ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු ජාත්‍යන්තර යුද්ධ, ගෝලීය වසංගත සහ දේශගුණික විපර්යාස වැනි ජාත්‍යන්තර අර්බුදවලට ලෝකය ප්‍ර‍තිචාර දක්වන ආකාරයට දැඩි බලපෑමක් කරන පුද්ගලයෙකි.

එබැවින්, සිව් වසරකට වරක් පැවැත්වෙන මැතිවරණයේදී එහි අවසන් ප්‍ර‍තිඵලය කෙරෙහි විශාල අවධානයක් යොමු වුවත්, මැතිවරණ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ එතරම් අවබෝධයක් නොමැත.

බීබීසී මාධ්‍ය ආයතනය තුළ වුවද, ඡන්ද විද්‍යාලය ක්‍රියාකරන ආකාරය කෙසේද සහ දැඩි තරගකාරී ප්‍රාන්තයක් යනු කුමක්ද යන්න පිළිබඳව අප යළි යළිත් සිහි කැඳවා ගැනීම කළ යුතු වේ.

ඔබ ඔබගේ මතකය නැවත අලුත් කරගැනීමට හෝ මෙම කරුණු පළමු වරට අවබෝධ කරගැනීමට උත්සාහ කරන්නේ නම්, ඇමෙරිකානු මැතිවරණය පිළිබඳ මෙම සරල මගපෙන්වීම පිටිවහලක් වනු ඇත.

මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද? අපේක්ෂකයන් කවුද?

ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම සෑම විටම නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එළැඹෙන පළමු අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන අතර ඒ අනුව මෙවර නොවැම්බර් 3 වැනිදාට එය යෙදී තිබේ.

වෙනත් බොහෝ රටවල් මෙන් නොව, ඇමෙරිකාවේ දේශපාලන ක්‍රමය තුළ ආධිපත්‍ය පතුරුවාලන්නේ පක්ෂ දෙකක් පමණි. එබැවින් සැමවිටම ජනාධිපතිවරයා ලෙස පත්වන තැනැත්තා මෙම පක්ෂ දෙකෙන් එකකට අයත් වේ.

රිපබ්ලිකන් පක්ෂය යනු ඇමරිකාවේ සම්ප්‍ර‍දායික දේශපාලන පක්ෂය වන අතර මෙවර ඔවුන්ගේ පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා වන්නේ, තවත් වසර හතරකට සිය බලය තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ය.

ඩිමොක්‍ර‍ටික් පක්ෂය යනු ඇමෙරිකාවේ ලිබරල් දේශපාලන පක්ෂයයි. ඔවුන්ගේ අපේක්ෂකයා වන්නේ අත්දැකීම් ඇති දේශපාලනඥයකු මෙන්ම හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ උප ජනාධිපති ලෙස වසර අටක් පුරා සේවය කළ ජෝ බයිඩන් වේ.

මෙම අපේක්ෂකයින් දෙදෙනාම 70 වැනි විය ඉක්මවූවෝ වෙති. ජනාධිපති ට්‍ර‍ම්ප් දෙවැනි වරට පත් වුවහොත් ධූර කාලය ආරම්භ වන විට 74 වැනි වියට පා තබන අතර 78 හැවිරිදි බයිඩන් ජයග්‍ර‍ණය කළහොත්, ඔහු ඇමෙරිකානු ඉතිහාසයේ පළමුවරට තේරී පත්වන වයස්ගත ම ජනාධිපතිවරයා වනු ඇත.

ජයග්‍රාහකයා තීරණය කරන්නේ කෙසේද?

ජාතික මට්ටමින් වැඩිම ඡන්ද හිමි කරගන්නා අපේක්ෂකයා සෑම අවස්ථාවකදීම ජයග්‍රාහකයා නොවේ. 2016 වසරේ ජනාධිපති අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් එයට ආසන්නතම උදාහරණය වේ.

ජනතා ඡන්දය වෙනුවට, ඡන්ද විද්‍යාලය සඳහා වූ ඡන්ද දිනාගැනීම සඳහා අපේක්ෂකයෝ තරග කරති. සෑම ප්‍රාන්තයකටම එහි ජනගහණය මත පදනම් වූ නිශ්චිත ඡන්ද ප්‍රමාණයක් ඡන්ද විද්‍යාලය සඳහා හිමිවන අතර ඡන්ද විද්‍යාලයේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 538කි. ඒ අතරින් ඡන්ද 270ක් හෝ ඊට වැඩියෙන් ලබාගන්නා අපේක්ෂකයාට ජයග්‍ර‍හණය හිමි වේ.

එනම්, කිසියම් පුද්ගලයෙකු තමන් කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේදී, ඔවුන් එම ඡන්දය ලබාදෙන්නේ ජාතික තලයක නොව, ප්‍රාන්ත මට්ටමේ තරගයකට ය.

ඡන්ද විද්‍යාලයේ ඡන්ද

ප්‍රාන්ත දෙකක් හැර සෙසු සියල්ලේම බලපැවැත්වෙන්නේ ජයග්‍රාහකයාට සියල්ල හිමි වේය යන රීතියයි. ඒ අනුව වැඩිම ඡන්ද ප්‍ර‍මාණයකින් ජයග්‍ර‍ණය කරන අපේක්ෂකයා කවුරුන් වුවද, ඡන්ද විද්‍යාලය සඳහා වූ ප්‍රාන්තයේ සියලු ඡන්ද ඔහුට හෝ ඇයට හිමි වේ.

බෝහෝ ප්‍රාන්ත පක්ෂ දෙකෙන් එකක් කෙරෙහි දැඩි නැඹුරුතාවක් දක්වන බැවින් අපේක්ෂකයෝ තමන්ට ජයග්‍ර‍හණය කළ හැකි ප්‍රාන්ත ඉලක්ක කරගෙන කටයුතු කරති. ඒවා දැඩි තරගකාරී ප්‍රාන්ත (battleground states) ලෙස හැඳින්වේ.

ඡන්දය අයිතිය ඇත්තේ කාටද? එය කරන්නේ කෙසේද?

ඔබ වයස අවුරුදු 18ට වැඩි ඇමෙරිකානු පුරවැසියෙක් නම්, ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ඔබ සුදුසුකම් ලබයි.

කෙසේවෙතත්, කිසියම් පුද්ගලයෙකු සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාව තහවුරු කිරීමේ ලේඛනයක් ඉදිරිපත් කළ යුතු බවට වන නීති බොහෝ ප්‍රාන්ත විසින් සම්මත කරගනු ලැබ ඇත.

ඡන්ද වංචා වැලැක්වීම පිණිස මෙවැනි නීති අවශ්‍ය බව පෙන්වා දෙන රිපබ්ලිකන් පක්ෂය නිරන්තරයෙන්ම මෙම නීති ක්‍රියාත්මක කරන නමුත් මේ හරහා ඡන්දය භාවිත කරන පුද්ගලයන්ව පීඩනයට ලක් කෙරෙන බවට චෝදනා නගන ඩිමොක්‍ර‍ටික් පක්ෂය පවසන්නේ දුප්පත්, සුළුතර ඡන්ද දායකයින්ට රියැදුරු බලපත්‍ර‍ වැනි පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

එසේම සිරකරුවන්ට සිය ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විවිධ ප්‍රාන්තවල විවිධ නීති ක්‍රියාත්මක වේ. ඔවුන් වරදකරුවන් ලෙස නම් කිරීමෙන් පසු වැඩි පිරිසකට ඡන්ද අයිතිය අහිමිවන නමුත් ඔවුන් සිය අදාළ දඬුවම ගෙවූ පසු එම අයිතිය නැවත හිමි වේ.

මැතිවරණ දිනයේදී බොහෝ දෙනා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය භාවිත කරන නමුත් ඡන්දය භාවිත කළ හැකි විකල්ප ක්‍ර‍ම පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙසින් වර්ධනයවී තිබේ. 2016 වසරේදී 21%ක පිරිසක් තැපැල් ඡන්දය භාවිත කර තිබුණි.

මේ වසරේ මුහුණ දී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාව ඡන්දය භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව අඛණ්ඩ ගැටලු පැන නගිමින් තිබේ. සමහර දේශපාලඥයින් පවසන්නේ තැපැල් මගින් ඡන්ද විමසීම වඩා පුළුල් ලෙස භාවිත කළ යුතු බව වුවත්, මෙයින් වැඩි ඡන්ද වංචා සිදු වීමේ හැකියාවක් ඇති බව ජනාධිපති ට්‍ර‍ම්ප් ප්‍රකාශ කර තිබේ. එහෙත් ජනාධිපතිවරයාගේ එම චෝදනාව සනාථ කිරීමට සාක්ෂි නැත.

මැතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපතිවරයා තේරීමට පමණක්ද?

නැත. සියලු දෙනාගේ අවධානය ට්‍ර‍ම්ප් සහ බයිඩන් කෙරෙහි යොමු වී තිබුණත්, ඡන්ද දායකයෝ සිය ඡන්දය භාවිත කර නව කොංග්‍ර‍සයේ සාමාජිකයින් ද තෝරා පත්කර ගනිති.

ඇමෙරිකානු කොංග්‍රසය

ඩිමොක්‍ර‍ටික් පක්ෂය මේ වන විටත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය හිමි කරගෙන සිටින බැවින්, එහි බලය රැක ගන්නා අතරතුර සෙනෙට් මණ්ඩලයේ පාලනය ලබාගැනීමට උත්සාහ කරයි.

මන්ත්‍රී මණ්ඩල දෙකේම බහුතර බලය ඔවුන්ට හිමි වන්නේ නම් ජනාධිපති ට්‍ර‍‍ම්ප් නැවත තේරී පත්වුවහොත් ඔහුගේ සැලසුම් අවහිර කිරීමේ හෝ ප්‍ර‍මාද කිරීමේ හැකියාව ඔවුනට හිමි වේ.

435කින් සමන්විත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන සියල්ල සඳහා මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන අතර සෙනෙට් සභිකයින් අතරින් 33 දෙනෙකු තෝරා පත්කරගත යුතුව තිබේ.

ප්‍ර‍තිඵල නිකුත් කරන්නේ කවදාද?

සෑම ඡන්දයක්ම ගණන් කළ යුතු බැවින් ප්‍ර‍තිඵල නිකුත් කිරීමට දින කිහිපයක් ගත විය හැකිය. නමුත් ජයග්‍ර‍හණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ දළ අදහසක් සාමාන්‍යයෙන් පසුදින උදෑසන වනවිට ලබාගත හැකිය.

2016 වසරේදී, ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් සිය ආධාරකරුවන් ඉදිරියේ ජයග්‍රාහී දේශනය කිරීම සඳහා නිව්යෝක් නගරයේ වේදිකාවක් මතට ගොඩවන විට අළුයම 3 පමණ විය.

නමුත්, ඔබ දැන්ම ඉක්මන් නොවන්න. මෙම වසරේදී තැපැල් ඡන්ද ඉහළ යාමක් අපේක්ෂා කරන බැවින් ප්‍ර‍තිඵල දැනගැනීම සඳහා දින කිහිපයක් හෝ ඇතැම්විට සති කිහිපයක් බලා සිටීමට සිදු වනු ඇති බවට නිලධාරීන් දැනටමත් අනතුරු අඟවා තිබේ.

2000 වසරේ පැවති මැතිවරණයේදී පැය කිහිපයක් ගත වන තෙක් ප්‍ර‍තිඵල පැහැදිලි වූයේ නැත. මසකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍ර‍කාශයට පත් කරන තෙක් ජයග්‍රාහකයා නම් කිරීම ප්‍ර‍මාද විය.

ජයග්‍රාහකයා නිල වශයෙන් වැඩ භාරගන්නේ කවදාද?

ජෝ බයිඩන් මැතිවරණයෙන් ජය ලදහොත්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ට්‍ර‍ම්ප් වෙනුවට රාජකාරි ආරම්භ නොකරයි. ඒ සඳහා නිශ්චිත සංක්‍රාන්ති කාලයක් ඇති අතර එමගින් නව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය පත්කර, නව සැලසුම් සකස් කරගැනීමට අවශ්‍ය කාලය හිමි වේ.

නව ජනාධිපතිවරයා වොෂිංටන් අගනුවර කොංග්‍රස් මණ්ඩලයට නිවහන වන කැපිටල් ගොඩනැගිල්ලේ පියගැටපෙළ මතදී දිවුරුම් දෙන සමාරම්භක උත්සවය (The Inauguration) ජනවාරි 20 වැනිදා පැවැත්වෙනු ඇත.

මෙම සමාරම්භක උත්සවයෙන් පසු, සිව් වසරක සිය සේවා කාලය ආරම්භ කිරීම සඳහා නව ජනාධිපතිවරයා ධවල මන්දිරය වෙත සම්ප්‍රාප්ත වේ.

ඇමෙරිකානු මැතිවරණය

ඡන්ද විද්‍යාලය යනු කුමක් ද?

ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා තිබෙන්නේ තව දින 100 ට අඩු කාලයකි. එහෙත්, මහජනතාවගේ වැඩි ම ඡන්ද ප්‍රමාණය හිමිකරගන්නා අපේක්ෂකයා ජයග්‍රාහකයා බවට පත් නොවීමට ද ඉඩ ඇත.

මීට හේතුව ජනාධිපතිවරයා සෘජුව ම ඡන්දදායකයින් විසින් තෝරා ගනු නොලැබීමය. එය ඉටුකෙරෙන්නේ ඡන්ද විද්‍යාලය නම් ක්‍රමයකිනි.

එසේනම් ඇමෙරිකානුවන් ඡන්දය දෙන්නේ කාට ද?

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යන ඇමෙරිකානුවන් සැබවින්ම සිය ඡන්දය දෙන්නේ ඡන්ද විද්‍යාලය සකසන නිලධාරීන් සමූහයකට ය.

එනම්, සරලව “විද්‍යාලය” (college) යන පදය භාවිත කරන්නේ එක් කාර්යයක් පැවරෙන පුද්ගලයින් කණ්ඩායමකට ය. එම පුද්ගලයින් තෝරාගැනීම කරන තැනැත්තන් (වරකයින් – electors) වන අතර ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා තෝරාගැනීම ඔවුන්ගේ කාර්යය වේ.

සෑම සිව් වසරකට වරක්, මැතිවරණ දිනෙන් සති කිහිපයකට පසු සිය කාර්යය ඉටු කිරීම සඳහා ඡන්ද විද්‍යාලය රැස්වේ.

ඡන්ද විද්‍යාලය ක්‍රියාකරන්නේ කෙසේ ද?

ඒ ඒ ප්‍රාන්තවල තෝරාගැනීම කරන්නවුන්ගේ (වරකයින්) සංඛ්‍යාව දළ වශයෙන් එම ප්‍රාන්තයේ ජනගහනය අනුව සැකසේ.

මුළු වරකයින් සංඛ්‍යාව 538 ක් වේ.

වැඩි ම වරකයින් ප්‍රමාණය කැලිෆෝර්නියා ප්‍රාන්තයට සතු ය. එම සංඛ්‍යාව 55 කි. වයෝමිං, ඇලස්කා හා නොර්ත් ඩැකෝටා (සහ වොෂිංටන් අගනුවර) වැනි ජනගහනයෙන් අඩු අතලොස්සක් ප්‍රාන්තවලට අවම ප්‍රමාණය වූ තිදෙනෙකු හිමිවේ.

මේ සෑම දෙනෙකුට ම එක් ඡන්දය බැගින් හිමිවන අතර ජනාධිපතිධුරය ජයග්‍රහණය කිරීම සඳහා අපේක්ෂකයෙකු ඡන්ද 270 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සතු කරගත යුතුය.

ඡන්ද විද්‍යාලයේ ඡන්ද

උදාහරණයක් ලෙස, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ටෙක්සස් ප්‍රාන්තය තුළ ඡන්ද 50.1% ක් දිනාගත්තේ වී නම්, එම අපේක්ෂකයා හට ඡන්ද විද්‍යාලය සඳහා ප්‍රාන්තයට හිමි ඡන්ද 38 ම පිරිනැමේ.

ප්‍රාන්ත දෙකක පමණක් (මේයින් හා නෙබ්‍රැස්කා) එක් එක් අපේක්ෂකයින් ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට අනුව, ඡන්ද විද්‍යාලය සඳහා වූ සිය ඡන්ද බෙදා වෙන්කරනු ලබයි.

රට පුරා හැකි තරම් ඡන්ද දිනාගනු වෙනුවට, ඕනෑම දිසාවකට ඡන්දය ගැලිය හැකි ප්‍රාන්ත නැතිනම් නිශ්චිත “දෝලනය වන ප්‍රාන්ත ” ජනාධිපති අපේක්ෂකයින් විසින් ඉලක්ක කරනු ලබන්නේ ඒ හෙයිනි.

ඔවුන් දිනන සෑම ප්‍රාන්තයක් ම, ඔවුන්ට අවශ්‍ය කෙරෙන, ඡන්ද විද්‍යාලයේ 270ක ඡන්ද ප්‍රමාණයට ළඟා කරයි.

සාමාන්‍යයෙන්, ප්‍රාන්තයේ සාමාන්‍ය ඡන්දදායකයින්ගේ කැමැත්ත දිනන කවර හෝ අපේක්ෂකයෙකු වෙත ඡන්ද විද්‍යාලය සඳහා වූ සිය ඡන්ද සංඛ්‍යාව අදාළ ප්‍රාන්තය විසින් පිරිනමනු ලැබේ.

මහජන ඡන්දය දිනුව ද, ජනාධිපති විය නොහැකි ද?

ඔව්, විය හැකියි.

ජාතික වශයෙන් වූ ඡන්දදායකයින් අතර වඩා ජනප්‍රිය ම අපේක්ෂකයා වීමේ හැකියාව තිබුණ ද, එම අපේක්ෂකයා ඡන්ද විද්‍යාලය තුළ 270 ක් ඡන්ද ලබාගැනීමට ප්‍රමාණවත් ප්‍රාන්ත සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට අපොහොසත් විය හැකිය.

ඇත්තෙන්ම, පසුගිය මැතිවරණ පහෙන් දෙකකදීම ජයග්‍රහණය කළේ පොදු මහජනතාව අතරින් සිය ප්‍රතිවාදීන්ට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබූ අපේක්ෂකයින් ය.

2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් ලැබුවේ හිලරි ක්ලින්ටන් ට වඩා මිලියන තුනක් තරම් අඩු ඡන්ද සංඛ්‍යාවකි. එනමුත්, ඡන්ද විද්‍යාලය ඔහුට බහුතරය දීම හේතුවෙන් ඔහු ජනාධිපතිධුරය ජයග්‍රහණය කළේය.

2000 මැතිවරණයේදී රිපබ්ලිකන් පාක්ෂික ජෝර්ජ් බුෂ්, ඩිමොක්‍රටික් පාක්ෂික අල් ගෝර් පරදා ජය ලැබීය.
,2000 මැතිවරණයේදී රිපබ්ලිකන් පාක්ෂික ජෝර්ජ් බුෂ්, ඩිමොක්‍රටික් පාක්ෂික අල් ගෝර් පරදා ජය ලැබීය.

2000 වසරේදී ඩිමොක්‍රටික් අපේක්ෂක අල් ගෝර් වැඩි ඡන්ද ලක්ෂ පහකින් ජනප්‍රියතාව ලැබුව ද ඡන්ද විද්‍යාලය තුළ 271 ක් වූ ඡන්ද ප්‍රමාණය ලැබීමට ජෝර්ජ් බුෂ් හට හැකි විය.

ඊට පෙර ජනප්‍රිය ඡන්ද දිනාගැනීමකින් තොරව තෝරා පත්වූ ජනාධිපතිවරුන් සිටියේ තිදෙනෙකු පමණි. 19 වැනි සියවසේ විසූ එම ජනාධිපතිවරුන් වූයේ ජෝන් ක්වින්සි ඇඩම්ස්, රදර්ෆර්ඩ් බී හෙයිස් සහ බෙන්ජමින් හැරිසන් ය.

මෙම ක්‍රමය තෝරාගත්තේ ඇයි?

1787 දී ඇමෙරිකානු ව්‍යවස්ථාව සකස් කෙරෙමින් පවතින විට ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සඳහා ජාතික වශයෙන් ජනප්‍රිය ඡන්දයක් පැවැත්වීම ප්‍රායෝගිකව අපහසු විණි. රටේ ප්‍රමාණය මෙන්ම සන්නිවේදනයේ පැවති දුෂ්කරතා මීට හේතුවිය.

ඒ සමග ම වොෂිංටන් අගනුවර සිටින මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා තෝරා පත්කරගනු ලැබීමට ඉඩදීමට එතරම් උනන්දුවක් නොවීය.

එබැවින්, වරකයින් තෝරාගැනීමට ඒ ඒ ප්‍රාන්තවලට ඉඩ සලසමින් ඡන්ද විද්‍යාලය බිහිකිරීමට ව්‍යවස්ථාවේ සැකසුම්කරුවෝ පියවර ගත්හ.

කුඩා ප්‍රාන්ත මෙම ක්‍රමයට කැමැත්ත පළ කළේ ජනාධිපතිවරයෙකු පිළිබඳ තීරණය ගැනීම සඳහා රට පුරා පවත්වන ජනප්‍රිය ඡන්දයකට වඩා තමන්ට මෙයින් වැඩි අවස්ථාවක් දුන් බැවිනි.

ජනගහනයෙන් විශාල ප්‍රමාණය වහලුන්ගෙන් සමන්විත වූ දකුණු දිග ප්‍රාන්ත වෙතින් ද ඡන්ද විද්‍යාලයට කැමැත්ත පළවිය. වහලුන් ඡන්දය ප්‍රකාශ නොකළ ද ඇමෙරිකානු සංගණනවලදී ඔවුන් ඇතුළත් කර ගැනිණි. (පුද්ගලයෙකුගේ පහෙන් තුනක් ලෙසිනි)

ප්‍රාන්තයක ජනගහනය අනුව ඡන්ද විද්‍යාලය වෙනුවෙන් වූ ඡන්ද සංඛ්‍යාව තීරණය කෙරෙන බැවින් ජනප්‍රිය මහජන ඡන්දයකින් සැපයෙනවාට වඩා වැඩි බලපෑමක් කිරීමේ හැකියාව ජනාධිපති තෝරාගැනීමේදී එම ප්‍රාන්තවලට හිමි විය.

ඒ ඒ ප්‍රාන්තවලට ඡන්ද විද්‍යාලය තුළ නිශ්චිත ඡන්ද ප්‍රමාණයක් තිබේ.
ඒ ඒ ප්‍රාන්තවලට ඡන්ද විද්‍යාලය තුළ නිශ්චිත ඡන්ද ප්‍රමාණයක් තිබේ.

ජයග්‍රහණය කළ අපේක්ෂකයාට ඡන්දය දීමට වරකයින්ට සිදුවේ ද?

ඡන්දදායකයින් කවරෙකුට සහයෝගය පළකළ ද, ඇතැම් ප්‍රාන්තවල වරකයින්ට ඕනෑම අපේක්ෂකයෙකු සඳහා ඡන්දය ප්‍රකාශ කළ හැක. එහෙත් ප්‍රායෝගික තලයේදී, සිය ප්‍රාන්තයේ වැඩි ඡන්ද දිනන අපේක්ෂකයා සඳහා සෑම විටම පාහේ වරකයින් විසින් සිය ඡන්දය දෙනු ලබයි.

කිසියම් වරකයෙකු සිය ප්‍රාන්තයේ ජනාධිපති තේරීම පසෙක ලා ඊට එරෙහිව ඡන්දය භාවිත කරයි ද, එම තැනැත්තා “ද්‍රෝහියකු” ලෙස නම් කෙරේ. 2016 වසරේදී ඡන්ද විද්‍යාලය තුළ ඡන්ද හතක් මේ ආකාරයට ප්‍රකාශ කෙරුණද එම ද්‍රෝහී වරකයින් හට ප්‍රතිඵලයේ වෙනසක් කළ නොහැකි විය.

කිසිම අපේක්ෂකයෙකු බහුතරය නොලැබුවහොත් කුමක් වේ ද?

එවිට, ඇමෙරිකානු මන්ත්‍රීවරුන්ගේ පහළ මන්ත්‍රණ සභාව වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කරයි.

එවැනි තත්ත්වයක් මෙතෙක් හටගෙන ඇත්තේ එක්වරක් පමණි. 1824 වසරේදී ඡන්ද විද්‍යාලයේ ඡන්ද අපේක්ෂකයින් සිව් දෙනෙකු අතරේ බෙදී යාම හේතුවෙන් කිසිවකුට බහුතරය හිමි නොවිණි.

පක්ෂ දෙකක් විසින් ආධිපත්‍යය පතුරුවාගෙන ඇති ඇමෙරිකානු ක්‍රමය තුළ, අද එවැනි තත්ත්වයක් ඇති වීමට බොහෝවිට ඉඩක් නැත.

Text by – bbc sandesaya

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.