‘පියයුරු පිළිකා’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

කාන්තාවන් අතර සුලභ පිළිකා වශයෙන්, පියයුරු පිළිකා, ගැබ්ගෙළ පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා සහ ගර්භාෂයේ එන්ඩොමෙට්‍රියමේ (ඇතුල් බිත්තියේ) හට ගන්නා පිළිකා සැලකෙනවා. මේ පිළිකා අතර වඩාත් සුලභ පිළිකා විශේෂය වන්නේ පියයුරු පිළිකා බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මේ තත්ත්වය තුළ කාන්තාවන් පියයුරු පිළිකා ගැන වඩාත් සංවේදී විය යුතු අතර ඒ ගැන ‘නිවැරදි’ හා ‘නිරවුල්’ දැනුමක් ද ඔවුන් සතු විය යුතුයි. ‘ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා’ නමින් අප විසින් සම්පාදිත ලිපිපෙළේ දෙවැනි ලිපිය වන්නේ ‘පියයුරු පිළිකා’යි. මෙම ලිපිය අපි සම්පූර්ණයෙන්ම උපුටා ගත්තේ ශ‍්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ නිල වෙබ් අඩවියෙන්.

පියයුරු පිළිකා

පියයුරු පිළිකා වල ඇතිවන අසාමාන්‍ය වර්ධනය මෙනමින් හැදින්වේ. මෙය, කිරි තනපුඩුව දක්වා පරිවහනය සදහා ඇති නාලවල ද කිරි නිපදවන ග්‍රථිවලට ද ඇති විය හැකිය. මෙය කාන්තාවන් මෙන් ම පුරුෂයන්ගේ ද ඇති විය හැකි නමුත් පුරුශයන්ගේ පියයුරු පිළිකා විරලය.

මෙයට ඇති අවදානම් සාධක මොනවා ද?

අවදානම් සාධක යනු ඔබට යම් රෝග තත්තවයක් ඇතිවීමේ අවදානම  හෝ හැකියාව වැඩි කරන කරුණුය. මෙයින් සමහර සාධක ඔබටම පාලනය කරගත හැකිය. මෙහි දී ඔබගේ දිවි පැවැත්මේ සිදු කරන කුඩා වෙනසක්  මගින් පිළිකාව ඇතිවීමේ අවදානම අවම කර ගත හැකිය.

  • ආර්තවහරණයෙන් පසු ස්ථුලතාවය – ආර්තහරණයට පෙර ඩිම්බ කෝෂ මගින් ප්‍රධානවම ඊස්ට්‍රජන් නිපදවයි. ආර්තවහණයෙන් පසු ඊස්ට්‍රජන් නිපදවීමට ප්‍රමුඛ වන්නේ මේද පටකයි. ඊස්ට්‍රජන් මටිටම අධික වීම පියයුරු පිළිකා මට්ටම වැඩි කරයි.
  • ආහාර පාන – මේද අධික ආහාර, පිරිසිදු කල කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර (බනිස්, පාන් ආදිය) සත්ව ආහාර අධිකව ගැනීම පියයුරු පිළිකා වල අවදානම වැඩි කරයි.
  • මත්පැන් භාවිතය – කාන්තාවක් පානය කරන මත්පැන් ප්‍රමාණයට සාපේක්ෂව පියයුරු පිළිකා අවදානම වැඩිවේ. මත්පැන් නිසා රුධිරයේ ඊස්ට්‍රජන් මට්ටම පාලනය කිරීමට ඇති හැකියාව අඩුවීම පිළිකා වැඩි වීමට හේතුවයි.
  • දුම් පානය – මෙයින් පියයුරු පිළිකා ඇතිවීමේ හැකියාව සුළු ප්‍රමාණයකින් වැඩිවේ.
  • ඊස්ට්‍රජන් වලට නිරාවරණය වීම – දිගු කලක් තිස්සේ නොකඩවා ඊස්ට්‍රජන් වලට නිරාවරණය වීම පියයුරු පිළිකා අවදානම වැඩි කරයි. ඊස්ට්‍රජන් මගින් පියයුරු වල ඇති සෛල වර්ධනය උත්තේජනය කරන බැවිනි. මෙයින් සමහරක් ඔබට පාලනය කල හැකි තත්ත්වයන්ය.
    උදා හෝර්මෝන නැවත ලබාදීම – ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් දිගු කලක් තිස්සේ ලබා ගැනීම හෝ ඊස්ට්‍රජන් පමණක් අඩංගු බෙහෙත් අවුරුදු 10 කට වඩා භාවිතා කිරීම
  • වර්තමානයේ උපත් පාලන පෙති භාවිතය – උපත් පාලන පෙති  මගින් කාන්තාවකගේ පියයුරු පිළිකා ඇති කිරීමේ හැකියාව ඉතා සුළු ප්‍රමාණයකින්  වැඩි කරයි. මෙම අවදානම යම්කිසි කුඩා කාලයක් තුල පමණක් වැඩිවේ. මේවා භාවිතා කලේ වසර දහයකට වඩා කලින් මේ නම් එමගින් අවදානම වැඩි කිරීමක් සිදු නොවේ.
  • කිසි විටෙක දරුවන් නොලද කාන්තාවන් හා පළමු දරු උපත පමා වී සිදු වු කාන්තාවන් තම දරුවන්ට මව්කිරි ලබා ‍නොදුන් කාන්තාවන්

ඔබට පාලනය කළ නොහැකි සාධක

  1. වයස – ආර්තහරණයට පෙර පියයුරු පිළිකා විරල වන අතර වයස්ගත වත් ම මෙය ඇතිවීමේ අවදානම වැඩිවේ.
  2. මීට පෙර පියයුරු පිළිකාවක් වැළදී තිබීම- එක් පියයයුරක පිළිකාවක් වැළදුනු විට අනෙක් පියයුරේ ද පිළිකාවක් ඇතිවීමේ අවදානම වැඩිවේ.
  3. පියයුරු පිළිකා සම්බන්ධ පවුලේ ඉතිහාසය – මව, දුව හෝ සහෝදරිය පියයුරු පිළිකාවකින් පෙලේ නම් තමාට ද එය ඇතිවීමේ අවදානම වැඩිය. විශේෂයෙන් ම පවුලේ සාමාජිකයෙක් වයස අවුරුදු 40ට පෙර මෙයට ගොදුරු වූයේ නම් එම අවදානම ඉතා ඉහලය.

ජානමය විකෘති – හා වෙනත් ජානවල ඇතිවන විකෘති ද පියයුරු පිළිකාවල අවාදනම වැඩි කරයි. මෙම ජාන විකෘති සහිත පුද්ගලයන් හදුනා ගැනීමට ජාන පරික්ෂණය ද ඇතැම් විට භාවිතා වේ.

ප්‍රජනනය හා ආර්තවය – ඊස්ට්‍රජන් ‍හෝර්මෝනය පියයුරු සෛල වර්ධනය ඉහළ දමන බැවින් දිගු කලක් තිස්සේ අඛණ්ඩව අධික ඊස්ට්‍රජන් මට්ටමකට නිවාරණය වීම පියයුරු පිළිකා අවදානම වැඩි කරයි.
උදා . වයස අවුරුදු 12ට පෙර වැඩිවියට පත්වීම
වයස අවුරුදු 55ට පසු ආර්තවහරණය සිදුවීම

රෝග ලක්ෂණ

පියයුරු පිළිකාව මුල් අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. පිළිකාවක් ඇත්දැයි බැලීමට වරින්වර කරන මැමෝග්‍රම් පරික්ෂණයක දී (පියයුරුවල විශේෂ  කිරණ පරික්ෂණයකි) හෝ ස්කෑන් පරික්ෂණයකදී අසාමාන්‍ය තත්ත්වයක් දර්ශනය වූ විට තව දුරටත් පරික්ෂණ සිදු කර මේ බව තහවුරු කරගත හැකිය.

පහත රෝග ලක්ෂණ පියයුරු පිළිකාවකින් ඇතිවිය හැක.

  • පියයුරක හෝ දෙකේ ම ඇතිවන ගැටිති
  • පියයුරේ කොටසක් හෝ මුළු පියයුරම ඉදිමීම
  • පියයුරේ සම වළ ගැසීම
  • පියයුරේ වේදනා
  • තන පුඩුවේ සම රතුවීම, සමේ පොතු ගැලවී යාම, පියයුරේ හෝ තන පුඩුවේ සම  ඝනවීම
  • කිරි හැර වෙනත් ස්‍රාවයන් තන පුඩුවෙන් පිටවීම
  • කිහිල්ල ප්‍රදේශයේ ඇතිවන ඉදිමීමක් / ගැටිත්තක්
  • මෙම ලක්ෂණ පිළිකාවක් මෙන් ම එතරම් බරපතල නොවූ විවිධ ආසාදන හෝ විසප්පු ගෙඩි වැනි තත්ත්ව නිසා ද ඇතිවිය හැක. නමුත් මෙම වෙනස්කම් වෛද්‍යවරයෙකුට පෙන්වා නිසි ලෙස පරික්ෂා කරගැනීම වැදගත්ය.

පෙර පරික්ෂාවන්

මෙහි ඇති අරමුණ පියයුරු පිළිකා මුල් අවස්ථාවේදීම හදුනා ගැනීමයි. මෙලෙස කිසිදු රෝග ලක්ෂණයක් ඇති වීමට පෙර මුලින් ම පිළිකාව හදුනාගැනීමෙන් එයට ප්‍රතිකාර කිරීම ඉතා පහසුවේ. මෙහි දී පියයුරේ කොටසකට පමණක් සිමා වූ පිළිකා පියයුර සම්පුර්ණයෙන් ම ඉවත් නොකරම සුව කළ හැකිවේ.

නිරෝගී, පියයුරු පිළිකා ඇතැයි නොසැලකෙන කාන්තාවන්ගේ පූර්ව පරික්ෂා සදහා මැමොග්‍රම් පරික්ෂණය හා ස්කෑන් පරික්ෂණය (අවුරුදු 40ට අඩු නම්) භාවිතා වේ. කාන්තාවන් නිතර තමා විසින් ම සිදු කරන පියයුරු පරික්ෂා සිදු කර ගැනීමත් යම් කාලයකට වරක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා පියයුරු පරික්ෂා කරවා ගැනීමත් වැදගත් වේ.

මැමෝග්‍රම් පරික්ෂණය

මෙය පියයුරේ සිදු කරන කිරණ පරික්ෂණයකි. පෙර පරික්ෂාවක් ලෙස මෙය සෑම වසකට වරක් සිදු කිරිමෙන් මුල් අවස්ථාවේදී ම පිළිකාව හදුනා ගත හැක. සාමාන්‍යයෙන් වසර 40 සිට හෝ අවදානම වැඩි නම් ඊට පෙර සිට හෝ මෙම පරික්ෂාවන් නිර්දේශ කෙරේ. මැමෝග්‍රම් පරික්ෂණය ඉතා ආරක්ෂාකාරී වන අතර නිවැරදිව පිළිකාව හදුනා ගැනීමෙන් මෙය ජිවිත ආරක්ෂා කරයි. වර්තමාන මැමෝග්‍රම් පරික්ෂණය සදහා ඉතා සුළු කිරණ ප්‍රමාණයක් පමණක් භාවිතා වෙ. (සාමාන්‍යයයෙන් පපුවේ x කිරණ පරික්ෂාවකට ද වඩා අඩු ප්‍රමාණයක්) මෙය විනාඩි 20කටත් වඩා අඩු කාලයක දී සිදු කළ හැකි බොහෝ විට කිසිදු අපහසුතාවයක් නොදැනෙන පරික්ෂාවකි.

ස්කෑන් පරික්ෂණය ‍

මෙහිදී අධික සංඛ්‍යාතයෙන් යුත් ශබ්ද තරංග පියයුර හරහා ගමන් කරවීමෙන් පසු ඒවා රූපවාහිනිය වැනි තිරයක් මත දී පින්තූර බවට පෙරලීම සිදුවේ. කිසිදු විකිරණයක් මෙහිදී භාවිතා නොවේ. පියයුරුවල කිරි ග්‍රන්ථි අධික වීම නිසා වයස අවුරුදු 40ට අඩු කාන්තාවන්ගේ මැමෝග්‍රම් පරික්ෂනයෙන් නිවැරදි තොරතුරු ලබා ගත නොහැකි නිසා ඔවුන්ට මෙය යොදා ගනී. (වයස්ගත කාන්තාවන්ගේ පියයුරුවල මේද ප්‍රමාණය අධික නිසා මැමෝග්‍රම් පරික්ෂ‍ණයෙන් රෝගි තත්ත්ව හදුනා ගැනීම පහසුවේ.)

තමා විසින් ම සිදු කරන පියයරු පරික්ෂාව

  • මසකට වරක් මෙය කිරීමට පුරුදු වන්න. ඔසප්වීම නතර වී දින කිහිපයක දී මෙලෙස පියයුරු පරික්ෂා කරගන්න.
  • මසකට වරක්වත් තමා විසින් ම පියයුරු පරික්ෂා කිරීම පුරුද්දක් කොටගත යුතුය. ඔසප්වීම නතර වී දින කිහිපයක් ගත වූ විට පියයුරුවල ඉදිමීම් හෝ වේදනාවක් අවම නිසා එම කාලය මෙයට වඩාත් සුදුසු වෙ.
  • කණ්නාඩියක් ඉදිරිපිට ගොස් උරහිස් කෙළින් දෙඅත් ඉන දෙපසින් තබාගෙන පියයුරු නිරික්ෂණය කරන්න.
  • පියයුරු තන පුඩු හා තන පුඩු අවට ප්‍රදේශයේ ප්‍රමාණය, හැඩය ආදියේ වෙනසක් ඇත්දැයි බලන්න. ප්‍රමාණයේ වෙනසක් පලු දැමීමක්, රතුවීමක්, තුවාලයක් හෝ තනපුඩුව යටට ගිලී යාමක් දුටුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.
  • දෙඅත් හිස දෙපසියන් ඉහළට ඔසවා බැලූවිට පියයුරේ සම වළ ගැසීමක් ඉදිරියට නෙරා ඒමක් හෝ රැලි වැටීමක් ඇත්නම් ද වෛද්‍යවරෙයකු හමුවන්න.
  • දැන් පළමුව වාඩි වී හෝ සිටගෙන උරහිස් කෙළින් තබා අත් ඉනෙහි තබාගෙන පියයුරු අල්ලා පරික්ෂා කරන්න. අතෙහි ඇගිලි සෘජුව හා එකළග තබා වම් පියයුර  දකුණු අතින් ද දකුණු පියයුර වම් අතින් ද පරික්ෂා කරන්න. පළමුව තනපුඩුවෙන් ආරම්භ කරන්න. පසුව කවාකාරව පරික්ෂා කරමින් පියයුරේ පිටත සීමාව දක්වා ම පැමිණෙන්න. (මේ ක්‍රමයට සම්පුර්ණ පියයුරම පරික්ෂා කළ යුතුය)
  • ඉන් පසුව ඔබේ එක් අතක් හිස පිටුපසට තද කොට තබාගෙන නැවතත් පෙර පරිදිම ක්‍රමවත් ව පරික්ෂා කරන්න. මෙලෙසට ඔබේ කිහිල්ල ප්‍රදේශය ද හොදින් පරික්ෂා කළ යුතුය.
  • මිළගට ඔබේ මහපටැගිල්ල හා අත් ඇගිලි අතර තනපුඩුව තබා මෘදු ලෙස මිරිකා පරික්ෂා කරන්න. (යම් ස්‍රාවයක් පිටවේදැයි බලන්න)

ප්‍රතිකාර

පසුගිය වසර කිහිපය තුළ පියයුරු පිළිකා ප්‍රතිකාර ඉතා දියුණුවට පත්ව ඇත. මෙහිදි ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාර, හෝර්මෝන ප්‍රතිකාර හා පිළිකා නාශක ඖෂධ යනාදී වශයෙන් විවිධ ප්‍රතිකාර ක්‍රම රැසක් පවතී.
පිළිකාව සොයා ගැනීමට ත්‍රිත්ව පරික්ෂාව යොදා ගනි.

  • වෛද්‍යවරයෙකු සිදු කරන කායික පරික්ෂාව
  • ස්කෑන් හා මැමෝග්‍රම් පරික්ෂණය
  • පිළිකාවක් යැයි සැක කරන ස්ථානයෙන් පටක කොටසක් ගෙන පරික්ෂා කිරීම

පියයුරු පිළිකාව සොයාගැනීමෙන් පසු වෛද්‍යවරුන් විසින් ඔබ සමග සාකච්ඡා ‍කොට ඔබට ම විශේෂිත වු ප්‍රතිකාර සැලැස්මක් සකස් කරයි.
සාමාන්‍යයෙන් පළමුව ශල්‍යකර්ම සිදු කරයි.
පිළිකා නාශක ඖෂධ එම සැලැස්මට අන්තර්ගත නම් මීලගට එම ඖෂධ ලබා දෙයි.
විකිරණ ප්‍රකතිකාර සාමාන්‍යයෙන් මෙයට පසු ලබා දෙයි.
පිළිකාව හෝර්මෝන ප්‍රතිග්‍රාහක සහිත නම් හෝර්මෝන ප්‍රතිකාර ලබාදේ. (උදා ටැමෝක්සිෆෙන්, ඇරොමටේස් එන්සයිම නිශේධක)

සැකසුම – තුෂාධවි

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.