකීම් ලැබූවෙකි.

එක ළඟ තිබෙන කටු දෙකක් ඇඟිලිවලින් තද කරලා ලං කරන්න උත්සාහ කරලා බලන්න. ඒවා තද නම් ගෙඩිය ඉදිලා නෑ. මෘදු ලෙස කටු දෙක ලංවෙන්න සූදානම් බවක් පෙනේනම් ඒ කියන්නේ ලෙල්ල මෙලෙක් වෙලා. අපි තෝරා ගත යුත්තේ එවන් ගෙඩියක්

“දූරියන් ගෙඩියක් පැහිල ඉදිලද කියල බලන්න හොඳම ක්‍රමයක් තමයි අඩි එක හමාරක් විතර උඩ  ඉඳල තද පොළොවට අත අරින එක. එතකොට බොල් සද්දයක් එනවා නම් එය නියම ක්‍රමයට ඉදුණු ගෙඩියක්. ඒ කියන්නේ ඇතුලේ මදුළු ඉදිලා, හැකිලිලා, කටුවෙන් වෙන්වෙලා.”

හෙතෙම විස්තරය ඇරඹුවේ ඉතා සරල ප්‍රවේශයකින්ය. එසේ නමුත් වෙළඳපොලේ තිබෙන දූරියන් ගෙඩි ඉහළ සිට බිම හෙලන්නට පාරිභෝගිකයාට අවසර නොතිබෙන්නට ඇති ඉඩකඩ වැඩිය. ඒ නිසා හෙතෙම විකල්ප ක්‍රමවේදයන් වෙතටද පිවිසෙයි.

“එක ළඟ තිබෙන කටු දෙකක් ඇඟිලිවලින් තද කරලා ලං කරන්න උත්සාහ කරලා බලන්න. ඒවා තද නම් ගෙඩිය ඉදිලා නෑ. මෘදු ලෙස කටු දෙක ලංවෙන්න සූදානම් බවක් පෙනේනම් ඒ කියන්නේ ලෙල්ල මෙලෙක් වෙලා. අපි තෝරා ගත යුත්තේ එවන් ගෙඩියක්”

වෙනත් රටවල තිබෙන වාණිජ දූරියන් වගාවන්හි ගස් මෙරට තිබෙන අයාලේ හැදුනු වෘක්ෂයන් මෙන් උස නැත. ඒවා නියම කාලයට කප්පාදු කරමින් උපරිම පලදාවක් ලබාගත හැකි ආකාරයට පුහුණු කර තිබේ. අතට හසුවෙන උසකින් ගෙඩි හටගන්නා නිසා, උපරිම ප්‍රමාණයට පැසී ඇත්දැයි පහසුවෙන් නිරීක්‍ෂණය කල හැකි අතර ඒ බව දැනගන්නට හොඳම ක්‍රමය වන්නේ නටුව පිරික්සීමයි. ගෙඩිය ගසෙන් වෙන්වීමට සූදානම්වීමේදී සෑදෙන මුද්දක් වැනි ඡේදක ස්තරය ඉතා පැහැදිලිව වලයාකාරව ඉදිමී පිටතට පෙනේ නම් එය පැසුණු ගෙඩියක් හඳුනාගැනීමේ සංකේතයයි.

“පාරිභෝගිකයින්ට මේ ගැනත් බලන්න පුළුවන්. නටුව පරීක්‍ෂා කරන්න. ගෙඩිය ගසෙන් වෙන්වී ඇත්තේ වලයාකාරව පිටතට ඉදිමුණු ඡේදක ස්තරයෙන්ම දැයි බලාගන්න පුළුවන්. නටුවේ කෙලවර මුද්දක් ආකාරයට ඉදිමුණු ඡේදක ස්තරය පැහැදිලිව පෙනෙනවා. හැබැයි මෙහෙම දෙයකුත් වෙනවා. ගෙඩි කඩනකොට නටුව ටිකක් දිගට තිබෙන්න කඩාගෙන ගබඩා කලවිටත්, නොපැසුණු ගෙඩිවල පවා නටුවේ වෙන්විය යුතු ස්ථානයේ ඉදිමුණු ඡේදක ස්ථර හැදෙනවා. කූට ව්‍යාපාරිකයෝ දැන් එතනින් වෙන්කරනවා. බැලූ බැල්මට දැන් නටුවේ කෙලවර ඉදිමුණු මුහුණතක් තිබෙන නිසා ගැට දූරියන් ගෙඩියකට රැවටෙන්න පුළුවන්”

ආචාර්ය හීන්කෙන්ද වෙළඳ ප්‍රයෝගයක් ගැන අදහස් දැක්වුයේ එලෙසිනි. දූරියන් ගස ගෙඩි හා ඇට සාදන්නේ අපට කෑමට දෙන්නට නොව, තම වර්ගයා ප්‍රචාරණය කරන්නටය. ගසේ ඇති දූරියන් ගෙඩිය විවෘතවී බීජ පිටවන්නට නම්, පළමුව පරිනත විය යුත්තේ ගෙඩියේ පහල පෙදෙසේ බීජයන්ය. ඒ නිසා පළමුව ඉදෙන්නේ පහල පෙදෙසයි. වෙළඳසැලෙන් මිලදී ගැනීමේදීද, ගෙඩියේ නටුවට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් සුවඳ නිකුත්වේ නම්, හොඳ ගෙඩියක් තෝරා ගැන්මට එම ලක්ෂණයද ඉවහල් කරගත හැකි බව අවසාන වශයෙන් හෙතෙම පෙන්වා දුනි.

සනත් එම්. බණ්ඩාර

සනත් එම්. බණ්ඩාර

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.