කොවිඩ් පුවත් ‘මුලින්ම වාර්තා කිරීමේ නග්න තරගයට’ වහාම තිත තැබිය යුතුයි

බොහෝ වසංගත වලදී ලක්ෂ ගණනනින් මිනිසුන් කායිකව මියගිය කාල බොහෝ විය. එහෙත්, මෙවර තරම් මිනිසුන් මානසිකව මිය ගියේ නැත. එකල වියෝවන්නන් සහ වසංගතය වැලදෙනු ඇතැයි යන ශෝකය සහ භීතිය නිසා මානසික ව්‍යාධීන්ට ලක් වූවානම් ඒ සමීපතමයින් සහ අසල්වැසියන් ය. අද තත්ත්වය ඊට සපුරා වෙනස් ය. සමස්ත සමාජයම දැවැන්ත මානසික ඛේදවාචකයකට ලක් වී ඇත.

ධම්ම දිසානායක

මෙම ලිපිය, පැයෙන් පැයට ප්‍රවෘත්ති කියවන සහ පෙන්වන රේඩියෝ සහ රුපවාහිනී නාලිකා, අන්තර්ජාල මාධ්‍ය, ක්ෂණික පණිවුඩකරණ තාක්‍ෂණය, ක්ෂණික දැනුම් දීමේ මාධ්‍යය, සහ ජංගම දුරකථන භාවිතය විසින් වසංගත සමයක ඇතිකරන අතුරු ව්‍යසනයක් සහ ඉන් මිදීමේ ක්‍රියාමාර්ග ගැන ය.

චීනයේ වුහාන් නගරය කේන්ද්‍රීයව මතු වූ කොරෝනා වයිරසය, එරට බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වූයේ චීන ජනයා සහ පාලනයේ වගකිව යුත්තන් විශ්මයටත් භීතියටත් දැඩි නොසන්සුන්තාවයකටත් පත් කරමිණි. ලෝකයේ අනිත් රටවල් ඒ දෙස බලා සිටියේ ද විශ්මයකින් වුවත්, චීන භීතිය සහ නොසන්සුන්තාව තමන්ලා වෙත ද එතැයි යන්න පිලිබඳ එතරම් තැකීමක් කළේ නැත. නමුත් අඩුම තරමින්, සති කීපයකින් නොව දින කීපයකින් මේ වයිරසය වසංගතයක් වී ලෝකයම ආක්‍රමණය කළේ සියලුම මහද්වීප භීතියටත් විශ්මයටත් පත් කරමින් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ගෝලීය සහ ජාතික සෞඛ්‍යයට අදාල වගකීම් දරන්නන් අසරණ විය. වග උත්තර බැඳීමට නොහැකිව ලෝක සෞඛ්‍ය සංවිධානය කී එකම දෙය වුයේ, ‘පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න, සහ පරිස්සම් වෙන්න’ යනුවෙන් ය.

සියලුම ජාතික සහ මහද්වීපික සීමා සුනුවිසුණු කරමින් ලෝකය පුරා ව්‍යාප්ත වුණු කොරෝනා, කෝවිඩ් 19 ලෙස වෙනස් නමකින් හැඳින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළා මිස, අප සමඟ දුක්වීමට එක් වුණා මිස, තවමත් පිලියමක් සොයාගැනීමට නොහැකිව අසරණව සිටී.

ඒ අතර මේ වසංගතය ජාත්‍යන්තර දේශපාලන ආරවුලක් බවට පත් වූයේ, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් චීනය වෙත එල්ල කරන ලද චෝදනා නිසා ය. වයිරසය චීන නිෂ්පාදනයක් බවත්, එය ඇමෙරිකාවට එරෙහිව සැලසුම් කළ රසායන අවි පර්යේෂණයක ප්‍රතිපලයක් බවත් ඒ චෝදනාවල අන්තර්ගතය විය.

තම රටට පැමිණි ඇමෙරිකානු සෙබළුන් විසින් මේ වයිරසය ගෙන ආ බව චීනය ප්‍රකාශ කළේ එයට ප්‍රතිචාර ලෙස ය. මේ එකිනෙකාට චෝදනා කර ගැනීම මඳකට හෝ නැවතුන බව පෙනුනේ එක්සත් ජනපද ජනාධිපතිවරණය දෙසට ජාත්‍යන්තර තොරතුරු මාධ්‍යවල අවධානය යොමු වීම නිසාය.

කිසිවෙකුටත් කිසි මොහොතකටවත් ගැලවීමක් නොදෙන, මේ බලහත්කාරයෙන් තොරතුරු සැපයීමේ මාධ්‍යයන් රාත්‍රී 12.16 ටත්, කෝවිඩ් නිසා මිය ගිය අයගේ ගණන සහ වයස ඉදිරිපත් කරන්නේ තොරතුර ලද තැනැත්තාගේ රාත්‍රී නින්ද පවා මහා ව්‍යසනයක් බවට පත් කරමින්ය.

කෝවිඩ් වසංගතය බරපතල ආකාරයෙන් වෙළඳපොළකරණය වීම

එසේම කෝවිඩ් වසංගතය මේ වන විට බරපතල ආකාරයෙන් වෙළඳපොළකරණය වී ඇත්තේ එය දේශපාලනීකරණය වූවාටත් වඩා වැඩි වේගයකින් ය. මුහුණු ආවරණයෙන් අත් සෝදන දියරවලින් පටන් ගත් එකී වෙළඳපොළකරණය මේ වන විට මාධ්‍ය වෙළඳපොලේ ලාභ රේට්ටු සීග්‍ර ලෙස ඉහළ නංවමින් සිටී. ජනයාගේ දෛනික ජීවිතයේ හැම ක්ෂේත්‍රයකටම තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළ ඇතුල් වී ඇත. ජනයාට ඉන් ගැලවීමක් නැත. මේ වනාහි මේ මොහොතේ ‘වසංගත ධනවාදය’ ය.

වාර්තා වී ඇති කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව මේ වනවිට මිලියන එකයි දශම තුනයි හතරකි. එනම් දහතුන් ලක්ෂ හතලිස් දහස් ගණනකි. ඉන් 69ක් ලංකාවේ ය. නමුත් භීතියට හා නොසන්සුන්තාවට පත්ව ලෝකය පුරා මානසිකව මියගොස් සහ මිය යමින් සිටින සංඛ්‍යාව නම් දක්වන්නට සිදුවන්නේ බිලියන ගණනින් ය. ලංකාවේ නම් මිලියන ගණනින්ය.

අප සතු වගකීම විය යුත්තේ මේ මානසිකව මියයමින් සිටින ජනයා ඉන් මුදවා ගැනීමට මැදිහත් වීම ය. බොහෝ වසංගත වලදී ලක්ෂ ගණනනින් මිනිසුන් කායිකව මියගිය කාල බොහෝ විය. එහෙත්, මෙවර තරම් මිනිසුන් මානසිකව මිය ගියේ නැත. එකල වියෝවන්නන් සහ වසංගතය වැලදෙනු ඇතැයි යන ශෝකය සහ භීතිය නිසා මානසික ව්‍යාධීන්ට ලක් වූවානම් ඒ සමීපතමයින් සහ අසල්වැසියන් ය. අද තත්ත්වය ඊට සපුරා වෙනස් ය. සමස්ත සමාජයම දැවැන්ත මානසික ඛේදවාචකයකට ලක් වී ඇත. ඊට හේතුව කුමක් දැයි විමසීම ද  මෙම ලිපියේ අරමුණක් ය.

වසරකට ආසන්න කාලයක් තිස්සේ ලෝකය කම්පනය කොට ඇති කෝවිඩ් වසංගතය පිලිබඳ ප්‍රවෘත්ති ආවරණය සහ වාර්තාකරණය අතිමහත්ය. තොරතුරු මාධ්‍ය විසින් නිරන්න්තරයෙන්, කිසිදු විරාමයකින් තොරව, ලබාදෙන ප්‍රවෘත්ති මගින් සාමාන්‍ය ජනතාව විස්මයට කනස්සල්ලට හා භීතියට පත්වී ඇත.

ජනයාගේ හැම මොහොතක්ම  තොරතුරු මාධ්‍යයයන් විසින් අක්‍රමණය කරමින් සිටී. ඒ මාධ්‍යයන්වල අණසක අභිබවා යාමට ජනයාට නොහැකිවන ලෙස තොරතුරු තාක්ෂණික මෙවලම් සහ විධික්‍රම බලවත් සහ සූක්ෂම වී ඇත. මේ තොරතුරු මාධ්‍යවල හිතුවක්කාර සහ මානව විරෝධී ක්‍රියා, වඩාත් ම වැඩි හෝ මුළුමනින්ම සිදුවන්නේ පැයෙන් පැයට ප්‍රවෘත්ති කියවන සහ පෙන්වන රේඩියෝ සහ රුපවාහිනී නාලිකා, අන්තර්ජාල මාධ්‍ය, ක්ෂණික පණිවුඩකරණ තාක්‍ෂණය සහ ජංගම දුරකථන ඔස්සේ ය.

මුද්‍රිත මාධ්‍යය එහිලා දක්වන්නේ ඉතාම අඩු දායකත්වයකි. ඊට හේතුව, මුද්‍රිත මාධ්‍ය පරිශීලනය මන්දගාමී කරමින් ක්ෂණික පණිවුඩකරණ සහ දැනුම්දීමේ තාක්ෂනය සහ ජංගම දුරකථන පරිශීලනය සීඝ්‍රගාමී වීම සහ ඒවා ‘නිතර අතැති උපකරණ’ බවට පත්ව තිබීමය. ඇත්තටම, අතිමහත් බහුතරයකගේ මේ මොහොතේ දවසේ ජීවිතය භීතියට සහ නොසන්සුන් කමට පත් කරන්නේ, ක්ෂණික පණිවුඩකරණ තාක්‍ෂණය සහ ජංගම දුරකථන භාවිතය ය.

කිසිවෙකුටත් කිසි මොහොතකටවත් ගැලවීමක් නොදෙන, මේ බලහත්කාරයෙන් තොරතුරු සැපයීමේ මාධ්‍යයන් රාත්‍රී 12.16 ටත්, කෝවිඩ් නිසා මිය ගිය අයගේ ගණන සහ වයස ඉදිරිපත් කරන්නේ තොරතුර ලද තැනැත්තාගේ රාත්‍රී නින්ද පවා මහා ව්‍යසනයක් බවට පත් කරමින්ය.

පුද්ගලයින් බරපතළ  මානසික ආතතියකට ලක් කරණ ඒ අශීලාචාර ක්‍රියාවේ දී සමාජ මාධ්‍යය සහ ක්ෂණික කෙටි පණිවුඩ කරණ තාක්ෂනය දක්වන්නේ විශ්මය ජනක හදිස්සියකි. ශාරීරිකව මියයන ප්‍රමාණයට වඩා මානසිකව මියයන, භීතියට පත්වන, නොසන්සුන් වන, අසරණ වන, තනිවන, මිනිසුන් ගණන වැඩිවන්නේ මේ හේතුව නිසා ය. කෝවිඩ් උවදුර ලොවෙන් තුරන් වී දශක හත අටක් යන තුරුම මේ මානසික ව්‍යාධිය නම් තුරන් නොවෙනු ඇත. එය කෝවිඩ්වලට වඩා දරුණු ව්‍යසනයක් වීම අනිවාර්ය ය.    

පරෝපකාරය, අශිෂ්ට නොවීම, පුද්ගල ස්වාධීනත්වයට ගරු කිරීම, සහ සාධාරණත්වය යනු සෞඛ්‍ය සන්නිවේදනයේ දී අනුගමනය කළ යුතු මුල ධර්මයෝ වෙති. එසේම භීතියට පත් වීමෙන් නිදහස් වීම යන මූලධර්මයටද ගරුකළ යුතු ය. එනම් සමාජය භීතියට පත්කිරීම නොකළ යුතු ය.

සෞඛ්‍ය සන්නිවේදනය

ප්‍රවෘත්ති මගින් ඇතිවන මේ මානසික ආබාධය ‘සිරස්තල ආතති ආබාධය’ (headline stress disorder) ලෙස නම් කරන ලද්දේ  මනෝවිද්‍යාඥ ආචාර්ය ස්ටීවන් ස්ටොස්නි විසින් ය. ප්‍රවෘත්ති මාධ්‍යවල නිමක් නැති ව්‍යසන වාර්තාකරණය නිසා කාංසාව සහ ආතතිය ඇති වීම වෛද්‍යමය රෝග විනිශ්චයක් නොවුනත්, අඛණ්ඩ කාංසාව හෝ ආතතිය ශාරීරික අබාධ හෝ අපිළිවෙල ඇති කිරීමට එය හේතු වේ. එනම් හෘද ස්පන්දනය වැඩිවීම, පපුවේ තද බව සහ නින්ද නොයාම ඇතුළු ශාරීරික ක්‍රියාකාරිත්වයේ ආබාධ ඇති විය හැකි අතර, තවදුරටත්  කාංසාව, මානසික අවපීඩනය, සහ අධි රුධිර පීඩනය වැනි ශාරීරික හා මානසික රෝග වලට එය හේතු විය හැක.

කෝවිඩ් සහ වෙනත් සෞඛ්‍ය අර්බුද වලදී මාධ්‍යය විසින් සිදුකරනු ලබන සාධනීය සේවා මේ නිසා අවතක්සේරු කළ නොහැක. ඒ පිළිබඳව අප කෘතඥ විය යුතු ය.

නමුත් පෙරකී, පැයෙන් පැයට ව්‍යසන ප්‍රවෘත්ති කියවන සහ පෙන්වන රේඩියෝ සහ රුපවාහිනී නාලිකා, අන්තර්ජාල මාධ්‍ය, ක්ෂණික කෙටි පණිවුඩකරණ තාක්‍ෂණය සහ ජංගම දුරකථන විසින් සිදුකරණ මේ සමාජ මානසික ආබාධය හෝ ව්‍යාධිය නම් අප විසින් අවධානයට ලක් කළ යුතුම ය. එය එසේ සිදුවන්නේ සෞඛ්‍ය සන්නිවේදනය (health communication) ගැන හෝ එකී ක්‍රමවිධි හෝ ආචාරධර්ම ගැන අවධානයක් හෝ අවබෝදයක් නොමැති නිසා වන්නට ද පුළුවන.

පරෝපකාරය, අශිෂ්ට නොවීම, පුද්ගල ස්වාධීනත්වයට ගරු කිරීම, සහ සාධාරණත්වය යනු සෞඛ්‍ය සන්නිවේදනයේ දී අනුගමනය කළ යුතු මුල ධර්මයෝ වෙති. එසේම භීතියට පත් වීමෙන් නිදහස් වීම යන මූලධර්මයටද ගරුකළ යුතු ය. එනම් සමාජය භීතියට පත්කිරීම නොකළ යුතු ය.

මහජන සෞඛ්‍ය තොරතුරු සුදුසු සහ පැහැදිළි භාෂා උපක්‍රම මගින් ජනයාට සන්නිවේදනය කළ යුතු වුවත් හැම දෙයක්ම සන්නිවේදනය කළ යුතු නැත. සෞඛ්‍ය බලධාරීන් සහ ජනයා සමඟ සන්නිවේදනයේ අරමුණ සහ ස්වභාවය විය යුත්තේ විකල්ප විසඳුම් සොයාගැනීම සඳහා දැනුවත් එකඟතා ගොඩනගා ගැනීම මිස සමාජය භීතියට පත්කිරීම නොවිය යුතු ය.

විශේෂඥයින් දන්නා සහ ලැබෙන සියලු තොරතුරු සාමාන්‍ය ජනයාට ද සැපයිය යුතු නැත. මාධ්‍යයයේ කාර්යය එය නොවේ ය. එසේ සිතන්නේ නම් එය වැරදි වැටහීමකි. ජනයාගේ තේරුම් ගැනීමේ හැකියාව විවිධ ය. අති මහත් බහුතරයකගේ ඒ හැකියාව උපකාරී වන්නේ මානසික පීඩනයකට සහ ආතතියකට ය.

මාධ්‍යය විමසිලිමත් සහ කාරුණික විය යුතුයි

ව්‍යසන පිලිබඳ තොරතුරුමය විස්තර මගින් අනවශ්‍ය බරක් ජනයා මත නො පැටවීම ට තරම් මාධ්‍යය විමසිලිමත් සහ කාරුණික විය යුතු ය. විශේෂයෙන් ම, සංකීර්ණ තොරතුරු දැනුමක් වියහැකි වුවත්, ඒවා වධයක් හෝ පීඩාවක් හෝ ආතතියක් වීමට ඉඩ ඇති නිසා, අවධානම් කළමනාකරණය කිරීම ජනතාවාදී මාධ්‍යවල වගකීමක් ය. 

විශේෂඥයින් දන්නා සහ ලැබෙන සියලු තොරතුරු සාමාන්‍ය ජනයාට ද සැපයිය යුතු නැත. මාධ්‍යයයේ කාර්යය එය නොවේ ය. එසේ සිතන්නේ නම් එය වැරදි වැටහීමකි. ජනයාගේ තේරුම් ගැනීමේ හැකියාව විවිධ ය. අති මහත් බහුතරයකගේ ඒ හැකියාව උපකාරී වන්නේ මානසික පීඩනයකට සහ ආතතියකට ය. මාධ්‍යයේ වගකීම විය යුත්තේ ඉන් ජනතාව ගලවා ගැනීම ය.

ඒ සඳහා ආවරණය ට සහ වාර්තාකරණයට වඩා, නැතහොත් ඉන් එහාට ගිය වගකීම් සහගත කාර්යභාරයක්, වත්මන් ව්‍යසන පරිසරය තුළ මාධ්‍යය වෙත පැවරේ. තොරතුරු සහ දැනුම ලබා දීම, නියාමනය, විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම, ආරක්ෂාව- වැළක්වීම- නිවාරණය-පරිස්සම් වීම සඳහා වන ඇවතුම් පැවතුම් හඳුන්වා දීම, සමාජය සන්සුන් කිරීම, චිත්ත ධෛර්ය වර්ධනය කිරීම, ආර්ථික-සමාජ-දේශපාලන සෞඛ්‍යය නැතහොත් ස්වස්ථතාව ස්ථාවර කිරීම යනාදිය සඳහා ‘නිතර අතැති තොරතුරු මාධ්‍ය තාක්ෂණික මෙවලම්’ හරහා කළ හැකි දෑ අපමණය.

වසංගත සමයක සන්නිවේදන ක්‍රියාවලිය  සදාචාරාත්මක, විද්‍යාත්මක, සහ මානවීය යන ප්‍රවේශ තුනක් ඔස්සේ සිදු කිරීම පිලිබඳ කතිකාවක් අප අතර ගොඩ නගා ගත හැකිවෙනු ඇත

දැනුම් දීමේ නග්න තරගය අත් හැරිය යුතුයි

ඒ සඳහා ඒ මෙවලම් හරහා තොරතුරු ලබා දීමේ, දැනුම් දීමේ (notification) නග්න තරගය අත් හැරිය යුතු ය. ඡන්ද ප්‍රතිපල පළමුවෙන් ලබා දී ප්‍රථමයා වීමේ තරඟය මෙන් තරඟයක්, මේ ව්‍යසන සමයේ පවත්වාගෙන යාම ව්‍යසන සමයක නොකළ යුත්තකි. කළ යුත්තේ සියලු තොරතුරු සපයන්නන්ගේ එකඟතාවයෙන් යුත්ත ‘ඒකාබද්ධ කෝවිඩ් සන්නිවේදන මාධ්‍ය බියුරෝවක්’ පිහිටුවාගෙන සමගියෙන්, ඒකමිතිකභාවයෙන්,  සහ වගකීමෙන් කටයුතු කිරීම බව මගේ යෝජනාවය.

එවිට වසංගත සමයක සන්නිවේදන ක්‍රියාවලිය  සදාචාරාත්මක, විද්‍යාත්මක, සහ මානවීය යන ප්‍රවේශ තුනක් ඔස්සේ සිදු කිරීම පිලිබඳ කතිකාවක් අප අතර ගොඩ නගා ගත හැකිවෙනු ඇත.

අප සඳහන් කරන මාධ්‍යය විසින් කළ යුත්තේ ජනයාගේ පුද්ගලිකත්වයට, පෞරුෂයට, සහ පුද්ගල යහපතට ගරු කිරීමය. එය ජනයා අතිසංවේදීකරණයට (over sensitization)  ලක් කරනවාට වඩා ආචාරධර්මානුකූලය. අතිසංවේදීකරණයේ අවසාන ප්‍රතිපලය වන්නේ අවසංවේදීකරණය (in sensitization)  වූ සමාජයක් නිර්මාණය වීමය. එවැනි ව්‍යසනයකින් බේරීමට නම් කිසිදු එන්නතක් සොයා ගැනීමට නොහැකිවනු ඇත. මාධ්‍යයට විවිධාකාරයෙන් සම්බන්ධවන මා ද ඇතුළු පිරිස් මේ ගැන වඩාත් වැඩියෙන් සිතමු යන්න මගේ යෝජනාවය. 

ධම්ම දිසානායක

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *