සමගි ජන බලවේගයේ මන්ත්‍රීධුර සුළුජන පක්ෂවලට බිලිවීම – ඇත්ත තත්ත්වය කුමක්ද ?

පසුගිය මහ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 07 සම්බන්ධයෙන් මේ වන විට බරපතළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ.

ඊට හේතුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග සන්ධානගත වූ සුළුජන පක්ෂ මෙන්ම සුළු පක්ෂයක් ලෙස සැලකිය හැකි ජාතික හෙළ උරුමය පවා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ඉල්ලා සිටීමය. ඔවුන් මෙහිදී ‘මස් රාත්තලම‘ ඉල්ලමින් අවධාරණය කරන්නේ සන්ධානගත වීම සදහා ඇතිකර ගත් එකගත්වය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබාදිය යුතු බවත් එසේ නොවුණහොත් තමන් ‘ස්වාධීන කණ්ඩායමක්‘ ලෙස වෙන්ව යන බවයි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර් මාකර්, හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක හා ඩයනා ගමගේ ගේ නම් සාකච්ඡා වීමත් සමඟම සමගි ජන බලවේගයෙන් තරඟ කළ කුඩා පක්ෂ විරෝධය පා, තම පක්ෂ සමග ඇතිකරගත් එකඟතාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාදිය යුතු බව ප්‍රකාශකිරීමත් සමගම එම පක්ෂයේ ජාතික ලැයිස්තුව අවසන් කීරීමේ ගැටළුවක් මතුවී ඇති බව පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ තත්ත්වය සමගි ජන බලවේගය සහ සන්ධානගත පක්ෂ අතර දැඩි ආතතියක් මෙන්ම සමගි ජන බලවේගයේ අනාගතය පිළිබද බරපතළ අනතුරක් නිර්මාණය කර ඇති බව දේශපාලන නිරීක්ෂකයින්ගේ අදහසයි.

‘තත්ත්වය ඉතාම පැහැදිලිය. සජිත් ප්‍රේමදාසගේ අඩු දේශපාලන අත්දැකීම් සහ අති උද්දච්ච ස්වභාවය අනුව තාවකාලික සංහිදියාවක් නිර්මාණය කර ගත්තත් ඔහුට ඒක දීර්ඝ කාලීනව කරගෙන යාමට බැහැ. හේතුව ආණ්ඩුවට 3/2ක බලයක් තිබෙනවා. විපක්ෂ නායකයා ලෙස ඔහුට තිබෙන්නේ මන්ත්‍රීධුර 54ක් පමණයි. එයින් අඩකට ආසන්න ප්‍රමාණයක්, සුළුජන පක්ෂවලටයි හිමිවෙලා තිබෙන්නේ. මේ තත්ත්වය තුළ සුළුජන පක්ෂ සජිත්ව බිත්තියට හේත්තු කරන බව පැහැදිලියි‘ ප්‍රවීන දේශපාලන විශ්ලේෂක භාතිය බරුකන්ද අප කළ විමසීමකදී ප්‍රකාශ කළා.

එහිදී ඔහු අවධාරණාත්මකව කියා සිටියේ වත්මන් ආණ්ඩු පාලනය තුළ සුළු ජන ආතතිය වඩාත් තීව්‍රර වන තත්ත්වයක් තුළ සජිත ප්‍රේමදාස මහතාට මෙම සුළුජන පක්ෂ සමග දැඩි පීඩනයකට මුහුණදීමට සිදුවීම අනිවාර්ය බවයි.

අර්බුදය ගැන ගැඹුරින්

සමගි ජන බලවේගය විසින් දිනාගත් ඡන්ද සංඛ්‍යාව අපේක්ෂා කළාට වඩා විශාල වශයෙන් අඩුවීමත්, ඒ නිසාම දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති මන්ර්‍තීධුර සංඛ්‍යාව අඩුවීමත් නිසා මේ අර්බුදය තීව්‍රර වී තිබේ. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමග සමගි ජන බලවේගය නිර්මාණය කිරීමට දැඩි කැප කිරීමක් කළ කලුතර දිස්ත්‍රික් ප්‍රබලයා වන අජිත් පී. පෙරේරා, කොළඹ දිස්ත්‍රික්කයේ සුජීව සේනසිංහ මෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද පරාජිතයින් අතර සිටින අතර මාතලේ රංජිත් අලුවිහාරේ, ගම්පහ අජිත් මාන්නප්පෙරුම, යූ. ජෝර්ජ් පෙරේරා ද පරාජිතයින් අතර සිටී.

මේ අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට සමගි ජන බලවේගයේ මහ ලේකම් මොනරාගල නායක රජිත් මද්දුම බණ්ඩාර, බදුල්ල දිස්ත්‍රික් නායක හරීන් ප්‍රනාන්දු මෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ඉමිට්යාස් බාකීර් මාකර්, ඉරාන් වික්‍රමරත්න වගේම පක්ෂයේ ඩයනා ගමගේ සහ මයන්ත දිසානායකත් පෙරමග බලා සිටී.

විශේෂයෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර, ඉරාන් වික්‍රමරන්ත, තිස්ස අත්තනායක සහ හරීන් ප්‍රනාන්දු නොසලකා හැරීමට කිසිදු අවකාශයක් නැත. පරාජිතයින්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබා නොදෙන බව සජිත් ප්‍රේමදාස මහතා දැනටමත් ප්‍රකාශ කර ඇති නිසා අජිත්. පී.පෙරේරා, සුජීව සේනසිංහ, කරුණාරත්න පරණවිතාන සහ හිරුණිකාගේ දේශපාලන අනාගතය දැන් පැහැදිලිය.

සමගි ජන බලවේගයේ අදහස

වත්මන් අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වන තෙක් නිල ප්‍රකාශයක් කර නැතත් සමගි ජන බලවේගයේ නායකයින් කිහිප දෙනකුම පසුගිය දිනවල වත්මන් තත්ත්වය දැඩිව විවේචනය කරමින් සිටී. ඔවුන්ගේ දැඩි විවේචනයට ලක් වන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පිළිබද අර්බුදයට වඩා සමගි ජන බලවේගයෙන් පත්ව ඇති (මනාපයෙන්) සුළුජන පදනමක් ඇති මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව හා ප්‍රතිශයයය. සුළුජාතීන්ට අයත් මන්ත්‍රීධුර සංඛ්‍යාව සහ ප්‍රතිශතය තමන් ද කම්පනයට පත්කර ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රබලයින් කිහිප දෙනකුම පවසා ඇත.

මේ තත්ත්වය දැඩිව විවේචනය කරමින් දිනපතා දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාලිත රංගේ බණ්ඩාර කියා තිබුණේ ‘සමගි ජන බලවෙගය නොව මුස්ලිම් – දෙමළ ජන බලවේගය‘ ලෙස සජිත්ගේ පක්ෂය හැදින්විය යුතු බවයි.

මෙය පාලිත රංගේ බණ්ඩාරගේ හුදකලා ප්‍රකාශයක් නොව පසුගිය දිනවල ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය පමණක් නොව සමගි ජන බලවේගයේ ප්‍රබලයින් අතර ද දැඩිව සංවාදයට ලක් වූ මාතෘකාවක් බවට පත්ව ඇත.

හුදු දේශපාලන ප්‍රලාපවලට සීමා නොවී අපට පසුගිය මහ මැතිවරණයෙන් සමගි පෙරමුණින් ජයග්‍රහණය කළ ‘සිංහල නොවන‘ අපේක්ෂකියින් සහ ඔවුන්ගේ ශක්තිය ගැන නිසි අවබෝධයක් පහත වගු සටහන මගින් ලබා ගත හැකිය.

(මෙහි වන්නි දිස්ත්‍රික්ක ජයග්‍රාකයා වූ රිෂාඩ් බදුර්දීන්ගේ නම ඇතුළත් වී නැත)

ඉහත වගු සටහන අනුව සමගි ජන බලවේයග කොතරම් දුරට සුළුජන ග්‍රහණයට ලක්ව ඇත් ද යන්න පැහැදිලිව වටහා ගත හැකිය.

සමගි ජන බලවේගය විසින් ජයග්‍රහණය එකම දිස්ත්‍රික්කය වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ (86,394/68.681 – පොහොට්ටුව) ජයග්‍රහණයට ඍජුව හේතු වූයේ ( සේරුවිල සහ ත්‍රිකුණාමලය පරාජය වූ විට පවා) මුතූර් ඡන්ද කොට්ඨාශයෙන් ලබාගත් ඡන්ද 51,330යි.

මේ තත්ත්වය කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභාවට අයත් ඡන්ද කොට්ඨාශ වූ උතුරු කොළඹ, මැද කොළඹ, බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ, බොරැල්ල සහ දෙහිවල යන ඡන්ද කොට්ටාශවලදී ද ප්‍රතිනිර්මාණය වූ අතර එහිදී අදාළ ඡන්ද කොට්ඨාශවල අති බහුතර සුළුජන ඡන්ද අදාළ ජයග්‍රහණ සදහා පදනම වූ බව පැහැදිලිය.

මේ තත්ත්වයම සිංහල ජනතාව බහුතරයක් ජීවත් වන දිස්ත්‍රික්ක වන මහනුවර, අනුරාධපුරය මෙන්ම කෑගල්ලේද ප්‍රතිනිර්මාණය වූ බවක් පෙනේ.

මෙසේ වාර්ගිකත්වය අනුව (පොදුවේ පක්ෂ අනුව නොවේ) සමගි ජන බලවේගයෙන් තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දෙස බැලීමේදී පැහැදිලි වන්නේ මන්ත්‍රීවරුන් 47/19ක් ම සුළු ජාතීන් වශයෙන් සැලකිය හැකි බවයි. (කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර් සහ මුජිබර් රහුමාන්, මනෝ ගනේෂන් ආදීන් පොදුවේ ගෙන ඇත)

ඉහත වගු සටහන නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ සමගි ජන බලවේගයෙන් මනාප අනුව පත්ව ඇති (දිස්ත්‍රික් ප්‍රතිඵල මත) නියොජ්තයින් ගෙන් 40%ක් සුළුජාතීන්ට අයත්ව ඇති බවයි.

සන්ධානගත වීමේදී ඇතිකර ගත් බව කියන එකගතා අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 03ක් සුළුජන පක්ෂවල දී තවත් එක් මන්ත්‍රීධුරයක් සදහා ඉමිටියාස් බාකීර් මාකර් මහතා (ඔහු කිසිසේත් පටු ජාතිවාදී මානසිකත්වයෙන් ක්‍රියා නොකරන බව ගෞරවයෙන් සදහන් කළ යුතුය) ද පත් කළහොත් සුළුජන වර්ගවලට සමගි ජන බලවේගයේ සමස්ත මන්ත්‍රීධුරවලින් 43%ක් හිමිවන අතර එය සමගි ජන බලවේගයේ නායකයින් පමණක් නොව පොදුවේ සමස්ත ජනතාවම තිගැස්මට පත් කිරීමට හේතුවක් වනු ඇති බව පැහැදිලිය.

මනාප අනුව පත්වීම

ඉහත සදහන් තත්ත්වය මනාප අනුව සැලකීමේදී ද සංකීර්ණ තත්ත්වයක් මතුව ඇති බව පෙනේ. ඊට හේතුව වශයෙන් දක්වන්නේ සුළුජනතාව ඉතා දැඩිව වාර්ගිකත්වය අනුව අගතිගාමී වෙමින් මනාප සලකුණු කළ බවට පැහැදිලි සාක්ෂි තිබීමයි. මෙම ලියුම්කරු සමග අදහස් ප්‍රකාශ කළ කෑගල්ලේ වෘත්තිකයෙක් සදහන් කළේ කබීර් හෂීම් මහතා ඉතාම පැහැදිලිව ‘එක් මනාපයක් – තමාට‘ ලකුණු කරන ලෙස මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටි බවයි. (ඊට හේතුව කෑගල්ලේ ප්‍රබල මුස්ලිම් අපේක්ෂකයෙකු නොවීමයි)

මේ තත්ත්වය, කොළඹ, මහනුවර, අනුරාධපුරය ආදි බහුතරය සිංහලයින් ජීවත් වන සමගි ජන බලවේගයෙන් සුළුජන මන්ත්‍රීවරුන් පත්වූ දිස්ත්‍රික්කවල සේම, නුවරඑළිය සහ බදුල්ලේ ද (නුවරඑළියේ පත් වූ මන්ත්‍රීවරුන් තිදෙනාම වතු දෙමළ අපේක්ෂකියින් වන අතර බදුල්ලේ අපේක්ෂකයින් තිදෙනාගෙන් වැඩිම මනාප ලබාගත් දෙදෙනා වතු දමිළ අපේක්ෂකයින් වේ) සුළුජනතාව අතිෂය අන්තවාදී ලෙස තම ජනවර්ගයට අයත් අපේක්ෂකයින් වෙනුවෙන් පමණක් (කොළඹ දිස්ත්‍රික් නායක සජිත්ට ඡන්දය දී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි වුවද එය ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු වේ)

ඒ බව කොළඹ දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මහතාට පසුව පත්වූ වැඩිම මනාප ඡන්දලාබීන් දෙදෙනාම මුස්ලිම් වීම තුළින් ද පොදුවේ කොළඹින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් 6/3ක්ම සුළුජාතීන් වීම තුළින්ද පැහැදිලි වේ.

මෙය තව දුරටත් විග්‍රහ කළහොත් මහනුවර දිස්ත්‍රික්කය තුළින් ද මනාව ප්‍රකට වේ. සමගි ජන බලවේගය මහනුවරින් ජයග්‍රහණය කළ මන්ත්‍රීධුර 4/3ක් සුළුජන මන්ත්‍රීවරුන් වන අතර, කෑගල්ල 2/1, අනුරාධපුරය 2/1, බදුල්ල 3/2ක් ආදි වශයෙන් වේ.

මේ තත්ත්වය තුළ බොහෝ දේශපාලන නිරීක්ෂකයින් සහ ජනතාව ප්‍රකාශ කරන්නේ සුළුජන කොටස් ඉතාම පැහැදිලිව තම වාර්ගික අපේක්ෂකයා ඉලක්ක කොට මනාපය ප්‍රකාශ කරද්දී සිංහල බහුතර මනාප බෙදී යාම නිසා බහුතරයක් සිංහල දිස්ත්‍රික්කවලින් ද මුස්ලිම් අපේක්ෂකයින් පත්වූ බවයි. එසේම නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ද සිංහල ඡන්ද විසිරී යාම නිසා (3/2, 3/3ක්) වශයෙන් සුළුජන අපේක්ෂකයින් ඉදිරිපයට පැමිණි බවයි.

හොදම පරාජිතයා

මනාප ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යාමට නොහැකි වූ ඊළගට වැඩිම මනාප ගත් අපේක්ෂකයා ‘හොදම පරාජිතයා‘ ලෙස සැලකේ.

සමගි ජන බලවේගයේ හොදම පරාජිතයින් විමසා බලන විට, කොළඹ (ෆවුසි), කලුතර (ඉෆිටිකාර්) වන්නි (ෆාරුක් හුනයිස්), දිගාමඩුල්ල (ෆයිසාල්) සහ ත්‍රිකුණාමලයේ සියලු දෙනා ම ඉදිරියෙන් සිටී

යම් කිසි ඍණාත්මක අදහසක් ඉදිරිපත් කරමින් සටහන් කළහොත් සිංහල බහුතර දිස්ත්‍රික්ක 02ක් වන කොළඹ සහ කලුතරින් අනාගතයේ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් බිහිවීම වැළැක්විය නොහැකි වන්නේ ඔවුන් මනාප ලැයිස්තුවේ ඊළගට සිටින බැවිනි.

මේ තත්ත්වය අර්බුදයක් ද ? වාසියක් ද ?

ඊනියා ජාතික සංහිදියාව වැනි පටු කෝණවලින් බලන විට සමගි ජන බලවේගය (සමගි ජන බලවේගයට ආශිර්වාද කළ බහුතර අතර ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ද සිටින නිසා) ජාතික සංහිදියාවේ සලකුණක් වශයෙන් සැලකිය හැකිය. එහෙත් ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය සහ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අනාගතය දෙස බලන විට මේ තත්ත්වය කිසිසේ යහපත් තත්ත්වයක් නොවේ. ඊට හේතුව වන්නේ සුළුජන පක්ෂ අතිෂය පටු සහ අවස්ථාවාදී ලෙස ජාතික පක්ෂ ග්‍රහණය කර ගැනීම සහ මෙරට බහුතරය වන සිංහල බෞද්ධ ජනතාවගේ සැකයට අදාළ පක්ෂ හා දේශපාලන නායකත්ය ලක්වීමය.

එහෙත් යථාර්ථයෙන් ගැළවීමට හෝ පිටුපෑමට සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත්ම හැකියාවක් නැත. ඊට හේතුව වන්නේ සිංහල බෞද්ධ අති බහුතරය (මෙරට දේශපාලන බලය සුජාතකරණය කරන්නේ සිංහල බෞද්ධ ඡන්ද විසිනි) පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙම මහ මැතිවරණයේදී ද සජිත් ප්‍රේමදාස මහතාගේ ඊනියා මතවාද දැඩිව ප්‍රතික්ෂේප කිරීමයි.

මෙම මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද 27,71,989 හෙවත් 23.90% තුළ ඇති සුළුජන ඡන්ද ඉවත් කළ විට සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය කොතරම් සුළු ද යන්න වටහා ගැනීමට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. ඒ සසහා රටේ ‘සාම්ප්‍රදායික දකුණ‘ තද රතු පැහැයෙන් දක්වන 2020 මහ මැතිවරණ ඡන්ද ප්‍රතිඵල මත පදනම් වූ සිතියම දෙස ඇසිල්ලකින් බැලීම ප්‍රමාණවත් වේ.

අනෙක් අතින් මෙම මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් දිනාගත් ඡන්ද අතර ඇති එක්සත් ජාතික පක්ෂ ඡන්ද ඔහුට පහසුවේ රදවා ගත හැකි ඡන්ද ද නොවේ. එක්සත් ජාතික පක්ෂයට වඩාත් ආකර්ෂණීය නායකත්වයක් ලද වහාම ‘කැපුවත් කොළ‘ ඡන්ද දායකයින් ‘පුංචි මහින්ද‘ සහ ‘පුංචි ප්‍රේමදාස වීමට දගලන දේශපාලන ළදරුවෙකු වන සජිත් ප්‍රේමදාස – චම්පික රණවක කල්ලිය හැරදමා යළි අලියා වෙත යන බව නිසැකය. ඊට පැහැදිලිම හේතුව වන්නේ වෙන කිසිවක් නොව ‘සජිත් ‍ප්‍රේමදාසගේ ළදරු දේශපාලනනයි.

අවසන් කිරීම

දේශපාලන ගැන සිතියම් ඇදීම කිසිසේත් නොකළ යුත්තක් වුවත් ඒ ගැන අනාවැකි පළ කිරීම කිසිසේත් අසීරු තත්ත්වයක් නොවේ. එහෙත් අද හෙට හෝ තවත් කෙටි කාලයකින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීධුර 54ක් හිමි විපක්ෂ නායකයා නොවන බව නම් කැටතතා කිව හැකිය.

වත්මන් ආණ්ඩුවට 3/2 පැහැදිලි බහුතරයක් ඇති නිසා ද සිංහල බෞද්ධ ජාතිකවාදීන් දැඩිව ශක්තිමත්ව ඇති නිසාද හකීම් – බදුර්දීන් තුරුළට ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොවුණත් හකීම් – බදුර්දීන්ට නම් සජිත් – චම්පික සමග දීග කෑම වඩාත් අසීරු වනු ඇත. ඊට හේතුව වන්නේ ඔවුන්ට හුරු පුරුදු දේශපාලන ප්‍රාඥවෙකු වූ රනිල් වික්‍රමසිංහ වෙනුවට දේශපාලන ළදරුවෙකු සමග කටයුතු කිරීමට සිදුවීමයි. ජාතික ගැටලුව ගැන කිසිදු අදහසක් නැති අයෙකු සමග ගනුදෙනු කිරීමට සිදුවීමයි.

සටහන – තුෂාර වල්ගම

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.