කුඹුරට නෑ නිවාඩු! යල මහ මැද්දේ මැද කන්න දෙකක්

“කෝටි 223 ක මුංඇට පිටරටින් ගෙනල්ලා, මේක ඇත්තක්ද?” මාගේ ලිපියක තිබූ කරුණක් සම්බන්ධයෙන් එම හරස් ප්‍රශ්නය පසුගිය දිනෙකදී එල්ලවූයේ ගණන් ඉලක්කම් ගැන පාඨකයෙක් තුල හටගත් යම් සැකයක් නිසා විය හැකිය.

එහෙත් ලිපියේ වරදක් නැත. 2018 වසරේදී මුංඇට මෙට්‍රික් ටොන් 16425 ක් අප ආනයනය කර ඇත්තේ එවන් මුදලක් වියදම් කරගෙනය. මෙරට නිපදවා තිබුනේ ටොන් 9856 ක් වන අතර ඒ සඳහා හෙක්ටයාර් 8615 ක් තුල මෙම බෝගය වගාකර තිබේ. එසේනම් අපට නිපදවන්නට හැකිවී තිබෙන්නේ රටේ අවශ්‍යතාවයෙන් 37% තරම් සුළු මුංඇට ප්‍රමාණයකි.

අදාළ වර්ෂය තුල වැඩිපුරම මුං වවා ඇත්තේ පිලිවෙලින් මොනරාගල, හම්බන්තොට, කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක වලයි. දින දෙක තුනක් ගතවෙන ඡන්දයක් තියන්නට කෝටි 1000ක් වියදම් කරන රටක, සමස්ත රට වැසියාටම අවුරුද්දක් කන්නට මුංඇට ගේන්නට කෝටි 223 ක් වියදම් කිරීම මහ ලොකු දෙයක්දැයි ප්‍රශ්න කරන අයද සිටිය හැකි වුවත්, මෙය දේශීය ආර්ථිකය පැත්තෙන් බලනකල නම් ලොකු මුදලකි.

රටේ විශාල ප්‍රදේශයක වැවිය හැකි බෝගයක් නිසාද, දේශීය පරිසරයට උචිත ප්‍රභේදයන් අප විසින්ම නිපදවාගෙන ඇති නිසාද, මෙවන් මුදලක් අපේ අසල්වැසි ගොවියාගේ සාක්කුවට යන්නට ඉඩහැරීම අපරාධයකි. අනෙක් අතට ආනයනික මුංඇට වවන්නේ කුමන පොහොර දමාදැයි අප දන්නේ නැත. ගුල්ලන් බෝනොවී අස්වැන්න කල්තබා ගැනීම සඳහා මුංඇට මල්ලට එකතුකෙරුවේ මෙන්න මේවායයි, ගෝනියේ පිට පැත්තේ ලියා එවන්නේද නැත.

මෙරට භාවිතයට වඩා බොහොම සරුවට කෘෂිරසායන භාවිතයක්, අප මුංඇට මිලදී ගන්නා රටවල සිදුකෙරෙන අතර අප විසින් භාවිතයෙන් ඉවත්කර ඇති නිෂ්පාදනයන්ද ඔවුහු යහමින් භාවිතා කරති. එසේනම් සාමාන්‍ය ජනතාවගේ ‘වසවිස’ පාරිභෝජනයට දේශීය ගොවියාගෙන් ලැබෙන සම්මාදමට වඩා කීප ගුණයකින් වැඩි දායකත්වයක් ආනයනික ආහාරයන්ගෙන් ලැබෙන්නේය. එහෙත් අපේ ගොවියාගේ කෘෂිරසායනික භාවිතයට කියනා තරම් ඇනුම්පද, නැව් පිටින් ගෙනෙනා කඩල, මුංඇට, රතු පරිප්පු වැනි ආනයනික රනිල බෝග උදෙසා නම් ඇසෙන්නේ නැතිවීමයි කනගාටුව. වසවිස නම් රටින් ගෙනත් කෑවත් වසය, ගමේදී හලාගෙන කෑවත් වසය.

කෙසේ වෙතත් දේශීයව නිපදවා ගතහැකි මෙවැනි බෝග වර්ග 16 ක් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු නව රජය යටතේ ආරම්භකිරීම පැසසිය යුත්තකි. මුංඇට ඒ අතරද තිබේ. පසුගිය යල කන්නයේදී වාරි ජල පහසුකම් ලැබෙන කුඹුරු ඉඩම් කොටසක්ද අතිරේක බෝග නිෂ්පාදනය සඳහා යොදා ගැනුණු අතර, වී නිෂ්පාදනය අතින් මේ වනවිට අප ‘හොඳ තැනක’ සිටින නිසා යල කන්නයේ කුඹුරු කීපයක සිදුවන එවන් පරිවර්තනයක් ඉතාමත් කාලෝචිත වේ.

වී වගාව කරද්දීම අතිරේක බෝග වගාකළ හැකි ක්‍රමයක්ද තිබේ. අප මේ කතාකරන්නට සූදානම් වන්නේ කලකට ඉහතදී පර්යේෂණාත්මකව සනාථ කරගෙන, ගොවීන් අතරත් ව්‍යාප්ත වී ඇති එහි සුලමුල පිළිබඳවයි.

මුංඇට සිටුවන්න යයි කියා නොඉඳුල් වනපෙත් එළිපෙහෙළි කරන්නනේත් නැත. මේ ඉඩම් ගොවීන් විසින් දැනට වගාකරන ඒවාමය. කෙටියෙන්ම කියනවානම් යල මහ දෙකන්නයම රටට බත සපයන කුඹුරු ඉඩම්ය.

අතිරේක ආහාර බෝග වර්ග රාශියක් මෙරටදීම නිපදවා ගැනීමේ හදිස්සියක් මතුවී ඇති අවස්ථාවක් නිසා, භූමියේ කාර්යක්ෂමතාවය ඉහල නංවන මෙවැනි ක්‍රමවේදයන්ගේ මතකය යලි අලුත් කරගැනීම කාට කාටත් ප්‍රයෝජනවත්ය. මෙහිදී දැනට වෙනත් බෝගයක් වගාකරන භූමියකට අත තබන්නේ නැත. මුංඇට සිටුවන්න යයි කියා නොඉඳුල් වනපෙත් එළිපෙහෙළි කරන්නනේත් නැත. මේ ඉඩම් ගොවීන් විසින් දැනට වගාකරන ඒවාමය. කෙටියෙන්ම කියනවානම් යල මහ දෙකන්නයම රටට බත සපයන කුඹුරු ඉඩම්ය.

වර්තමානයේදී මෙරට බොහෝවිට වගාකරන ගොයම මාස තුනක් හෝ තුනහමාරක් ඇතුලත තම ජීවිතය හමාරකර ගොවියාගේ අටුකොටු පුරවන ප්‍රභේදයන් වන බැවින්, මෙම කුඹුරු ඉඩම් වසරෙන් හරි අඩක්ම පාහේ පවතින්නේ පුරන් තත්වය යටතේ බව බොහෝදෙනා අතින් මගහැරී යන කාරනාවකි.

සාම්ප්‍රදායික වී ගොවියාද හුරුවී ඇත්තේ ඊටම ගැලපෙන විශ්‍රාමශීලී ගොවිතැනකටය. යල මහ දෙකන්නයට අතරමැදිව, ජූලි මස අග සිට ඔක්තෝබරය දක්වා මාස දෙකහමාරක පමණ කාලයක් තිස්සේ වල් බිහිව තිබෙන පුරන් කුඹුර, සක්‍රිය නිෂ්පාදනයට යොදාගැනීමේ පර්යේෂණ, මහඉලුප්පල්ලම පර්යේෂණායතනය මගින් ආරම්භ කරනු ලැබුවේ 80 දශකයේ මුල් භාගයේදීය.

මැද කන්නයක් අස්වැද්දෙන විට, අපේ නිදහස පැහැර ගත්තා යයි කියමින් වෙල්එළියේ සරුංගල් යැවූ හෝ ක්‍රිකට් ගැසූ ගමේ කොල්ලන් කුරුට්ටන් නම් අප සමග අමනාපවෙනු ඇත. ඉපනැල්ලේ රසපහස විඳිමින් වියලි ලියැද්දේ තැන තැන ලැග සිටින  අම්බරුවන්ද කනස්සල්ලෙන් කන්පෙති ගසනු ඇත. එසේ නමුත් යල මහ දෙකන්නය අතරමැදින් නිරපරාදේ ගෙවීයන දින හැත්තෑපහක පමණ කාලපරාසයත්, වාෂ්ප ලෙස වා තලයට එකතුවෙමින් අපතේ යන පොළොවේ රැඳි තෙතමනයත්, ගොයමට උරා ගත නොහැකිව තවමත් පසෙහි ඉතිරිව තිබෙනා පෝෂ්‍ය පදාර්ථත්, එවන් අමනාපයකට හිලව්කර අමතක කර දැමිය හැකි සුලුපටු දේවල් නම්  නොවේ. මේවා වනාහී ගොවියාට බෝනස් දෙන්නට අවදිකරවා ගතහැකි සම්පත් සංචිතයන්ය.

“70 දශකයට කලින් යල මහ දෙකන්නයට කුඹුරු කරන එක තමයි ප්‍රධාන වගා ක්‍රමය උනේ. නමුත් කුඹුරුවල බෝග විවිධාංගීකරණය කියන සංකල්පය හඳුන්වා දුන්නට පස්සේ යල කන්නයට වාරි පහසුකම් යටතේ වගාකිරීම ඇරඹුණු නිසා රටේ සමස්ත වශයෙන් රනිල බෝග නිෂ්පාදනය වැඩිඋනා. ඒත් 1997 න් පසු රටේ ඇතිවුණු ආර්ථික ප්‍රතිපත්ති හා ගොවිතැන දෙස සමාජය බලන කෝණයේ සිදුවූ අසමතුලිතතාවය හේතුවෙන්, අද දක්වාම නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. මේ නිසා රනිල ආනයනය සඳහා දැරිය යුත්තේ එසේමෙසේ වියදමක් නෙවෙයි.”

එසේ අදහස් දක්වන්නේ එස්. එන්. ජයවර්ධන මහතායි. දැනට වාරියපොළ උපයෝගිතා පර්යේෂණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂවරයෙකුව සේවය කරන ඔහු, තුන්වෙනි කන්නයක නොහොත් මැද කන්නයක යෝග්‍යතාවය ගැන පළමුවරට මහඉලුප්පල්ලමදී පර්යේෂණ මෙහෙයවූ නිලධාරියාද වෙයි. ඒ 1980 සමයේදීය. එකල ඔහු විසින් පර්යේෂණාත්මකව හඳුන්වාදුන් මැද කන්නයේදී රනිල බෝග වගාව, එකල පැවති විවෘත ආර්ථික රටාව හමුවේ එතරම් පිළිගැනීමට ලක්වූයේ නැත. ඊට ප්‍රධාන හේතුව වුයේ පිටරටින් එන ඇට වර්ග අපහසුවෙන් තොරව හා ලාභයට ගැනීමට කඩපිල්වල ගොඩගසා තිබීමයි.

ඇට රාත්තල් අටක් හැමෝටම ලබාදෙන බව කීවිට 1977 දී ජනතාව ආණ්ඩු පෙරලුවේද මේ අයුරින් ලාභයට රට ඇට කන්නටය. යල කන්නය අවසානයේදී තුන්වෙනි කන්නයක් වෙනුවෙන් ඉපනැල්ලත් සමග හැප්පෙනවාට වඩා, කඩෙන් ලාභයට රැගෙන යන ඇට රාත්තල තම්බා කෑමට ගොවියා වැඩියෙන් ඇලුම් කරන්නටද ඇත. ඒ හරහා පසුගිය දශක තුනකදී රනිල බෝග නිෂ්පාදනය රට තුල පහල වැටී ඇත්තේද, සිතා ගන්නටත් බැරි තරමේ වේගයකිනි. මෙය වනාහී පිටරටින් ගෙන්වාගෙන මොන දහජරාවක් වුවද ගිලදැමීමේ සංස්කෘතිය ඔඩුදුවා යාමකි.

පහසුවෙන් අපට වවාගත හැකි මුං බෝගය පමණක් සැලකීම වුවද තත්වය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. 1990 දී මෙට්‍රික් ටොන් 26,931 ක් වූ දේශීය නිෂ්පාදනය වසර 20 ක් තුල, එනම් 2010 දී ටොන් 11,703 ක් දක්වා පල්ලම් බැස ඇත්තේ 57% කිනි. තවත් වසර අටක් ගියතැන 2018 දී දේශීය මුංඇට නිෂ්පාදනය ටොන් 9856 ක් වූවා යනු 1990 ට සාපේක්ෂව 63% බැස්මකි.

දශක කීපයකට උඩදී රතු පරිප්පු වලට ආදේශ කල හැකි යමක් වෙළඳපොලේ තිබුනේ නැත. ගෙවල් වල වඩේ බැද්දේත් එකල ‘මයිසූර් පරිප්පු’ යනුවෙන් හැඳින්වූ රතු පරිප්පු පොඟවා මිරිස් ගලේ තබා ඇඹරීමෙනි. බොම්බායෙන් ගෙන්වන නිසා ලොකු ළූණු වලට කිව්වේද ‘බොම්බයි ළූණු කියාය. පසු කලෙක විවිධ දේශපාලනික මතිමතාන්තර හමුවේ ඉන්දියානු විරෝධයක් ගොඩ නැගුනු අතර, අදාළ භාණ්ඩ පරිභෝජනය කෙරුවත් ඒවාට තිබුණු ඉන්දියානු අනන්‍යතාවය කියන්නට නම් මිනිස්සු මැලිවූහ. රතු පරිප්පු හා ලොකු ළූණු කරලියට ආවේ ඒ අයුරිනි.

මෙහි වවන්නට බැරි නිසා රතු පරිප්පු හා කඩල වැනි දෑ ආනයනය කිරීම යම් පමණකට සිදුකල යුතු වුවත්, වියලි කලාපයේ සරුවට වැවෙන මුංඇට, කව්පි, උඳු, කොල්ලු වැනි රනිල බෝග පිටරටින් ගෙන්වාගෙන කෑම නම් සමස්ත ජනගහනයෙන් තුනෙන් පංගුවක ගොවි ජනතාවක් සිටින, රටේ මුළු භූමියෙන් 42% ක් පුරා ගොවිතැන් කරන තැනකට ගැලපෙන්නේ නැත. කෙසේ වෙතත් මෙම රනිල වර්ග හතරේම ආනයනය සීමාකිරීම දැන් සිදුවී තිබේ. තුන්වෙනි කන්නයකට බය නැතුව අතගසන්නට වියලි කලාපීය ගොවියා උත්තේජනයක් ලබන්නේද විදෙස් ආනයනයන් වලට පැනවූ මේ තහංචි වලින්මය.

“යල කන්නයේ සිදුකල වී වගාවෙන් පස්සේ කුඹුරු ලියැදිවල අවශේෂ පෝෂක විතරක් නෙවෙයි සුළු තෙතමනයකුත් තිබෙනවා. මීට අමතරව හදිසියේ ඇවිත් යන වැස්සකින් වැටෙන ජලයත් ප්‍රයෝජනයට ගතහැකි. හොඳින් ජලය බැසයන දියසීරාව සහිත කුඹුරුවල ගොයම් කපනවත් එක්කම පැය 4-5 ක් ජලයේ පෙඟවූ මුං වැපිරීම කල හැකියි. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තිබෙන එම්.අයි. 5 , 6, 7 කියන ප්‍රභේද තුනම දින 65 න් අස්වැන්න ගතහැකි කෙටිකාලීන වර්ග. ඒ නිසා ඊළඟ මාස් කන්නයට කලින් අස්වැන්න ගන්න පුළුවන්.”

අඟුණකොළපැලැස්සේ පර්යේෂණ ස්ථානයේදී තුන්වෙනි කන්නයක වගතුග හා බැඳුනු පර්යේෂණ මෙහෙයවන ශෂ්‍ය විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පර්යේෂණ) නිලූකා ගුණතිලක මහත්මිය පවසන්නේ එවන් අදහසකි.

ඉපනැල්ලේ ඇවිදිනවිට පා සලකුණු ඒ මත සටහන් වෙන තරමට පස තෙත්ව පවතින්නේ නම් වැඩේට භූමිය සූදානම් බව කියවෙන ඉඟියකි එය. එසේ නැතිනම් පස් අහුරක් අතට ගෙන වරක් මිරිකා නොකැඩෙන ගුලියක් සෑදිය හැකිනම් එයද ප්‍රමාණවත් තෙතමනයක් ඇති බවට සාක්ෂියකි. වපුරන මුංඇට පසට යටකිරීම සඳහා ගැඹුරු නැතිව වරක් සීසෑම වුවද වරදක් නැත. උඳු හෝ මුං වපුරන්නේ නම් අක්කරයකට බීජ කිලෝග්‍රෑම් 20 ක් හොඳටම ප්‍රමානවත්වේ.

කව්පි හෝ කොල්ලු වැනි බෝගයන්හි බීජ විශාලත්වයෙන් වැඩි බැවින් වැපිරීම සඳහා ඒවා සුදුසු නොවේ. ලියැද්දේ කුඩා ඇලි සලකුණු කරගෙන ඒ තුලට පේලියට බීජ දැමීම වඩාත් උචිත ක්‍රමයයි. පසුගිය දිනවලදී අසන්නට ලැබුන තවත් අඳෝනාවක් නගනු ලැබුවේ උඳු ඇසුරෙන් පපඩම් වැනි දෑ සාදන කර්මාන්තකරුවන්ය. රජය මගින් ගැසට් පත්‍රයක් මගින් උඳු හා කහ ආනයනය හදිසියේ නතරකිරීම එයට හේතුවයි. රටපුරා තවමත් කහ හිඟයක් තිබේ.

මේ යලට සිටවූ කහ ගැලවී එන තෙක් හිස කහන්නේ නැතිව තව මාස හත අටක් ඉවසීමෙන් බලා සිටිය යුතුවේ. අපේම දෙයක් නිසා ඒ ටික බලා සිටියත් පාඩු නැත. රටින් එන කහ, වහ වෙන ආකාරයද මීට පෙරදී මවිසින් විස්තරාත්මකව ලියා පලකරන ලදී. උඳු වලින් ස්වයංපෝෂිත වන්නට නම් එතරම් කල් යන්නේ නැත. අතරමැදි බෝනස් කන්නයේදී උඳු වවන්නේ නම්, මදුරාසියේ උළුඳු යොදාගෙන මෙරටදී ගුලිකරන උළුඳු වඩය, ගෙඩිය පිටින්ම එතැන් සිට ලෝකල්ය.

“උඳු කියන්නේ විශාල පරාසයක පරිසර තත්ත්ව වලට ඔරොත්තු දෙන එකවර අස්වැන්න නෙලිය හැකි බෝගයක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන ‘අනුරාධ’ උඳු ප්‍රභේදය මාස දෙක හමාරකට කලින් පැහෙනවා. ඒ නිසා මැද කන්නයට හොඳටම ගැලපෙනවා.”

නිලූකා උඳු ගැන දරන්නේ එවන් අදහසකි. එසේ නමුත් කොල්ලු ගැන නම් ඇය එතරම් ලොකුවට නිර්දේශයක් දෙන්නේ නැත. එය මෝරන්නට මාස තුනක් පමණ ගතවීම ඊට හේතුවයි. මහ කන්නය වගා නොකරන්නේ නම් හෝ මහ පටන්ගන්නට ප්‍රමාද වෙන්නේ නම් හෝ, කොල්ලු සිටුවීමට වුවත්  තුන්වෙනි කන්නය උචිත වනු ඇත. පොහොර ඉල්ලා නිතරම හඬන ගොවියාට තුන්වෙනි කන්නයක් වැව්වා කියා පොහොර සොයා යායුතු වන්නේද නැත. පෙර වගා කන්නයේදී ගොයමට හැලූ පොහොර ඉතිරියක් තවමත් පසේ තිබේ. ඒ ටික බොහෝවිට ප්‍රමාණවත්ය. මුං බෝගයේ කොළ පැහැය මදියයි සිතෙන්නේනම්, පත්‍ර තරමක් කහ පාට වෙමින් නයිට්‍රිජන් ඉල්ලා සිටින්නේ නම්, අක්කරයකට යූරියා කිලෝග්‍රෑම් පහක් පමණ ඉස දැමීම සුදුසු බව එස්. එන්. ජයවර්ධන මහතා එකල ලියා ඇති වාර්තාවක සඳහන්වේ.

අප මෙතෙක් වැඩි අවධානයකින් කතා කෙරුවේ යල කන්නයට පසුව ඊළඟ මහ කන්නයට පෙරදී කෙරෙනා තුන්වෙනි කන්නයක් ගැනය. එසේනම් ඡන්ද ප්‍රතිපල ලැබෙන අස්සේ මේ දිනවලදීම බෝනස් රනිල අස්වැන්නක් උදෙසා කුඹුරට බැසිය යුතුය. එස්. එන්. ලාගේ 80 දශකයේ පර්යේෂණ තුන්වෙනි කන්නයක් මතින් නතර වී නැති බවද පෙනේ. මාස් කන්නයේ වී අස්වනු නෙලීමෙන් පසු, යල කන්නය තෙක් ඇති පෙබරවාරි – අප්‍රේල් කාල පරාසය සඳහාද ඔවුන් ගොවිතැනක් යෝජනා කර ඇත. එසේනම් එය අවුරුද්දක් ඇතුලත උදාවෙන හතරවෙනි කන්නයයි.

මහ කන්නය වනාහී වියලි කලාපයට බහුලව වැසි ජලය ලැබෙන තෙතබරිත කාලයකි. ‘හත්දා දුරුත්ත’ යනුවෙන් ගැමියන් හඳුන්වන දින හතක් පුරාවට නොකඩවා වහින්නේද මෙය තුලයි. ඒ නිසා නවම් මහේ ගොයම් කපා නිමවෙනවිට සති දෙකකට පමණ සෑහෙන තෙතමනය ප්‍රමාණයක් පසෙහි ඉතිරිව තිබේ. එසේම දින 8-10 ක සාමාන්‍ය වැස්සක්ද එතැන් සිට විටින්විට පතිත වන්නේය. මේ සියල්ලෙහි වාසියද හතරවෙනි කන්නයේදී වගාකරනා රනිල බෝගයටයි. එසේම මේ වනවිට බොහෝ කුඩා වැව්වල වතුර මුරයක් හෝ දෙකක් දෙන්නට ප්‍රමාණවත් ජල සංචිතයක්ද ඉතිරිව තිබේ. වාෂ්පවී වියලී යන බැවින් එය ඉදිරි යල කන්නය තෙක් තබාගන්නටද බැරිය. හතරවෙනි කන්නය වෙනුවෙන් අතරමැද්දේදී මේ වතුර ටික නිදහස් කරගන්නට හැකිනම් ඉතා හොඳ රනිල අස්වැන්නක් ලැබෙන බවට මෙම පර්යේෂණ වාර්තා සාක්ෂි දරයි.

මෙවැනි අතරමැදි කන්න දෙකක් වගාකිරීම හරහා ප්‍රධාන කන්නයන්හි කෙරෙන වී ගොවිතැනට ඇති හිතකර බලපෑමද පර්යේෂකයින් පෙන්වා දී තිබේ.

“රනිල බෝග විසින් පසට නයිට්‍රජන් එකතු කරනවා. වෙනත් රටවලදී කර ඇති පර්යේෂණ තොරතුරු වලට අනුව මුං හෝ කවුපි වගාවක් මගින් ඊට පසුව එන ගොයමට, අක්කරයකට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 20 ක් පමණ ලබාදෙන බව පෙන්වාදී තිබෙනවා. මෙය යූරියා කිලෝග්‍රෑම් 40 ක පමණ වාසියක්. මහඉලුප්පල්ලමේදී පවා සනාථ කරගෙන ඇත්තේ කවුපි වගාවකට පසුව අස්වැද්දූ කුඹුරකින් අක්කරයකට බුසල් 10 ක පමණ අතිරේක අස්වැන්නක් ලැබෙන බව. රසායනික පොහොරත් සමග පාංශු සත්කාරකයක් ලෙස යම් කාබනික පොහොර ප්‍රමාණයක් යෙදීම බොහොම පැරණි නිර්දේශයක් වුවත් බොහොමයක් කුඹුරුවල මෙවැන්නක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කරල් ටික කඩාගත්තට පස්සේ මුං වගාවෙන් කුඹුරේම ඉතුරුවෙන  අවශේෂ කියන්නෙත් කාබනික පොහොරම තමයි. එය මැද කන්නය විසින් ගොවියාට ලබාදෙන තවත් වාසියක්.”

කෘෂි විද්‍යාඥ එස්. එන්. ජයවර්ධනගේ විස්තරය ඉතාමත් පැහැදිලිය. අපට අපැහැදිලි කරුණ නම්, පර්යේෂණාත්මකව සනාථ වී නැති, රෑ දකිනා සිහිනයන් බඳුවූ සංකල්පයන් ජනගත කරන්නට ඇතැම් ‘කෘෂි උගතුන්’ දඟලන තරමත්, ඒවාට අකුරු අමුණන්නට අගමුල නොතේරෙන මාධ්‍යය සගයින් දරනා වෙහෙසත්, කුඹුරේ තිබෙන මෙම හතර මහ නිධානය ගොඩගන්නට මෙතෙක් භාවිතා නොවූයේ ඇයිද යන්නයි.

අතරමැදි කන්නයක් කුඹුර පුරන්ව නොතබා රනිල වගා කිරීමෙන් භූමියේ වල්පැල වැඩෙන්නේ අඩුවෙන්ය. මේ නිසා ඒවායින් පොළොවට වල්බීජ හැලෙන්නේ අඩුවෙන්ය. එසේනම් ඊළඟ කන්නයේ ගොයම අතරතුර වල් උපදින්නේද අඩුවෙන්මය. කුඹුරේ වල් මර්දනය අතින් මෙය ගොවියාට සහනයක් නොවන්නේද?

වඩුවාගේ ගෙදර ඉඳගන්නට පුටුවක් නැතැයි කියන්නාක් මෙන් රටටම බත් කවන අපේ ගොවිමහතාද හැමදාමත් දුප්පත්ය. කුඹුරු ගොවිතැන කෙතරම් අමාරුදැයි දන්නේ එය කරන මනුස්සයාම පමණි. උදේ පාන්දරින් ලියැද්දට බැසි වේලේ පටන්, හැන්දෑවේ ඉන් ගොඩවෙනා තුරු හෙතෙම, හම ඉරිතලන ගිනි අව්වේය. දැඩි රශ්මියෙන් පිට හම දැවෙද්දී, අනේක විධ ප්‍රශ්න රැසකින් ඔහුගේ සිතද පිලිස්සෙන්නේය. පොහොර, වතුර වෙලාවට ලැබෙයිද, සද්දන්තයා රෑ යාමේ කුඹුරට බසියිද, බැත ගෙට ගන්නා තෙක් වැහිකෝඩය පමා වෙයිද, වී මල්ලට සාධාරණ මිලක් ලැබේවිද ආදී මෙකී නොකී ප්‍රශ්න වැලකින් හෙතෙම දිවා රෑ පෙලෙන්නේය. ඒ මදිවාට වකුගඩු රෝගය වැනි මාරයින් සිරුර වටා යමින් හොල්මන් කරන්නේය. මෙම කර්කශ තත්වයට පළමුව දිය යුත්තේ කඩිනම් විසඳුමකි.

ගොවියාට කලිසම් ඇන්දවීම හෝ ගොවිතැන් ක්‍රමය මොඩ්කිරීම කලකට පසුව වුවත් ඔහුට ලබාදියහැකි දීර්ඝකාලීන විසඳුමකි. තිරසාර සෞභාග්‍යයක ආස්වාදයකි. රජය විසින් විශාල මුදලක්ද යටකරමින් මෙරට වැවිය හැකි බෝගයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට  අතගසා තිබියදී, කෘෂි බලධාරීන්ද මේ මොහොතේ උනන්දු විය යුත්තේ ප්‍රධාන කන්නයන්ට අතරමැදිවී නිකරුනේ නාස්තිවී යන මාස පහක පමණ කාලයට අර්ථයක් ලබා දෙමින් තුන්වෙනි හා හතරවෙනි කන්න, ප්‍රාණවත් කරවන්නටයි. එවිට අතිරේක බෝග වලින් රට ස්වයංපෝෂිත වනවාට අමතරව ගොවියාගේ මුවටද සතුටු සිනා නැගෙනු ඇත.

සටහන – සනත් එම් බණ්ඩාර

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.