ඇමෙරිකාවේ පොම්පියානු දේශපාලනය

බයිඩන් නිසා ඇමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය ප්‍රතිපත්ති මුලධර්ම හෝ විදේශ නැතහොත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති මුලධර්ම හෝ මුලෝපා නම් කිසිදු වෙනසකට ලක් වන්නේ නැත. එවැනි වෙනසක් සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට තනි බලයක් ඇත්තේ ද නැත. අනික ඔහු ප්‍රතිපත්ති ක්‍රියාකරන්නෙකු මිස සම්පාදකයෙකු නොවේ ය.

ඇමරිකා එක්සත් ජනපද දේශපාලනය තේරුම් ගත යුත්තේ ඔවුන් කියන දෙයින් නොව කරන දෙයින් ය. ඒ කියමන සෑම රටකට ම අදාළ වුවත් එක්සත් ජනපදය අළලා එය තීරණාත්මක ය. ඊට හේතුව එරට දේශපාලනය එහි අභ්‍යන්තරයට වඩා ලොව අනෙකුත් රටවලට ඉතාම බලපෑම් සහගත වීමය.

විශේෂයෙන් ගෝලීය සහ කලාපීය වශයෙන්, ඇමෙරිකානු ආරක්ෂක, ආර්ථික සහ වෙළඳපොළ උපායමාර්ගවලට අදාළව අහස, අභ්‍යවකාශය, සාගරය, සහ ගොඩබිම් අරබයා එම දේශපාලනය තීරණාත්මකය. ඒ උපාය මාර්ගවලට  අදාළ අනෙකුත් තරඟකාරී රටවල් ඇමෙරිකානු දේශපාලනයේ ප්‍රධාන ඉලක්ක වේ. එම රටවල් සමඟ වන ඇමෙරිකානු තරඟයේදී ඔවුන් අප වැනි රටවල් යොදා ගන්නේ උපායමාර්ගික නැවතුම් පොළවල්, මුර කපොලු, සහ සක්ක ගල් ලෙස මිස ගෝලීය දේශපාලනයේ හෝ ආර්ථිකයේ නැතුවම බැරි සාධක ලෙස නොවේ. ඒ ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දේශපාලනයේ හැටි ය. නැතුව එය ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති දේශපාලනයේ හැටි නොවේ ය. මේ අපබ්‍රංශය තේරුම් කිරීම මෙවර ලිපියේ මූලික අරමුණ ය.

රාජ්‍යයක ව්‍යුහාත්මක වෙනස්කම් හුදු මැතිවරණ හෝ ජනාධිපතිවරණ නිසා සිදු නොවන බවට වූ උදාහරණ අපමණ ය. එසේ සිදු නොවන්නේ, එම රටේ දේශපාලන ක්‍රමය/පද්ධතිය සහ දේශපාලන සංස්කෘතිය, මහජන නියෝජිතයින්ට සහ තනි පුද්ගල නායකයින්ට වඩා (අගමැති, ජනාධිපති, චාන්සලර්) බලවත් නිසා ය. මේ බලවත්කම විසින් ලෝකයේ සමහර රටවල් ශක්තිමත් රාජ්‍යයන් බවටත් ඇතැම් ඒවා, එනම් අපවැනි රටවල් දුබල රාජ්‍යයන් බවටත් පත්කොට ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ප්‍රංශය, ජර්මනිය, ලෝක දේශපාලනයේ බලවත් රාජ්‍යයන් බවටත්  ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය, නොර්වේ, ස්විස්ට්සර්ලන්තය, නවසීලන්තය වැනි  රටවල් සාමකාමී නිදහස් විධිමත් රාජ්‍යයන් බවටත් පත්වී තිබෙන්නේ ඒවායේ දේශපාලන පද්ධතියේ සහ සංස්කෘතියේ බලවත්කම සහ දියුණුව නිසා ය.

අප වැනි රටවල් දුබල සහ පීඩාකාරී රාජ්‍යයන් වී තිබෙන්නේ දේශපාලන ක්‍රමයේ සහ සංස්කෘතියේ දුබලතාව සහ නොදියුණු බව නිසා ය.

ඒ බලවත් බව හෝ සාමකාමී නිදහස් විධිමත් බව හෝ දුබල බව හෝ, හුදු නායකයෙකුට වෙනස් කළ නොහැක්කේ ඉහත කී දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය නායකයාට වඩා බලවත් නිසා ය. ඇමෙරිකා එක්සත් ජනපදය යනු බලවත් සහ ශක්තිමත් රාජ්‍යයකි. එය ඒ රටේ රාජ්‍යය ගොඩනැගීම සහ පවත්වාගෙන යාම ට අදාළ දේශපාලන ක්‍රමයේ සහ සංස්කෘතියේ නිර්මාණයකි. එහි යම් වෙනස්කම් සිදු වී ඇත්නම් එසේ වී ඇත්තේ එම දේශපාලන ක්‍රමයේ සහ සංස්කෘතියේ වෙනස්වීම් වලට සමගාමීව ය.

ලෝකයට පෙනෙන උත්සවකාරී රාජ්‍ය රූපකවලට යටින් ඇති සැබෑ එක්සත් ජනපද රාජ්‍යය හෙළිදරව් වී නැත, ඔවුන් එය හෙළිදරව් කරන්නෙත් නැත. එය යම් තරමකින් හෝ මැනගත හැක්කේ ඇ.එ.ජ. ය කියන හෝ පෙන්වන හෝ දෙයින් නොව කරන දේවල් නිරීක්ෂණය කිරීමෙන් ය. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන්ගේ වෙනස්වීම එරට රාජ්‍ය ප්‍රතිපත්තියේ හෝ විදේශ ප්‍රතිපත්තියේ තීරණාත්මක වෙනස්කමකට හේතු නොවන්නේ ඇයි දැයි දැනගැනීම අප වැනි රටකට වැදගත් ය.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ අළලා මෙරට ඇතිවන කතාබහක් වන්නේ අහවලා ජයගතහොත් අපට වාසිය, නැතහොත් අවාසිය යන්නය. මෑත ඉතිහාසයේ රේගන්, බුෂ්, ක්ලින්ටන්, බුෂ්, ඔබාමා, සහ ට්‍රම්ප් ජයගත් ජනාධිපතිවරණ වලදීත් ඒ කතාබහ දකින්නට ලැබුණි. එසේම එවැනි කතාබහක් බ්‍රිතාන්‍යයේ මැතිවරණ අළලා මතු වුණේ කම්කරු පක්ෂය සහ කොන්සර්වේටිව් පක්ෂය යන දෙකින් කුමක් ජයගතහොත් අපේ රටට වාසිද අවාසිද යන්න මුල් කර ගෙනය. ඉන්දියාවේ මැතිවරණ අරබයා ද මෙරට මතුවන්නේ භාරතීය ජනතා පක්ෂය සහ ඉන්දියා ජාතික කොන්ග්‍රසය අතුරින් කුමක් ජයග්‍රහණය කිරීම අපට වාසි අවාසි ගෙන දෙන්නේද යන්න මුල් කරගෙන ය.

නමුත් ඒ කිසිදු රටක්, තම රටේ ආණ්ඩු වෙනසකින් පසු අප වැනි රටවල් සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ මුලධාර්මික වෙනසක්  සිදු කළේ නැත. එසේ සිදු නොවන්නේ එකී රටවල රාජ්‍ය ප්‍රතිපත්ති සහ ඒවායේ මුලධර්ම සැලසුම් කරන්නේ, තීරණය කරන්නේ, මුලෝපායික සහ උපායමාර්ගික තීන්දු තීරණ ගන්නේ හුදු නායකයෙකු විසින් නොවන නිසා ය. නායකයා විසින් සිදු කරන්නේ සම්මත, ස්ථාවර, සහ මුලෝපායික වැඩපිළිවෙලවල්වලට ‘නායකත්වය සැපයීම’ ය. ඒවා වෙනුවෙන් සහ ඒවායේ සංකේතාත්මක හෝ උත්සවකාරී නායකයා ලෙස පෙනී සිටීම ය. එවැනි පසුබිමක ජනාධිපතිවරයෙකු නඩු පැවරීමෙන් මුක්ත කළ යුත්තේ නැතහොත් ජනාධිපතිවරයෙකුට විරුද්ධව නඩු පැවරිය නොහැක්කේ ඔහු හෝ ඇය ගත්තා යැයි පෙනෙන තීරණ සත්‍ය වශයෙන් ම ඔහුගේ හෝ ඇයගේ තීරණ නොවන නිසා බව මගේ තේරුම් ගැනීමය.

එසේ වන්නේ නායකයාට වඩා රාජ්‍යය බලවත් සහ වැදගත් නිසා ය. මෙවර පැවැත්වූ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය ගැන අප බැලිය යුත්තේ එවැනි අවබෝධයක පිහිටා ය. එරට රාජ්‍යය මෙහෙයවන්නේ තනි පුද්ගල ජනාධිපතිවරයෙකු ය, ඔහුගේ පුද්ගල අභිමතාර්ථ සහ පුද්ගලික දක්මවල් රාජ්‍ය පාලනයේදී සහ ජාත්‍යන්තර සබඳතාවල දී අතිශයින්ම තීරණාත්මක ය, යන දෙකම පරිපුර්ණ සත්‍යයක් නොවේ.

එසේම එක්සත් ජනපදය යනු අභ්‍යන්තර සහ ගෝලීය වශයෙන් එකට බැඳුණු බහු විෂයයික මූලෝපා කට්ටලයක් මිස, තනි නායකයෙකුට එහා මෙහා කළහැකි හුදු බලකාමී පුද්ගල එකතුවක් නොවේ. එරට ශක්තිය සහ බලවත්කම ස්ථාවර වී ඇත්තේ එකී මූලෝපා වෙනුවෙන් කටයුතුකරන උපායික බුද්ධි අංශ සහිත රාජ්‍ය යාන්ත්‍රණය නිසා ය. ප්‍රතිපත්ති සහ තීරණ ගනු ලබන්නේ තනි නායකයෙකු නොව, ඒ මූලෝපා විසින් ආරක්ෂා කරන සහ වර්ධනය කරන ජාතික අභිලාෂ සහ රාජ්‍ය අභිලාෂ මත පදනම්ව, එකී රාජ්‍ය යාන්ත්‍රණය විසින් ය.

මෙවර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිරණයත් පෙර පරිදිම එරට ට උද්වේගකාරී බාස්කට් බෝල් ක්‍රීඩා තරඟයකි. ඒ තරඟය, රට අභ්‍යන්තරය සහ ලෝක දේශපාලනය හැසිරවීමේ, විශේෂයෙන් ම අනිකුත් බලවතුන්ට සහ ගෝලීය-ජාතික රාජ්‍ය අසරණයින්ට පණිවිඩ දීමේ ක්‍රියාවලියක් බවට පත්කරගනු ලබන්නේ එරට බුද්ධි අංශ, අනෙකුත් රාජ්‍ය යාන්ත්‍රණ සහ ඇමෙරිකානු ස්ථාවර අභිලාෂ වෙනුවෙන් පෙනී සිටින ගෝලීය මාධ්‍ය බලාධිකාරය විසිනි.

මේ ලිපිය ලියන මොහොත වන විට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් 264ක් ද ඩොනල්ඩ් ට්‍රම්ප් 214ක් ද මැතිවරණ විද්‍යාලවල ඡන්ද ලබා සිටී. බයිඩන්ගේ ජයග්‍රහණය සහතික බව පෙනේ. එය එක්සත් ජනපදවාසී බයිඩන් පාර්ශවයේ බහුතරයකගේ කෙටි කාලීන අමන්දානන්දයට හේතු වනු ඇත. එසේම ට්‍රම්ප් පාර්ශවයේ කෙටි කාලීන අසතුට ට ද හේතුවනු ඇත. නමුත් බයිඩන් නිසා ඇමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය ප්‍රතිපත්ති මුලධර්ම හෝ විදේශ නැතහොත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති මුලධර්ම හෝ මුලෝපා නම් කිසිදු වෙනසකට ලක් වන්නේ නැත. එවැනි වෙනසක් සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුට තනි බලයක් ඇත්තේ ද නැත. අනික ඔහු ප්‍රතිපත්ති ක්‍රියාකරන්නෙකු මිස සම්පාදකයෙකු නොවේ ය.

ඒ කෝණයෙන් බලනවිට බයිඩන් ගේ ජයග්‍රහණය හෝ ට්‍රම්ප් ගේ පරාජය ශ්‍රී ලංකාව කෙරෙහි අමුතු හෝ පෙර නොවූ ආකායේ  බලපෑමක් සිදුකරන්නේ නැත. නව ජනාධිපති දිවුරුම් දීමත් සමඟ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වෙනස්වෙනු ඇත. මයික් පොම්පියෝ වෙනුවට වෙනත් අයෙකු පත් කෙරෙනු ඇත. එහෙත් චීනය අරබයා වූ ඇමෙරිකානු පිළිවෙත නම් වෙනස් වන්නේ නැත. අපේ චීන සබඳතා ගැන අප කියන දේ නොව, චීනය කරන්නට හදන දේ ගැන දැනුමක්, අපට වඩා, ඇමරිකානු බුද්ධි අංශ සතුව ඇතිය යන තොරතුරවත් අපේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පිං පඩි ගන්නා සමහර තානාපති නිලධාරීන් දැනගෙන සිටීම වැදගත්ය. මන්ද අපට අතීතයේ දී ගණුදෙනු කිරීමට සිදුවුණේ සහ ඉදිරියේ දී ගනුදෙනු කිරීමට සිදුවන්නේත් ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සමඟ නොව, අප දෙස ඇස යොමා සිටින, මූලෝපා සහ උපායමාර්ග බාහුල්‍යයක් සහිත බලවත් සහ විධිමත් ඇමෙරිකානු රාජ්‍යය සමඟය.  

එසේම ආසියාවේ, ඉන්දියන් සහ පැසිෆික් සාගර කලාපවල ආධිපත්‍යයේ දී චීන බලවතා සමඟ වන උපායමාර්ගික සම්බන්ධතා තීරණය කිරීමේ දී ඉන්දියාව, ලංකාව, පමණක් නොව මාලදිවයින් දුපත් පවා වැදගත් ය යන ඇමෙරිකානු පිළිවෙත සඳහා දකුණු ආසියාවට පැමිණි පොම්පියෝ වෙනුවට ඒ අරමුණ සඳහා ම, වෙනත් ‘පොම්පියෝ’ කෙනෙකු පැමිණෙන බව අප දත යුතු ය. වෙනස් වන්නේ පුද්ගල නාමය පමණක් මිස ඇමෙරිකානු අභිලාෂ නොවේ ය යන්න අප කවුරුත් වටහා ගත යුතු ය. ඇමෙරිකානු ජනාධිපතිවරණය, සහ පත්වන ජනාධිපති ගැන අපට ඇති මිථ්‍යා දුරු කරගත හැක්කේ එවිට ය. ඒ අනුව අප ඇමෙරිකාව දෙස බැලිය යුත්තේ කලාපීය සහ ගෝලීය, එසේම ආර්ථික, වෙළඳපොළ, ආරක්ෂක, දෘෂ්ටි කෝණයකින් මිස පුග්ගල මානයකින් නොවන බව මෙවර මගේ ‘කිවි දා දැක්ම’ ය.

ධම්ම දිසානායක

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *