කරු ජයසූරිය මිස ‘මධ්‍යස්ථ ජනතාව’ දිනාගත හැකි නායකයෙක් එජාපය තුළ නැහැ

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සදහා රනිල් වික්‍රමසිංහට හෝ ඔහුගේ කල්ලියට කිසිම ශක්තියක් හෝ දර්ශනයක් නැතැයි ද එය කළ හැකි එකම බලවේගය කරු ජයසූරිය මහතා සහ ඔහු වටා ගොනුව සිටින මධ්‍යස්ථ ඡන්ද දායකයින් පමණක් යැයි ද දකුණු සහ අග්නිදිග ආසියානු දේශපාලන සහ සමාජ සංවර්ධන ආයතනයේ ප්‍රධානී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා අප කළ විමසීමකදී පැවසීය.

දශක දෙකකට අධික කාලයක් පුරා දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ දේශපාලන සහ සමාජ ප්‍රවණතා පිළිබද විශ්ලේෂණය කරමින් සිටින ආචාර්ය හේවාවිතාරණ මෙහිදී පෙන්වා දුන්නේ එජාපය යළි ගොඩනැගීමට නම් පසුගිය මහ මැතිවරණයේදී එජාපය පමණක් නොව සමගි ජන බලවේගය ද දෙමළ ජාතික සන්ධානය ද මුහුණ දුන් දේශපාලන යථාර්ථය මනාව වටහා ගෙන ඒ අනුව දේශපාලන සැලසුම් සකස් කළ යුතු බවයි.

‘මේ රටේ මුල් බැසගෙන තිබුණ දෙයක් තමයි සුළු ජාතීන් එක්සත් ජාතික පක්ෂය වටා ගොනුව සිටින බව. ඒත් එය වඩාත් නිවැරදි විය යුතුව තිබෙන්නේ මුස්ලිම් සහ වතු දමිළ කියන විශේෂණ පදය සමග. මොකද ජනාධිපතිවරණයේදී දමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවන නිසා ඔවුන්ගේ ඡන්දවලින් අති බහුතර ප්‍රතිශතය එජාප අපේක්ෂකයාට ලැබුණත් මහ මැතිවරණයේදී ඒ ඡන්ද යන්නේ එජාපයේ උතුරේ හවුල්කාර පක්ෂය දෙමළ ජාතික සන්ධානයට. එය මේ මහ මැතිවරණයේදීත් ඉතාම පැහැදිලිව පෙනුනා. ඒත් ඒ ඡන්ද මෙවර ගියේ එජාපයට නොවෙයි එජාපයේ පිටපත වුණ සමගි ජන බලවේගයට. එය සිදු වුණේ සමගි ජන බලවේගයේ දක්ෂතාවක් නිසා නොවෙයි. මොකද සුළුජනතාව දිනා ගන්න තරම් ආකර්ෂණයක් සජිත් ප්‍රේමදාස මහතාට නැහැ. ඒත් සුළු ජාතීන් මෙවර රනිල් වික්‍රමසිංහ මහතාව දැඩිව ප්‍රතික්ෂේඵ කරලා තිබෙනවා. ඔහුට කොළඹින් ලැබුණේ අන්ත පරාජයක්. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ තව දුරටත් සිංහල බෞද්ධයින් අතර පමණක් නොවෙයි සුළු ජාතීන් අතර පවා ප්‍රතික්ෂේප වුණ දේශපාලන චරිතයක්. මේ තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ කියන්නේ අල්ලපු අත්තත් – පය ගසා ගෙන සිටි අත්තත් දෙකම අහිමි වෙලා බිමට වැටුණු චරිතයක්. ඔහුව විශ්වාස කිරීමට කිසිවෙක් දැන් මේ රට තුළ නැහැ. ඒ නිසා ඔහු වහාම එජාප නායකත්වයෙන් පමණක් නොව දේශපාලනයෙන් පවා සමුගත යුතුයි. පක්ෂය යළි ගොඩනැගිය හැකි විශ්වාසය තැබිය හැකි දේශපාලනඥයෙක් වෙත භාර දිය යුතුයි‘

මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ කරු ජයසූරිය ගැන විශ්වාසය තැබීමට තරම් සාධක එමට ඇති බවයි.

‘කරු ජයසූරිය කියන්නේ මහත්මා දේශපාලනයේ සංකේතයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක්. ඔහු තමයි මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, මහත්මා දේශපාලනය වෙනුවෙන් වඩාත්ම කැප වුණ චරිතය. 2018 පාර්ලිමේන්තු කුමන්ත්‍රණය වේලාවේදී පමණක් නොවෙයි, ඊට බොහෝ කාලයකට පෙර සිට, ඔහුගේ දේශපාලන ආගමනය සිදු වූ දින සිට ඔහු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහත්මා දේශපාලනය වෙනුවෙන් පෙනී සිටියා. පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක් වුණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙත් ඔහු‘

මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ පසුගිය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ නොකළ ලක්ෂ 40 තුළ අවම වශයෙන් ලක්ෂ 20ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කළ එජාප සහ මධ්‍යස්ථ ඡන්දදායකයින් බවයි.

‘2015 දේශපාලන වෙනස ඇති කළේ පක්ෂවල ස්ථාවර ඡන්ද පදනම නෙමෙයි පාවෙන, නැතිනම් මධ්‍යස්ථ ඡන්දදායකයෝ. ඔවුන් තමයි සිරිසේන මහතාගේ දියුණු ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය ලබා දුන්නේ. ඒත් පසුගිය කාලය පුරාම එක්සත් ජාතික පක්ෂය වෙතින් පාවෙන ඡන්ද, වෘත්තිකයෝ ඉවත් වුණා. ඔවුන් අදේශපාලනික චරිතයක් වන සජිත් ප්‍රේමදාසට කවදාවත් මනාපය ප්‍රකාශ කරන්නේ නැහැ. ඔවුන්ව දිනාගත හැකි වන්නේ කරු ජයසූරිය වැනි දේශපාලනික චරිතකයකටම පමණයි. ඔහු වටා ගොනු වෙන්නේ වජිර, අකිල, රවීට අසීරු නැහැ. මොකද දීර්ඝ කාලයක් බලය අල්ලා ගෙන ඉන්න කරුට හැකියාවක් නැහැ. ඔහු පක්ෂය යළි යථා තත්ත්වයට පත්කර, පක්ෂයට පිළිගත හැකි නායකයෙක් පත්කර තම යුග මෙහෙවර ඉටුකර සමුගනියි‘

මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ කරුගෙන් පසු එජාප නායකයා පක්ෂයේ පැරණි අයෙකු ම විය යුතු බවට නියමක් නැති බවයි. එවැනි තත්ත්වයක් අනවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.

‘එය අවශ්‍ය නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ පොහොට්ටුවේ දේශපාලන බලධූරාවලියට කිසිම සම්බන්ධයක් නැති අයෙක්. වැදගත් වුණේ මහින්දගේ දේශපාලන ශක්තිය සමග ගෝඨාභය සතු වුණ ආකර්ෂණය හා විශ්වාසය දිනා ගැනීම. දැන් එක්සත් ජාතික පක්ෂයටත් අවශ්‍ය එවැනි දෙයක්. ජනතාවගේ විශ්වාසය හා ආකර්ෂණය දිනා ගැනීම. ඒකට තාම අකිල, වජිර, රුවන් වාගේ දෙවැනි පෙළ පරිණත වෙලා නැහැ. ජාතික නායකත්වය ලක්ෂණ ප්‍රකට කරලා නැහැ. එය තිබෙන්නේ කරු ජයසූරිය තුළ පමණයි‘

මෙහිදී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ කෙටි කාලීන ඉලක්ක වශයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණය නොව ඊට පසුව එන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන පක්ෂය සැලසුම් සකස් කළ යුතු බවයි.

‘අකිල විරාජ් කියලා තිබුණා රනිල් වික්‍රමසිංහ ඉවත් වන්නේ පළාත් සභා මැතිවරණයටත් නායකත්වය දීමෙන් පසුව බව. ඒක විකාරයක්. රනිල් දැන් අවලංගු කාසියක්. ඔහු දේශපාලන වශයෙන් මියගොස් ඉවරයි. අකිලට, වජිරට, රුවන්ට ඔහු දේශපාලන ප්‍රතිමාවක් විය හැකියි. ඒත් ජනතාවට රනිල් කියන්නේ තව දුරටත් දේශපාලන බල චරිතයක් නොවෙයි‘

මෙහිදී සිය විශ්ලේෂණය අවසන් කරමින් ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ කියා සිටියේ පක්ෂ නායකත්වය අභ්‍යන්තර අරගල කරමින් තව දුරටත් කාලය නොමරා සියලු දෙනා මහා පොදු සාධකය ලෙස කරු වටා පෙළ ගැසී පක්ෂය එක්සත් කර, ශක්තිමත් කර ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු බවයි.

‘සජිත් ප්‍රේමදාස දිනා ගත්තේ සියයට 23ක ඡන්ද ප්‍රතිශතයක්. එජාපයේ පොදු ඡන්ද පදනම සියයට 35ක් පමණ වෙනවා. මධ්‍යස්ථ ඡන්ද එක් කළ විට සමගි ජන බලවේගයට වඩා පහසුවෙන් යළි බලය තහවුරු කර ගැනීමට පුළුවන්. ඒ යාන්ත්‍රණය පණ ගැන්වීමයි දැන් කළ යුතු වන්නේ. ඒ නිසා 1994 පරාජයෙන් පසු තිබුණ පළමු පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහා නගර සභාවට කරු පැමිණියා වාගේ, අවොත් කරු – පායයි හිරු කිව්වා වාගේ යළි ආරම්භයක් ගත යුතුයි‘ ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ අවධාරණයෙන් සදහන් කළා.

සටහන – රුවන් ලොකු විතානගේ

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.