‘සුදු අලින්ගේ සහ සුදු ඇතාගේ කතාව’

මේ දිනවල සුදු අලියෙක් ගැන කතාව ලොකුවට කෙරෙන්නකි. මෙවර එය ආරම්භ කෙරුවේ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති විශ්‍රාමික රෙයා අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමාය. ඔහු සිය අමාත්‍ය නිලධාරීන්ට පළාත් සභා පිළිබඳව පසුවිපරම් වාර්තාවක් හැකි ඉක්මණින් සකසා දෙන්න යැයි දන්වා ඇත.

මේ වනවිට පළාත් සභා පිහිටුවා අවුරුදු 32 ක් වන හෙයින් පළාත් සභා මගින් බලාපොරොත්තු වූ සේවා හා අරමුණු ඉටුව ඇතිදැයි විමසා බැලිය යුතු බැව් රාජ්‍ය ඇමති වීරසේකර පවසා ඇත. පළාත් සභා 08 කින් ආරම්භ කෙරුණු පළාත් සභා ක්‍රමයෙහි දැන් පළාත් සභා 09 කි.

පසුවිපරම වැදගත්ය. එය වැදගත් වන්නේ මේ විපරම කෙරෙන්නේ කවර කාරණා හා ක්ෂේත්‍ර අනුවද යන්න මතය. එය හුදෙක් මන්ත්‍රී සංඛ්‍යා, මැතිවරණ වියදම්, පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ඇතුලු වාර්ෂික අය වැය වැනි කාරණා වලට සීමා කෙරෙන්නක් වුවහොත් එහි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නියෝජනය පිළිබඳ දේශපාලනයේ වැදගත්කම අත හැරෙන්නේය. වියදම පෙන්වා පළාත් සභා සුදු අලියෙක් යැයි සමාජයේ කතා බහ වන්නේ පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට වාර්ෂිකව වැය කෙරෙන අතිශය විශාල ජනතා මුදල ගැන කතා නොකරය. එබැවින් “සුදු අලියා” ගැන කතාව ඉන් ඔබ්බට ගෙන යෑම වෙනනුවෙන් මෙය ලියන්නකි.

විමධ්‍යගත පරිපාලනයක් සමග පළාත් සඳහාවන මධ්‍යම ආණඩුව සතු` වගකීම තම පළාත් වෙත ලබා දෙන මෙන් දිගු කාලයක සිට දෙමළ ජන සමාජයේ ඉල්ලීමක් තිබිණ. පළාත් සභා එයට දෙනු ලැබූ විසඳුමය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක, වඩා සමීප ජනතා නියෝජනයක් හදන්නකි. එය දකුණේ ජනතාවගේද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගත හැකි නියෝජන ආයතනයකි. එහෙත් එය ඒ අරුතෙන් සැළකෙන්නේ නැත.

පාර්ලිමේන්තුව සතු වූ විධායක හා ව්‍යවස්ථාමය වගකීම් සමූහයෙන් පළාත් මට්ටමින් කෙරෙන ප්‍රාදේශීය සැළසුම්, සංවර්ධන කාර්ය හා ඊට අදාල ආදායම් උත්පාදනය සහ නීති සම්පාදනය පළාත් සභා සඳහා දෙනු ලැබූයේ උතුරු නැගෙනහිර දෙමළ ජනතතාව දීර්ග කාලයක සිට ඔවුන්ගේ ප්‍රාදේශීය අවශ්‍යතා ඉටු නොවන්නේ යැයි ඒ වගකීම් ඔවුන්ගේ ප්‍රදේශයට ඉල්ලා සිටීමේ දේශපාලනය හේතුවෙනි. කෙටියෙන් කියන්නේ නම්, විමධ්‍යගත පරිපාලනයක් සමග පළාත් සඳහාවන මධ්‍යම ආණඩුව සතු` වගකීම තම පළාත් වෙත ලබා දෙන මෙන් දිගු කාලයක සිට දෙමළ ජන සමාජයේ ඉල්ලීමක් තිබිණ. පළාත් සභා එයට දෙනු ලැබූ විසඳුමය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක, වඩා සමීප ජනතා නියෝජනයක් හදන්නකි. එය දකුණේ ජනතාවගේද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගත හැකි නියෝජන ආයතනයකි. එහෙත් එය ඒ අරුතෙන් සැළකෙන්නේ නැත.

බලය කොළඹට කේන්ද්‍රවූ ආණ්ඩුව හැදීමට අවස්ථාවක් ඇතැයි සිතු හැම දේශපාලන පක්ෂයක්ම සහ පක්ෂ හවුලක්ම ඒ ආණ්ඩු පාලනයේ බලය පළාත් සමගින් බෙදා ගැනීමට සූදානම් නොවුනි. ඒ බලය ඉල්ලා සිටි දෙමළ දේශපාලනය මට්ටු කරන්නට ජයවර්ධන ආණ්ඩුව 1981 මැයි 31 වන දින දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය සමග යාපනය නගරය විනාශකර කීර්තිමත් යාපනය පුස්තකාලයද ගිණිබත් කළේය. දෑවුරුද්දකට පසු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වූ සිරිල් මැතිව්ගේ මැදිහත්වීමෙන් සංවිධානයකර දියත් කළ 1983 ජූලි දෙමළ සංහාරයෙන් විශාල දෙමළ පිරිසක් තමිල් නාඩුවේ සරණාගතයින් ලෙස කඳවුරුගත වූහ. එබැවින් ලාංකීය දෙමළ ජනතාව වනුවෙන් පෙනී සිටි තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව හා තමිල්නාඩු දේශපාලන පක්ෂවල උද්ඝෝෂණ නිදහසට හේතු ලෙස යොදා ගනිමින් ලාංකීය දේශපාලනයට අත පොවන්නට අවස්ථාවක් නව දිල්ලි ආණ්ඩුවට ලැබිණි. එහි පලයක් ලෙස 1987 ජූලියේ කොළඹදී අත්සන් තැබුණු ද්වී-පාර්ශවීය රාජ්‍ය ගිවිසුමට අනුව පළාත් සභා පිහිටුවීම සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජයවර්ධන ආණ්ඩුවට සිදු විය. ඒ ඉතිහාස කතාව ඉතා සංක්ෂිප්තව සටහන් කරන්නේ නම්, එළෙසය.

පාර්ලිමේන්තුව සතු වූ වගකීම් හා කාර්යන්ගෙන් ප්‍රාදේශීය වගකීම් හා කාර්යන් සමූහයක් 1988 ආරම්භයේදී පාර්ලිමේන්තුවෙන් ඉවත්කර පළාත් සභා වෙත ව්‍යවස්ථානුකූලව බාර දෙන විට, 1977 ජූලි මැතිවරණයෙන් පත් කෙරුණු පාර්ලිමේන්තු නියෝජනය වූයේ මන්ත්‍රීවරුන් 168 කි. තවත් පැහැදිලි කරන්නේ නම්, 1977 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 168 ට බාර දෙනු ලැබූ වගකීම් වලින් පළාත් හා ප්‍රාදේශීය සංවර්ධන කාර්යන් සමූහයක් 1988 ආරම්භයේදී ඔවුන්ගෙන් ඉවත්කර ගනු ලැබිණ. එනිසා ඉතිරි වූ ජාතික හා විදේශ ප්‍රතිපත්ති සැකසීම, මුදල් නෝට්ටු මුද්‍රණය හා මහ බැංකුව සමග ගනුදෙනුව වැනි ජාතික හා ජාත්‍යන්තර වගකීම් වෙනුවෙන් මන්ත්‍රීවරුන් 168 ක විශාල පාර්ලිමේන්තුවක් තව දුරටත් අවශ්‍ය නොවීය. ඉතිරි වූ වගකීම් සඳහා එවැනි විශාල පාර්ලිමේන්තුවක් නඩත්තු කිරීම මහජන මුදල් නාස්තියක් විය.

පළාත් සභා පිහිටුවීමේදී එය එළෙසින් සමාජ සංවාදයට ගනු ලැබුවේ නැත. එබැවින් තවදුරටත් මන්ත්‍රීවරුන් 168 ක් අවශ්‍ය නොවුනු පාර්ලිමේන්තුවකින් තවදුරටත් බාර නොවුනු වගකීම් සඳහාද ජනතා මුදල් වැය කළා පමණක් නොව, 1989 පෙබරවාරි මැතිවරණය වනවිට ඒ පාර්ලිමේන්තුව තවත් විශාල කිරීමට අපි ඔවුන්ටම ඉඩ දුන්නෙමු. එබැවින් මන්ත්‍රීවරුන් 225 ක් සමගින් අප දැන් නඩත්තු කරන්නේ අනවශ්‍ය තරම් විශාල, යෝධ සුදු ඇතෙකි.

එහි ඇති විකෘතිය දැකිය හැක්කේ ඉන්දියානු හර්යානා ප්‍රාන්ත ආණ්ඩුව හා සැසඳීමෙනි. අපගේ සමස්ථ ජනගහනය මිලියන 22 ක් වන විට, හර්යානා ප්‍රාන්තයේ වත්මන් ජනගහනය මිලියන 28.6 කි. මේ මිලියන 28.6 ක ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සහ අනාගත සංවර්ධන කාර්යන් සතු වගකීම් පවරා ඇති හර්යානා ප්‍රාන්ත ආණ්ඩුවට, ඔවුහු මන්ත්‍රීවරුන් 90 ක් ඡන්දයෙන් පත් කරති. ජාතික මට්ටමේ ඉතිරි වගකීම් හා ප්‍රතිපත්ති සකස් කෙරෙන මධ්‍යම ආණ්ඩුවෙහි ව්‍යවස්ථාදායකය වන ලොක් සභාවට නොහොත් ඉන්දීය පාර්ලිමේන්තුවට ඔවුන් තෝරා පත් කරන්නේ මන්ත්‍රීවරුන් 10 ක් පමණි. වගකීම් පැවරීමේදී ඔවුන්ගේ ගණන් හැදීමට අනුව හර්යානා ප්‍රාන්තයේ මිලියන 28.6 ක ජනතාවකගේ ජාතික මට්ටමේ වගකීම් වෙනුවෙන් ඔවුන්ව ලොක් සභාවෙහි නියෝජනය කිරීමට මන්ත්‍රීවරුන් 10 කු සිටීම ප්‍රමාණවත් ය. 

ඉන්දියාවේ මිලියන 28.6 ක් ඉන්න හර්යානා ප්‍රාන්ත ජනතාව පාර්ලිමේන්තුවෙහි නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 10 කි. ඔවුන් මන්ත්‍රීවරුන් 10 ක් නඩත්තු කරන කාර්යන් වෙනුවෙන් අපි මන්ත්‍රීවරුන් 225 ක් නඩත්තු කරන්නෙමු. 

මේ ගණන් නිකමට බැලුවත් අපගේ පාර්ලිමේන්තු නියෝජනය මහා විකෘතියති. මිලියන 22 ක් ඉන්න රටේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 කි. ඉන්දියාවේ මිලියන 28.6 ක් ඉන්න හර්යානා ප්‍රාන්ත ජනතාව පාර්ලිමේන්තුවෙහි නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 10 කි. ඔවුන් මන්ත්‍රීවරුන් 10 ක් නඩත්තු කරන කාර්යන් වෙනුවෙන් අපි මන්ත්‍රීවරුන් 225 ක් නඩත්තු කරන්නෙමු. අපේ පාර්ලිමේන්තු නියෝජනය මන්ත්‍රීවරුන් 168 ක සිට අප 225 දක්වා විශාල කෙරුවේ, එය 1988 න් පසු තව කුඩා කළ යුතුව තිබියදී ය. එබැවින් මේ පාර්ලිමේන්තුව දැන් “සුදු ඇත් රාජයෙකි”. එහෙත් ඒ ගැන අපි එළෙසින් කතා නොකරන්නෙමු.

මේ “සුදු ඇත් රජා” දෙස නොබලා අප කතා කරන්නේ පළාත් සභා “සුදු අලියා” ගැන පමණි. සැබෑය. එයද අනවශ්‍ය මන්ත්‍රී සභිකයින් සංඛ්‍යාවක් පත් කරන්නාවූ ආයතනයකි. මිලියන 22 ක ජනතාවක් වෙනුවෙන් රට පුරා පළාත් සභා 09 ට අපි පළාත් සභිකයින් 455 ක් පත්කර ගනිමු. හර්යානා ප්‍රාන්තයේ මිලියන 28.6 ක ජනතාවට ඇති ප්‍රාන්ත සභාවට පත් කෙරෙන්නේ ප්‍රාන්ත මන්ත්‍රීවරුන් 90 කි. මෙවායේ ඇති වෙනස බරපතල වෙනසකි.

ඒ නියෝජන දෙස අප බැලිය යුත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා කිසිදු යතාර්ථවාදී තර්කනයකින් තොරව දෙගුණ කළ පළාත් පාලන ආයතන නියෝජිත සංඛ්‍යාවද පාර්ලිමේන්තුවේත් පළාත් සභාවේත් ඇති විකෘති නියෝජනය සමගින් එකට තබාය. පසුගිය 2018 පෙරවාරියේ සිට අපි ප්‍රාදේශීය, නගර හා මහ නගර සභාවල මන්ත්‍රී සභිකයින් 8,327 ක් නඩත්තු කරන්නෙමු. ඔවුන් එක් අයෙකු වෙනුවෙන් රුපියල් 15,000 ක දීමනාවක් සමගින් රුපියල් 20,000 ක් පමණ වන මාසික වියදමක් අපි දරන්නෙමු. එය වසරකට රුපියල් මිලියන 1,998.5 කි. ඒ පළාත් පාලන ආයතන කාර්යාල 340 ක නඩත්තුව නොමැතිව ය. ඊට පෙර 2011 සිට අප පළාත් පාලන ආයතනවල නඩත්තු කෙරුවේ 4,500 ක පමණ මන්ත්‍රී සභික සංඛ්‍යාවකි.         

මෙවැනි බරවා රෝග නියෝජන මගින් ප්‍රජාතන්ත්‍රවාදයක් සහතික වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී පාලන තහවුරු වන්නේ ජනතා නියෝජනය සඳහා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීමෙන් නොවේ. එය තීන්දු වන්නේ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය සඳහා ආයතනික ව්‍යුහයෙහි කෙතරම් ඉඩ තබන්නේද යන්න අනුවය. මැතිවරණ දෙකක් අතර, අවුරුදු 05 ක කාලයක් ඡන්දදායකයෙකු වශයෙන් රටවැසියා නිශ්ක්‍රීයව තැබෙන නියෝජිත ආයතන ව්‍යුහයන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව කෙතරම් වැඩි කළද ප්‍රජාතන්ත්‍රවාදයෙහි වැඩිවීමක් ඇති වන්නේ නැත. එවැනි ව්‍යුහයන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරිමෙන් සිදු වන්නේ නාස්තිය සමග දූෂණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමානුකූලව හැකිලීම පමණි. දැන් සිදුවෙමින් ඇත්තේ එය ය.

අප පිළිගත යුතු ඇත්ත කතාව නම්, වරද ඇත්තේ සංකල්පීය වශයෙන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සතුව නොවේ. වරද ඇත්තේ ඒවා ව්‍යුහගතකර ඇති ආකාරයෙහි ය. ඒවා පත් කළ පසු ඒවායේ කාර්ය නියාමනයට විවිධ කමිටු සඳහා පත් වන්නේද ඔවුන්මය. ඔවුන්ගේ තීන්දු තීරණ ගැනීම්වලට ව්‍යවස්ථානුකූලව මැදිහත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් අවසරයක් ඔවුන්ව තම නියෝජිතයින් ලෙස තෝරා පත් කළ ජනතාවට ඇත්තේ නැත. ඒ සඳහා ඉතාම නිරුවත් උදාහරණය වන්නේ පාර්ලිමේන්තු හා පළාත් පාලන ආයතනවල නියෝජන සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ගනු ලැබූ තීන්දු ය.

පළාත් සභා පිහිටුවීමෙන් පසු 1988 දී පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 168 සිට අවම තරමින් 1970 මැතිවරණයේදී තෝරා පත් කළ 151 ට හෝ ප්‍රතිපත්තිමය අඩු කිරීමක් කළ යුතුව තිබිණ. එහෙත් 168 දෙනාම එකතුවී එය 225 දක්වා වැඩි කළහ. ඒ සඳහා ජනතාවගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණි.

පළාත් සභා පිහිටුවීමෙන් පසු 1988 දී පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 168 සිට අවම තරමින් 1970 මැතිවරණයේදී තෝරා පත් කළ 151 ට හෝ ප්‍රතිපත්තිමය අඩු කිරීමක් කළ යුතුව තිබිණ. එහෙත් 168 දෙනාම එකතුවී එය 225 දක්වා වැඩි කළහ. ඒ සඳහා ජනතාවගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණි. ජාතික ලැයිස්තුවක්ද පාර්ලිමේන්තු නියෝජනයට එකතු කරමින් ජනතා නියෝජනයට ලොකු වෙනසක් කිරීමේදී ජනතාවගේ කැමැත්ත අකමැත්ත විමසීමේ සදාචාරමය පැවැත්මක් පාර්ලිමේන්තුව සතුව තිබිය යුතු විය. පාර්ලිමේන්තු නියෝජනයේ වෙනසක් කිරීමේදී හෝ ජනතා කැමැත්ත විමසීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිගැනීමක් ඒවායේ නැත. පසුගිය වර පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව දෙගුණ කෙරුණේද එළෙසින්ම ය.

එබැවින් විසඳුම ඇත්තේ මේවා සුදු අලි, සුදු ඇතුන් යැයි හංවඩු ගසා අහෝසි කිරීමට යෝජනා කිරීමෙහි නොවේ. විසඳුම ඇත්තේ (1) ජනතා නියෝජනය සඳහා අවශ්‍ය නියමිත හා නිවැරදි නියෝජිත සංඛ්‍යාව තබා ගෙන වැඩි ප්‍රමාණය ඉවත් කිරීමෙහි සහ (2) නියෝජන සභා ලෙස ඒවා ජන සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස අලුතින් ප්‍රතිව්‍යුහගත කිරීමෙහි ය.

එය අනවශ්‍ය විශාල මන්ත්‍රී සංඛ්‍යා අඩු කිරීමකි. දැනට සමාජය දරන්නාවූ අනවශ්‍ය අධි වියදම් කප්පාදු කිරීමට උදව් වනවාට අමතරව, මැතිවරණ අතරතුර ජනතා නියාමනයට යටත් කෙරෙන සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක්ද සහතික කිරීමකි. 

ඒ ක්‍රියාවලිය ඉතාම සැකෙවින් පැහැදිලි කරන්නේ නම්, 

පාර්ලිමේන්තුව සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් ලෙස අලුතින් ප්‍රතිව්‍යුහගත කිරීමේදී

1. පාර්ලිමේන්තු ආසන සඳහා නාමයෝජනා ලබා දීමේදී අපේක්ෂකයින් තෝරා නම් කළ යුත්තේ පක්ෂ ව්‍යවස්ථාවලට අනුව ඇති අදාල පළාත් ක්‍රියාකාරී කමිටුවෙහි ලේකම්ගේ අත්සනින්ය. එය කාරණා දෙකකට වැදගත්ය. එකක් දේශපාලන පක්ෂ එමගින් යම් පමණකට ප්‍රජාතන්ත්‍රීය වන්නේය. දෙවැන්න පිටතින් අපේක්ෂකයින් පැමිණීම සීමා වන්නේය.

2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන් තෝරා පත් කළ ජනතතාවගේ විශ්වාසය හා නියෝජනය පාවා දෙන්නේ යැයි අලුත් මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමේ අවස්ථාව ඒ මැතිවරණ ආසනයේ ඡන්දදායකයින්ගෙන් සියයට 02 ක් ලිඛිතව මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියහොත් ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන තිබිය යුතුය.

3. නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කළ පසු, නව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඔවුන්ගේ අවුරුදු 05 ක ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය හා සැළැස්ම, පළමුව ජනමත විචාරණයකින් සම්මත විය යුතුය. යම් හෙයකින් එසේ සම්මත නොවුනහොත් ජනමත විචාරණයේදී එයට ඉදිරිපත් කෙරුණු විවේචන, විරෝධතා අනුව සාංශෝධනය කෙරුණු ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය හා සැළැස්ම ජනතා විමසුමට යටත් කෙරෙන ලෙස ගැසට් කිරීමෙන් දෙසතියකට පසු පාර්ලිමේන්තුවෙහි බහුතර ඡන්දයකින් සම්මත කරගත යුතුය.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන සෘජු සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන සභා ලෙස අලුතික් ප්‍රතිව්‍යුහගත කළ යුතු ය. ඒ වෙනුවෙන්,

01. පාර්ලිමේන්තුවට මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට නාම යෝජනා දිය යුත්තේ පක්ෂවල අදාල පළාත් ක්‍රියාකාරී කමිටුවෙහි ලේකම්ගේ අත්සනින්ය.

02. පාර්ලිමේන්තුවෙහිදී මෙන් පළාත් සභාවෙහි හා පළාත් පාලන ආයතනහෙි පළමු සැසි වාරය ආරම්භයේදී බලය ලබා ගත් පක්ෂයේ මහ ඇමති සහ පළාත් පාලන ආයතනවල සභාපතිවරු ඔවුන්ගේ ධූර කාලය සඳහා වන සංවර්ධන සැළැස්ම පළමුව තම බල ප්‍රදේශයේ ජනතාව හමුවේ තැබිය යුතුය. එම සැළසුම් සඳහා සංශෝධන හා යෝජනා ඉදිරිපත් කිරීමට ඒ බල ප්‍රදේශයේ ඡන්දදායකයාට ව්‍යවස්ථාපිත අයිතියක් තිබිය යුතුය. පළාත් සභාවක නම් දිස්ත්‍රික්කයකට බලපාන්නාවූ කාරණාවකදී එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් 5.000 ගේ හෝ පළාතටම බලපාන්නාවූ කාරණාවක් සඳහා නම් පළාතේ ඡන්දදායකයින් 10.000 ගේ අත්සනින් එවැනි සංශෝධන හෝ යෝජනා ඉදිරිපත් කළ විට. සංවර්ධන සැළසුම සම්මත කළ යුත්තේ ඒවාද ඇතුළත්වය.

පළාත් පාලන ආයතන සඳහාද එම පිළිවෙතම. ඒවාට අත්සන් තැබිය යුතු ඡන්දදායක සාඛ්‍යාව දහසකට පමණ සීමා කරමින් ක්‍රියාත්මක කළ යුතු ය.

03. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල වාර්ෂික අයවැය. කලින් අවුරුද්දේ අයවැය පිළිබඳ සවිස්තරාත්මක ඇගයුමක් සමගින් අදාල බල ප්‍රදේශයේ ජනතාව හමුවේ ඔවුන්ගේ නිරීක්ෂණ හා යෝජනා වෙනුවෙන් තැබිය යුතුය. ඔවුන්ගේ සංවර්ධන සැළැස්මට සංශෝධන හෝ යෝජනා ඉදිරිපත් කරන්නාවූ පිළිවෙතම. වාර්ෂික අයවැය සම්මත කිරීමේදීද පැවතිය යුතුය. යම් හෙයකින් බලයේ ඉන්නා පක්ෂය එවැනි සංශෝධන හෝ යෝජනා බාර ගැනීමට සූදානම් නොවන්නේ නම්. ඔවුන්ගේ මුල් අයවැය අදාල ප්‍රදේශයේ ජනතාව හමුවේ ජනමත විචාරණයකට තැබිය යුතුය.  

සුදු අලි සහ සුදු ඇතුන් අඩු වියදමකින් සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බවට පත් කළ හැක්කේද ඒවා ජනතා අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ආයතන බවට පත්කර ගත හැක්කේත් එළෙසින්ය. පළාත් සභා හුදෙක් උතුරු නැගෙනහිර ජනතාවට දෙනු ලැබූවක් මිස රටට පලක් නොමැති සුදු අලියෙක් යැයි කීම අනුවණ කමෙකි. නිදහසින් පසු අවුරුදු 72 ක් පුරා දකුණේ සිංහල -බෞද්ධ දේශපාලනය වෙනුවෙන් කොළඹ ආණ්ඩු පත් කිරීමෙන් දුප්පත් කමෙන් ගැලවෙන්නට බැරිව ඉන්නා විශේෂයෙන් ග්‍රාමීය ජනතාවට තමන්ගේ ඉරණම තම අතට ගත හැකි අතිශය වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන සභාවක් බවට පළාත් සභා පත්කර ගත හැකිය.  

එනිසා සංවාදයට ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කරන්නාවූ එවැනි ප්‍රතිසංස්කරණ මිස ආයතන අහෝසි කිරීම නොවේ.

කුසල් පෙරේරා – http://kusalperera.blogspot.com/?m=1

2020 අගෝස්තු 29 වන දින    

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *