ඔවුන්ගේ ලෝකය ඔවුන්ටම දෙමු ! ලෝක ළමා සහ වැඩිහිටි දිනයට නව අරුතක්

අද ඔක්තෝබර් පළවෙනිදා, ලෝක ළමා දිනයයි (Childen’s Day). ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනය, එකම වගේ ආදරණීය ලෝකයක් බලාපොරොත්තු වන ළමයින්ටත් වැඩිහිටියන්ටත් පළමුවෙන්ම ඔවුන්ට වෙන්වු දවසේ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා.
අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසාම දරුවා සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා.

ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි.දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනියි. මුල් කාලයේදී එය ඉතා පිරිසිදුයි. මෙහි මුල්ම සටහන තබන්නේ මව , පියා සහ සහෝදර සහෝදරියන් විසින්ය.රුසියාවේ ‍නායක ලෙනින් කියා සිටියේ දරුවන්ට දිය යුත්තේ හොදම දෙය බවයි. චීනයේ මාවෝ සේතුං කියා සිටින්නේ ලෝකයේ උත්තම චරිතය දරුවා බවයි.

ලෝක ළමා දිනය ආරම්භ වුනේ1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දෙන ලදී.හැම රටකම ඔක්තෝබර් පළමුවැනි දිනයම තෝරා ගන්නේ නැහැ.

රොමේනියාවේ ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජූනි මාසයේ පළමු වැනි දිනටයි. එදිනට  මෙම රටේ දරුවන්ට නොමිලයේ සත්වෝද්‍යානයට ඇතුලු වී විනෝද වෙන්න පුලුවන්. ආර්ජන්ටිනාව අගෝස්තු මාසයේ දෙවැනි ඉරිදා දිනය ළමා දිනය සමරන්න යොදා ගෙන තිබෙනවා.බ්‍රසිලය ඔක්තෝබර් 12 වැනි දිනත් කැමරන් රාජ්‍යය සහ කොංගෝ රාජ්‍යය දෙසැම්බර් 25 වැනි දින ළමා දිනය සමරනු ලබනවා. ඉන්දියාව මේ සඳහා තෝරා ගන්නේ ජවහල්ලාල් නේරු තුමාගේ ජන්ම දිනය යෙදී තිබෙන නොවැම්බර් 20 වැනි දිනයි. පකිස්ථානයත් මේ දිනයම තෝරා ගත් අතර ඊශ්‍රායලය ඔක්තෝබර් 19 වැනි දින ළමයින් වෙනුවෙන් තෝරා ගත්තා.

ළමා දිනය වැදගත් වන්නේ දරුවා යනු සුවිශේෂී චරිතයක් නිසාත් ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය, රැකවරනය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීමට වැදගත්  වෙනවා.  ඒ නිසාම ළමා දිනය මුල් කර ගෙන අපි දරුවා ගැන බොහෝ දේ කතා බහ කරමින් කතිකාවත් ගොඩ නගනවා. මේ කතිකාවත තුලින් අපි දරුවාට විය යුතු ආරක්ෂාව සහ රැකවරනයේ පසුබිම තේරුම් ගන්නවා.

දරුවා මුල් කර ගත් සමාජ කතිකාවත ගොඩ නැගිය යුත්තේ දරුවා යනු සමාජ ජීවියෙක්. ඔහු හෝ ඇය තව වසර කීපයකින් සමාජයේ වගකීම ලබා ගත් චරිතයක්. එබැවින් ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරුෂ ලක්ෂණ කීපයක් තිබෙනවා. දරුවා ස්වාධීන විය යුතුයි. තීරණ ගැනීමේ හැකියාව වගේම අන්‍ය අදහස් ගරු කරන ඒ වෙනුවෙන් සවන් දෙන තැනැත්තෙක් වීම අවශ්‍යයි. යුතුකම් ඉටු කිරීමට වගේම සමාජ නීති රීති සහ ආචාර ධර්මයන් තුළ හැසිරෙන අන්දම තේරුම් දීම අවශ්‍යයි.
ළමා පරපුර සහ වැඩිහිටි පරපුර අතර ඇති හිදැස ගොඩ නැගෙන්නේ  පරම්පරා අතර ඇති ගැටුම හේතුවෙනි. අද බොහෝ වැඩිහිටියන්ට තමන්ගේ දරුවන්ටත් වඩා මුනුපුරන් නිසා ඇති වෙන ගැහැට දරා ගැනීමටත් අපහසුයි. එදා දරුවන් සමග මව්පියන් එක නිවසක් තුළ කාලය ගත කළා. අදහස් උදහස් අතර පැහැදිලි වෙනස්කම් ඇති වුනේ නැහැ. අද තත්වය ඊට වෙනස්. මේවා වැඩිහිටියන්ට නොගැලපීම නිසා ඇති වෙන ගැටුම බොහෝ දුර යා හැකියි. මේ නිසා වැඩිහිටියන් නිරන්තරව තම දෙවැනි පරම්පරාව දෙස නොරිස්සුම් සහගතව සිතීම නොදැනම ගැටුමක් ගැටුමක් වෙනුවෙන් මුල පුරනවා.

එදා පවුල මුල් කරගෙන දැවැන්ත වගකීම් සම්භාරයක් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටියන් සතු විය. එදා ඔවුන් ඉතා යහපත් පරිදි ගත් තීන්දු තිරණ නිසා අත දරුවන්ගේ ජීවිතය බෙහෙවින් ආලෝකමත් වී ඇත. ජීවිතය තුලින් ඔවුන් උපයා ගත් දේ බොහෝය. එම අත්දැකීම් පාදක කර ගෙන දරුවන්ගේ ජීවිතයට මග පෙන්වීම ලබා දිය හැකිය. එහෙත් අද ඔවුන් අවලංගු කාසියක් බවට පත්ව ඇත. ඔවුන්ගේ අදහස් පිලිබඳව කිසිදු ඇගයීමක් නැත. දරුවන් විසින් තමාට ලබා දෙන ‍නොවැදගත්කම නිසා අනේ මටත් ගිය කලක් යනුවෙන් වූ කම්පනය වැඩිහිටියන්ට දැනෙනු ඇත.

 පවුලක් කී විට එදා දරුවන් හය හත් දෙනෙක් සිටියා. මේ නිසා දරුවන්ගෙන් කවරෙක් හෝ මව්පියන් ආරක්ෂා කළ අතර ඔවුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කළා. අද පවුලක සිටින්නේ දරුවෙක් හෝ දෙදෙනෙක් පමනි. අද ඔවුන් ගම හැර නගරයට සංක්‍රමනය කිරීමත් සමග දෙමව්පියන් මහගෙදර තනි වෙනු ඇත. ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙක් නොවන නිසා අද වැඩිහිටියන්ගේ සමාජගත ගැටලු බෙහෙවින් උග්‍ර තත්වයට පත්ව ඇත.

දරුවන්ට බාල කාලයේදි ඔවුන්ට අවශ්‍ය ආහාරපාන, ඇදුම් පැළඳුම් ලබා දීමට මව්පියන් උපරිමයෙන් උත්සහ දරනු ඇත. ආර්ථික ප්‍රශ්න ඉදිරියේ පවා දරුවන්ගේ බත්පත වැරදුවේ නැත. ඒත් අද දරුවන් විසින් මව්පියන්ගේ ආහාරපාන ගැන නොව වෙහෙසෙන්නේ තමාගේ දරුවන් වෙනුවෙන් වූ ආහාරපාන ගැනමය. දරුවන්ට ගැලපෙන දෙය මිස වැඩිහිටියන්ට ගැලපෙන දෙයක් ගැන සිතීමක් මෙන්ම තැකීමක් නැත. මේ නිසා තමන්ගේම දරුවන් වෙතින් අවතැන් වෙන මව්පියන්ගේ ශෝචනීය ඉරණම ගැන සිතන්නට කාලය එළැඹ ඇත. පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීම වැඩිහිටියන් මහත් සේ කැපවීමකින් කරන කටයුත්තක් වේ. ඒ නිසා දරුවන්ද පෙරලා ඔවුන් වෙනුවෙන් හදවතින් බැඳීමක් ගොඩ නගා ගැනීම ඉතා වැදගත්.මෙම අන්තර් සම්බන්ධතාවය නිසි පරිදි සිද්ධ වන්නේ නම් දරුවා සහ වැඩිහිටියන් යන සංකල්ප එකම කාසියක දෙපැත්ත සේ ජීවිතයට සම්බන්ධ පුද්ගලයන් බවට නොදැනීම පත් වෙනු ඇත.

විශේෂයෙන් පුංචි දරුවෝ ගැන ලෝකයම අවධානයෙන් සිටිනවා.

අතීතයේ  ළමා කාලය කොතරම්  සුන්දර ද? අපිට සෙල්ලම් කරන්න, පරිසරයත් එක්ක ජීවත් වෙන්න ගුණාත්මක කාලයක් තිබුණා. එමෙන්ම  ඔවුන්  ඉගෙන ගත්තා. ඒ කාලයේ වෛද්‍යවරු, ඉංජිනේරු වරු බිහි වුනා. එහෙත් ළමා විය මේ තරම් සංකීර්ණ වුනේ නැහැ .

පුංචි දරුවෝ අ යන්න ආ යන්න කියන්න පටන් ගත්ත දවසේ ඉදලා වැටෙන්නේ නොනවතින තරගයකට, අතීතයේ මෙන් ළමයින්ට ගෙදර ඉන්න කාලයක් නැහැ, ඉහත කාලවල නම් ඉස්කෝලේ බලාංශයෙන් පටන් ගත්තා. එහෙත් වර්තමානයේ ප්ලේ ගෘප්, ලෝවර් නසරි, අපර් නසරි කියලා පෙර පාසැල්ම යනවා අවුරුදු තුනක්. ඊට අමතරව එලකියුෂන් , ඉංගිලිෂ්, ආර්ට්, ඩාන්සින් වගේ ටියුෂන් යවනවා. උපාධිය ගන්න දරුවෙකුට තරම් බරක් දරුවන්ගේ හිස පැටවිලා.

පාසල් යන්න ගත්ත දවසේ සිට ශිෂ්‍යත්වය, O/Level, A/Level, කැම්පස්, කවදාද මේ තරගේ ඉවර වෙන්නේ? වැඩිහිටියන් වු පසුද?

නමුත් එය එසේ වන්නේ නැහැ ඔවුන් වැඩිහිටියන් වු පසු ආයෙමත් තමන්ගේ දරුවන් අරන් තරගේ දුවනවා.

ඇත්තෙන්ම අපි අපේ දරුවන්ට හොද අධ්‍යාපනයක් දෙන්න ඕනී. ඒක අපේ වගකීම වෙනවා . ඒත් දරුවන්ව ඔවුන්ගේ ළමා කාලය තුල පමණට වඩා වෙහෙස වීම හේතුවෙන් ඔවුන්ට ඒ සුන්දර කාලය අහිමි වී යනවා. අප අද ආදරයෙන් මතක් කරන ළමා කාලය අනාගතයේ දවසක අපේ දරුවන්ට මතක් කරන්න වෙන්නේ වේදනාවෙන්.

අප අවුරුද්දට එක දවසක් ඔවුන්ට වෙන් කරනවා – ලෝක ළමා දිනය. එදාට නම් ඇති නොවෙන විනෝදයක් ඔවුන්ට ලබා දෙනවා. අවුරුද්දට එක දවසක් ඔවුන් ළමුන් වීම ප්‍රමාණවත්ද ? මොහොතක් හිතන්න, තරගයක දුවන හැම කෙනෙක්ම ජයග්‍රහකයින් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ජීවිතය ජය ගන්නෙත් නැහැ.

දරුවන්ට හැකි උපරිමයෙන් ම ඉගැන්වීම වැදගත් . එහෙත් ඉගැන්වීම වේදනාවක් නොවිය යුතුයි. වසරකට  එක් දිනයක් ළමා දිනයක් නොකර වසරේ සෑම දවසක්ම ලෝක ළමා දිනයක් කිරීමයි වැදගත්.

දරුවාව ඉගනීමට යොමු කරන අතර ඔවුන්ට සෙල්ලම් කරන්න විනෝද වෙන්න අවස්ථාවක් ලබාදීම වැදගත්. එහෙත් ඒ කොම්පියුටර් ගේම් හා රූපවාහිනිය නැරඹීම නම් නොවේ. ඔවුන්ට කය වෙහෙසා අනික් ළමුන් හා මිශ්‍ර වෙමින් සෙල්ලම් කරන්න දවසේ වෙලාවක් වෙන් කිරීමයි වැදගත් . ඔවුන්ව ජීවිතය පිලිබඳ අත්දැකීම් ලැබිය හැකි චාරිකා මෙන්ම වෙහෙස මහන්සිය නිවෙන චාරිකා රැගෙන යන්න.

දරුවා රැගෙන රැල්ලට යන්න එපා. තරගෙට දුවන්න එපා. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය මග හැරෙන්න දෙන්න එපා.අපි ඔවුන්ට ලස්සන ළමා කාලයක් දෙමු.

මනෝජා සමරනායක.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.