බුදු රජාණන් වහන්සේ ‘නිර්වාණය පරම සුවය’ යැයි වදාලේ ඇයි ?

කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි ආචාර්ය, පූජ්‍ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ

බෞද්ධ දර්ශනයෙන් ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ඵලය නම් සියලූ දුකින් මිදී පරම සුඛයට පත්වීමය. බෞද්ධයාගේ පරම අර්ථ සිද්ධිය වන මෙය ළඟා කරගත හැකි වන්නේ පරම චිත්ත පාරිශුද්ධියට පැමිණීමෙන් බව ධර්මය උගන්වයි. එම අති පාරිශුද්ධියට පැමිණීමට භාවනාව කම උපයා මාර්ගය බව ද ඉගැන්වේ.

‘‘ශමථ – විදර්ශනා’’ වශයෙන් භාවනා මාර්ග දෙකක් ධර්මයේ එයි. මෙම භාවනා ක‍්‍රම පරම චිත්ත විශුද්ධිය ලබාදීමට සමත් වනවා පමණක් නොව, ලෞකික වශයෙන් එදිනෙදා ජීවිත මාර්ගයට ද, එයින් ලැබෙන විපුල ප‍්‍රයෝජන හා යහපත ඉමහත් බව කිව යුතුව ඇත.

ක‍්‍රමානුකූලව භාවනාව අභ්‍යාස කරන පින්වතා තම ජීවිත යාත‍්‍රාව නිරුපද්‍රව තම අභිමත අරමුණ කරා ගෙන යාමට සමත් වන්නේය. එමතු ද නොව ජීවිත මාර්ගයෙහි මුහුණපෑමට සිදුවන ජීවිත මාර්ගයෙහි මුහුණපෑමට සිදුවන දහසක් කම්කටොලූ, දුක් කරදර හා අවුල් වියවුල් ප‍්‍රීතියෙන් ඉවසා දැරීමට ද එයින් ලැබෙන පිටුවහල හා ආධාරය අති විශාලය. විශේෂයෙන් ම බෞද්ධ භාවනා ක‍්‍රම ශාරීරික වු ද, චෛතසික වූ ද, දුක්ඛවේදනා, ව්‍යපසමනයෙහිලා දිව ඔසුවක් මෙන් යැයි කීවාට වරදක් නොවේ. භාවනාවෙහි ඇති ප‍්‍රධාන අංගයක් වූ කලී දුක් පීඩා මාධ්‍යයේ ‘‘නිර්වාණය’’ මඳක් දිව ගා බැලීමට එයින් පුළුවන් වීමය.

ජීවිතය පිළිබඳ නියම අවබෝධයක් ඇති කිරීමට ඉවහල් වන මෙම චිත්තෛකාග‍්‍රතාව ලබා ගැනීම අපේක්ෂා කරන සියලූ සියලූ භික්ෂූන් වහන්සේලා පමණක් නොව සියලූ ගෘහස්ථ බෞද්ධයින් විසින් ද භාවනාව පුහුණු පුරුදු කිරීමේ අවශ්‍යතාව අප විසින් නිතර නිතර දැක්විය යුතුව තිබේ.
භෞතික වශයෙන් ඇති විය හැකි දුෂ්කරතා නිසා මේ චෛතසික පුහුණුව අප පුරුදු නොකළහොත්, එය බෞද්ධ චාරිත‍්‍රය කඩකිරීමක් වන්නේ ය. සමස්ත බෞද්ධ ජීවිතය ම බෞද්ධ භාවනා ක‍්‍රමයට ඇතුළත් වන බව ද කියා තිබේ.

ධර්ම දායාදය ලැබූ හැම පුද්ගලයෙකු විසින් ම කළ යුත්තේ කුදුමහත් හැම කටයුත්තකදීම භාවනාව ආධාර කොට ගනිමින් ස්වකීය තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කර ගැනීම ය. ඇත්ත වශයෙන් ම භාවනාව මෙම දුක්බර ජීවිතය නියම සැපත හා සමාදානය කරා ගෙන යන්නේ ය.

බුද්ධ සාසනයේ නියම උද්දීප්තිය රඳා ඇත්තේ ද මෙම උත්තරීතර ප‍්‍රතිපදාවෙහි බව කිව මනා නොවේ. බෞද්ධ ප‍්‍රතිපදාවෙහි මෙම ප‍්‍රධාන ප‍්‍රතිපත්තිය මෙන් උගන්වා ඇත්තේ එයින් තොරව කිසිම ශාසනික දියුණුවක් නොවන හෙයිනි. ප‍්‍රතිපත්ති ශාසනයෙහි නියම උන්නතිය පිණිස අත්‍යවශ්‍යයෙන් ම පිරිය යුතු, වැඩිය යුතු, මෙම ගුණ ධර්ම අද ගිහි – පැවිදි බෞද්ධ පිරිස අතරින් අභාවයට ගොස් ඇති බව සංවේගයෙන් යුතුව ප‍්‍රකාශ කළ යුතුව තිබේ. එය කොතෙක් දුරට පිරිහී තිබේ ද කියතහොත් නිවන් දුටුවකු තබා ධ්‍යාන බලයෙන් අහසින් යන්නකුවත් නැති වී තිබේ. ඊට හේතුව වශයෙන් ධර්ම ශක්තිය ජීවමාන ව තිබුණ ද, අද නිවන් අවබෝධ කළ හැකියි යැයි කියති.

මනුෂ්‍යයා වූ කලී, ආත්මාර්ථකාමී නපුරු සත්ත්වයෙකි. එහෙත්, මෝහ ධූලි පටලයෙන් මඳක් මිදුණු ඇස් ඇත්තෝ, ආත්මාර්ථකාමී නොදැමි ජීවිතය දුකින් තවත් ඈත් කරනු වෙනුවට තව තවත් දුක් කරා ළං වන බව ද දකින්නාහ. මෙය අවබෝධ කරගත් කල තරඟය වෙනුවට සහයෝගයත්, ආත්මාර්ථ පෝෂණය වෙනුවට පරාර්ථ සේවයත් කෙරෙහි මිනිස් සිත යොමු වන්නේ ය. ඒ සමග ඔහු තුළ කරුණාව පහළ වන්නේ ය. කරුණාව ක‍්‍රියාවෙහි යෙදවීමට පුළුවන් වීමට පෙර පළමු කොට අප විසින් කරුණාව පිළිබඳ මානසික අදහසක් ඇතිකර ගත යුතුය.

මිනිසෙක් හෝ ජාතියක්, තෘෂ්ණාවත්, භයත් ඇති ව සිටින තුරු අවි ආවුධ ඔසවන්නේය. තෘෂ්ණාව නැති වන විට බිය ද අතුරුදන් වීම නිසා සාමකාමීත්වය එළඹෙන්නේය. එහෙත් ශාරීඑිත වූ ද, චෛතසික වූ ද, දුක්ඛ වේදනා ව්‍යුපසමනයට පත් වන්නේ මුළු චිත්ත සන්තානය ම මෛත‍්‍රයෙන් නෑවී, උපේක්ෂාවෙන් උදම් වූ විට ය. ආයතන සන්තර්පණයෙන් මිදී සමාධිය කෙරෙහි යොමු කළ සිත් ඇත්තා කෙරෙන් ‘‘සංස්කාර’’ නම් ස්වභාවික චිත්ත තෘෂ්ණාවෝ ද විපර්යාසයට පත් වන්නාහ.

දැන් පවත්නා තත්ත්වය අනුව ගෘහස්තයන් ද භාවනාවෙන් ධ්‍යාන ලැබීමට උත්සාහ කළ යුතු බවක් මා නොකියන නමුදු, තෘෂ්ණාවෙන් පිරුණු ලෝකය දුක් ගොඩක් බව ගෘහස්ථයා අවබෝධ කර ගත් විට භාවනාවේ යෙදීමට ඔහු කැමැති වන්නේ යැයි කල්පනා කරමි. එබඳු ගෘහස්ථයා බාහිර අරමුණුවලින් සිත වෙන් කර ගැනීමත්, ත‍්‍රිවිධ රත්නය කෙරෙහි භක්තිව වර්ධනය කර ගැනීමත් සඳහා සූර්යා අස්තංගත වන සමයේ මුහුදු වෙරළට හෝ සන්සුන් වෘක්ෂ මූලයකට හෝ, කල එළි නැති ආරාමයකට හෝ අන් කිසි සුදුසු තැනකට වී බඬ පය ර්‍්‍යඞ්කයෙන් හෝ තමන්ට පහසු පිළිවෙළකට හෝ හිඳ තිසරණ මෙනෙහි කළ යුතුය. ඉන් පසු මොහු අන් කිසිවක් ගැන නො සිතා සියය හෝ තුන් සියය, දක්වා ගණන් කරමින් බාහිර සියලූ චේතනාවලින් වෙන් වුව හොත් එයින් හෙතෙම සුපරිශූඬ චේතනාවෙන් තමන් වෙන් කරන මමත්ව වේතනාවෙන් මිදෙන්නේය ය.

මින් පසු හෙතෙම පළමුවෙන් තමාටත් අනතුරු ව සකල ප‍්‍රාණීන්ටත් මනා අවබෝධය ඇතිව ම මෙත් වැඩිය යුතුය. එසේ සමස්ත ලෝකයෙහි සකල ප‍්‍රාණීන්ට හුදු මෛත‍්‍රීය පතුරුවන ඔහුගේ සියලූ සන්තානය මෛත‍්‍රියෙන් පිරේ. මේ සඳහා විශුද්ධි මාර්ගයේ පෙනෙන භාවනා ක‍්‍රම පුරුදු කටයුතු හැකි වුවත්, මා මේ කියන්නේ දෛනික වැඩ කටයුතු අතර ගෘහ්සථයාට කළ හැකි භාවනා ක‍්‍රමයක් ගැන ය. යට කී අන්දමට කළ හොත් එම ගෘහස්ථයාගේ චිත්ත සන්තානය පෙරට වඩා පිරිසිදු ව සතුටු සහගත වනු නොවනුමාන ය. ඔහු කෝපාවිෂ්ට වන්නෙක් නම් – තමා භාවනා යෝගී වූ විට දී ඇති කළ මෛත‍්‍රිය ගැන සිතීමත් සමග එය අතුරුදන් වන්නේ ය. මමත්වය, නැතහොත් තමා ගැන ම සිතීමෙන් වෙන් ව අන්‍ය සත්ත්වයන්ට ච මෛත‍්‍රිය පැතිර වූ මොහු කෙරෙන් ක්‍රෝධය හා බිය දුරුවන්නේ ය.

‘‘මෛත‍්‍රිය’’ හා ‘‘උපේක්ෂාව’’ පුරුදු පුහුණු කිරීමෙන් මනුෂ්‍යයාගේ සම්පූර්ණ මානසික තත්ත්වය අනුක‍්‍රමයෙන් වෙනස් වන සැටි පෙනී යන්නේ ය. කෝපාවිෂ්ට වූ විටක සාපරාධි දේ කිරීමට ඉඩ නොදීමෙන් ශාරීරික ඉන්ද්‍රීයන් කෙරෙහි බල පවත් වන මේ භාවනාව අනුක‍්‍රමයෙන් උසස් කිරීම නිසා ලෝකයාට අනවබෝධ වූ, ලෝකෝත්තර තත්ත්වයට ද මනුෂ්‍යයා පත් කරන්නේ ය. අවිද්‍යාවෙන් හා දුකින් ද ආරම්භ වූ ජීවිතය ප‍්‍රඥාවටත්, සැපයටත් පත්වන්නේ ය. ජීවිතය පිනවීමත්, සිතේ තත්ත්වය ශාරීරික පැවැත්මෙන් ප‍්‍රකාශ වීමත් මෙහි හේතුව ය.

අපේ සිත අනුක‍්‍රමයෙන් උසස් කළ විට අපේ තත්ත්වය ද උසස් වන්නේ ය. භාවනාවේ ඇති ප‍්‍රධාන අංගය වූ කලී දුක් පීඩා මධ්‍යයේ ‘‘නිර්වාණය’’ මඳක් දිව ගා බැලීමට එයින් පුළුවන් වීම ය. ‘‘නිර්වාණය’’ මෙයැ යි දක්වන ටිබැට් බෞද්ධයෝ, එය දුකින් මිදුණු තැන යැයි පවසන්නාහ.

දුකත්, දුකට හේතුවත් ‘‘පටිච්ච පමුප්පාදයේ’’ හේතු ධර්මයෙන් දැක්වෙන්නේ ය. දුක යනු කුමක් දැයි අප අවට ඇති මනුෂ්‍ය හා සත්ත්ව ජීවිත දෙස බැලීමෙන් දැන ගත හැකිය. එහෙත්, අන්‍යයන්ගේ දුකේ දී උපේක්ෂා වන තද සිතැත්තෝ මේ සත්‍ය නොසලකන්නාහ. ඇපයක් පවතින බව ද, දුක සාමාන්‍ය සිද්ධියක් වන අතර සැපය හේතු ධර්ම අනුව ම පහළ වන චෛතික සිද්ධියක් බව ද බෞද්ධයා අමතක කළ යුතු නොවේ.
‘‘දුක යනු කුමක් දැයි අවබෝධ වන තුරු සැපය නූපදින්නේ ය. සැබවින් දුකක් ඇති බව අපට අවබෝධ වූවාට පසු ව එයින් මිදී සැපයට පත්වීමට අප උත්සාහ කරන බව මගේ හැඟීමයි. මේ සැපය සෙවීමට, නැතහොත් දුකින් නිදහස්වීමට අපි මහා වෛද්‍යවරයාණන් වහන්සේගේ පිළිසරණ සොයමු. උන්වහන්සේගේ ප‍්‍රතිකර්ම අනුගමනය කරන අප තුළින් අපට විෂ පෙවූ අපවිත‍්‍ර දේ අප තුළින් වියෝ වීම නිසා උන් වහන්සේගේ ක‍්‍රමය පිළිබඳ අපගේ විශ්වාසය සංවර්ධනය වන්නේ ය. මේ විශ්වාසය ඇති වූ විට භාවනාවේ යෙදීමට අපි සුදුස්සෝ වෙමු. එවිට අප අපේ අභ්‍යන්තරය දෙස බලතොත් සතුට පහළ වන්නේ ය. ඒ වූ කලී චිත්ත පාරිශූද්ධිය පිළිබඳ ප‍්‍රසාදයෙන් ජනිත වන සතුටකි.

භාවනාව ක‍්‍රමයෙන් තව තවත් ගැඹුරු වන කල නියම සැපය පහළ වන්නේ ය. මේ ක‍්‍රමයෙන් චිත්ත පාරිශුද්ධියට පැමිණීමෙන් ස පරම සුඛයට පත් වන නිසා දුකක් මෙන් ම සැපක් ද ඇති බව පෙනේ. ඇත්ත වශයෙන්ම ‘සම්මා සමාධිය’ වූ කලී සැපයට මුඛ්‍ය මාර්ගයකි. එහෙත් ඊට පත්වීමට පෙර ආර්ය අෂ්ටාඬිගික මාර්ගයේ අනික් පියගැට පෙළ නැඟිය යුතුය. ‘‘අප විසින්ම තනන ලද දුක් සහිත බන්ධනාගාරයෙන් මිදීම සඳහා මමත්වය හා තෘෂ්ණාව ද නැවැති යකඩ පොලූ කෙසේ කැඩිය යුතු දැයිි භාවනාව අපට උගන්වන්නේ ය.

අපත් අපේ විමුක්තියත් අතර සම්බාධක ව ඇත්තේ අපේ ම කෙළෙස් බර සිත් ය’’. භාවනාවෙන් මේ කෙළෙස් තුනී වී අපි දුකින් සැපය කරා ගමන් ගනිමු. දැඩි උද්යෝගයකින් භාවනාවේ යෙදෙතොත් ප‍්‍රතිඵල ඒකාන්ත බව කිව යුතුය. භෞතික වශයෙන් ඇති විය හැකි දුෂ්කරතා නිසා මේ චෛතිසික පුහුණුව අප පුදුසු නොකළ හොත්, එය බෞද්ධ චාරිත‍්‍ර වශයෙන් අප අපට ම කරන බලවත් වංචාවක් වන්නේය.

මෛත‍්‍රී භාවනාව

මෛත‍්‍රී භාවනාව වැඞීමේ ක‍්‍රම බොහෝ වෙතත් පහසුවෙන් වැඩිය හැකි කෙටි ක‍්‍රමයක්් දක්වනු ලැබේ. මෙම භාවනාව වඩනු කැමැති යෝගියා විවේච තැනකට පැමිණ පුසුදු ලෙසකින් හිඳ ගෙන ශීලය ආවර්ජනා කිරීම්, තෙරුවන් ගුණ සිහි කිරීම්, ආදිය පෙර කිස කොට ද්වේෂයෙහි (තරහ ගැනීමේහි) ආදීනවත් මෛත‍්‍රියෙහි, ඉවසීමෙහි ආනිසංසත් සලකා කර්මස්ථානයෙහි ආදාරය ඇති කර ගෙන භාවනාව පටන් ගත යුතුය.

පළමු කොට ‘‘මම වෛර නැත්තෙක් වෙම්වා, නපුරු අදහස් නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා’’ යි තමාට මෙත් වඩා අනතුරුව තමන්ට ප‍්‍රිය පුද්ගලයෙකුට මෙත් වැඩිය යුතුය. මේ සඳහා යෝගියා පුරුෂයෙකු නම් ස්ත‍්‍රියක ද, ස්ත‍්‍රියක් නම් පුරුෂයෙකු ද අරමුණු නොකළ යුතුය. ඒ රාගය ඇති විය හැකි බැවිනි. රාගය මෛත‍්‍රිය නොවේ. ජීවතුන් අතර සිටින තමන් විසින් ගරුකටයුතු දෙමාපිය, ගුරුවරු ආදි සම්භාවනීය පුද්ලගයෙකු අරමුණු කොට, ‘‘ඒ උතුමා වෛර නැත්තෙක් වේවා, නපුරු අදහස් නැත්තෙක් වේවා, දුක් නැත්තෙක් වේවා, සුව සේ ජීවත් වේවා’’යි කියා ඔහු කෙරෙහි මෙත් වැඩිය යුතුය.

ඔහු කෙරෙහි ද හොඳින් ම මෙත් සිත පිහිටි කල් හි මා, පිය, සහෝදර, සහෝදරී, නෑදෑයන් කෙරෙහි ද, මැදහතුන් කෙරෙහි ද, ‘‘ඔවුහු වෛඑ නැත්තෝ වෙත්වා’’ යි එක් එක් කොටසක් කෙරෙහි මෙත් වැඩිය යුතුය. එසේ කොට ඔවුන් කෙරෙහි ද මෙත් සිත සැබැවින් පිහිටි කල් හි ඉතා ප‍්‍රියයන් කෙරෙහි ද, මැදහතුන් කෙරෙහි ද, ‘‘ඔවුහු වෛර නැත්තෝ වෙත්වා, නපුරු සිත් නැත්තෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා’’යි වෙන වෙන ම මෙත් වැඩිය යුතුය.

එසේ කොට ඔවුන් කෙරෙහි ද මෙත් සිත සැබැවින් පිහිටි කල්හි වෛරී පුද්ගලයින් කෙරෙහි ද මෙත් වැඩිය යුතුය. මෙතනදී ඇතැම් විට ද්වේෂය ඇති විය හැක. එසේ වුවහොත් නැවත ද නොයෙක් අයුරින් ද්වේෂයෙහි ආදීනවත්, ඉවසීමෙහි – වෛර නොකිරීමෙහි ආනිසංසත් සලකා ද්වේෂය සන්සිඳුවා ගෙන, වෛර පුද්ගලයින් කෙරෙහි ද සැබෑ වූ මෙත් සිත ඇති කර ගෙන ‘‘ඒ පුද්ගලයෝ වෛර නැත්තෝ වෙත්වා, නපුරු අදහස් නැත්තෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා’’ යි ඔවුන් කෙරෙහිත් තමන් කෙරෙහි මෙන් මෙත් සිත පතුරුවනු.

වෛරීන් ලෙස සැලකූ පුද්ගලයින් කෙරෙහි ද මෙත් සිත පැතිර වූ කල්හි ගම්වැසි, අවට ගම්වැසි, පළාත්වැසි, රටවැසි සැමටත් පෙර සේ ම මෙත් සිත වඩනු. එය ද මැනවින් සම්පූර්ණ වූ කල්හි පෙරදිග, දකුණුදිග, අපරදිග, උතුරුදිග, අනුදිග, උඩුදිසා, යටදිසා යන දස දිසාවෙහි සියලූ ස්ත‍්‍රී, පුරුෂ, ආර්ය, අනාර්ය, දිව්‍ය, මනුෂ්‍ය හා විනිපාතික සත්ත්වයෝ ද යන ප‍්‍රාණීන් කෙරෙහි වෙන් වෙන් වශයෙන් මෛත‍්‍රිය වඩනු.

මෙසේ යොදා ගෙන කීමටත්, ඒ ගැන සිතින් මෙනෙහි කිරීමටත් පුරුදු වන්න,

‘‘මාගේ මෛත‍්‍රිය – සියලූ සතුන් කෙරෙහි ය.
මාගේ මෛත‍්‍රිය – සියලූ දෙවියන් කෙරෙහි ය.
මාගේ මෛත‍්‍රිය – දෙපා ඇති සතුන් කෙරෙහි ය.
මාගේ මෛත‍්‍රිය – සිවුපා සතුන් කෙරෙහි ය.
මාගේ මෛත‍්‍රිය – බොහෝ පා ඇති සතුන් කෙරෙහි ය.
මාගේ මෛත‍්‍රිය – පා නැති සතුන් කෙරෙහි ය.
මාගේ මෛත‍්‍රිය – සියලූ භූතයන් කෙරෙහි ය.
මාගේ මෛත‍්‍රිය – සියලූ අමනුෂ්‍යයින් කෙරෙහි ය.
මාගේ මෛත‍්‍රිය – සියලූ ප‍්‍රාණීන් කෙරෙහි ය.
සියලූ සත්ත්වයෝ සුවපත් වෙත්වා, අවෛරී වෙත්වා, නිදුක් වෙත්වා.
පා නැති සතෙක් – මා නොපෙළාවා
දෙපා ඇති සතෙක් – මා නොපෙළාවා
සිවුපා සතෙක් – මා නොපෙළාවා
බොහෝ පා ඇති සතෙක් – මා නොපෙළාවා
කිසි භූතයෙක් – මා නොපෙළාවා
සියලූ සත්ත්වයෝ සුවපත් වෙත්වා, අවෛරී වෙත්වා, නිදුක් වෙත්වා,
සියලූ ප‍්‍රාණීහු ද
සියලූ සත්ත්වයෝ ද
සියලූ භූතයෝ ද
කල්‍යාණයන් මෙන් දකිත්වා,
කිසිවෙක්, කිසිවෙකුට වෛර නො කෙරෙත්වා,
නින්දා නො කෙරෙත්වා,
අවමන් නො කෙරෙත්වා,
සියලූ දෙනා ම, සියලූ දෙනාගේ ම, සැප කැමැත්තෝ වෙත්වා,
දීර්ඝ ජාති වූ – ප‍්‍රමාණවත් වූ ද – සර්ප – ගෝනසු – සතපා – මකුළු – සිකනල් – මූසික – යන මොහු මා රක්ෂා කරන ලදහ. කිසි කලක සතුන්ට දුකක් නො වේවා,
දුකට පත් සත්ත්වයෝ දුකින් මිදෙත්වා
ශෝකයට පත් සත්ත්වයො ශෝකයෙන් මිදෙත්වා,
භයට පත් සත්ත්වයෝ භයින් මිදෙත්වා
සියලූ සත්ත්වයෝ සුවපත් වෙත්වා…

මේ භාවනාව වැඞීමෙහි ඇති ශ්‍රේෂ්ඨත්වය මෙම බුද්ධ වචනයෙන් ම පැහැදිලි වේ.

‘‘අච්ඡුරාසඕඝාතමත්තම්පි චෙ භක්ඛවෙ භික්ඛු මෙත්තං භාවෙති, අයං චුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො, සත්ථුසාසනකරෝ ඔවාපදතිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ඡුාති’’
‘‘කො පන වාද්‍රෙ යෙ නං බහුලීකරෙන්තීති’’
‘‘මහණෙනි, ඉදින් මහණ අසුරු සැණක් පමණ කුදු මෙත් සිත වඩා නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ වෙසේ යයි කියනු ලැබේ. ශෘස්තෘ ශාසනය කරන්නේ අවවාදය පිළිපඳින්නේ, නොසිස්වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වලඳයි’’
‘‘යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් (එහිලා) කවර කථාද ?’’ යනුවෙනි.

මෙසේ තමාගෙන් පටන් සියලූ සතුන් කෙරෙහි එක හා සමාන ව මෛත‍්‍රිය වැඞීමෙන් සත්ත්වයන් කෙරෙහි පැවති ද්වේෂ ගති, අහිත ගති නැති වී ගොස් සිත උපචාර වශයෙන් සමාහිත වේ. එම මෙත් සි. ම, තව තවත් දියුණු කළ කල්හි ප‍්‍රථමධ්‍යානාදි අපර්ණා සිත් උපදවා ගත හැක.
මෙම භාවනාව සෑම බෞද්ධයෙකු විසින් ම පුරුදු පුහුණු කරනවා නම්, ඇත්තෙන් ම අපේ රට දිනෙන් දින ශීඝ‍්‍රයෙන් වැඞී යන බිහිහුණු අපරාධ, ¥ෂණ ක‍්‍රියා ආදිය බොහෝ දුරට නැති වී යනවා ඇත. අප රට මෙයට වඩා සෞභාග්‍යයෙන් හා සමගි සම්පන්න භාවයෙන් ද දියුණු ව් යනවා ඇත. එහෙයින් මෙය කියවන සෑම බෞද්ධයෙකු විසින් ම සුළු කාලයක් හෝ මෙය හොඳින් ඉගෙන පුරුදු කිරීමට ඉටා ගත්තොත් මැනවි. අද රටේ හැටියට ගැළපෙන ඉතා ම සුදුසු භාවනාව මෙය බව මගේ හැඟීම ය. එහෙයින් මෙය ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් පරිශීලනය කෙරෙත්වා.

සැමට තෙරුවන් සරණයි,

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *