ගම සූරා කන්න ‘බස්නාහිර පළාතට ඉඩ දෙන ක්‍රමය’ අවසන් කළ යුතුයි !

ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය 

රටක් සංවර්ධනය වීම යනුවෙන් හැඳින්වෙන්නේ යම්කිසි නගරයක් හෝ පළාතක් වෙත සියල්ල සංකේන්ද්‍රණය වීම නොවේ. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පැහැදිලිව ම දැකිය හැක්කේ බස්නාහිර පළාත කේන්ද්‍රකොට ගෙන සිදු වන සංවර්ධන ක්‍රියාවලියකි. එක අතෙකින් කොළඹ ප්‍රධාන නගරය වන විට ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන පරිපාලන නගරය වේ. මෙම නගර ද්විත්වය ම ඇතුළත් වන බස්නාහිර පළාත රටේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ සෙසු පළාත් 08ට සාපේක්ෂව විශාල ජන ගණත්වයක් ඒ වටා එක්රොක් කරගනිමිනි.

මේ ප්‍රදේශය තුළ පවත්නා අධි ජනගණත්වය, විශාල වශයෙන් ජනතාව ඒකරාශීකරණය වීම තුළ පරිසර දූෂණය, පුද්ගලයන්ගේ ජීවන තත්ත්වයේ විශාල වශයෙන් උස්පහත් වීම් ඇතිවීම, නාගරීකරණය තුළ ඉහළ උසස් ජීවන තත්ත්වයක් හිමි සේ ම ශ්‍රමයේ ගරුත්වය අඩු නිල් කරපටි රැකියාවල නියුතුවන්නන් පිරිසක් බිහිවීම, පැල්පත් බිහිවීම සහ ඒ ආශ්‍රිත ඇති වන සමාජ ප්‍රශ්න පැහැදිලිව හඳුනාගත හැකි ය.

විශේෂයෙන් ම ඉහළ ආදායම් ලබන සුළුතරයක් සහ අඩු ආදායම් ලබන බහුතරයකුත් මෙම නගර ක්‍රමය තුළ බිහි වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ම බස්නාහිර නැතහොත් විශේෂයෙන් ම කොළඹ කේන්ද්‍රය බවට පත්වෙමින් රටේ අනෙකුත් පළාත් පර්යන්ත බවට පත් වී ඇත. පෑලියගොඩ මාළු වෙළඳපොළේ තත්ත්වය සලකා බැලීමේදී පැහැදිලි වන්නේ කුමක්ද? රටේ විවිධ පළාත්වලින් පෑලියගොඩට එන මාළු නැවත බෙදාහැරීම ඇරඹෙන්නේ එතැනිනි. මේ කේන්ද්‍රගත වීම යම් හෙයකින් විකේන්ද්‍රණය වී පැවතියේ නම් කොවිඩ් -19 යටතේ පෑලියගොට මාළු පොකුරට අයත් ආසාදිතයන් සංඛ්‍යාව මෙතරම් විශාල අගයක් නොගන්නට ඉඩ තිබිණි.   

කොළඹ මැනිං වෙළඳපොළ සම්බන්ධයෙන් ද දැකිය හැක්කේ එවැනි ම තත්ත්වයක් නොවේද? රටේ සියලුම පළාත්වලින් කෘෂි නිෂ්පාදන එම වෙළඳපොළට ගෙනඑන අතර ප්‍රතිව්‍යාප්තිය සිදු වන්නේ එතැන් සිට ය. එක්තරා ආකාරයකින් බලන විට මෙය සංවර්ධනයේ විකෘති අවස්ථාවකි. මේ කියන්නාවූ කේන්ද්‍රය නිර්මාණය කරගත් ක්‍රියාවලිය සංවර්ධනය තුළ නිරන්තරයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කරයි.

මෙම කේන්ද්‍රය හා පර්යන්තය පිළිබඳ න්‍යාය තුළ සියලුම වත්කම්, හැකියාවන්, පුද්ගලයන්, සම්පත් නගරයට ම කේන්ද්‍ර වී පර්යන්තය සූරාකෑමකට ලක්වේ. තවත් ලෙසකින් කිවහොත් “කොළඹට කිරි ගමට කැකිරි” යන සංකල්පය නිර්මාණය වේ. එවිට රටේ සියලු සාරය කොළඹට ය. බස්නාහිරට ය. බස්නාහිර සීමාවෙන් එපිට පර්යන්තීය වශයෙන් පවතින ග්‍රාමීයකරය තදබල ලෙස සූරාකෑමකට, සේදීයෑමකට ලක්වේ. එය වූ කලී යහපත් තත්ත්වයක් නම් නොවේ.

මෙයාකාරයෙන් සිදු වන සූරාකෑමේදී අනුග්‍රාහක සේවාදායක සම්බන්ධය තුළ අනුග්‍රාහකයා අතට සියලු දේ ලැබෙන අතර සේවාදායකයාට ලැබෙන දෙයක් නැති තරම් ය. නාගරික වශයෙන් ඉහළ වෙළඳ ව්‍යාපාරිකයන් විශාල වශයෙන් ලාභ ලබන විට ඔවුන්ගේ සේවා දායකයින් ලෙස නිෂ්පාදකයා සහ වෙළෙන්දා අතර මැදි ව කටයුතු කරන පුද්ගලයාට ඉතා අඩු ලාභයක් හිමි වේ.

මේ සංසිද්ධිය තුළ ම අතරමැදියා ගමේ ගොවියාගෙන් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේදී අතරමැදියාට වැඩි ලාබයකුත් ගොවියාට අඩු ම ලාභයකුත් හිමි වේ. නිර්මාණය වී ඇති මෙම දාමය තුළ හැම විටම අපට දැකගත හැක්කේ සංවර්ධනයේ යම්කිසි විකෘති තත්ත්වයකි.

මෙම මධ්‍යගත සංවර්ධනය විමධ්‍යගත විය යුතු ය.  නාගරීකරණ ක්‍රියාවලියේදී එක් නගරයක් වටා පරිපාලනය, නිෂ්පාදනය, බෙදාහැරීම සහ වෙළඳාම ආදී වශයෙන් සංවර්ධනයේ ක්‍රමෝපායන් ගොනුවීමේදී සිදු වන්නේ මහා පරිමාණ නගර බිහිවීම ය. එවැනි මහා පරිමාණ නගරයක් ලෙස ශ්‍රී ලංකාව තුළ හඳුනාගත හැක්කේ කොළඹ පමණක් වුවත් ඇතැම් රටවල එවැනි මහා පරිමාණ නගර සංකීර්ණ කිහිපයක් ඇත.

විශේෂයෙන් ම සංවර්ධිත රටවල් පිළිබඳ අවධානය යොමු කිරීමේදී දැකිය හැක්කේ එකම සංවර්ධිත නගර සංකීර්ණයකි. අපට එවන් නගර සංකීර්ණයක් නැත. රටේ අතිබහුතරයක් කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදෙන කේන්ද්‍රස්ථානය කොළඹ ය.  මෙයාකාරයෙන් බලන කල රටේ සංවර්ධනය ගලා යන රටාව තුළ යම්කිසි විකෘතියක් නිර්මාණය වී ඇති බව පැහැදිලි ය.

එක අතෙකින් මේ විකෘතිය තුළ මානව සබඳතා අවුලෙන් අවුලට පත්ව ඇත. ග්‍රාමීයව ජීවත්වන පවුල්වල සැමියා, බිරිඳ හෝ දරුවන් රැකියා හෝ උසස් අධ්‍යාපන අවස්ථාවන් වෙනුවෙන් නගරබද ප්‍රදේශවලට සංක්‍රමණය වීමේ විශාල ප්‍රවණතාවක් හඳුනාගත හැකි ය. එවිට ඔවුන් උපන් ගමින් බැහැරව රැකියා හා අධ්‍යාපන ආයතවලට නුදුරින් නවාතැන් පොළවල් ඇති කරගනිමින් නගරය තුළ කටුක ජීවිතයකට හුරුපුරුදු වේ.

එක අතෙකින් මේ පුද්ගලයන්ගේ සංක්‍රමණ තත්ත්වයන් යටතේ කොවිඩ් -19 වැනි වෛරස පියාපත් ලබයි. අනෙක් අතින් එම පුද්ගලයන්ගේ පවුල්වල සබඳතාවලට ද මේ තත්ත්වය විසින් එල්ල කරන්නේ අහිතකර බලපෑමකි.   

ස්වාමියා හෝ භාර්යාව නිවෙසින් බැහැරවීම තුළ පවුල් සංස්ථාවේ නොයෙකුත් ගැටලුකාරී තැන් උද්ගත වීම වර්තමාන සමාජය තුළ සුලබව දැකිය හැක. එසේ ම රැකියා මෙන් ම ද්වීතීය තෘතීය අධ්‍යාපන අවශ්‍යතා සඳහා ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් ද බස්නාහිරට ඒකරාශී වීම සාමාන්‍ය තත්ත්වයකි.

පවුලෙන් බැහැව ඔවුන් එහි ගතකරන නාගරික ජීවිතය තුළ යම්කිසි ප්‍රමාණයකට හුදෙකලා භාවයකට ලක්වේ. ඇතැම්විට පවුලෙන් බැහැරව ගතකරන නාගරික ජීවිතයේදී ඔවුන් ලිංගිකමය අවශ්‍යතාවන් සඳහා ලබාගන්නා අනියම් අවස්ථා සහ නොයෙකුත් දුසිරිත්වලට පෙළඹීම තුළ කායික හා මානසික වශයෙන් ලබන්නාවූ පීඩනය ඇතැම් විට සියදිවි නසාගැනීම් දක්වා ම වර්ධනය වන අවස්ථා ද නැතිව ම නොවේ.

මෙයාකාරයෙන් එකම සිද්ධි දාමයක් තුළ ගැටලු බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. බස්නාහිර පළාත ආශ්‍රිතව සියලු සම්පත් සංකේන්ද්‍රණය වීම වෙනුවට එහි යම් විකේන්ද්‍රණය වීමක් සිදු වී ග්‍රාමීයකරයට නැතහොත් පර්යන්තයට ද සංවර්ධනයේ අවස්ථාවන් සුදුසු අයුරින් ලබාදෙන්නේ නම් පෙර කී පරිදි ඇති වන්නාවූ විකෘති තත්ත්වය අකාමකා දැමිය හැකි ය. 

කෙසේ වෙතත් මේ සඳහා ජනතාව තුළ ආකල්පමය වෙනසක් ද ඇති කළ යුතු ය. ශිෂ්‍යත්වය සමත් ග්‍රාමීය දරුවකුට ද්විතීයික අධ්‍යාපනය සඳහා නගරයට ඒමට සිදු වන්නේ කුමක් නිසාද? ඒ සඳහා බොහෝ විට හේතුවන්නේ ජාතික පාසල් සංකල්පය සහ ජනප්‍රිය පාසල් සංකල්පය යි. සංවර්ධිත රටවල මෙවැනි තත්ත්වයන් දැකිය නොහැකි ය.   

“ළඟම පාසල හොඳ ම පාසල” යන්න අපට සංකල්පයක් පමණක් වුව ද සංවර්ධිත රටවලට එය යථාර්ථයකි. මෙරට ජනතාවගෙන් බහුතරයකට නිවසට යාබද ආගමික ස්ථානය, පහසුකම් සපයන ආයතන, රෝහල, පාසල පිළිබඳ යහපත් ආකල්පයක් ඇත්තේ ම නැත. විශේෂයෙන් ම පාසල් සම්බන්ධයෙන් ඔවුන් හුරුපුරුදු වී ඇත්තේ ජීවත්වන පරිසරයට බොහෝ දුරින් ඇති ජනප්‍රිය පාසලක් තම දරුවා වෙනුවෙන් තෝරාගැනීමට ය.

සංවර්ධිත රටවල දරුවන් බොහෝදුරට ඉගෙන ගන්නේ නිවසේ සිට ඇවිදගෙන යා හැකි මට්ටමේ දුරක ඇති පාසලකින් ය. එවිට ප්‍රවාහන   ගැටලු, දරුවන්ගේ විඩාව සහ අමතර වියදම්වලින් සහනයක් ලැබිය හැකි ය.    “ළඟම පාසල හොඳ ම පාසල” යන සංකල්පය, සංකල්පයක් වශයෙන් කලෙකදී මෙරට තුළ ඉදිරියට පැමිණිය ද   එය යථාර්ථයක් බවට පත් කළ හැක්කේ භෞතික වශයෙන් ගුණාත්මකව හා ප්‍රායෝගිකව අවම පහසුකම් ඇති පාසල්ද අවශ්‍ය පහසුකම්වලින් පොහොසත් කිරීමෙනි.

පවතින ක්‍රමය තුළදී ම මේ ආයතන නිසි අයුරින් බලගැන්වීම තුළ බොහෝ කාරණා අපට පිරිමසා ගත හැක. සංවර්ධනයේ කළඑළිය වැටිය යුත්තේ බස්නාහිරට පමණක් නොවේ. සෙසු පළාත්වල ද රැකියා ස්ථාන, ආගමික සහ අධ්‍යාපන ස්ථාන ඇතුළු සියලු දේ බලගැන්වීම තුළ රටේ සංවර්ධනය බස්නාහිර පළාතට සංකේන්ද්‍රණය වීම නවතාලිය යුතු ය.

එපමණක් නොව තම පළාත තුළ ඇති පාසලට, පන්සලට, පල්ලියට, රෝහලට, කර්මාන්තවලට වටිනාකමක් දීමට ජනතාව තුළ ද ආකල්පමය වශයෙන් විශාල වෙනසක් ඇති කළ යුතු ය. මේ වන විට රටේ ජනතාව බොහෝ විට වැඩි විශ්වාසයක් තබා ඇත්තේ පිටරටින් ගෙන්වන භාණ්ඩ පිළිබඳව ය.

එහෙත් ‘සිය රට දේ සිරිසැප දේ’ යන සංකල්පය මෙරට තුළ බොහෝ කලකට පෙර ක්‍රියාත්මක වූ අතර එම සංකල්පය හේතුවෙන් ම දියුණුවෙන් දියුණුවට පත් වූවන් ද විය. මේ සියල්ල විනාශ මුඛයට ඇදවැටුණේ 1978 විවෘත ආර්ථිකයත් සමඟිනි. එතෙරින් ආ නිෂ්පාදන විශාල ප්‍රවාහයක් සියලු දේශීය නිෂ්පාදන සහ ව්‍යවසායකයන් යටපත් කරගෙන නැඟීසිටීම වෙනුවට එදා ඒ විවෘත ආර්ථික සංකල්පය යම් පාලනයකින් යුතුව ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට දේශීය වශයෙන් බොහෝ කර්මාන්තවල වර්ධනයක් අත්පත් කරගැනීමට ඉඩ තිබිණි. එය එසේ වී නම් රටේ සංවර්ධනය මෙයාකාරයෙන් බස්නාහිරට කේන්ද්‍ර නොකොට සංවර්ධන වැඩසටහන තුළ රට පුරා පැවැති සම්පත් නිසි ආකාරයෙන් ඵලදායිව යොදාගනිමින් සංවර්ධනයේ අරුණලු සිව්දිග පතුරවන්ට තිබිණි.

ඉතිහාසය තුළ අපට එම අවස්ථාව මඟහැරුණි. එහෙත් වර්තමානයේදී හෝ විදේශයන්ගෙන් ගෙන්වන යම් යම් දේ වාරණය කරමින් ඒ සඳහා ආදේශන භාණ්ඩ, දේශීය සම්පත්, හැකියාවන් හා දැනුම මත නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලා නගරයෙන් බැහැර ව ස්ථාපනය කිරීම වටී. එවිට ශ්‍රමිකයන් ලෙස විශාල පිරිසක් ගමෙන් නගරයට සංක්‍රමණය වීමේ තත්ත්වය පහව යනු ඇති. ඒ සමඟ ම ශ්‍රමිකයන්ගේ නවාතැන් ගාස්තු ඇතුළු වෙනත් වියදම් අවම වේ.

තම තමන් ජීවත් වන ප්‍රදේශයට ආසන්නයෙන් වන කර්මාන්තශාලා, වැඩබිම්, රාජකාරි ආයතනවල රැකියා කිරීමට සහ ව්‍යාපාර පවත්වාගෙන යෑමට රටේ ජනතාවට අවස්ථාව සහ පහසුකම් ලැබෙන විට නාගරීකරණයත් සංවර්ධනයේ මධ්‍යගතවීමත් හේතුවෙන් පැනනැගෙන්නා වූ අහිතකර තත්ත්වයන්ගෙන් යම් සහනයක් ලැබිය හැකි ය.

එසේ ම ජනතාවට තම ජීවනෝපාය සරිකරගනු වස් ඔවුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතව කර්මාන්ත ශාලා ඇතිකිරීම, විශේෂයෙන් ඒ ඒ ප්‍රදේශයට ආවේණික සම්පත් සමඟ ගලපා සිදු කරනු වටී. එය සංවර්ධනයේ පෙරකී විකෘති තත්ත්වය යම් පමණකට මගහරවා ගැනීමට උපකාරී වේ.

කොළඹදී කොවිඩ් -19 ආසාදනය වී ඇති ආසාදිතයන්ගේ තොරතුරු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ ඔවුන්ගෙන් බහුතරය රට පුරා විසිරුණු ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව බව ය. එසේ නම් ඒ සියලු දෙනා කොළඹ නගරයට නොඑසේනම් බස්නාහිරට සංකේන්ද්‍රණය වී සිටිනේ කුමක් නිසාද? එයට හේතුව රටේ සංවර්ධනය බස්නාහිරට සංකේන්ද්‍රණය වී තිබීම ය.

බොහෝ පුද්ගලයන්ට උසස් අධ්‍යාපනය ලැබීමට, රැකියාවක නියුතු වීමට, විවිධ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා නොඑසේ නම් රාජ්‍ය ආයතනවල සේවය ලබාගැනීම සඳහා රටේ සංවර්ධනයේ කේන්ද්‍රය වූ බස්නාහිරට නිරන්තරයෙන් පැමිණීමට, ඒ වටා කේන්ද්‍රගත වීමට සිදු ව ඇත.   

කොවිඩ් -19 හේතුවෙන් මේ වන විට රටේ උද්ගත ව ඇති තත්ත්වය වනාහී මේ සියල්ල සුදුසු පරිදි විකේන්ද්‍රණය කිරීමට කදිම අවස්ථාවකි. රටේ සමස්තය බස්නාහිරට ගොනු කිරීමේ ඇති අවැඩදායි බව, ඌණ ඵලදායිතාව කොවිඩ් අපට කියා දෙන තවත් එක් පාඩමකි.  

වැඩි පිරිසකට රැකියා ලබාදෙමින් දේශීය නිෂ්පාදනය ද ඉහළ නැංවිය හැකි මට්ටමේ කර්මාන්ත ශාලා හැම විටම නගරාශ්‍රිතව ම ස්ථාපනය කරනු වෙනුවට  නගරයෙන් බැහැරව පර්යන්තයටත් ඒවා යම් ආකාරයකින් විතැන් කරන්නේ නම් වඩා යහපත් ය. එවිට බාධාවකින් තොරව පුද්ගල ශ්‍රමය ලබාගත හැකි වන සේ ම බස්නාහිර  පළාතේ ඇති වන අධි ජන ගණත්වය ද යම් මට්ටමකින් අවම කරගත හැකි ය.

මේ අධි ජනගණත්වය, නිසි ලෙස සැලසුම් නොකරණ ලද නාගරීකරණය, කාර්මීකරණය තුළ සිදුවෙමින් පවතින පරිසර දූෂණය සුළුපටු නොවේ. රථවාහන පරිහරණය වැඩි ය. කර්මාන්තශාලා බහුල ය. අපද්‍රව්‍ය කළමනාකරණය අවිධිමත් ය. මේ සමඟ ඇති වන්නා වූ පරිසර දූෂණයත් කලබලකාරී බවත් පිළිකාව ඇතුළු නොයෙකුත් රෝගමය තත්ත්වයන්ගෙන් ද ආතතිය අසහනය විශාදය වැනි මානසික තත්ත්වයන්ගෙන් ජනතාවට පීඩාවට පත්කිරීමට ප්‍රබල හේතුවකි.

මේ සියල්ලෙන් බැහැරවීම කොණක සිට ඇරඹිය යුත්තකි. මන්ද සබඳතා ජාලයක් ලෙසින් සියල්ල එකට බැඳී පවතී. පවුල් සංස්ථාවේ සිට ම ආර්ථික, සමාජ, දේශපාලනික වශයෙන් ලබාගන්නා තීන්දු තීරණ එකින් එකට යම් ආකාරයක ධනාත්මක බලපෑම් ඇතිකර විය හැකි මුත් මේ වන විට බහුල වශයෙන් දැකගත හැක්කේ ඒවායින් එකිනෙකට එල්ල වන්නාවූ සෘණාත්මක බලපෑම් ය.

රටේ ඇති වී තිබෙන කොවිඩ් -19 වසංගත තත්ත්වය, මේ කියන්නාවූ සෘණාත්මක බලපෑම් වෙනුවට ධනාත්මක බලපෑම් කිරීමෙහිලා කටයුතු කිරීමට අවස්ථාවක් කොටගත යුතු ය.

  ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය 

සටහන – කාංචනා සිරිවර්ධන

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *