20 වැනි සංශෝධනය සහ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය

පසුගිය සතිය වනවිට “20 එපා” කියූ සමහරුන්ද ඔක්තෝම්බර 22 වන දින ගොම්මන් වේලාව පසු වූ විට 20 ට ඡන්දය දුන්හ. 20 ට විරුද්ධවීමේ එකම කොන්දේසිය “ද්විත්ව පුරවැසි අයිතිය” කරගත් අය රෙදි නැතිව යන තැනට පත් වූයේ එම වගන්තිය සඳහා වෙනම ඡන්දය විමසූ විට එයට 20 ට වැඩිය එක ඡන්දයක් ලැබුණු නිසාම නොවේ. ඊට විරුද්ධ වූ අයත් ඒ වෙනුවෙන් අත එසවූ නිසාය.

සමගි ජන බලවේගයේ පිරිසක්ද ඊට එකතු වීමෙන් රාජපක්ෂලාගේ ගණන් හැදීම අන්තිම ඉලක්කමටම නිවැරදි විය. එනිසා 20 ට ඡන්දය දුන් සමගි ජන බලවේගයේ සාමාජික පක්ෂ ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවීමට තීරණය කළහ. එහෙත් සමගි ජන බලවේගයේ දේශපාලන නායකත්වයට තම දේශපාලන නිවටකමෙහි නිරුවත වසා ගැනීමට තරම් එය ලොකු රෙදිකඩක් නොවේ.

සමගි ජන බලවේගයේ නායකත්වය ගණන් නොගෙන 20 ට අත එසවූ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් අස් කළත් නොකළත් 20 කතාව දැන් අවසන් ය. දැන් ඇත්තේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමේ කතාවය. 20 වන සංශෝධනයේ දෙවන වර කියවීමේ දිනයේදී විශේෂ ගැසට් නිවේදනයක් මගින් අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආණ්ඩුව ආරම්භ කළේය. ඒ අනුව ජනතාවට තේමා 11 ක් යටතේ තම අදහස් ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කළ හැකිය. වෙනත් අදහස්ද ඉදිරිපත් කිරීමට ඉඩ ඇත.

විපක්ෂයේ සිංහල, දෙමළ හා මුස්ලිම් කිසිදු පක්ෂයකට සහ මානව හිමිකම් හා සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වලටත් පුද්ගලයින්ටත් රාජපක්ෂලාගේ මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මග හැර යා නොහැක. එයට ඉතා පැහැදිලි හා විවෘතව ප්‍රතිචාර දැක්වීමට ඔවුන්ට සිදුවන්නේය. එය එක්කෝ මුළුමනින් ප්‍රතික්ෂේපකර වර්ජනය කළ හැක. එයත් ප්‍රතිචාරයකි. එවගේම, විපක්ෂයේ සංවිධාන වලට තමන්ගේ යෝජනා ආණ්ඩුවේ කෙටුම්පත කමිටුවට ඉදිරිපත් කළ හැක. ඒ සීමාවන් තුල විපක්ෂය කවර තීන්දුවක් ගත්තද රාජපක්ෂලාට ඔවුන් තීන්දු කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කර සම්මතකර ගැනීමේ බාධාවක් නැත. එනිසා විපක්ෂයේ මැදිහත්වීම කෙවැන්නක් විය යුතු ද යන්න අතිශයෙන් වැදගත් වන්නකි. එය කෙතරම් ජනතාවාදී වන්නේද යන්න එහි වැදගත්කම තීන්දු කරනු ඇත.

විපක්ෂය මූලික වශයෙන් පිළිගත යුත්තේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය ජනතාවගේ වගකීමක් සහ ජනතා සහභාගිත්වයෙන් සිදුවිය යුත්තක් යැයි වන පොදු පිළිගැනුමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සෝල්බරි ව්‍යවස්ථාව හෝ 1972 පළමු හා 1978 දෙවන ජනරජ ව්‍යවස්ථා සම්පාදනය කළ පිළිවෙත කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී නොවේ යැයි විපක්ෂය පිළිගත යුතුව ඇත. ආණ්ඩු බලය අත ඇති හෝ ඊට හවුල්වන අයට ජනතාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමට තනි අයිතියක් ඇතැයි නූතන ලෝකයෙහි පිළිගනු නොලැබේ. වත්මන් ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ජනතාවගේ සෘජු මැදිහත්වීම ප්‍රධානම සාධකය ලෙස සැළකේ. ඒ සම්බන්ධ අත්දැකීම් ගණනාවක්ද දැන් විද්වත් සංවාදයන්ට හා අධ්‍යනයන්ට ලක්ව ඇත.

නැගෙනහිර ටිමෝරයේ නිදහස සමග එහි නිදහස වෙනුවෙන් මැදිහත්වූ විමුක්ති සන්ධානය 1998 වන විට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භකර තිබිණ. 2002 දී සම්මත කෙරුණු එය ජනතා සහභාගිත්වය ඇතිව කෙටුම්පත් කෙරුණක් යැයි ඒ ගැන කෙරෙන අධ්‍යයන ඇත. එවගේම 2000 – 2005 කාලයේ කෙන්යාවේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ ක්‍රියාවලිය තුල සම්පාදනය කෙරුණු ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද එවැනි අධ්‍යයන කෙරෙන්නේය. එහෙත් වඩාත්ම ජනප්‍රිය අත්දැකීම වන්නේ සුදු වර්ණවාදී දකුණු අප්‍රිකානු රාජ්‍ය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් වෙනුවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ 1990 සාකච්ඡා සමග ආරම්භ කෙරුණු සමස්ථ ක්‍රියාවලිය පිළිබඳව කෙරෙන සංවාද හා අධ්‍යයනයන්ය.

දකුණු අප්‍රිකානු අත්දැකීම දේශපාලන වශයෙන් අපට වැදගත්වන කාරණාව වන්නේ ඔවුන් 1990 දී පිහිටුවා ගත් ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකයෙකු වූ විනිසුරු ඇල්බි සච්ස් වරෙක කියූ කතාවෙහිය. “…… මෙය ඉතා පටු, අධිකාරවාදී හා වර්ණවාදී රටක්. මේ දකුණු අප්‍රිකාව එහි ඉන්නා මිනිසුන් සමගම, ඒ තියෙන භූමියෙහිම, ඒ තියෙන සම්පත් සමගින්ම, ඒ ගොඩනැගිලිද සමගින්, මානව හිමිකම් සුරකින ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පෙරළන්නට සිදුවුනා. එය විවිධ වෙනස්කම් සහිත පසුබිම් සමගින් වූ ජනතාවන් එකිනෙකාට ගරු කරන්නාවූ රටක් බවට පත් කළ යුතු වුනා. සියල්ලන්ට ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න පුළුවන් සමාජ සාමයක් ඇති රටක් බවට පත් කළ යුතු වුනා. එය පොඩි පහේ අභියෝගයක් වුනේ නැහැ.” ඔහු ඇමෙරිකානු විශ්ව විද්‍යාලයකදී කියා තිබිණ.

ඒ වෙනුවෙන් 1990 දී අගමැති ඩි ක්ලර්ක්ගේ ජාතික පක්ෂය සමග නෙල්සන් මැන්ඩලාගේ නායකත්වයෙන් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ආරම්භ කළ සංකච්ඡා වසර 02 ක් අවසානයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ තීන්දුව සමගින් අලුත් අනාගතයකට පාර කැපීය. එහිදී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු විය යුතු මූලික ප්‍රතිපත්ති පිළිබඳවද ඔවුහු එකගතාවකට පැමිණියහ. ඊළගට මුහුණ දුන් ගැටළුව වූයේ එහි කෙටුම්පත හැදීමේ ක්‍රියාවලිය පිළිබඳ ගැටළුවය. එය ඔවුන් විසඳා ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නම්, එය සම්පාදනය කෙරෙන ක්‍රියාවලියද ප්‍රජාතන්ත්‍රවදී විය යුතු යැයි පිළිගැනීමෙනි. එබැවින් උපරිම ජනතා සහභාගිත්වයක් ලබා ගැනීම වෙනුවෙන් ඔවුහු කැප වූහ. විවිධ අවස්ථාවන්හි මතු වුන සන්නද්ධ ගැටුම්, කඩාකප්පල්කාරි ක්‍රියා හමුවේ ඔවුහු නොසැළෙන දේශපාලන අධිශ්ඨානයකින් ජනතා සහභාගිත්වය මත තැබූ විශ්වාසය මත දැඩිව සිටියහ.

එවැනි ඉතා පුළුල් ජන සහභාගිත්වයක් වෙනුවෙන් ව්‍යවස්ථා කෙටුම්පත දකුණු අප්‍රිකාවේ භාවිත වන භාෂා 11 කින් ඔවුහු පළ කළහ. වෘත්තීය සමිති, කාන්තා හා තරුණ සංගම්, වෙනත් ප්‍රජා සංවිධාන වැනි සමාජ ගොනුවීම් ප්‍රාදේශීය වශයෙන් සංවාද සඳහා කැඳවනු ලැබ ඇත. සාක්ෂරතාව අඩු රටක් හැටියට ඔවුන් ව්‍යවස්ථා කෙටුම්පත ගැන සාකච්ඡා සඳහා විශාල වශයෙන් ගුවන් විදුලිය යොදා ගෙන ඇත. සංවාද මණ්ඩප වැඩි වශයෙන් ගුවන් විදුලි වැඩ සටහන් ලෙස සංවිධානය කරනු ලැබ ඇත. එවැනි ඉතා පුළුල් ජන සහභාගිත්වයක් සමගින් ඔවුහු 1996 දෙසැම්බර 10 වන දින ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ නෙල්සන් මැන්ඩෙලා අත්සන් තැබූ සමූහාණ්ඩු ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්නට වසර 02 ක කාලයක් ගත කළහ.

අද මෙන් අලුත් තාක්ෂණික මෙවලම් නොමැති යුගයේ ජනතාව සංවිධානය කරමින් දකුණු අප්‍රිකානු නායකයින් කළ ව්‍යවස්ථා සම්පාදනයට අලුත්ම පූර්වාදර්ශය සැපයූවේ මෙක්සිකෝ නගරවාසීන්ය. ඔවුන් මිලියන 10 ක් පදිංචි තම නගරය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ අත්දැකීම, මේ කොරෝනා වසංගතය මැද්දේ ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් අපට පහසුවෙන් යොදා ගත හැකි දියුණු ආකෘතියකි. මෙක්සිකෝ නගරය වොෂිංටන් ඩී.සී වැනි මධ්‍යම ආණ්ඩුවෙන් යම් ස්වාධීනත්වයක් ඇතිව ස්ථාපිත කිරීමට මෙක්සිකෝ නගරාධිපති 2016 දී තීන්දු කිරීමත් සමග, ඒ වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ඔවුන්ට අවශ්‍ය විය.

මෙක්සිකෝ නගරයේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඇමෙරිකානු මාධ්‍ය හඳුන්වනු ලැබූයේ “ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය” හා “ජනතා ගොනුකිරීම්” ලෙසය. මෙක්සිකෝ නගරාධිපති මිගුඑල් ආන්ජෙල් මන්සෙරා එය විස්තරකර තිබූයේ “ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිගාමී, සියල්ලන්ට විවෘත, සිවිල් හා බහුත්වවාදී ක්‍රියාවලියක් වන” බවය. එය 2016 මාර්තු මාසයේ සිට සැප්තැම්බර වන තෙක් ජනතාවට විවෘත වූ ක්‍රියාවලියක් විය.

ඔවුන්ගේ ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් ජනතාව සහභාගි කරගැනීමට ඔවුන් අන්තර්ජාලයේ විවෘත පෙත්සම් අත්සන් කිරීමේ විද්‍යුත් වේදිකාවක් වන “චේන්ජ් ඩොට් ඕආර්ජී” (change.org) සමග හවුල් විය. ඒ සඳහා අන්තර්ජාල පහසුකම් නොමැති අය සඳහා ඔවුහු නගරයේ අන්තර්ජාල මධ්‍යස්ථාන 300 ක් ජනතාවට සහායවීම වෙනුවෙන් සහායකයින්ද ඇතිව ස්ථාපිත කළහ. ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුව පත් කෙරුණේ දේශපාලනඥයින්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් පමණක් නොව, ආබාදිත ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකුද සමගින්ය. එයට යෝජනා ඉදිරිපත් කිරීමේදී එම යෝජනා සඳහා සිය අනුමැතිය ඇතැයි නගරයේ නිත්‍ය පදිංචිකරුවන් 5,000 ක් අත්සන් තැබූ යෝජනා, ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී සළකා බලනු ලබන කෙටුම්පත් ලෙස පිළිගැණුනි. එවැනි අත්සන් 10,000 ක් ඇති යෝජනා වෙනුවෙන් කෙටුම්පත් කිරීමේ කමිටුව හමුවේ කරුණු දැක්වීමට අවස්ථාවත් ලැබිණ. අත්සන් 50,000 ක් ඇති යෝජනා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ “පාදක යෝජනා” ලෙස පිළිගැණුනි.

කෙටුම්පත් කිරීමේ කමිටුවට සති පතා අත්සන් 5,000 ක් හෝ ඊට වැඩි අත්සන් සහිත යෝජනා සාරාංශකර ලබා දෙනු ලැබිණ. ඒවාද නොපමාව සති පතා ප්‍රසිද්ධ කරනු ලැබිණ. එනිසා සමස්ථ ක්‍රියාවලිය ජනතාව හමුවේ විවෘත සංවාදයට තැබුණකි. අවසන් වශයෙන් ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබූයේ සාමාජිකයින් 100 කින් යුත් ව්‍යවස්ථා සම්පාදන සභාවකටය. එහි සාමාජිකයින් 60 දෙනෙකු ජනතා ඡන්දයෙන්  තෝරා පත් කරනු ලැබූවන් විය. 2017 පෙබරවාරි 05 වන දින නව මෙක්සිකෝ නගරයේ ව්‍යවස්ථාව සම්මත කරනු ලැබිණ.

කොරෝනා වසංගතය මේ වනවිට අපේ සමාජ ක්‍රියාකාරිත්වය සීමාකර ඇති විටෙක, ආණ්ඩුව ඔවුන්ගේ නව ව්‍යවස්ථාව සඳහා අදහස් ඉදිරිපත් කරන්නට යැයි කෙරෙන ඇරයුම විපක්ෂයේ සියලු පක්ෂ හා සංවිධාන බාරගත යුත්තේ ආණ්ඩුවේ ඉල්ලීමට යටත්ව නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් ජනතා සහභාගිත්වයක් ගොනු කර ගැනීම වෙනුවෙනි. විපක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට එනිසා හවුල් විය යුත්තේ ආණ්ඩුවේ දින නියමයන් හා කොන්දේසි පිළිගනිමින් නොවේ. සමස්ථ විපක්ෂයේ පක්ෂ, දකුණේ විපක්ෂ හා සංවිධාන සහ උතුරු-නැගෙනහිර දේශපාලන පක්ෂ හා සංවිධාන පුළුල් ජනතා සහභාගිත්වයක් සමගින් ආණ්ඩුවේ ආරාධනාවට ප්‍රතිචාර දැක්විය යුතුව ඇත්තේ තමන්ගේ කොන්දේසි යටතේය. වෘත්තිකයින්ගේ සංවිධාන, වෘත්තීය සමිති, ගොවි හා ධීවර සංවිධාන, කලා හා සංස්කෘතික සංවිධාන, තරුණ හා කාන්තා සංවිධාන, ව්‍යාපාරික සමාජ සමගින් පුළුල් ජනතා ව්‍යාපාරයක් සමග සමාජය විසින් හදා ගන්නා කොන්දේසි සමගින්ය. එළෙස කෙටුම්පත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් මෙපිට, 20 න් පසු මේ ආණ්ඩුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියට මුහුණ දිය නොහැකි බව විපක්ෂයත් මානව හිමිකම් හා සමාජ ක්‍රියාකාරීන් තේරුම්ගත යුතුය.

බරපතලම ප්‍රශ්නය එවැනි ජනතාවාදී දේශපාලන තීන්දුවක් ගැනීමට මේ විපක්ෂ සංවිධානව වලට හයියක් කැප වීමක් හා අධිශ්ඨානයක් තිබේද යන්නය. ආණ්ඩුවට ඇති වාසියත් එවැනි බරපතල වගකීමක් වෙනුවෙන් තීන්දු ගැනීමට සූදානමක් නොපෙන්වන විපක්ෂයේ නිවටකමය.

කුසල් පෙරේරා

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *