දූරියන් වගාවට කැමති ඔබ දැනගත යුතුම අලුත්ම තොරතුරු රැසක්

දූරියන් වගාකරුවන් දැනගත යුතු තවත් විශේෂ දෙයක් තියෙනවා. ගෙවත්තේ එක දූරියන් ගසක් සිටවූවාට ගෙඩි හැදෙන්නේ නෑ. දෙකක්වත් හිටවන්න ඕනෑ. ඒකත් වර්ග දෙකකින් ගස් දෙකක්. එක වර්ගයකින් ගස් දෙකක් සිටුවා ගෙඩි ගන්නත් බෑ. අනිත් එක කිරිවවුලෝ ඉන්නත් ඕනෑ. වවුලෝ නැත්නම් දූරියන් ගෙඩිත් නෑ

මෙරට දූරියන් ගස් බහුතරය රෝගී පැරණි ගස්

අපි තවමත් මදුළු කනවා පමණයි

අසල්වැසි රටවල දූරියන් චොක්ලට් සහ අයිස්ක්‍රීම්

දකුණු ආසියාතික රටවල ඇතැම් ලැගුම්හල් හෝ හෝටල් තුළට මෙම පලතුර රැගෙනයාම තහනම්ය. අවට පරිසරයට දින කීපයක් පවතින සුවඳක් නිකුත් කරන නිසාත්, සමහරුන්ට මෙය ඉතා අප්‍රසන්න සුවඳක් නිසාත්, පොදු යහපත උදෙසා මෙවන් වාරණයක් පනවා තිබේ.

සිංගප්පූරුවේ ප්‍රධාන පොදු ප්‍රවාහන පද්ධතියක් වන උමං දුම්රියට ඇතුල්වෙත්දීද දූරියන් රැගෙන නොඑන ලෙසට දැන්වෙන ස්ටිකරයක් දුම්රිය මැදිරි තුළ අලවා තිබෙනු පෙනෙන්නේය. ඒ සුවඳ නිසා පමණක් නොව, ගෙඩියේ තිබෙන තියුණු කටු මගින් ජනාකීර්ණ දුම්රිය මැදිරි තුළ ගමන් කරන්නවුන්ට හානියක් විය හැකිය යන සැකය හේතුවෙනි.

කෙසේ වෙතත් දකුණු ආසියාතික රටවලදී අඹ ගෙඩියට ‘පලතුරු ලොවේ රජු’ සේ සලකා අචාර කරද්දී කාම්බෝජය, ලාඕස්, මියන්මාරය, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, සිංගප්පූරුව වැනි රටවල් වලින් සැදුම්ලත් ගිනිකොණ දිග ආසියාවේ රටවල් වල නම් ‘පලතුරු රජු‘ වන්නේ දූරියන්ය.

19වැනි සියවසේ විසූ පරිණාමයේ සංසිද්ධිය ‘ස්වභාවික වරණය’ නමැති තේරීමේ යාන්ත්‍රණය ඔස්සේ පැහැදිලි කල මහා විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් රසල් වොලස්, දූරියන් මදය අගය කර ඇත්තේ ආමන්ඩ් වලින් රසවත් කළ කස්ටඩ් පුඩිමකට නොදෙවෙනි බව පවසමිනි.

මෙරටට 16 වෙනි සියවසේදී මුලින්ම දූරියන් රැගෙනවිත් ඇත්තේ පෘතුගීසීන් විසිනි. ඊට පසුවද නොයෙක් අවස්ථාවලදී විවිධ ප්‍රභේද හඳුන්වාදීමක් සිදුවී ඇති අතර අද තිබෙනා බොහොමයක් දූරියන් ගස්, ඇට පැළවීමෙන් හටගත් දශක ගණනක් පැරණි වයස්ගත ශාක වේ. ජනතාව පුරුදුවී සිටින්නේ ගෙඩි හටගන්නා කාලයට දූරියන් ගස දෙස බලන්නටය.

ඵල දරන්නේ යම්කිසි නිශ්චිත වාරයකට පමණක් බැවින්, තමාගේ අස්වැන්න ලැබෙන සමයේදී ගසට සාත්තු සප්පායම් කිරීමට කවුරු කවුරුත් ඉදිරිපත් වුවත්, ගෙඩි ඵලගන්නේ නැති කාලයේදී ඔවුහු නිහඬව ඉවත බලා ගනිති. මේ නිසා වැඩි සාත්තුවක් නැතිව පවත්නා වර්තමාන දේශීය දුරියන් වගාවට ඇත්තේ ඉතා අඩු පලදායීතාවයකි.

මීට අමතරව දූරියන් ගස් වලට ඇති විවිධාකාර ආබාධ සම්බන්ධයෙන් ඒවාහි හිමිකරුවෝ පැමිණිලි කරති. මේ පැමිණිලි සුලභව පැමිණෙන තැනකි හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය. එහි පලතුරු අභිජනනය පිළිබඳ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ඩබ්ලිව්. ඩී. ලෙස්ලි මහතා මේ ගැන අදහස් දක්වන්නේ මෙසේය.

“අවුරුදු පනහ හැට පැරණි දූරියන් ගස් තමයි අද රටේ වැඩි හරියක් තියෙන්නේ. ඒවත් නිසි නඩත්තුවක් නැති ශාක. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කළ වර්ග වල ගස් වලින් හැදෙන ගෙඩි ඉතා සුළු ප්‍රමාණයක් තමයි තවමත් වෙළඳපොළට එන්නේ. සාමාන්‍යයෙන් ගහක් මෝරලා ඵල දරන්න අවුරුදු පහක් හයක් යනවනේ. අනිත් කරුණ තමයි මේ පරණ ගස් බොහොමයකට කල් ගතවුණු රෝග තත්වයන් තියෙනවා. ඒවා අධීක්ෂණයක් හා මූලික ප්‍රතිකාර නොලැබුණු නිසා දැන් නිදන්ගත රෝග වගේ. ‘ෆයිටොප්තෙරා දිලීරය‘ නිසා ඇතිවෙන රෝගී තත්වය හා ‘ඇන්ත්‍රැක්නෝස්‘ රෝගය තමයි වැඩිපුර තියෙන්නේ. ෆයිටොප්තෙරා දිලීර ආසාදනය වුණහම එකපාරට රෝග ලක්ෂණ පෙනෙන්නෙත් නෑ. රෝගය අවුරුදු ගණනක් ශාකය තුළ තිබෙමින් ක්‍රමයෙන් පිළිකාවක් වගේ ගස පුරා පැතිරෙනවා. ගෙඩි නැති කාලෙට ගස ගැන අවධානයකුත් නැති නිසා තත්වය පහසුවෙන් දරුණු වෙනවා. ඵල දරන කාලෙට නම් ගෙඩි කළුවෙනවා, ලපටි ගෙඩි හැලෙනවා ආදී විවිධාකාර පැමිණිලි. රෝගය පාලනය කරන්න වියදමත් වැඩියි ආසාදනය දරුණු නිසා. පාලනය කෙරුවත් නිරෝගී ගසක් නැවත ලැබෙයි කියන සහතිකය දෙන්නත් බෑ. ගසේ වයසත් වැඩියි, ගස තුළ රෝග කාරකයේ පැතිරුණු ප්‍රමාණයත් වැඩියි.”

රටේ පවතින දූරියන් ශාක බහුතරයක තත්වය මෙසේ නම්, ගෙඩි හැදෙන කාලයටවත් දූරියන් ගස සොයා යන්නට නොහැකි තත්වයක් උදාවේ යයි සිතෙන තරම්ය. එසේ නමුත් ලෝකයේ දුරියන් ප්‍රගතිය නම් ඉහළ ඉලක්කයන් කරා වේගයෙන් ගමන් කරයි. වයස්ගත දූරියන් ශාක, නිසි පෝෂණයක් හෝ සත්කාරයක් නැතිව හා ලෙඩරෝග පවා උසුලාගනිමින් අප වෙත ලබාදෙන ඵලදාව, ගෙඩිය බිඳගෙන මදුළු අනුභව කරනවා මිස ඊට වැඩි යමක් තවමත් මෙරට සිදුවන්නේද නැත.

මහා මාර්ගය අයිනේ හෝ සිල්ලර පලතුරු කඩයක විකුනනවා හැරෙන්නට අගය වැඩි ඇසුරුමක් තුළ ඇසිරූ දූරියන් මදුළු සුපිරි වෙළඳසැල් තුල අලෙවි කරන්නේද නැත. නමුත් අප අවට ඇති ආසියාතික රටවල තත්වය නම් මීට හාත්පසින්ම වෙනස් වේ. මදුළු වෙන්කොට හුරුබුහුටි රිජීෆෝම් දීසි තුළ බහා, පොලිතීන් වලින් වැසූ නිෂ්පාදනයන් එවන් රටවලදී මග දෙපස ඇති පෙට්ටි කඩවලින් පවා මිලදී ගත හැකිය. මීට අමතරව චොක්ලට්, අයිස්ක්‍රීම්, ජෑම්, චිප්ස් ආදී නානාප්‍රකාර අගය වැඩිකළ නිපැයුම් රාශියකි.

ඔවුන්ගේ රටවල නිෂ්පාදනයන් ප්‍රමාණවත් නොවන නිසා විශාල වශයෙන් ඔවුහු දූරියන් ආනයනය කරති. විදේශ විනිමය සෙවීමේ නව මංපෙත්වලට ඉව අල්ලමින් සිටිනා අප මෙම පසුබිම නිවැරදිව කියවිය යුතුය. සාම්ප්‍රාදායික වැවිලි අපනයනයන් වන පොල් සහ රබර් දේශීය අවශ්‍යතාවයටවත් නොමැති තත්වයක් යටතේ අලුත් අපනයන බෝග ප්‍රවර්ධනයට අත තැබිය යුතුය.

“කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දැනට දූරියන් ප්‍රභේද පහක් නිදහස් කරලා තියෙනවා. කසුන්, අඹතැන්න, හොරණ ජම්බෝ, හොරණ ගෝල්ඩ් සහ ගන්නොරුව ස්වීට් කියන්නේ මේ වර්ග පහ. මේවායේ බද්ධ පැල දැනට ඇති තරම් නිෂ්පාදනය කෙරෙනවා. ඒ වගේම විශාල වගා වශයෙන් දූරියන් වවන්නත් ව්‍යාපාරික මට්ටමේ වැවිලිකරුවන් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ අය අපනයන ගමනාන්තයන් පවා දැනට හඳුනාගෙන අවසන්. ඉතින් සාර්ථකත්වය සඳහා දූරියන් වගාකරුවන් නිසි තැන හඳුනාගෙන ගස් සිටුවන්නට ඕනෑ, ඒ වගේම නඩත්තුව හා සාත්තුව හොඳට කරන්න ඕනෑ.”

ලෙස්ලි මහතා සඳහන් කරන පරිදි දූරියන් වගාවට සුදුසු වන්නේ හොඳින් ජලය බැසයන, ප්‍රමාණවත් හිරු එළියක් වැටෙන, මීට ඉහතදී රබර්, මඤ්ඤොක්කා වැනි වගාවක් නොකළ ඉඩමකි. රබර් හා මඤ්ඤොක්කා වලට වැළඳෙන ‘සුදු මුල් රෝගය’ දූරියන් ශාකයටද හානිකරය. දිලීරය දිගු කලක් පසෙහි නොනැසී තිබෙන අතර අලුත පැල කරන ලද දූරියන්, පළමු වසර හය තුළදී මෙම රෝගයට බෙහෙවින් පාත්‍ර වේ.

“දූරියන් වගාකරුවන් දැනගත යුතු තවත් විශේෂ දෙයක් තියෙනවා. ගෙවත්තේ එක දූරියන් ගසක් සිටවූවාට ගෙඩි හැදෙන්නේ නෑ. දෙකක්වත් හිටවන්න ඕනෑ. ඒකත් වර්ග දෙකකින් ගස් දෙකක්. එක වර්ගයකින් ගස් දෙකක් සිටුවා ගෙඩි ගන්නත් බෑ. අනිත් එක කිරිවවුලෝ ඉන්නත් ඕනෑ. වවුලෝ නැත්නම් දූරියන් ගෙඩිත් නෑ.”

වගාකරුවන් නම් මැවිසිලි නගන්නේ රාත්‍රියට පැමිණෙන කිරිවවුලන් දූරියන් ගසේ මල් ටික තලා බිම දමා විනාශ කර යන බව පවසමිනි. එහෙත් පලතුරු අභිජනන විද්වත් ප්‍රකාශයට අනුව වවුලන් නැත්නම් දූරියන් ඵලදාවක්ද නැත. එසේම මේ කතාවට අනුව, ඉඩ ඇති තැනක දූරියන් පැලයක් සිටුවා ගන්නටද අවසර නැත. ගෙදර වත්තේ වවාගෙන දූරියන් කන්නට නම් ගස් දෙකක් වවාගත යුතුවේ. එයද වර්ග දෙකකිනි. කන්නට අකමැති වුවත් වවන්නට කැමැති අයට, එය රසවත් කතාන්තරයක් වනු ඇත.

ලබන සතියට

සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.