ලංකාව ඇත්තටම බංකලොත් වෙලාද ? බංකලොත් කරලාද ? ඇත්ත කතාව කියවමු

කොරෝනා දෙවැනි රැල්ල සමග ලංකාව මුහුණ දී සිටින හා මුහුණදීමට නියමිත සැබෑම අභියෝගය වන ‘විදේශ ණය උගුල‘ ජනතා අවධානයෙන් පමණක් නොව ජනමාධ්‍ය සහ පාලකයින්ගේ අවධානයෙන් ද ගිලිහී ගොස් ඇත. එහෙත් මේ ගැන උනන්දුවක් දක්වන ආර්ථික විශේෂඥයින් පවසන්නේ කොරෝනා වසංගතය විදෙස් ණය උගුලේ රට තව තවත් හිර කරන තීරණාත්මක එක් සාධකයක් පමණක් බවයි.

ලංකාව ඇත්තටම ණය උගුලක සිරවී සිටීද ?

මේ ගැන පසුගිය කාලය පුරාම අඛණ්ඩව දේශපාලන හා සමාජ සංවාද සිදුවිය. ඒත් ඒවා ඒකපාර්ශ්වික වුණා මිස ‘ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන හෝ පිළිගන්නා ඒවා නොවීය. ආසන්නතම උදාහරණය ලෙස පසුගිය දා ලංකාවේ කෙටි නිල සංචාරයක නිතර වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මුවින් ද ලංකාවේ ණය උගුල (චීන ණය උගුල) ගැන අදහස් මතු විය. එහිදී වහා ක්ෂණික ප්‍රතිචාර දැක්වූ ජනපතිවරයා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ‘අපි කිසිසේත් ණය උගුලක සිරවී නැතැයි‘ අවධාරණාත්මකව ප්‍රකාශ කළ අතර චීන ණය ගැන ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කළේය.

ඒ සමග වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය ගැන සැබෑ වගකීම දරන රාජ්‍ය ඇමැති, හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අජිත් කබ්රාල් ද, ඔහුගේ මතය පුනරුච්චාරණය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ද දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ගැන ධනාත්මක ප්‍රකාශ නිකුත් කළේය. ඒවායේ පොදු අදහස වූයේ ‘ශ්‍රී ලංකාවට තමා ලබාගත් විදේශ ණය සදහා පොලිය සහ වාරික ගෙවීමේ හැකියාව පවතී‘ යන්නය. දින කිහිපයකින් ඒ කතාව ද නතර විය.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ දේශපාලන බලාධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ණය ගැනීමේ හා ගෙවීමේ හැකියාව ගැන සහතික නිකුත් කරද්දී ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සහ විශ්වාසනීය ආයතන තුනක් පසුගිය කෙටි කාලය තුළ ලංකාවේ විදේශ ණය ගෙවීමේ හැකියාව ප්‍රශ්න කරන වාර්තා තුනක් නිකුත් කළේය. ඒ ආයතන වන්නේ,

  1. නිව්යෝර්ක් නුවර පිහිටි ජාත්‍යන්තර ආයෝජන බැංකුවක් වන ගෝල්ඞ්මන් සැච්ස් (Goldman Sachs)
  2. ඒ.පී. මොර්ගස්
  3. මොර්ගස් ස්ටැන්ලි

මෙම ආයතන තුන විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමේ හැකියාව ප්‍රශ්න කරද්දී ‘මූඩිස් ‘(Moody’s) ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ස්ථාන තුනකින් පහළට දැමූ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවා ගැනීමට බැරි රටක් හැටියට ශ්‍රේණිගත කර නොතිබුණත් එම තත්ත්වයට අප රට පත්වෙමින් සිටින බවට අනතුරු අගවනු ලැබුවේය.

Goldman Sachs' Swiss Attack

ගෝල්ඞ්මන් සැච්ස් කියන කතාව

මෙහිදී වැඩි අවධානයක් යොමු වන්නේ ගොල්ඩ්මන් සැටිස් බැංකුවේ වාර්තාව කෙරෙහිය. නිව්යෝර්ක් නුවර පිහිටි ජාත්‍යන්තර ආයෝජන බැංකුවක් වන ගෝල්ඞ්මන් සැච්ස් (Goldman Sachs) විසින් පසුගිය ඔක්තෝබර් මස අවසාන සතියේ නිකුත් කරන ලද ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ වාර්තාවකට අනුව 2021 වසරේදී ලෝකයේ විවිධ රාජ්‍යයන් විසින් ලබා ගන්නා ලද ණය ආපසු ගෙවා ගැනීමට නොහැකිව ‘ණය පැහැර හැරීමේ ඉහළම සම්භාවිතාවක් ඇති‘රටවල් හතරක් නම් කළේය. එම රටවල වන්නේ

  1. ඉරාකය,
  2. ශ්‍රී ලංකාව,
  3. ඇන්ගෝලාව
  4. ගැබොන් රාජ්‍යයයි.

එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ණය පැහැර හැරීමේ අවදානම සහිත දෙවන රාජ්‍යය බවට පත්ව ඇත.

එමගින් ලොවට දෙන පණිවුඩය වන්නේ 2021 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බංකොළොත්භාවයට පත්වන ලොව දෙවන රාජ්‍යය බවය. ගෝල්ඞ්මන් සැච්ස් බැංකුව විසින් මීට පෙර එවැනි තත්ත්වයකට පත්වූ රාජ්‍යයක් ලෙස ඉක්වදෝරය, ලෙබනන් සහ ආර්ජන්ටිනාව නම් කර තිබේ.

ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් විදේශ ණය ගෙවීමට නොහැකි තරම් අසරණ තත්ත්වයට පත්ව ඇති බව ජාත්‍යන්තර ආයතන සහ ශ්‍රී ලංකාවේ විපක්ෂය චෝදනා කළත් පොදුජනතාවට මේ පිළිබද පැහැදිලි අවබෝධයක් හෝ දැක්මක් ඇති බවක් දැකිය නොහැකිය. ඒ නිසා ඔවුන් දිගින් දිගටම රාජ්‍ය සහනාධාර සහ සුබසාධන ඉල්ලා සිටින අතර ආනයන පාලනය නිසා ඇති වී තිබෙන අපහසුතා ගැන දිගින් දිගටම මැසිවිලි නගමින් සිටී.

එහෙත් පොදුජනතාව නොව ආර්ථිකය ගැන යම් පමණක හෝ අවබෝධයක් ඇති පුද්ගලයින් සහ මාධ්‍යකරුවන් ලංකාවේ සැබෑ ණය ප්‍රමාණය ගැන විශ්වාසනීව තොරතුරු දැන සිටිය යුතුය. නැතහොත් දැනගත යුතුය.

ලංකාවේ ණය කන්ද වර්ධනය වුණ හැටි

ආණ්ඩුව කරවන දේශපාලනඥයින්ට සහ ඔවුන්ට උපදෙස් දෙන නිලධාරීන්ට අනුව ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරාම ණය ලබාගෙන ඇත්තේ ‘සංවර්ධනය‘ සදහාය. බැලූ බැල්මට කතාව ඇත්තකි. හම්බන්තොට වරායේ සිට නෙළුම් කුළුණ දක්වාත්, මොරගහකන්ද ජලාශයේ සිට ඇවිදින මංතීරු ගොඩනැගීම දක්වාත් ශ්‍රී ලංකාව ‘සංවර්ධන ණය‘ ලබා ගෙන ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ ණය ලබා ගෙන ඉදිකළ කිසිම සංවර්ධන ව්‍යාපෘතියකින් ඒවායේ ‘දෛනික‘ වියදම් පියවා ගැනීම සදහාවත් ප්‍රමාණවත් ආදායමක් නොලැබීමය. මෙයට හම්බන්තොට වරාය හොද උදාහරණයක් වුවත් වත්මන් විිපක්ෂය ආණ්ඩු කළ සමයේ නිර්මාණය කළ මොරගහකන්ද මහා ජලාශය ද කදිම උදාහරණයක් ලෙස ගත හැකිය.

ආණ්ඩුවේ වාර්තාවලට අනුව රුපියල් කෝටි 25,000ක් වැය කරමින් ඉදිකළ ‘ලංකාවේ විශාලතම වාරි යෝජනා ක්‍රමයෙන‘ මේ වන විට රටට ලැබෙන ප්‍රතිලාභය කුමක් දැයි විමසා බැලිය හැකිය.

මේ ‘සුදු අලි‘ හෝ ප්‍රදර්ශන කාමයට බිහිකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ලංකාව ණය උගුලක සිරකිරීමට ‘ප්‍රමුඛ‘ සාධයක් වුව ද ඊටත් වඩා ලංකාව ණය උගුලකට යොමු කළේ ‘ණය වාරික හා පොලී ගෙවීමට ගත් ණය‘ බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.

‘‘ණය වාරික ගෙවා දැමීමේදී ලංකාව අනුගමනය කරන්නේ ලොකු රෝලක් (ක්‍රමවේදයක්) අපිට ලොකු ණය වාරිකයක් ගෙවන්න තියෙන කොට අපි කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට ණයක් ලබා ගන්නවා. ඒක තමයි අපි දිගටම කරන්න පුරුදු වෙලා හිටියේ. ඒක හොඳ දෙයක් නොවුණාට ඒක තමයි අපිට තිබුණු විකල්පය‘ පසුගිය යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය භාරව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ලංකාවේ ණය කන්ද තවත් වටයකින් වර්ධනය වූ ආකාරය පැහැදිලි කරමින් සදහන් කළේය.

මෙහිදී අපිට පෙනී යන කරුණ වන්නේ ‘සංවර්ධන කටයුතු සදහා පමණක් නොව ණය ගෙවීම සදහා ද ණය ගැනීමට මගින් ගැසූ ‘රෝල‘ ලංකාව අර්බුදයෙන් අර්බුදයට තල්ලු කළ බවකි.

‘වෙන මොනවා කරන්නද ? ලංකාවේ බොහොමක් සංවර්ධන ව්‍යාපෘති ආදායම් උප්පාදනය කරන්නේ නැහැ. රැකියා බිහි කරන්නේ නැහැ. ඒවා සුදු අලි පමණයි. උදාහරණයක් විදිහට මොරගහකන්ද ගන්න පුළුවන්. ඒක කවදාවත් රටට ලාභයක් දෙයි කියලා හිතන්න බැහැ. මොකද මේ රටේ කෘෂිකර්මාන්තයට යොදවන ආයෝජන මගින් ලබා දෙන්නේ අල්ප ආර්ථික දායකත්වයක්‘ මේ ගැන අප කළ විමසීමකදී ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ සදහන් කළා.

ණය කන්දේ විස්තර මෙන්න

ලංකාවේ දේශීය හා ජාත්‍යන්තර ණය ප්‍රමාණය ගැන කතා කරන විට අපට අවශ්‍ය නිල දත්ත ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන්. එමගින් පසුගිය දා නිකුත් කළ ‘මෑතකාලීන ආර්ථික ප්‍රවණතා – ‘2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා‘ නම් ග්‍රන්ථයේ දක්වා ඇති ‘මධ්‍යම රජයේ ණය‘ පිළිබද පුළුල් විස්තර සටහනක් ඉහත දැක්වෙනවා.

ඉහත සටහන අනුව 2020 ජූලි මස ආවසානය වන විට ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 14.2ක් වෙනවා. එය වඩාත් සරලව කිව්වොත් රුපියල් කෝටි 14,920,000ක්. මෙය ඇමරිකානු ඩොලර්වලින් සඳහන් කළහොත් ඩොලර් බිලියන 80කට ආසන්න අගයක්.

මේ ප්‍රස්තාර සටහන මගින් අපට තවත් අදහසක් ලබා දෙනවා. ඒ තමයි 2018 දෙසැම්බර් අවසාන වන විට තිබූ රුපියල් ට්‍රිලියන 12ක් වූ ණය ප්‍රමාණය තවත් මාස 18ක් යන විට රුපියල් ට්‍රිලියන 14.2 දක්වා වර්ධනය වීම.

ඔබ මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ ලංකාවේ ආණ්ඩුව ණය ලබා ගෙන ඇත්තේ ‘විදේශ‘ වලින් පමණක් නොවන බව. ඇත්තටම ලංකාව වැඩියෙන්ම ණය ලබා ගෙන තිබෙන්නේ ‘දේශීය‘ වශයෙන්. එය රජයේ සමස්ත ණය ප්‍රතිශතයෙන් 54%ක් වැනි ඉහළ අගයක්. ඇත්තටම අපේ ආණ්ඩුවේ මුළු ණයවලින් විදේශ ණය තිබෙන්නේ 46%ක් පමණයි. එය බොහෝ දෙනෙක් කතා නොකරන සහ නොතකා හරින තත්ත්වයක්.

ඊට හේතුව වන්නේ ආණ්ඩුව මේ ආකාරයෙන් දේශීය බැංකු, සේවක අර්ථසාධක අරමුදල ආදියෙන් දැවැන්ත ණය ප්‍රමාණයක් ලබා ගැනීම නිසා පුද්ගලික අංශයට ණය ලබා ගැනීමට ඇති හැකියාව සීමා වීමක් සිදුවෙනවා. ඒ වගේම පුද්ගලික අංශයට ණය දීම වෙනුවට රජයට ණයදීම වාසිදායක නිසා මූල්‍ය වෙළෙදපොළ තුළ තවත් විකෘතියක් ඇති වෙනවා.

ඒත් පුදුමයකට වාගේ 46%ක් වන රජයේ විදේශ ණය ගැන කතා කරන, විවේචනය කරන කිසිවෙක් 56%ක් වන රජයේ දේශීය ණය නිසා ඇතිවී ඇති අර්බුදය හා ව්‍යාකූලතා ගැන කතා කරන්නේ නැහැ.

ණය ගෙවන්නේ කොහොමද ?

ණය ලබා ගැනීම කෙසේ වෙතත් ණය ගෙවීම ඕනෑම අයෙකුට ප්‍රශ්නයක්. ලබාගත් ණය නිසි පරිදි ආයෝජනය නොකළ විට, ඒවා නාස්ති වූ විට මෙන්ම අපේක්ෂිත ආදායම් නොලැබුණ විටත් පුද්ගලයෙක් මෙන්ම ආණ්ඩුවක් වුවත් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්වෙනවා. අද ලංකාවේ ණය ගැන බිය පළ කරන බොහෝ දෙනා කියන්නේ ඒ කතාවයි.

ඔබ බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමට ගිය විට පනවන මූලික කොන්දේසිය සිහියට නගා ගන්න.

‘ඔබට ණය ලබාගත හැකි වන්නේ මාසික ණය වාරිකය ආදායමෙන් සියයට 40% දක්වා පමණයි. නැතහොත් ඔබට ඔබේ ආදායමෙන් (වැටුපෙන්) 60%ක් දක්වා වන මාසික වාරිකයක් දක්වා ණය ලබාගත හැකියි‘ බැංකු කියනවා. ඒ කියන්නේ කිසිම බැංකුවක් ඔබේ මාසික ආදායමෙන් මාසික ණය වාරිකය 90%ක් වන මට්ටමට ණය නිකුත් කරන්නේ නැහැ.

ඒත් ආණ්ඩුව ඒ අතින් හරිම වාසනාවන්තයි. ආණ්ඩුවකට ණය ලබා ගැනීමේ සාමාන්‍ය ජනතාවට මෙන් දැඩි සීමා කිරීම් නැහැ. ඒ නිසා ලංකාව මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් (ආණ්ඩුවේ ආදායමෙන් නොවෙයි) 90%ක් දක්වා වාර්ෂිකව ණය ගෙවනවා !

මෙය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවෙයි. මේ තත්ත්වය සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතයට ආදේශ කළහොත් ඔහුගේ සමස්ත ආදායමෙන් 90%ක් ණය ගෙවීමට පමණක් වැය කළ යුතු තත්ත්වක් හා සමානයි. එවැනි පුද්ගලයෙකුට මුහුණ පෑමට සිදුවන නීරස සහ බිහිසුණු තත්ත්වය ගැන ඔබට අලුතින් කියන්න දෙයක් නැහැ.

අභාග්‍යයකට වාගේ ලංකාවේ ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%ක් ණය ගෙවීම සදහා පමණක් වැය කරනවා. ආයෝජනයට, එදිනෙදා වියදම් පියවා ගන්න, සුබසාධන සදහා ආණ්ඩුව ඉතිරි වෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් පමණයි ! මේ නිසා තමයි අපේ රට ණය ගෙවීම් පැහැර හැරීමට ලක්වෙලා කියලා නින්දා ලබමින් සිටින්නේ.

විදේශීය ණය ගැන කතා කිරීමේදී අපි බැලිය යුතු තවත් කරුණක් වන්නේ මේ වන විට රජය ගිවිසුම් ඇති කරගෙන තිබෙන තවත් ණය ප්‍රමාණයක් තිබීමයි. එවැනි ණය ඇමරිකානු ඩොලර් බිලියන 75.1ට අමතරව ඇමරිකානු ඩොලර් බිලියන 9.2ක් තිබෙනවා. ඒ ණයවලින් 22%ක් එන්නේ චීනයෙන්. දැනට ලංකාව අරගෙන තිබෙන ණයවලින් 47%ක් අරගෙන තියෙන්නේ වෙළෙඳපොළ ණය. ඒ කියන්නේ ඉහළ පොලී අනුපාතයක් යටතේ ගන්නා ලද ණය. ඒ වගේම දැනට ලබාගෙන තියෙන ණයවලින් 10%ක් අරගෙන තියෙන්නෙත් චීනයෙන්. මෙලෙස ගන්නා ලද ණයවලින් බොහොමයක් කෙටිකාලීනව ගෙවන්න තිබෙන ණය.

ඉහත සදහන් කළ තත්ත්වය නිසා තමයි ගෝල්ඞ්මන් සැච්ස් ආයතනය විසින් ‘ශ්‍රී ලංකාව ස්වෛරී ණය පැහැර හැරීමේ අවදානම ඉහළ රටක් හැටියට‘ ශ්‍රේණිගත කරන්නේ.

මේ ශ්‍රේණිගත කිරීම අපේ දේශපාලනකයින්ට සහ මහ බැංකුවේ නිලධාරීන් ‘කජ්ජක්‘ නොවුණට ඇත්ත තත්ත්වය බියකරුයි. ඒකට හේතුව තමයි ලංකාව ඉදිරියේදී ණය ගන්නා විට අපේ ණයවල අවදානම වැඩි නිසා පොලී අනුපාතිකය අතිවිශාල වශයෙන් ඉහළ දැමීම. මේක ‘ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වාගේ තත්ත්වයට නොදෙවැනි තත්ත්වයක්.

ස්වෛරී ණය පැහැර හැරීම කියන්නේ කුමක්ද ?

මේ ලිපිය අවසන් කිරීමට පෙර මේ ගැනත් පැහැදිලි කිරීමක් කළ යුතුයි.

මේ ලිපියේ ඉහතින් සදහන් කළ ආකාරයට ආණ්ඩුව දේශීය වශයෙන් 54%ක් ද විදේශීය වශයෙන් 46%ක් ද ණය ලබා ගෙන තිබෙනවා. දේශීය වුණත් විදේශීය වුණත් නියමිත පරිදි මේ ණය හා වාරික ගෙවිය යුතුයි. ඒත් දේශීය ණය ගෙවීමේදී ආණ්ඩුවක් දැඩි අර්බුදයකට ලක්වන්නේ නැහැ. ඊට හේතුව ‘දේශීය ණය ගෙවීමට ඩොලර් අවශ්‍ය නොවීමයි. ආණ්ඩුවට අලුතින් මුදල් මුද්‍රණය කරමින් හෝ (රුපියල්වලින්) ඒ ණය ගෙවා දැමිය හැකියි. අලුතින් මුදල් මුද්‍රණය කිරීම මගින් ඇතිවන උද්ධමනය ආදිය ගැන ආණ්ඩුව නොසලකන නිසා මෙහිදී ගැටලු හා පීඩනය අඩුයි.

ඒත් ආණ්ඩුව විදේශ ණය ගෙවීමේදී පැහැදිලිවම ‘ඩොලර්වලින්‘ ඒ ණය ගෙවා දැමිය යුතුයි. අර්බුදය ඇතිවන්නේ ඒ අවස්ථාවෙියදීයි.

ආර්ථික විද්‍යාවට අනුව ‘ස්වෛරී රාජ්‍යක් ( ස්වාධීන රටක්) විසින් ලබා ගන්නා ලද ණය ‘ස්වෛරී ණය‘ ලෙස හදුන්වනවා. විශේෂයෙන් රජයක් ‘විදේශීය විනිමය තුළින් ලබා ගන්නා ලද ණය‘ ස්වෛරී ණය ලෙස හඳුන්වනවා. ඒ අනුව ලංකාව විදේශීය විනිමය හරහා ගන්නා ස්වෛරී ණය සඳහා ඇපවීමක් සිදු කෙරෙනවා. එලෙස ඇප වන්නේ බැඳුම්කර හරහා. ඒවාට ස්වෛරී බැඳුම්කර කියා කියනවා. මේ වනවිට අපේ රට එවැනි බැඳුම්කර විශාල ප්‍රමාණයක් නිකුත් කර ණය ලබාගෙන තිබෙනවා.

ආර්ථික විද්‍යාවට අනුව ස්වෛරී ණය පැහැර හැරීම යනුවෙන් අදහස් කරන්නේ ‘යම්කිසි ස්වෛරී රාජ්‍යයක් විසින් ගන්නා ලද ණය පරිණතවීමේදී එය ගෙවීම පැහැර හැරීමක් හෝ ගෙවීමේ නොහැකියාවක් තියෙන තත්ත්වයකට පත්වීමයි. එවැනි රටක් ‘ ස්වෛරී ණය පැහැර හැරීමේ අවදානම් සහිත රටවල් කියා නම් කිරීමක් කාලයක සිට ජාත්‍යන්තර බැංකු විසින් කරනවා.

ලංකාවට ණය ගෙවා ගැනීමට නොහැකි යැයි කියන්නේ ඇයි ?

මේ ගැන විවිධ අදහස් තිබෙනවා. ඒත් පොදුවේ පිළිගන්නා කරුණ වන්නේ ‘ලංකාව විදේශ ණය ගෙවීම කිසිදාක පැහැර හැර නැති බවයි. දැඩි මූල්‍ය අර්බුද මැද පවා ලංකාව නියමිත කාලය තුළ විදේශ ණය ගෙවා තිබෙනවා. ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කරන ආකාරයට, පසුගිය ඔක්තෝබර් මාසයේ ගෙවන්න තිබූ ඩොලර් මිලියන 1000ක ණය මුදල ශ්‍රී ලංකාව විසින් ගෙවා තිබෙන්නේ විදේශ සංචිතවලින්. ඒත් කොවිඩ් අර්බුදය සහ තවත් හේතු කිහිපයක් නිසා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත දිගින් දිගටම හීන වෙමින් තිබෙනවා. විශේෂයෙන් අපනයන ආදායම අඩුවීම, විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ‘සංක්‍රාම අඩුවීම, සංචාරක ව්‍යාපාරය බිද වැටීම වගේම විදේශ ආයෝජන නොලැබීම නිසා මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා.

ශ්‍රී ලංකාව වාර්ෂිකව අපනයනවලින් ඩොලර් බිලියන 10ක්, විදේශ ශ්‍රමිකයින් හරහා ඩොලර් බිලියන 07ක් වශයෙන් ප්‍රධාන වශයෙන් ඩොලර් බිලියන 17ක විදේශ විනියම ලබා ගන්නවා. සංචාරක ව්‍යාපාරය ඇතුළු සෙසු ඉපයීම් හරහා ලැබෙන්නේ වාර්ෂිකව ඩොලර් බිලියනක් හෝ ඊට ආසන්න විදේශ විනියම ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ.

ඒත් ශ්‍රී ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 20ක් පමණ ආනයන (කිසිවෙකුගේ අවධානයට ලක් නොවන දුරකථන හා අන්තර්ජාල පිරිවැය) සදහා රටින් පිට කරනවා. මේ තත්ත්වය තුළ ලංකාව වාර්ෂිකව ගෙවුම් ශේෂය තුළ ඩොලර් බිලියන 03 හිගයකට ලක් වෙනවා.

වර්තමානයේ ක්‍රියාත්මක දැඩි ආනයන පාලනය මගින් ඊට වැඩි සහනයක් නොලැබෙන බවයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ.

තත්ත්වය මේ ආකාරයේ ඍණාත්මක තත්ත්වයක් කරා ගමන් කළත් විදේශීය සංචිත වැඩිකර ගැනීමට හැකියාවක් තිබෙන බව සනාථ කෙරෙන සලකුණත්, ඉඟියක් හෝ මගපෙන්වීමක් අපට දැකිය නොහැකියි. අපනයන කර්මාන්ත දියුණු කර ගැනීම වෙනුවට ආණ්ඩුව ආනයන පාලනයට සහ කෘෂිකර්මාන්තයට අනවශ්‍ය බරක් තබන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා.

අද ලංකාව මුහුණ දී සිටින ආර්බුදය නිර්මාණය වන්නේ මේ සංකීර්ණ තත්ත්වය තුළයි. ආණ්ඩුවට මේ සදහා ආනයන පාලනය මගින් කෙටිකාලීන විසදුම් ලබාදිය හැකි වුවත් (එය කොතරම් ඵලදායිද යන්න ප්‍රශ්නයක් වුවත්) වඩාත් වැදගත් වන්නේ දීර්ඝ කාලීන තිරසාර විසදුමක් ලබාදීමයි. එය කිසිසේත් ‘අතීසාරයට අමුඩ ගසන‘ පන්නයේ විසදුමක් නොවිය යුතු බවයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ.

සටහන – තුෂාර වල්ගම

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *