සේනා දළඹුවා නසන්න ‘අපේම හමුදාවක්’ – රැක ගැනීම ගොවියා අතේමයි

සේනා දළඹුවාගේ ස්වභාවික සතුරන් ලෙස සැලකෙන මෙම සන්ධිපාදික ගහනය මේ තරමින් ආරක්ෂාවීමට ඒ හරහා විශාල මෙහෙයක් සිදුවන්නට ඇති බව රහසක් නොවේ.

ගොවිතැනේදී හමුවෙන පළිබෝධකයින් පාලනයේදී අනුගමනය කලයුතු ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණයේ වැදගත්කම කෘෂි නිලධාරීන් විසින් නිරන්තරයෙන්ම පෙන්වා දෙන කරුණකි.

මෙහිදී පළිබෝධකයාට පමණක් නොව පරිසරයටත් හානිදායක වන නිසා රසායනික කෘතිම කෘමිනාශක වැනිදේ භාවිතා කළ යුත්තේ පළිබෝධ හානිය පාලනයට වෙනත් උපක්‍රමයක් නොමැති විටදී සහ වසංගත තත්වයකදී පමණි. එයද මුළු වගාවටම දියරය ඉසින්නේ නැතිව හානිය ඇති ස්ථානයට පමණක් යොදමින් ස්ථානීය භාවිතයකට යන්නේනම් වඩාත් සුදුසු වේ.

මෙතෙක් ගොවිජනතාව අතර පැවති සාම්ප්‍රදායික පළිබෝධ මර්දන ක්‍රමවේදයන් පිළිබඳවවූ දැනුම, ශාකසාර ඇසුරෙන් කෙරෙන පරිසර හිතකාමී නිෂ්පාදන, පළිබෝධකයින්ගේ ස්ථාවර අඛණ්ඩ පැවැත්මට බාධාවක් වන ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම සහ අත්‍යවශ්‍ය විටදී අතට ගන්නා කෘතිම පළිබෝධනාශක භාවිතය යනාදියේ සැලසුම් කරන ලද සංකලනයකි ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය සේ හැඳින්වන්නේ.

වී වගාව තුළ හමුවෙන පළිබෝධකයින් හැරුණුවිට පසුගිය වකවානුවේදී දැඩි ලෙස කතාබහට ලක්වූ සත්වයෙක් වන්නේ බඩඉරිඟු වගාව තුල හමුවූ සේනා දළඹුවා යි. 2018 වසරේ ඔක්තෝබරයේ පළමු වතාවට මෙරටින් සොයාගත් දින පටන් සේනා මර්දනය උදෙසා විවිධ යෝජනා ඉදිරිපත්වූ අතර කෘෂි විද්වතුන් හරහාද විවිධ පර්යේෂණයන් මේ අරභයා දියත් විය. ඒවාහි සාර්ථක ප්‍රතිපල මේ වනවිට එළිදැක්වෙමින් තිබේ.

බඩඉරිඟු වගාව බහුලව සිදුකෙරෙන මාස් කන්නය දැනටමත් ඇරඹී ඇති බැවින්, ගොවීනට වැදගත් වියහැකි, පර්යේෂණ පදනම්වූ පණිවිඩ ලබාදීමට මෙය හොඳම කාලයක්ද වේ. මේ අතරින් සිත්ගන්නා සුළු එක් අධ්‍යයනයක් කර ඇත්තේ ගන්නෝරුවේ උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ සේනානි වැලිගමගේ විසිනි. ඌව වෙල්ලස්ස සරසවියේ කෘෂිකර්ම උපාධිධාරිනියක් වූ එලිනි මතිමාරන් ද විද්‍යාගාර හා ක්ෂේත්‍ර පර්යේෂණ සඳහා මෙයට දායක වී ඇත.

“මෙම ගවේෂණය අපි කෙරුවේ හසලක ප්‍රදේශයේ ගොවි ක්ෂේත්‍ර වල. ඒ 2019/20 මහ කන්නය තුලදී. ගොවීන් හතර දෙනෙක්ගේ වගා වලින් අපි අහඹු ලෙස බඩඉරිඟු ගස් 25 බැගින් එකතුව වශයෙන් ගස් 100 ක් තෝරා ගත්තා. ගස්වල වයස සති දෙකේ සිට දහය වනතුරු සති දෙකකට වරක් පරීක්ෂා කරමින් අවස්ථා පහකදී මේ ශාකවල සිටින සේනා දළඹුවාගේ සතුරු විලෝපීය සන්ධිපාදකයින් සංඛ්‍යාව අපි ගණන් කෙරුවා. අපිට ලැබුනේ ආකර්ශනීය ප්‍රතිපල ගොන්නක්”

එසේ ප්‍රකාශ කරන්නේ වැලිගමගේ මහතායි. සන්ධිපාදකයින් යනු ආත්‍රෝපෝඩා වංශිකයින්ය. සේනා දළඹුවාගේ සතුරන් ලෙස වගාව තුළින්  එකතු කරනවාට අමතරව මෙම සතුන් සත්‍ය වශයෙන්ම සේනාගේ සතුරන්දැයි පරීක්ෂාකිරීම උදෙසා ඔවුන්ව විද්‍යාගාර තත්වයන් යටතේ ඇතිදැඩි කර, සේනාව ගොදුරු කරගන්නවා දැයි පවා ඔවුන් පරීක්ෂා කර තිබේ.

මෙහි නිරීක්ෂණ හරහා සන්ධිපාදික විශේෂ 55 ක් හඳුනාගැන්මට පර්යේෂකයින් සමත්වී ඇත. වැඩිම සන්ධිපාදික සතුරන් වාර්තා වන්නේ සති 8ක් වයස වගාවෙනි. සම්පූර්ණ ශාක 100 තුළ සතුරන් 595 දෙනෙක් ඒ අවස්ථාවේ වාර්තාවී ඇති අතර, සේනා දළඹුවන් සිට ඇත්තේ 21 ක් පමණි.

විලෝපික ගහනය අතර කුරුමිණි වර්ග 15ක්, වන්දා එක වර්ගයක්, බත්කූරන් වර්ග 16 ක්, දෙබර හා කුහුඹු වර්ග 5 ක්, මකුළු වර්ග 13 ක්,මකුණන් වර්ග 4 ක් යනාදී වශයෙන් හඳුනා ගන්නට ලැබී තිබේ. ඔවුන් අතරින් වැඩිපුරම සක්‍රිය මෙහෙවරක් කර ඇත්තේ විලෝපික කුහුඹුවන් බව පෙනේ. ඔවුහු දිවා රෑ නැතිව බඩඉරිඟු ශාකයන්හි තැන තැන ඇවිදිමින් සේනා සොයමින්, දුටුතැන කා දමති. නැතහොත් තම නිකේතනය කරා ඔසවාගෙන යති.

දිමියන් කඩියන් වැනි මෙවැනි කුහුඹු පරපුරේ සාමාජිකයින් 913 වතාවක් ඉහත පර්යේෂණ කාලසීමාව තුළදී හමුවී ඇති අතර, මකුළුවන් 424 වතාවක්ද, ඉබි කුරුමිණියන්, බත්කූරන්, දෙබර වර්ග වැනි විලෝපික ප්‍රභේද පිළිවෙළින් 291, 164 සහ 126 වතාවකදී ඉහත සඳහන් කළ ශාක 100 තුළ දක්නට ලැබී තිබේ.

ගවේෂණ කාලය තුළදී වගාව රැකබලා ගෙන ඇත්තේද ඉතා විධිමත්ව හා විද්‍යානුකූලවය. කිසිදු රසායනික පළිබෝධනාශකයක් භාවිතා කර නොමැති අතර, උදලු ගෑම මගින් වල් මර්දනය කර ඇත්තේද දෙවරක් පමණි. නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් රසායනික හා කාබනික පොහොර වගාවට යොදා තිබේ. ඔවුන්ගේ ක්‍රියාදාමයෙහි විශේෂිත අංගයක් ලෙස පෙනෙන්නේ වගාව අවට තිබෙන ලඳු කැලෑ ආදිය එළිපෙහෙලි නොකර පවත්වා ගැනීමට කටයුතු කිරීමයි. සේනා දළඹුවාගේ ස්වභාවික සතුරන් ලෙස සැලකෙන මෙම සන්ධිපාදික ගහනය මේ තරමින් ආරක්ෂාවීමට ඒ හරහා විශාල මෙහෙයක් සිදුවන්නට ඇති බව රහසක් නොවේ.

“මේ ගවේෂණය හරහා අපිට පැහැදිලි වෙනවා ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය මොනතරම් පහසුද කියන එක. ස්වභාවික සතුරන් හරහා පළිබෝධකයින් විනාශ කිරීම එහි එක කොටසක්. මෙය ස්වභාවික පරිසරය තුලදී අපිට නොදැනීම ක්‍රියාත්මක වෙනවා. මෙරට සේනා දළඹුවා වෙනත් රටවල වගේ ලොකු හානියක් සිදුකරන තරමට ව්‍යාප්ත නොවීමටත් මෙය එක හේතුවක් වන්නට ඇති. එහෙනම් අපි කලයුත්තේ පිටරටින් එන නිර්දේශ වලටම අනුගත නොවී, පරිසරයේ සිටින මේ සතුන්ව අපේ පළිබෝධ පාලන කටයුතු වලට යොදා ගැනීම. මෙතන කතා කෙරුවේ සන්ධිපාදිකයින් ගැන විතරයි. මීට අමතරව කුරුල්ලන් වැනි අය වෙනම ඉන්නවා.”

සේනානි වැලිගමගේ මහතාගේ අදහසට අනුව කටයුතු සිදුවන්නට නම් ගොවියා සතුවද විශාල කාර්යභාරයක් තිබේ. දැඩි සීමා පනවමින් හෙතෙම රසායනික පළිබෝධනාශක බෝතලයට අත තැබිය යුතුය. මන්දයත්, අවට පරිසරයේ සිටින හිතකර ජීවී ප්‍රජාවද තමාගේ අනිසි පළිබෝධනාශක පරිහරණය හමුවේ විනාශ විය හැකි බැවිනි. අත්‍යවශ්‍ය අවස්ථා වලදී ස්ථානීයව, හානිය තිබෙන ස්ථානයට පමණක් පළිබෝධනාශක යෙදිය යුතු අවස්ථා ගොවිතැනේදී නැතුවා නොවේ. එහෙත් මුළු වගාවම වස දියරයෙන් නැහැවීම නම් මුදල් නාස්තියකි. පරිසර විනාශයකි. මානව සෞඛ්‍යයටද අගතියකි.

එසේනම් එළඹෙන මහ කන්නයේදී බඩඉරිඟු වගාවට පිවිසෙන සේනා දළඹුවාගේ ඉරණම විසඳන්නට විලෝපික සන්ධිපාදික ගහනයටත් සැලකිය යුතු කාර්යභාරයක් පැවරිය හැකි බවට පර්යේෂනාත්මකවත් සනාථ වී ඇති බැවින්, ඒ සඳහා සුදුසු පරිසරය නිර්මාණය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පාහේ ඇත්තේ බඩඉරිඟු ගොවියාට සමීපවය. ඔහු තම යුතුකම ඉටුකරන්නේ නම් ඉදිරි මහ කන්නයේදී සේනා හිස ඔසවන්නේද නැත.

සනත් එම්. බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම පර්යේෂණ සහ සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නෝරුව, පේරාදෙණිය.           

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *