දේශීය වගා සැලසුම් රහිතව ‘කහ ආනයනය තහනම් කිරීම’ නිවැරදි තීන්දුවක් ද ?

කහ කුඩු නැතිව ආහාර පිළියෙළ කරන්නට ගෘහණියෝ සමත්ව සිටිති. පරිප්පු ව්‍යංජනයක් සකස් කරන විට කහ ස්වල්පයක් එක් කරති. කහටක් ඇති එළවලුවක් සකස් කරන අවස්ථාවක කහ කුඩු ටිකක් මිශ්‍ර කර හොඳින් අත ගා ගැනීම ගැන නොදන්නෝ නොවෙති.

මාස කිහිපයක සිට වෙළඳ සැල්වල කහ කුඩු නැත. රට පුරා කහ හිඟයක් පවතින අතර මෙරට වගා කරන සීමිත අස්වැන්න ඉතා අධික මිලකට අලෙවි වෙමින් තිබේ. කහ ආනයනය හා ප්‍රති අපනයනය රජය තහනම් කර ඇති අතර කහ කුඩු කිලෝවක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රු. 750.00ක් වශයෙන් නියම කර ඇත.

කහ මෙරට ජනතාවට අත්‍යවශ්‍යම කුළු බඩු විශේෂයක් නොවෙන බව නිලධාරීහු කල්පනා කරන බව පෙනේ. කහ අවශ්‍යකරන්නේ ආහාර සකස් කිරීම වෙනුවෙන් පමණක් නොවේ. ආයුර්වේදය අනුව එය වටිනා ඖෂධයකි. හින්දු භක්තිකයන්ට කහ දියර ඉසීම සංස්කෘතික වතාවතකි. විෂබීජ නාශකයක් වශයෙන් භාවිතා කෙරේ. උස් පහත් භේදයක්, ජාතිය හෝ ආගම පසුබිමක් රහිතව කහ ප්‍රයෝජනයට ගැනෙන අතර මාස ගණනක් තිස්සේ පවතින හිඟය ගැන නොසලකා හැරීම එපමණ සුදුසු තත්ත්වයක් නොවේ.

රටට ආනයන වියදම ගැන ප්‍රශ්නයක් තිබේ. අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය පාලනය කරන තීරණය එහි එක පියවරකි. මෙරටට ආනයනය කරන කහ, කුරුඳු හා ගම්මිරිස් වැනි කුළු බඩු ඇතුළු ඇතැම් වෙළඳ ද්‍රව්‍ය ප්‍රති අපනයනයක් සිදුවූ අතර එය ව්‍යාපාරයකි. ප්‍රති අපනයනය අතර තුර සිදුවන වංචා සහ රට තුළට එන තොග ප්‍රමාණය හෙයින් මෙරට ගොවි ජනතාවට ප්‍රශ්නයක් වූ අතර ගොවියන් ගේ විරෝධය ද ආනයනය පාලනයට බලපා තිබේ.

විනිමය හිඟය හා ආනයනය ගැන ගොවියන්ගේ විරෝධය මෙරට සමස්ථ පාරිභෝගික ජනතාවටම ප්‍රශ්නයක් වී තිබේ. මිල පාලනය කළ නොහැකිවීම මත වෙළඳ පොළ විකෘතියක් ද සිදුවී ඇති අතර අයුතු ලාභ උපයන අතරමැදි පිරිස පාලනය කිරීමට හැකිවී නැත.

රජයේ ප්‍රතිපත්ති තීරණ අනුව ආනයන හා අපනයන සම්බන්ධ තීරණ වෙනස් කිරීම ගැටළුවක් නොවේ. එයින් ඇතිවන ප්‍රතිවිපාක ගැන ද සැලකිලිමත් විය යුතුය. වසරකට මෙරටට අවශ්‍ය කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7000කට ආසන්නය. රට තුළ නිපදවන්නේ මෙට්‍රික් ටොන් 2000කි.

කහ වගා කරන කන්නය අනුව අස්වැන්න ලැබෙන්නට මාස නමයක් ගත වෙයි. අස්වැන්න ලබා ගත් පසු වියලි කහ බවට පත් කිරීමට ද කාලයක් අවශ්‍යය.

ඉන්දියාව ලෝකයේ කහ වගා කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටී. ලෝක අවශ්‍යතාවයෙන් 80%ක් පමණ එරටින් සැපයෙයි.

වාර්තා දක්වන පරිදි 2014-2018 කාලය තුළ ඇමරිකාව කහ ආනයනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ. එයට හේතුව කහ එකතු කරගත් තේ පානය ප්‍රචලිතවීම බව පැවසේ.

විශ්ව විද්‍යාල ඇතුළු ජාත්‍යන්තර ආයතන විශාල ප්‍රමාණයක් කහ ගැන පර්යේෂණ පවත්වා ඇති අතර ඒවායේ වාර්තා දක්වන පරිදි කහ නිෂ්පාදනවලට නොනවතින වෙළඳ පොළක් ඇත.

ආහාර, පාන පමණක් නොව රූප ලාවන්‍ය කටයුතු සඳහා ද අලුතින් අවස්ථා ඇති වෙමින් තිබේ. කහ හිඟය ගැන පමණක් නොව අනාගතයේ ඇති විය හැකි ඉල්ලුම ගැන ද අවධානය යොමු කිරීම වැදගත්ය.

කහ ආනයනය තාවකාලිකව තහනම් කරන අතරතුර මෙරට අවශ්‍යතා සහ අපනයනය ඉලක්ක කරගෙන කහ වගා කළ හැකිය. උසස් ප්‍රමිතියකින් යුතු බීජ ආකන්ද සැපයිය යුතුය. ගොවියන් සංවිධාන ගත කර මහා පරිමාණයෙන් වගා කරන්නට පෙළඹවීම සුදුසුය. එය වෙනම ව්‍යාපාරයක් වශයෙන් දියුණු කළ හැකිය.

සම්ප්‍රදායික වගාවට වඩා වෙනස් පැති සඳහා ගොවි ජනතාව යොමු කරන අතර භාවිතා නොකරන රජයේ ඉඩම් ගොවියන්ට හෝ ගොවි සංවිධාන වලට බෙදා දිය හැකිය. එය දිරිගැන්වීමකි. එවැනි කිසිම ඉදිරි දැක්මක් රහිතව කහ ආනයනය තහනම් කිරීම ප්‍රශ්න ගණනාවක් ඇති කර තිබේ. අතුරු ප්‍රතිඵල නොතකා, සැලසුමක් රහිතව තීරණ ගැනීම නුසුදුසු බව පෙන්වා දිය යුතුය.

මිලින්ද මොරගොඩ

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.