20 නීතිගත වූ පමණින් රටේ සර්ව රෝග නිවාරණය වෙයිද ?

ලොව ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයන්ට ලක්වෙමින් ඉදිරියට යයි. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යහපත් ලක්ෂණයක් වන්නේ සංශෝධනය වීම මිස සංශෝධනය නොවීම නොවේ. කෙසේ වෙතත් වරද ඇත්තේ මෙරට බහුතරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ සුබසිද්ධිය තකා නොව, පෞද්ගලික ව ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හෝ පක්ෂවල යහපත වෙනුවෙන්, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව සිදු වූ ඒවා වීමේ ය.

ඉකුත් දින ගණනාවක් මුළුල්ලේ දේශපාලන කරළිය උණුසුම් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයෙන් මෙන් ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් වෙතින් ද පැහැදිලිව ම පෙනෙන පරිදි යම් යම් විරෝධතා මතු වූ බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් එම විරෝධතා කොයි ආකාරයකින් හෝ සමනය කරගනිමින් මේ වන විට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත් වී හමාර ය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව තුළ සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් ප්‍රමාණයක් ද සිදු වූ ඇත.  

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ තැන් පටන් ම විශේෂයෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම්වලින් සහ වාමාංෂිකයින් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් එම ව්‍යවස්ථාවට විවේචන එල්ල කරමින් සිටියේ එය ප්‍රජාතන්ත්‍රවාදී නොවන වග පෙන්වාදෙමිනි.

17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආගමනය පවා සිදු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාත්‍රන්ත්‍රවාදි නොවන්නක් බව කියමින් එල්ලවූ විවේචනවලට පිළිතුරක් ලෙස ය. ඉන් අනතුරුව 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ තත්ත්වය යළිත් තල්ලු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය හීන කරන තැනකට ය.

එහෙත් නැවත වරක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පෙරමුණට පැමිණියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී නැතැයි යන්නට ලබාදුන් ප්‍රතිචාරයක් වශෙයෙනි. එනම් එමගින් සිදු කළේ මෙරට ආණ්ඩුක්‍රමය තවදුරටත් ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමකි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හිස එසවූයේ ඊට පටහැනිව ය. එසේ නම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමත් සමඟ ආණ්ඩුව මුහුණදිය යුතු වන අභියෝග පිළිබඳ විශේෂයෙන් සලකා බැලිය යුතු ය. 

20 වැනි සංශෝධනය කරළියට ගෙන ඒමේදී ආණ්ඩුව ඉදිරිපත් කළ තර්කය වූයේ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර භාවය ඇති කිරීම වැදගත් බවත්, 19 වැනි සංශෝධනය මගින් එකී දේශපාලන ස්ථාවර භාවය බිඳවැටී ඇති බවත් ය

20 වැනි සංශෝධනය කරළියට ගෙන ඒමේදී ආණ්ඩුව ඉදිරිපත් කළ තර්කය වූයේ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර භාවය ඇති කිරීම වැදගත් බවත්, 19 වැනි සංශෝධනය මගින් එකී දේශපාලන ස්ථාවර භාවය බිඳවැටී ඇති බවත් ය. ඔවුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දුන්නේ විධායක බලය ක්‍රියාත්මක කිරීම සඳහා ජනතා පරමාධිපත්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානූකූලව පැවරෙන බලය ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවක් ලෙස ය.

ආණ්ඩුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මඟින් දේශපාලන ස්ථාවරභාවය ඇතිකිරීම අදහස් කළේ නම් එම ස්ථාවර භාවය රැකගනිමින් ඉදිරියට යෑමේ ගැටලුවක් නැත. එහෙත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන අන්දමින් සිදු කිරීමට වගබලාගත යුතු ය. මන්ද 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එල්ල වූ ප්‍රධාන ම විවේචනය වූයේ එය ප්‍රජාතන්ත්‍ර විරෝධී වනු ඇති බව ය.

එසේ නම් එම අදහස තහවුරු නොවන අන්දමින් 20 ඔස්සේ මෙරට   දේශපාලන ස්ථාවරය රැකගන්නේ කෙසේද? යන්න මේ අවස්ථාවේ ආණ්ඩුව අභිමුව ඇති බරපතල ම අභියෝගය යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාරන විට පැහැදිලිව ම පෙනෙන පරිදි දෙපැත්තක් හඳුනාගත හැක. එනම් ආණ්ඩුවේ ස්ථාවරභාවය එක පැත්තක ඇති විට මහජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ අයිතිවාසිකම් ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ ය.

ස්ථාවර භාවය රැකගැනීම වෙනුවෙන් සීමාව ඉක්මවමින් කටයුතු කිරීමට යෑමේදී ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ නිදහස අහිමි වේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ නිදහස ඇති කරනු වස් සීමාව ඉක්මවා කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර භාවයට හානි සිදු වේ. එබැවින් යහපත් ම තත්ත්වය මේ කරුණු දෙක අතර තුලනයක් ඇති කිරීම ය.

19 වැනි සංශෝධනයට පක්ෂ පිරිස ඉදිරිපත් කළ මතය වන්නේ ඉන් ආණ්ඩුවේ බලය අස්ථාවර වීමක් සිදුනොවුණ බවත් ප්‍රජාතන්ත්‍රවාදය සහතික වූ බවත් ය. 20 වැනි සංශෝධනයට පක්ෂ පාර්ශ්වය ඉදිරිපත් කළ මතය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වීම කෙසේ වුවත් ආණ්ඩුවේ දේශපාලන ස්ථාවර භාවයට 19න් හානි වූ බව ය. ඉදිරිපත් වන ප්‍රධාන තර්ක ද්විත්වය එසේ වන විට  ඒ අතර තුලනයක් පවත්වාගෙන යෑම ආණ්ඩුව ඉදිරියේ ඇති තවත් අභියෝගයකි.   

20 වැනි සංශෝධනය ඉදිරිපත්වීමේදී ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ ගැටලුව ද ප්‍රධාන වශයෙන් කතාබහට ලක්විණි. එහිදී විශේෂයෙන් ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස්, භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින්, සිවිල් සංවිධාන, සැලකිය යුතු ප්‍රමාණයක් මැති ඇමතිවරු ද්විත්වපුරවැසි භාවය ඇති පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් දැක්වූයේ විරුද්ධත්වයකි.   

යම් පුද්ගලයකුගේ පක්ෂපාතීත්වය ඇත්තේ කුමන රටටද? යන කාරණය හෙළි කරගැනීම සම්බන්ධයෙන් වන ගැටලුව ද වෙනත් නෛතික ගැටලු ද හේතුවෙන් ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන්ව දේශපාලන තනතුරුවලට පත් නොකිරීම, අද වන විට සෑහෙන දුරටක ලෝක ප්‍රවණතාවක් බවට පත්වෙමින් තිබේ. ඒ අනුව 20 වැනි සංශෝධනය ඔස්සේ ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයන්ට මෙරට දේශපාලන තනතුරු දැරීමට අවස්ථාව ලබාදීම, රටට හානියක් නොවන පරිද්දෙන් කළමනාකරණය කරගැනීම ද ආණ්ඩුව හමුවේ ඇති ප්‍රබල අභියෝගයකි. 

අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කරගැනීමට ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය බාධාවක් ව තිබෙන බව පැහැදිලි ය. ඔහුට විදේස් පුරවැසි භාවයක් නොතිබුණේ නම් මේ වන විට විදෙස් රජයක් විසින් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට භාරකොට හමාර ය.

අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කරගැනීමට ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය බාධාවක් ව තිබෙන බව පැහැදිලි ය. ඔහුට විදේස් පුරවැසි භාවයක් නොතිබුණේ නම් මේ වන විට විදෙස් රජයක් විසින් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට භාරකොට හමාර ය. මදූෂ් සම්බන්ධ ප්‍රශ්නයේදී සිදු වූයේ ඩුබායිහීදී මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට පොලිස් අත්තඩංගුවට පත් මදූෂ්ව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම ය. අර්ජුන් මහේන්ද්‍රන්ව එලෙස නොඑවන්නේ ඔහු විදෙස් පුරවැසි භාවය හිමි පුද්ගලයකු වන බැවිනි. එබැවින් ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තන්ට මෙරට දේශපාලන තනතුරු දැරීමට ඉඩදීම සම්බන්ධ කාරණාවේදී එක් අතෙකින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු විසින් ම මතු කළ විරෝධයේ යම්කිසි සාධාරණය භාවයක් ඇත.

උදය  ගම්මන්පිල වැනි දේශපාලන නායකයින් මතු කළ තර්කය වූයේ එලෙස විදෙස් පුරවැසි භාවය ඇති පුද්ගලයන්ට අවස්ථාව ලබාදීම මඟින් පාලනයේ වගකීම් සහගත භාවය අහිමි විය හැකි බව ය. එබැවින් මේ කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල වගකීමක් ඇත.     

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ මහමැතිවරණය අවසන් වී දෙමසක් ඇතුළත ය. එම සංශෝධනය සම්මත කරගැනීමට ගත් උත්සාහයේදී ආණ්ඩු පක්ෂය ඇතුළත මෙන් ම ඔවුන් වටා වූ ජනබලවේගය තුළ යම් යම් මතභේදාත්මක තත්ත්වයන් ඇති විය. වත්මන් ආණ්ඩුව සහ ජනපතිවරයා බලයට ගෙන ඒම සම්බන්ධයෙන් කටයුතු කළ ප්‍රධාන කණ්ඩායම් අතර ද මේ ඔස්සේ යම් යම් විරසකවීම් ඇති වූ බව නොරහසකි.   

ආණ්ඩුවක් බලයට පත්වූ මුල් වකවානුව තුළ ම එවන් තත්ත්වයක් ඇතිවීම ආණ්ඩුවට එතරම් සුබ නැත. 2010 වර්ෂයෙන් පසුව ද ඇතිවූයේ මෙවැනි ඉරිතැලීම් පරිසමාප්තියට පත්වූයේ 2015දි එම ආණ්ඩුවට ආණ්ඩු බලය අහිමි වීමෙනි. ආණ්ඩුව ඉදිරි කටයුතු පවත්වාගෙන යා යුත්තේ ඒ පිළිබඳව අවබෝධයෙන් ය.  

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී කියා සිටියේ තනි සිංහල ආණ්ඩුවක් හදන බව වුවත් මෙම සංශෝධනයට බලය ලබාගැනීම යන කාරණයේදී එම කාරණය වෙනස් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. සංශෝධනය සම්මත කරගැනීමේදී ආණ්ඩුවට සහයෝගය දීමට පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් එක් අයෙකු සිංහල ද තවත් අයෙකු දෙමළ ද වන අතර සෙසු සියල්ලන් මුස්ලිම් මන්ත්‍රීවරුන් ය.  ඕනෑම ආණ්ඩුවකට යම් මතවාදී පදනමක් ඇත.

යහපාලන ආණ්ඩුව අනවශ්‍ය පරිදි සුළු ජාතීන්ට තැන ලබාදෙන බව පෙන්වාදෙමින් වත්මන් ආණ්ඩුව ජනවරමක් ඉල්ලා සිටියේ සුළු ජාතික පක්ෂවල පදයට නටන්නේ නැති, සිංහලයින්ගේ ආණ්ඩුවක් පත්කර ගැනීමට ය.

2015 දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුවේ මතවාදී පදනම බවට පත්වූයේ හොරකම් නොකරන බව සහ හොරුන් අල්ලන බව ය. එහෙත් එසේ කියූ ඔවුන් බලයට පත්ව මහබැංකු හොරකම සිදු කළ සැණින් ඔවුන්ගේ මතවාදී සුජාතභාවය සුන්නද්දූලි විය. ඒ අනුව ඔවුන්ගේ පරාජය ආරම්භ වූයේ මහබැංකු වංචාව සිදු වූ දිනයේ පටන් ම ය.

යහපාලන ආණ්ඩුව අනවශ්‍ය පරිදි සුළු ජාතීන්ට තැන ලබාදෙන බව පෙන්වාදෙමින් වත්මන් ආණ්ඩුව ජනවරමක් ඉල්ලා සිටියේ සුළු ජාතික පක්ෂවල පදයට නටන්නේ නැති, සිංහලයින්ගේ ආණ්ඩුවක් පත්කර ගැනීමට ය. ජනතාව විසින් ඒ සඳහා අවශ්‍ය කරන ජනවරම ලබාදුන් පසුව එයින් වෙනත් අන්තයකට ගමන් කිරීම වනාහී එතරම් යහපත් තත්ත්වයක් නොවන බව ආණ්ඩුවේ යම් යම් පාර්ශ්වයන් ඉදිරිපත් කරන තර්ක අනුව සලකා බැලීමේදී පෙනී යයි.

ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා සම්බන්ධ වූ පිරිස් එවන් තත්ත්වයක් තුළ බොහෝ සෙයින් අසතුටටත් විරසකයටත් පත්විය හැක. එවන් දේශපාලන අභියෝග ද මේ අවස්ථාවේ ආණ්ඩුව ඉදිරියේ වන බව පැහැදිලි ය.    එපමණක් නොව රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඇතැම් පිරිස් දරන ආකල්පයක් වන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් අඩු කණ්ඩායමක් බව ය. එසේ නම් එය එසේ නොවන වග පසක් වන අයුරින් කටයුතු කිරීම ද ඔවුන්ගේ වගකීමකි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් ආකාරයකට  ජනාධිපති ධුරයේ බලය වැඩිකරලීමත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් අඩුවීම සඳහා අවශ්‍ය මාවතක් විවෘත වී තිබේ. ආණ්ඩුවේ වගකීම වන්නේ එම මාවතේ ගමන් නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය ද සුරක්ෂිත කරමින් ම ආණ්ඩුවේ ස්ථාවරභාවය ගොඩනඟා ගැනීම ය. ඒ වෙනුවෙන් සබුද්ධිකව කටයුතු කළ යුතු ය.  මේ අතර තවත් පිරිසක් යෝජනා කරනුයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට අලුතෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව ය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ වැඩි ම කලක් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව අමතක නොකළ යුතු ය. 1978 සිට වසර 42ක් මුළුල්ලේ ක්‍රියාත්මක වෙමින් පවතින මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවිධ අධිකරණ තීන්දු ආදියෙන් මේ වන විට බොහෝ දුරට වර්ධනය වී තිබේ.  ඒ වෙනුවට වෙනත් ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් සිදු වන්නේ අප අලුත් ම ක්‍රමයකට නැවත ගමන් ගැනීමකි. එවිට එය මුල සිට පටන් ගැනීමක් වනු ඇත. පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාලයේ පරීක්ෂණයෙන් සමත් වී ඇත. ඇතැමුන් දොස් නඟනමුත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට රටට පත්තියන් වී හමාර ය. එබැවින් මේ මොහොතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට කටයුතු කිරීම අරුත්සුන් ය.

පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කවුරු කවුරුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකඟ ය. සම්මුතීන් බිහිවෙන්නේ හැම විට ම   සැවොම කැමැති ම ආකාරයෙන් නොවේ. අකමැත්තේන් නමුත් යථාර්ථයන් පිළිගැනීම මඟින් ද සම්මුතීන් බිහි වේ. ඒ අනුව පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මුතියක් බවට පත් ව තිබේ. එහෙත් මඳකට සිතන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින් ම ඉවතලා වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට සැරසෙන්නේ නම් කුමකින් කුමක් වේද? එවිට උදාහරණයක් ලෙස පළාත්සභා ක්‍රමය, භාෂාව, ඉඩම්, පොලිස් බලතල කුමන කාරණය සම්බන්ධයෙන් වුවත් විවිධ මතධාරීන්, පෙත්සම්, පෙළපාලි පෝලිම් ගැසෙනු ඇත. එය වනාහි කෙළවරක් දැකිය හැකි ක්‍රියාවක් නොවේ.

මෙරට බලයට පත් වන ඕනෑම ආණ්ඩුවක් රාජකාරි අරඹන්නේ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බැණ වැදීමෙන් අනතුරුව ය. සැබවින් ම මේ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන් වෙහෙස වීමක් අවශ්‍ය නොවේ.    

අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී අවම වශයෙන් පාර්ලිමේන්තුවේ 2/3ක් සහ ජනතාවගෙන් සියට 50%කට වැඩි පිරිසක් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලු ම වගන්ති සම්බන්ධයෙන් එකඟ විය යුතු ය. එවැනි තත්ත්වයක් ඇති කරගැනීම ප්‍රායෝගික ව ඉතා අසීරු ය.   ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මීට අවුරුදු 200කටත් එපිටදී සම්මත කරගත් ඉතාමත් ම කුඩා ලියවිල්ලකි. එහෙත් එම පිටු 10ක කුඩා ලියවිල්ල මත ලෝකයේ බලවත් ම රාජ්‍යය ගොඩනැඟී ඇති බව අප අමතක කළ යුතු නොවේ.  

මෙරට වැසියන් තර්ක කරන ආකාරය අනුව සලකා බලන විට ඇමරිකාව ද වහා ම කළ යුත්තේ ඔවුන්ගේ   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගැනීම ය. එරට නීති පද්ධතියේ බොහෝ දේ වර්ධනය වී ඇත්තේ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටස්තර ව ය. එසේ වුවත් ඔවුන් එය සහමුලින් වෙනස් කිරීමටත් උත්සාහ නොගනී. ඒ වෙනුවට සිදුකොට ඇත්තේ එය පවතින අන්දමින් ම පවතින්නට දී අධිකරණ තීන්දු වැනි දේ මතින් සංවර්ධනය වීමට ඉඩහැරීම ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අප ද අනුගමනය කළ යුත්තේ එවන් ප්‍රතිපත්තියකි. මන්ද මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද මේ වන විට අධිකරණ තීන්දු වැනි දේ මතින් සෑහෙන දුරකට සංවර්ධනය වී තිබේ.   ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති එංගලන්තය ලොව බලවත් ම රාජ්‍යයන් අතරින් එකකි.

එහෙත් මෙරට බලයට පත් වන ඕනෑම ආණ්ඩුවක් රාජකාරි අරඹන්නේ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බැණ වැදීමෙන් අනතුරුව ය. සැබවින් ම මේ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන් වෙහෙස වීමක් අවශ්‍ය නොවේ.    

එහෙත් ඇතැමුන්ගේ මතය නම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිගින් දිගට ම පැලැස්තර දමනු වෙනුවට මුලුමනින් ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගැනීම සුදුසු බව ය. කොටින් ම කිවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඔවුන් පැලැස්තර ලෙස දැකීම ම වරදකි.

ලොව ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනයන්ට ලක්වෙමින් ඉදිරියට යයි. එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක යහපත් ලක්ෂණයක් වන්නේ සංශෝධනය වීම මිස සංශෝධනය නොවීම නොවේ. කෙසේ වෙතත් වරද ඇත්තේ මෙරට බහුතරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ සුබසිද්ධිය තකා නොව, පෞද්ගලික ව ඇතැම් රාජ්‍ය නායකයන්ගේ හෝ පක්ෂවල යහපත වෙනුවෙන්, ඔවුන්ගේ න්‍යාය පත්‍ර අනුව සිදු වූ ඒවා වීමේ ය. රටට වැඩදායී යහපත් සංශෝධන ද ඒ අතර සිදු නොවූවා ම නොවේ. කෙසේ වෙතත් කරුණු සලකා බලන විට පෙනීයන්නේ අලුතින් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම කිසිසේත් ම ප්‍රඥාගෝචර නොවන වග ය.  

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූර්ය – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යදේශපාලන විද්‍යා අධ්‍යනාංශයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සටහන – කාංචනා සිරිවර්ධනSharing is caring!

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *