ඖෂධ ආනයනය වසර 5ක දී මුළුමනින්ම නතර කරනවා – රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන

ශ්‍රී ලංකාව තුළ පරිභෝජනය කරන ඖෂධවලින් සියයට 90ක්ම ගෙන්වන්නේ විදේශවලින් බවත්, ඉදිරි වසර 5ක කාලයෙන් පසු විදේශයන්ගෙන් ඖෂධ ගෙන්වීම මුළුමනින්ම නතර කිරීමට අවශ්‍ය සැලසුම්වලට අනුව කටයුතු කරමින් යන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අද (19) දින අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්විමන් ඔහු මේ බව කියා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය සේලයින් රට තුළම නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලාවක් මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කරනු ලබන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

“මේ වෙන කොට ශ්‍රී ලංකාව තුළ පරිභෝජනය කෙරෙන ඖෂධවලින් 90%ක්ම විදේශවලින් මේ රටට ගෙන එන ඒවා. අතිගරු ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශය භාර දෙන වෙලාවේ පැවසුවේ, අවුරුදු 5ක සැලසුමකට කටයුතු කරලා, ලංකාවට විදේශවලින් ගෙන්වන ඖෂධ මුළුමනින්ම නවත්වන්න අවුරුදු 5කට පස්සේ කියලා.  ඒ වෙනුවෙන් මේ වනකොට අපි සැලසුම් සකස් කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක ඊයේ (18) දිනයේ පැවතුණා. එහිදී අපි එකඟතාවයකට ආවා.

රුපියල් කෝටි ගණනාවක් වියදම් කරලා සේලයින් මේ රටට ගෙනඑනවා. අද පවා එක සේලයින් බෝතලයක් අපේ රටේ හදාගන්න අවශ්‍ය පහසුකම් නැහැ. ඒ වෙනුවෙන් කටයුතු කරලා නැහැ. මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා, ශ්‍රී ලංකාවට අවශ්‍ය සේලයින් රට තුළම නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න අපි කටයුතු යොදනවා. ඒ වගේම මේ වසර නිම වෙන්න පෙර ඒ නිෂ්පාදනාගාරේ නිෂ්පාදන රටට ලබා දෙන්නත් අපි කටයුතු කරනවා.“

“පසුගිය අවුරුදු හතරක පහක කාලයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ රටේ ජනතාව රැවැට්ටුවා, අඩු මිලට ඖෂධ දෙනවා කියලා. ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ තමයි ලබලා දුන්නේ. ඒ වගේම තමයි අත්‍යාවශ්‍ය ඖෂධ ගණනාවක මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. මේ ඔක්කොම ඖෂධ ඒකාධිකාරයක්, ඖෂධ මාෆියාවක් පවුලේ කිහිපදෙනෙක් විසින් නඩත්තු කරපු නිසා තමයි මේ තත්ත්වයට පත්වුණේ. අපි මේ ඖෂධ මාෆියාව බිඳහෙලලා ප්‍රමිතියෙන් යුතු ඖෂධ සාධාරණ මිලකට ලබාදෙන්න කටයුතු සූදානම් කරගෙන යනවා. සති කිහිපයකින් ඒකේ ඵල ප්‍රයෝජන අපේ ජනතාවට භුක්ති විඳින්න පුළුවන්.“

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.