පුරාජේරු කතා නැතිව හරියට කළොත් ‘අපේ කොස්වලින්’ ලෝකය අල්ලන්න පුළුවන්

මෑතකදී කළ රුධිර පරීක්ෂනයකදී පෙර කිසිදිනක නොලත් ආකාරයේ සතුටුදායක ප්‍රතිපල ලැබූ බව කීවේ, ගෙදර කෑම රස නැතැයි කියමින් කඩචෝරු කෑමට පුරුදුවූ  මා හා කුළුපග ව්‍යාපාරිකයෙකි. ඔහු ජීවත්වී තිබුණේ කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් වැනි සුව දිවියට එරෙහි සංඝටක බොහොමයක් උවමනාවටත් වඩා පංචස්කන්දය තුළ හිරකරගෙන වූ අතර, කෑම පාලනය වී තිබුණේ මුකවාඩම නිසා නොව, පාර දෙපැත්තේ කෑම කඩ බොහොමයක් පසුගිය වකවානුවේදී වසා තිබුණු නිසාත්, හිතුන වෙලාවට පාරට බසින්නට නොහැකි වෙන සේ මහ දවාලෙත් ඇඳිරි නීතිය බලපැවැත්වූ නිසාත්ය.

කෑම ගැන කියවෙත්දී මතකයට එන්නේ ඉදිරි ආහාර අහේනියක් පැමිණේ යයි බියෙන් ගෙවතු වවන්නට ජනතාව උනන්දු වූ තරමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මතක ඇති කාලයක මෙවැනි බීජ ඉල්ලුමකට මුහුණ දී තිබුනේ නැත. සාමන්‍යයෙන් හොඳ ප්‍රභේද සොයා යන මිනිසුන් අතට හසුවූයේ කුමන ඇටයක්ද, පැළ කල හැකිනම් එය පසට යටකරන ලදී. කෙසේ නමුත් එළවළුවක් වවාගන්නට දක්වන මේ උනන්දුවෙන් කොටසක්, ප්‍රධාන ආහාරය ලෙස අනුභව කරන්නට හා වේලක් දෙකක් පිරිමසා ගතහැකි බෝගයක්ද අතේ දුරින් බිහිකර ගන්නට ජනතාව උනන්දු වූවානම් ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ වර්ණවත් භාවය ගැන කියලා වැඩක් නැත.

1912 දී දෙපාර්තමේන්තුව බිහිවෙන විටත් රටේ ජනතාව කොස් පිළිබඳව යමක් දැන හඳුනාගෙන තිබුණි. 17 වෙනි සියවසේදී මහනුවර රාජධානිය තුළ වසර 20 කට වැඩි කලක් වාසයකළ බ්‍රිතාන්‍ය නාවිකයෙක් වූ රොබට් නොක්ස් පවා තම වාර්තාවල කොස් අනුභවය ගැන සඳහන් කර තිබූ අතර, 20 වෙනි සියවසේදී මෙරට කොස් ප්‍රචලිත කිරීමෙහි ලා සුවිසල් මෙහෙවරක් කල චරිතයක් වන්නේ අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙක් හා ජනහිතකාමියෙක් වූ ආතර් වී. දියෙස් මහතාය.

හෙතෙම වයස 74 දී, 1960 ජූලි 31 වෙනිදා (මීට හරියටම වසර 60 කට පෙර) මියයන විට ලාංකිකයින් පමණක් නොව විදෙස් රටවල් පවා ඔහුව හඳුනන්නේ ‘කොස් මාමා’ යන විකල්ප නමෙන්ය. ඊට හේතුව වූයේ ලංකාව තුල කොස් ගස් මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ඔහු විසින් ආරම්භ කිරීමයි. මැලේසියාව වැනි රටවලින් ඔහු කොස්පැල ගෙන්වාගෙන තිබේ. මීට අමතරව ජීව්‍යතාවය රැකගැනීම සඳහා අඟුරු සමග මුසුකර සීල්තැබූ ටින්වල ඇසිරූ කොස්ඇටද රැගෙනවිත් ඇති බව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි පලතුරු බෝග පිලිබඳ පර්යේෂකයෙක් වූ ආචාර්ය සුභ  හීන්කෙන්ද මහතා පවසයි.

දියෙස් මැතිඳුන් විසින් මේ සියල්ල නොමිලේම ජනතාවට බෙදා දී ඇති අතර, 1918 ජූනි මස 11 වෙනිදා ඇරඹුණු මෙම කොස් ව්‍යාපෘතිය හරහා අද සිටිනා කෘෂි විද්වතුන්ට හොඳ ගස් තෝරාබේරා ඉවර කරන්නට නොහැකි වන තරමේ ප්‍රභේද ගණනාවක් මෙම කොස් පැල ගොන්න නිසා රට තුල බිහිවී තිබේ.

“80 දශකයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලැබුණා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් අරමුදල් සැපයෙන උද්‍යාන බෝග ව්‍යාපෘතියක්. ඒ සමගම කොස් ප්‍රචාරණය සඳහා බද්ධ පැල තාක්ෂණය බිහි වුණා. වෙන බෝග වගේ නෙවෙයි, කොස් බද්ධයක් සාර්ථක කරගන්න සෑහෙන්න අසීරුයි. බද්ධ ක්‍රමවේදයන් කොස් සඳහා සාර්ථකව සුසර කෙරුවේ හොරණ ගොවිපොළේ හිටපු දන්දෙනියආරච්චි කියන කළමනාකාර මහතා විසින්. මීට අමතරව ඉන්ද්‍රානි මැදගොඩ, එන්.ඊ.ආර්. පින්ටෝ සහ දැනට අප අතර නැති ක්ලෝඩ් සොයිසා, වැනි නිලධාරීන් කොස් වෙනුවෙන් ගොඩක් වැඩ කෙරුවා.”

හීන්කෙන්ද මහතා කොස් ගමනේ මං සලකුණු මතකයට නගමින් කතාකරයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල සිටි මේ සියලු නිලදරුවන් එදා අයත්වූයේ පලතුරු පර්යේෂණ අංශයටය. ඒ නිසාම ඔවුන් කොස් ගෙඩිය දෙස බැලුවේ පලතුරු හැඟීමක් සිත තුල දරාගෙනය. මෙතෙක් ශ්‍රී ලංකාව තුලින් තෝරා නිර්දේශ කරන ලද කොස් ප්‍රභේදයන් සියල්ල, ඒවාහි ‘පලතුරු ගතිය’ නොහොත් වැල හෝ වරකා වලට සුදුසු ගුණාංග පෙන්වාදෙමින් නිර්දේශ කර ඇත්තේ මෙහි වශයෙනි.

එසේ වුවත් ආතර් වී දියෙස් මහතාගේ දැක්මට අනුව එකල කොස් ඉදිරියට ආවේ ‘බත් ගස’ සේ හැඳින්වෙන ප්‍රධාන ආහාරයේ විකල්ප බෝගයක් ලෙසයි. පශ්චාද් දියෙස් සමයේදී රට සහලෙන් ස්වයංපෝෂණය වීම නිසා විකල්ප බතකට ඇති උනන්දුව අඩුවී ගිය නිසාදෝ, කෘෂි විද්වතුන්ගේ කොස් පර්යේෂනයන්ද පලතුරු පැත්තටම ඇදී ගියා වන්නට පුළුවන.

එහෙත් අදටත් ඇඹුල් පොලොස්වලට, මැල්ලුමට, කිරිකොස් මාලුවට, වඩාත් සුදුසුයයි සලකුණු කරගත් කොස්ගස් ගම්මුන් ඇසුරේ පලදරමින් තිබේ. මේ පිළිබඳව විද්‍යාත්මක තහවුරු කරගැනීමක් ලබාගැනීමද ඉතා පහසුය. ඉන් පසු අදාළ ශාකයේ අංකුර භාවිතයෙන් බද්ධපැල නිපදවා රටපුරා බෙදා හරින්නට දියෙස් මහත්තයා යලි ඉපදෙන්නටද උවමනා නැත. කවදාහරි ගහ කපාගෙන ලී ටික ඉරාගන්නවා යන සිතුවිල්ලෙන් බැහැරව මෙවන් කොස් පැලයක් දෙකක් ගෙවත්ත අද්දරින් සිටුවා ගන්නටත්, රූස්ස ගසක  අවසානයක් එනතුරු වැඩෙන්නට ඉඩ නොදී, නිසිලෙස කප්පාදුකර ගෙවත්තට ගැලපෙන කොස් ගසක් දෙකක් හදාගන්නටත් ජනතාවත් තම සිත එකඟ කරගත යුතුවේ.

වත්මන් කෘෂි පර්යේෂකයින්ද දියෙස් යුගයෙන් පසු කොස් ගසෙන් බිමට වැටුණු ‘කොස් පොලොස් වටිනාකම’ යලි නගා සිටුවීමට නොපමාව පියවර ගත යුතුය යන්න අපගේ හැඟීමයි. අගය එකතු කිරීමක් හරහා ඉන්දියානුවන් ගිය ගමන යන්නට අපටත් හැකිවන්නේ එවන් පසුබිමක් උදාවෙන්නේ නම් පමණි. මන්දයත් අගය එකතුකළ නිෂ්පාදන වැඩිපුරම හැදෙන්නේ කොස් නමැති එළවලුවෙන් මිස වැල වරකා නමැති පලතුරෙන් නොවන බැවිනි.

“1997 දී ශ්‍රී ලංකා කැනඩා සංවර්ධන අරමුදල මැදිහත්වෙලා කොස් ව්‍යාප්ත කිරීමේ ජාතික කමිටුවක් පිහිටුවා ගත්ත. මෙහි අරමුණ වැඩිපුර දිශානත වෙලා තිබුනේ කොස් වලට අගය එකතුකිරීමක් හරහා කොස් නිෂ්පාදන බිහිකිරීමට. ‘වීර්ය සේවා සංසදය කියන සංවිධානය යටතේ රඹුක්කන ඇඹුල්අරඹ නම් ස්ථානයේ ‘කොස් ප්‍රචලිතකිරීමේ පුහුණු මධ්‍යස්ථානය’ කියන තැන තමයි කමිටුව රැස්වූයේ”

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි ආහාර තාක්‍ෂණය පිලිබඳ පර්යේෂකයෙක් වන සෙනරත් ඒකනායක මහතා, කොස් භාවිතයේ අලුත් ගමනක ආරම්භය සිහිපත් කෙරුවේ එලෙසිනි.

ඉලංගසිංහ නමැති දානපති මහත්මයෙක් තමා සතු ඉඩමක් පවා මේ මධ්‍යස්ථානය ඉදිකිරීමට එකල පරිත්‍යාග කර තිබේ. සෙනරත් මහතා ගන්නෝරුවේ උද්‍යාන බෝග ආයතනයේ සේවය කරන අතරතුරදී මෙහි පුහුණු කටයුතු මෙහෙයවා ඇත. එතැනින් මුදාහැරෙන කොස් නිෂ්පාදනයන්හි තොරතුරු ග්‍රහණය කරගත් විවිධ පුද්ගලයින් හා සංවිධාන, මුදල් අයකරමින් පැවැත්වෙන පුහුණු පන්ති පවා රට පුරා ආරම්භ කර තිබේ. එහෙත් සෙනරත් ප්‍රමුඛ කණ්ඩායමේ ඔරිජිනල් පාඨමාලාව රඹුක්කනදී පැවැත්වූයේ සම්පූර්ණයෙන්ම නොමිලේය. අද දවසේ අප රසවිඳිනා, මුරුක්කු, බයිට් වර්ග, චට්නි වැනි කොස් නිෂ්පාදනයන් මෙරට බිහිවීමේ අඩිතාලම වැටුනේ එලෙසිනි.

මෙම ව්‍යායාමය ගැන ඉව වැටුණු ඉන්දීය ජාතිකයෙක් වූ, ශ්‍රී පාඩ්රේ නැමැත්තෙක් මෙරට කෘෂිකර්ම බලධාරීන්ගෙන් කල විමසීමකට අනුව, ආචාර්ය හීන්කෙන්ද ගේ මගපෙන්වීම යටතේ සෙනරත් – පාඩ්රේ හමුවීම පසුකලෙකදී ගන්නොරුවේදී සිදුවුනි. ශ්‍රී පාඩ්රේ යනු කර්නටකා ප්‍රාන්තයේ ගොවීන් අතර හුවමාරුවෙන වන ‘අදීකේ පත්‍රිකේ’ නමැති සඟරාවේ සංස්කාරකවරයාය.

ඇමෙරිකාවේ සුපිරි වෙළඳසැල් වල පවා විකුණන කල්තබාගත හැකිවෙන පරිද්දෙන් බඳුන්වල ඇසිරූ ආසියානු කොස් නිෂ්පාදන වලට කෙළ හලමින් සිටි ඔහුට, සෙනරත් හා ගොඩනැගුනු ඇයිහොඳයිය මහත් අස්වැසිල්ලක් වන්නට ඇත. දැනුමේ දිය පොදක් සොයමින් කතරේ තැන තැන පහුරුගාමින් සිටි හෙතෙම, කලින් දිනයක් වෙන්කරගෙන 2012 වසරේදී තවත් සගයින් සිවුදෙනෙක්ද සමග මෙරටට පැමිණ, ගන්නෝරුවේ සංචාරක නිවස්නයේ දින කීපයක් තිස්සේ ලැගුම් ගනිමින් සෙනරත්ලා යටතේ කොස් වල අගය වැඩිකරන අයුරු හැදෑරීමට පටන්ගති.  

“වී, තිරිඟු, බඩඉරිඟු වැනි බෝග දේශගුණ විපර්යාසයන්ට සංවේදීයි. ඉදිරි කාලයේදී දේශගුණය තදින් වෙනස්වෙනවා, එතකොට ඔය බෝගයන්ගේ අස්වැන්න පහළ යන බවට අනාවැකිත් පලවෙලා තියෙනවා. කොස් ගස ඒවාට ප්‍රතිරෝධී ශාකයක්. ඒ හින්දා කොස් තියෙන තැන බඩගින්න නෑ. අනිත් එක තමයි පලදාව සම්පූර්ණයෙන්ම කාබනිකයි.”

එදා සිට අද දක්වාම, ශ්‍රී පාඩ්රේ විසින් කිසිදු සංස්කරණයකින් තොරව මෙම මන්තරය මතුරන්නේය. ඒ මැතිරිල්ලේ ආනුභාවයෙන් ඉන්දීය වෙළඳපොළ කොස් වලට අගය එකතුකළ නිෂ්පාදනයන්ගෙන් පිරී උතුරා ගොස් අවසන්ය. ඒ මදිවාට අගය වැඩිකරන ලද ඉන්දියානු කොස් නිපැයුම්, විදෙස් වෙළඳපොළද ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරමින් සිටින්නේය.

“අපේ වෙළඳසැල්වල විකුණන කපන ලද නැවුම් පොලොස් ගැන ඒ අය දැනගෙනම හිටියේ නෑ. මෙහෙ ගතකරපු කාලේදී ගන්නෝරුවේ ආහාර තාක්ෂණ ඒකකය තුලදී ඔවුන් උදේ ඉඳලා හවස් වෙනතුරු ප්‍රයෝගික පුහුණුවකුත් සමග තාක්ෂණික දැනුම ගන්නවා. හැන්දෑවක මම ඔවුන්ව රැගෙන ගියා මහනුවර පොදු වෙළඳපොළට. ඒ වගේම කැපූ පොලොස් වැඩිපුරම විකුණන නුවර, කොළඹ වීදියට. ඔවුන් ඒවායේ පින්තූර ගත්ත. වෙළෙන්දෝ සමග කතා කළා. අන්තිමට ඔවුන්ව දළදා මාලිගාවට කැටුව ගිය වේලේ, මාලිගාව පිටත පඩිපෙළේ කොනක වාඩිවෙලා මගෙන් අහගෙන එදා දැකපු දේවල්වල පසුබිම ගැන ගොඩාක් තොරතුරු ලියාගත්ත බව මතකයි.. කතාකරන ඒවාත් පටිගත කරගත්ත.”

මීට අට වසරකට ඉහතදී සිදුවූ දෑ සෙනරත් මහතා ආවර්ජනය කෙරුවේ ඒ අයුරෙනි.කොස් වනාහී ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ දුප්පත් වැසියන්ගේ ප්‍රධාන ආහාරයක් වුවත්, එහි කොස් නිෂ්පාදනයෙන් 60% – 70% ක් ගස් යට කුණුවෙමින් අපතේ යාමේ කනස්සල්ලෙන් පසුවූ පාඩ්රේ ආපසු ඉන්දියාවට ගොඩබැස්සේ කේරල ප්‍රාන්තයේ ආර්ථිකය කොස් නිෂ්පාදනයන්ගෙන්ම ගොඩදාන බලාපොරොත්තු සිත තුල දරාගෙනය.

ඒ වනවිට කොස් පිටි වලින් පපඩම් වර්ගයක් සාදනවා වැනි කර්මාන්තයක් හැරුණුවිට වෙනයම් කොස් කර්මාන්තයක් ඒ පළාතේ කෙරුනේ නැත. පාඩ්රේ විසින් ලංකාවෙන් උගත් දෑ ප්‍රදර්ශනය කිරීම උදෙසා පළමුව කෙරුවේ ‘කොස් සැණකෙළියක්’ (Jack Festival) සංවිධානය කිරීමයි. මෙහි අරමුණ වී තිබුනේ කොස් කෑමෙන් ඇතිවෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන මහජනතාව දැනුවත් කිරීමත්, අගය වැඩිකළ කොස් නිෂ්පාදනයන්හි ඇති වෙළඳ වටිනාකම කේරල ප්‍රාන්තීය වැසියන්ට අවබෝධ කරදීමත්ය.

සැණකෙළියේ ආකාර්ශනීය අංගෝපාංග රාශියක් තිබුණි. සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, අගය වැඩිකිරීමේ නිෂ්පාදනයන් සඳහා වූ පුහුණු අවස්ථා, ඉවුම් පිහුම් තරඟ, ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් මෙන්ම විවෘත සංවාද, එපමණක් නොව කොස් පැළ සිටුවීමේ කටයුතුද දින කීපයක් තුළ පැවති සැණකෙළියට ඇතුළත් විය.

චීනය කොස් වවන්නට පටන්ගත්තේ 1992 තරම් මෑත කාලයේදීය. එහෙත් මේ වනවිට ඔවුන්ද අපට වඩා ඉදිරියට ගොසිනි. පාර දෙපැත්තේ පවා කොස් වවන්නට චීන රජය මගින් ජනතාව උනන්දු කරවයි. පිලිපීනයේ කොස් වගාව ගැන කියාදෙන ඊ පාඨමාලා පවා මේ වනවිට තිබේ.

අද වනවිට කොස් වලින් අගය වැඩිකළ නිෂ්පාදන බිහිකරන අංක එකේ රට බවට වියට්නාමය පත්වූයේ ඉන්දියානුවන්ද පරදවමිනි. මැලේසියාව තම ජාතික ප්‍රතිපත්තියටද කොස් ඇතුළත් කර තිබේ. මේ පසුබිම තුළ අප සිතා බැලිය යුත්තේ රොබට් නොක්ස් මෙහි පැමිණි කාලයේ සිට කොස් කෑ ලාංකිකයා, අද සිටින්නේ කුමන තැනකද යන්නයි.

බෝගයක් යොදාගෙන සැණකෙළි පැවැත්වීම ඇතැම් රටවල සම්ප්‍රදායකි. ඒවා බොහෝවිට හුදෙක් විනෝදාස්වාදය අරමුණු කරගත් නාස්තිකාර සැණකෙළිය. “තක්කාලි සැණකෙලිය” මීට හොඳ උදාහරණයකි. විශාලම තක්කාලි සැණකෙළිය පැවැත්වෙන්නේ ස්පාඤ්ඤයේය. ඒ 1945 වසරේ සිටයි. මේ වසරේ සැණකෙළිය කොවිඩ්-19 වසංගතය නිසා අවලංගු වූවා මිස, මීට ඉහතදී දේශපාලන හේතු මත එය අවලංගු වී ඇත්තේ 1957 වසරේදී පමණි. මෙහිදී සිදුවන්නේ පිට පළාත්වලින් නගරයට රැගෙන එන ඉදුණු තක්කාලි තොග වලින් රැස්ව සිටින ජනතාව විසින් එකිනෙකාට පහර දීමයි. පැයක පමණ කාලයක් තිස්සේ සිදුවෙන මෙම ‘තක්කාලි අරගලය’ අවසන් වනවිට සියල්ලෝම තක්කාලි පල්පයෙන් නැහැවී අවසන්ය. අනතුරුව නගර සභාවේ ජල බවුසර පැමිණ වීදි පිරිසිදු කරනු ලැබේ.

තක්කාලි වල තිබෙන සිට්‍රික් අම්ලය නිසා වීදිවල තිබූ පැල්ලම් පවා මැකීගොස් අලුත් පෙනුමක් ලැබීම සැණකෙළියේ එකම ප්‍රතිලාභය යයි සිතන්නට සිදුවෙන්නේ එය ඒ තරමටම නාස්තිකාර ක්‍රියාවක් බැවිනි. 2015 වසරේ සැණකෙළි පැය තුළ තක්කාලි කිලෝග්‍රෑම් 145,000ක් ඒමේ අත දමාගසාගෙන විනාශ කළ බව සඳහන්ය.

වැල වරකා සමග කොහොල්ලෑ නාගනිමින්, කොස් සැණකෙළියක් පැවැත්වීමට නොවේ අපේ මෙම යෝජනාව. ගතයුතු තැනින් නියම ආදර්ශය ගත යුතුව තිබේ. කර්නාටකා ප්‍රාන්තය තුලදී පාඩ්රේ කල ආකාරයට ‘හෙරලි සැණකෙළියක්’ අපද සංවිධානය කල යුත්තේ දැනට මුලුගැන්වී ඇති කොස් නිෂ්පාදන තාක්ෂනයන් ජනතාව අතරට ගෙනයාමටයි.

මේ නිෂ්පාදනයන් වනාහී විදේශ විනිමය උල්පත්ය. එක්සත් රාජධානියේ දැනට නිර්මාංශකයින් මිලියන තුන හමාරක් පමණ සිටී. දිනෙන් දින වැඩිවෙන සංකීර්ණ රෝගාබාධ නිසා මෙම සංඛ්‍යාව ඉදිරියටත් වර්ධනය වෙනවා මිස අඩුවෙන්නේ නම් නැත. මස් කන්නට හුරුවූ දිව සනහන්නට, මස් රහට හයියට හැපෙන අනුප්‍රාප්තික ආහාර නිපදවන්නට ඔවුන් බර උත්සාහයක යෙදී සිටී. සියලු දේ පරදවමින් එතැන ඉදිරියෙන්ම සිටින්නේද කොස්ය. වියලූ හෝ අමුවෙන් බඳුන් ගතකල කොස් රට සල්ලි මවනු ඇත්තේ ඒ අයුරෙනි.

අපේ දේ ගැන විශ්වාසය තබන්නටත්, සැඟවී ඇති අපේ දේ අගය කරමින් ඉදිරිපත් කරන්නටත් පසුගිය වසංගත කාලයේදී අපට ඇතිවූ පුරුද්ද, කොස් වෙනුවෙන්ද ආදේශ කරමින් පුළුවන් විධියට ‘හෙරලි සැණකෙළිය’ සංවිධානය කළ යුත්තේ මේ නිසාය. ගන්නෝරුවේ කෘෂිකර්ම පුරවරයේම මේ සඳහා උචිත ‘කොස් වත්තක්’ ද තිබෙන්නේය. අක්කර පහක් විශාල පර්යේෂණ පලතුරු උයනේ කොටසක් පුරවා සිටින දේශීය කොස් ප්‍රභේද එකතුව, සැණකෙළියට පැමිණෙන්නන් හට ඇඟට දැනෙන සජීවී අත්දැකීමක්ද ලබාදෙනු නොඅනුමානය.

“මේ තරම් වටිනා සම්පතක් අපට අහිමි කරන නිහඬ මාරයා ගැනත් යමක් ලියන්න” ආචාර්ය හීන්කෙන්දගේ ඉල්ලීමකි.

“කවුරුවත් අවධානය යොමු නොකරන නිහඬ මාරයෙක් රටේ තිබෙන හෙක්ටයාර් 55,000ක පමණ කොස් වගාව බිලි ගනිමින් සිටිනවා. මේවා එකතැන පිහිටන වගා වශයෙන් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා යම් තැනක කොස් ගසක් මැරුනොත් එය වගාවක වූ සිදුවීමක් ලෙස වාර්තා වෙන්නෙත් නෑ. වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවන හුදකලා මරණයක් පමණයි. පසේ තිබෙන දිලීර වර්ග කීපයක් කොස් ගසට වැළඳිලා, සෙමෙන් සෙමෙන් කොස් ගස් මැරෙනවා.  මෙවන් තත්වයක් තිබේනම් අදාළ අංශ වලට දන්වන්න ඕනෑ. අනෙක් කරුණ තමයි පිළිල. මේක හරියට පිළිකාවක් වගේ. ලොකු ගස් මැරෙන තුරුම කව්රුවත් පිළිල ඉවත් කරන්න උනන්දු වෙන්නේ නෑ.”

ආතර් වී දියෙස් මැතිඳුන් කොස් විප්ලවයක් පටන් ගන්නා කාලයේ මෙරට මිනිසුන් තුනෙන් දෙකක්ම කෑවේ පිටරටින් ගෙනෙනා හාලේ බත්ය. පැලයේ හැඩය වෙනස්කර, ඇදවැටීම නවතා, පඳුරු ගණන වැඩිකර, රටටම බත සපයන වැඩි අස්වැන්න දෙන ගොයමක් අනාගතයේදී නිපදවෙනු  ඇතැයි ඒ කාලේ කිසිවෙකුත් නොසිතන්නට ඇත. ලෝකයේ හරිත විප්ලවය ඇරඹෙන්නටත් පෙර කොස් ගස, බත් ගස සේ හඳුන්වාදෙමින් ගමනක් යන්නට මෙවැනි ජනහිතකාමී පුරවැසියන් පෙරට ආවේ එබැවිනි. එදා තත්වයට අනුව එම දැක්ම හා මෙහෙවර අතිශයින් සාධාරණය.

එහෙත් මේ වනවිට නම්, මත්වෙනතුරු කන්නට වුවත් රට තුළ දේශීය හාලේ බත් තිබේ. ඒ වැඩිදියුණු කල වී වර්ගවලට පින් සිදුවන්නටය. එසේ වුවත් මේ ගොයමෙන් උපරිම අස්වැන්නක් නෙළාගැනුම සඳහා, කෘෂි විද්වතුන්ගේ නිර්දේශ ප්‍රකාරව අවශ්‍යම තැනට, ඉතා අවමයෙන් කෙතට හලනා රසායනික පොහොර වෙනුවෙන්, තවත් උගත් පිරිසක් කනස්සල්ලෙන් හිස කසන්නේය.

ඔවුන්ගේ දර්ශනයට අනුව රසායනික පොහොර ඒ තරමටම පරිසරයට අසාත්මිකය. එසේ වුවත්  සමස්ත කුඹුරු පද්ධතියම කාබනික ඒවා බවට පරිවර්තනයද මහත් භාරධූර කටුත්තකි. එවැන්නක් සිදුකලද ගොයමට හිමි විභව අස්වැන්න තිරසාරව දිගු කලක් තිස්සේ ලබාදේයයි පර්යේෂණාත්මක තහවුරුවක්ද නැත.

දෙවියන්ගේ පිහිටෙන් එදා මෙන්ම අදටත් කොස් ගස් මුලට කවුරුවත් රසායනික පොහොර දමන්නේ නැති නිසා කොස් ආශ්‍රිත නිෂ්පාදන නම් අදටත් මුළුමනින්ම කාබනික වේ. තැම්බූ කොස් එක දිගට නොකෑවත්, කොස් පිටි යහමින් දැමූ තෝසේ, ගැටවරයින්ට පවා ගැලපෙන කොස් කොත්තු  යනාදිය සමාජය තුල ප්‍රචලිත කරන්නට මෙම දැන උගත් කණ්ඩායම පියවර ගන්නේ නම්, ඔවුන් හෙළනා දහඩියට දැනට වඩා වටිනාකමක් ලැබෙනු ඇතැයි අපට සිතේ. ඔවුන් පෙන්වාදෙන වසවිස ලෝකයෙන් යම් තරමකටවත් රටවැසියා මුදවා ගැනීමට මෙය ඉතා තාත්වික ප්‍රවේශයකි.

සනත් එම්. බණ්ඩාර

සනත් එම්. බණ්ඩා

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.