කටු අනෝදා ගසේ ‘මල් පිපුණට’ ගෙඩි නැද්ද ? ගෙඩි හදා ගන්න විසදුම මෙන්න

ගෙවතුවල වැවෙන අනෝදා ශාකයේ කෙතරම් මල් හටගැනුනද, ඊට සමානුපාතික පලදාවක් නොලැබෙන බව බොහෝ දෙනා නගන මැසවිල්ලකි. සෑදෙන මල් බොහොමයක් වියලී හැලී යන බව ඔවුන්ගේ සුලභ අත්දැකීමක් වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මල් පරාගනය නොවීමයි.

මධ්‍යම ඇමරිකානු සම්භවයක් දරන කටු අනෝදා ශාකය ආදිකාලීන අප්‍රිකානු හා දකුණු ඇමරිකානු වැසියන් අතර භාවිතා වන්නේ ආහාරයක් පමණක් නොව ඖෂධීය ශාකයක්ද වශයෙනි. ඔවුන්ගේ පාරම්පරික ගැමි ප්‍රතිකාර වලදී පිළිකා වලින් වැලකීමට, දියවැඩියා තත්වය මගහරින්නට, උදරගත පනුවන් නසන්නට, අක්මා ප්‍රදාහයන්ට ප්‍රතිකාරයක් ලෙස ආදී වශයෙන් අනේකවිධ ප්‍රතිකාර සඳහා අනෝදා ශාකයේ කොටස් භාවිතා කර තිබේ.

මේ වනවිට කටු අනෝදා ශ්‍රී ලංකාවේද ජනප්‍රිය පළතුරක් බවට පත්වී හමාරය. දශක කීපයකට ඉහතදී ඌන භාවිත පළතුරක් ලෙස මෙය හැඳින්වූවත්, ශාකයේ විවිධ කොටස් ගැන මෑතකාලීනව මෙරට තුලද ප්‍රසිද්ධියට පත්වූ ඖෂධීය වටිනාකම හේතුවෙන් මෙම තත්වය ඇතිවූවා යයි සිතිය හැකිවේ. අනෝදා වලින් සාදන බීම වර්ග, රසකැවිලි, අයිස්ක්‍රීම්, පලතුරු යුෂ පමණක් නොව අතුරුපසක් ලෙසද අනෝදා ගෙඩියේ ඉදුණු මදය ලොව පුරා ජනප්‍රිය වී තිබේ.

ගෙවතුවල වැවෙන අනෝදා ශාකයේ කෙතරම් මල් හටගැනුනද, ඊට සමානුපාතික පලදාවක් නොලැබෙන බව බොහෝ දෙනා නගන මැසවිල්ලකි. සෑදෙන මල් බොහොමයක් වියලී හැලී යන බව ඔවුන්ගේ සුලභ අත්දැකීමක් වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මල් පරාගනය නොවීමයි. ස්ත්‍රී හා පුරුෂ කොටස් යන දෙකම, එක මලක් තුල තිබුණත්, යම්කිසි කාල පරතරයක් සහිතව ඒවා පරිණතවීම නිසා, ස්වාපරාගනය යන සිද්ධිය වැළකී යන්නේය.

කලින් ස්ත්‍රී කොටස් මේරීමේ ‘ප්‍රජායාපරිනතිය’ යන මෙම සිද්ධියේ අරමුණ වන්නේද, ගතිගුණ පිටස්තරයින් හා මිශ්‍රකරමින් තම වර්ගයාගේ ප්‍රාවේණික දියුණුවට මංපෙත් විවර කරවන පරපරාගනයට වැඩි අවස්ථාවක් සලසාදීමයි. අවාසනාව වන්නේ පරපරාගන කාරකයින් වන කොලියොප්ටෙරා ගෝත්‍රයට අයත් කුඩා කුරුමිණි විශේෂ, අනෝදා සම්භවය ලැබූ ප්‍රදේශයන්හි සිටියත් මේ වනවිට අනෝදා වාණිජව වැඩිපුර වගාකරන ප්‍රදේශයන්හි වාසය නොකිරීමයි. ඒ නිසා පරාගනය මගහැරී මොහොමයක් මල්  හැලී යනු දක්නට හැකිය.

“වෙනත් කෘමීන් මගින් හෝ පරාගනය සම්පූර්ණ කරගැනීමට හැකි ව්‍යුහයක් අනුව නෙවෙයි මල සකස් වෙලා තිබෙන්නේ. අනෙක් අතට කෘමීන්ව කැන්දා ගතහැකි සුවඳ, වර්ණය ආදී ලක්ෂණ පවා මලෙහි පිහිටලා නෑ.”

එසේ පවසන්නේ හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ අයි. කළුබෝවිල මහත්මියයි. අනෝදා ප්‍රභේද වැඩිදියුනු කිරීම වෙනුවෙන් අභිජනන වැඩසටහන් මෙහෙයවන්නේ ඇය විසින්ය.

කෘමිකාමී පරාගනයක් සිදුකිරීම සඳහා පුෂ්ප ව්‍යුහය හා ලිංගික කොටස්වල පරිනත කාලපරාසයන් සකස්කලද, පරාගකාරකයින් ගෙන්වාගැනීමට කටයතු පිලියෙලවී නොමැතිනම්, අපට ඇති විකල්පය වන්නේ කෘතිම පරාගන පිළිවෙත්වලට අනුගත වීමයි. අනෝදා පුෂ්පයෙහි පළමුව පරිනත වන්නේ ස්ත්‍රී කොටස්ය. මල යන්තම් විවෘත වෙත්දීම පෙනෙන්නට  ඇති බුබුලාකාර හැඩ, ඇලෙනසුලු  ද්‍රව්‍යයක් ශ්‍රාවය කරගත් කලංකය පරාග පිළිගැනීමට සුදානමින් සිටී. එම පුෂ්පයෙහි පුරුෂ කොටස් තවම මෝරා නැත. ඒවා කලංකයට පහලින් තරමක් විශාල වලයක, සුදු පැහැතිව එකිනෙකට තදවී පිහිටන අතර එම නිසා පරාගනය පිණිස වෙනත් මලකින් එකතු කරගත් පරාග, දියසායම් පින්සලක ආධාරයෙන් පින්තූරෙයේ දක්වා ඇති ආකාරයට කලංකය මත තැවරිය යුතුවේ.

“පරාගන කටයුත්ත සඳහා හොඳම වෙලාව වෙන්නේ උදේ 7.00 සිට දහවල් 1.00 අතර කාලයයි. පින්සලට ගත් පරාග මලෙහි තැවරීමට යාමේදී වඩාත් පහසුවීම සඳහා, බාගෙට පෙති දිගහැරුණු මලෙහි පෙති ඇඟිලි තුඩු වලින් පලල්කර වැඩිපුර විවෘත කරගැනීමට හෝ පෙත්තෙක් දෙකක් ගලවා දමා ඉඩ සලසා ගැනීම හෝ කරන්න පුළුවන්. පරාග ලබාගැනීම එම ගසේම පිපුණු වෙනත් මලකින් හෝ වෙනත් ගසක හටගත් මලකින් හෝ සිදුකල හැකියි.” කළුබෝවිල මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

පරාග නෙලාගනීමේ ක්‍රමයද අපහසු නැත. හොඳින් පෙති විවෘත වූ පුෂ්පයක් යනු පරාගධානි පරිනතවීමට සූදානම් වූ එකකි. මේ වනවිට එහි ස්ත්‍රී කොටස් පරාගනය නොවී දුඹුරු පැහැවී හෝ ස්වභාවිකව පරාගනය වී හෝ තිබිය හැකිය. මෙවැනි මල් කීපයක් සවස් කාලයේදී කුඩා තෙල් කඩදාසි බෑග් වලින් ආවරණය කර තැබිය යුතු අතර පසුදා උදෑසන වනවිට මලේ පෙති, පරාගධානිත් සමග බෑගය තුලට වැටී තිබෙනු ඇත. සියල්ල පීරිසියක් මතට හලා, පෙති කොටස් ඉවත්කර පරාගධානි හා පරාග වෙන්කර ගත හැකිවේ. පින්සලෙහි අලවාගෙන වෙනත් මලක කලංකය මත තැවරිය යුතුවන්නේ මෙලෙස වෙන්කරගන්නා ‘කුඩු’ වැනි කොටස්ය.

ස්වභාවිකව හටගන්නා අනෝදා ගෙඩි වක්‍රව විශාලවීම සුලභ අත්දැකීමකි. මෙය සිදුවන්නේද පරාගනයේ ගැටළුවක් නිසාය. ස්වභාවික පරාගනයට ඇති අපහසුතාව නිසා පරාගනය සිදුවුවද, ප්‍රමාණවත් පරාග සංඛ්‍යාවක් කලංකය මත පතිතවන්නේ ඉතා කලාතුරකින් වන අතර ඒ නිසා ඩිම්බකෝෂය තුල පිහිටන සියලු ඩිම්බ සංසේචනය වන්නේ නැත. එහි ප්‍රතිපලය වන්නේ සංසේචනය වූ ඩිම්බ පිහිටන ප්‍රදේශයන්හි ඩිම්බකෝෂ බිත්තිය පමණක් වර්ධන උත්තේජය ලබමින් පලයක් බවට වර්ධනය වුවත් අනෙක් ප්‍රදේශ එතරම් සාර්ථකව මංසල බවට පත් නොවීමයි.

එක පැත්තක් වර්ධනය වනවා යනු ගෙඩිය වක්‍ර වීමකි. මෙය මගහැර වැඩි වෙළඳ වටිනාකමක් සහිත බොහෝ දුරට සමමිතික හැඩයකින් යුත් විශාල අනෝදා ඵලයක් ලබාගැනීමට නම් බුබුලාකාර කලංකය මත සම්පුර්ණයෙන් තැවරෙන පරිදි පරාග ඇතිරීම කල යුතුය. මෙහිදී කලංකයට හානි වියහැකි බැවින් පින්සල ඒ මත චලනය කලයුත්තේ ඉතා ප්‍රවේසමෙනි. පරාගනය සම්පූර්ණ වූ පුෂ්ප එකවරම පල බවට වර්ධනය නොවී තිබිය හැකිය. මාස 5 ක් පමණ දක්වා වුවවද මේ පුෂ්ප දුඹුරු පැහැ ගැන්වී අක්‍රියව පැවතිය හැකි අතර වර්ධනය ඇරඹුණු පසු මාස තුනක් පමණ කාලයකදී ඵලය මෝරා යමින් වැඩීම සම්පූර්ණ කරගනී.

තාක්ෂණික තොරතුරු – අයි. කළුබෝවිල හොරණ

සටහන – සනත් එම්. බණ්ඩාර

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.