වී අස්වැන්න සහ සහල් සැපයුම ගැන මහ බැංකුව කියන නිල කතාව – 01

‘වී‘ ශ්‍රී ලංකාවේ ‘දේශපාලන භෝගය‘ වශයෙන් සැලකිය හැකිය. මන්ද ශ්‍රී ලාංකිකයින් විශ්වාස කරන්නේ පුරාණ සිංහල රජ සමයේ සිට ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාර ‘බත්‘ වන නිසා බත් ලබා දෙන වී වැදගත්ම ආර්ථික කටයුත්ත බවත්ය.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කුල ධුරාවලිය තුළ ඉහළම ප්‍රතිශතය නියෝජනය කරන සහ දේශපාලන හා සංස්කෘතික බලාධිපත්‍ය දරන ‘ගොවිගම කුලය‘ වී වගාවේ කේන්ද්‍රියභාවය අත්පත් කර ගෙන සිටීම, සිංහල රජ දවස ඉදිකළ දැවැන්ත වැව් අමුණුවල සිට 17 වන සියවසේ මෙරට ප්‍රචලිතව පැවැති බව කියන, රෝබට් නොක්ස් විසින් උපුටා දක්වන ලද ‘මඩ සෝදාගත් කළ ගොවියා රජකමට පවා සුදුසුය‘ යන කියමන දක්වා ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලන හේතු වී වගාව මෙරට ප්‍රමුඛම භෝගය, නැතහොත් දේශපාලන භෝගය වීමට හේතු වී ඇතැයි සැලකිය හැකිය.

එහෙත් ප්‍රශ්නය වන්නේ පසුගිය දීර්ඝ කාලය පුරාම වී සහ සහල් සම්බන්ධයෙන් බරපතළ සමාජ – දේශපාලන සංකීර්ණයක් වර්ධනය වීමය. වී වගාවේ නියුතු ගොවියා ලංකාවේ අඩුම ආර්ථික ශක්තියක් ඇති පුද්ගලයා බවට පත්ව ඇති අතර වී නිෂ්පාදනය ඉහළ ගිය විට වී විකුණාගත නොහැකි බවට ගොවීන්ගෙන් වැසිලිවි ඉදිරිපත් වන අතර සහල් මිල ඉහළ ගිය වහාම ‘සහල් මිල ඉහළ යැයි‘ පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි නැගීම ද සුලභව දැකිය හැකිය.

ඒ සමග වෙනත් කිසිම ආර්ථික කර්මාන්තයක නැති ‘මාෆියාවක්‘ වී සහ සහල් වෙළෙදපොළ වටා භ්‍රමණය වන බවට මතයක් ද දේශපාලන සහ මාධ්‍ය බලවේග විසින් නිර්මාණය කර ඇති නමුත් කිසිම රජයක් එකී සහල් මාෆියාවට එරෙහිව ක්‍රියාත්මක නොවීම ද සුවිශේෂත්වයක් වශයෙන් සැලකිය හැකිය.

මේ සියලු කතා සහ සංකීර්ණතා නිර්මාණය වන්නේ වී වගාව විසින් දළ දේශීය නිෂ්පාදිතයට 0.7%ක දායකත්වයක් ලබා දෙමින් තිබියදී ( ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2019) සහ පවුලක සාමාන්‍ය මාසික සහල් පාරිභෝජනය (2016) කිලෝ 33.1කට පමණ සීමාවී තිබියදී වීම විශේෂත්වයකි. – මෙම අගය 2009/10 දී කිලෝ 36.3කි – සංඛ්‍යා ලේඛන අත්පොත, 2018, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවව)

දේශීය සහල් පාරිභෝජනයේ ප්‍රවණතා හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික හා පෝෂණ විශේෂඥයින් පවසන්නේ පසුගිය දශකය තුළ සහල් පාරිභෝජනයේ සිදු වූ ප්‍රවණතා අනුව 2020 වන විට මෙරට සාමාන්‍ය සහල් පාරිභෝජනය මාසිකව කිලෝ 30 දක්වා පමණ අඩුවිය යුතුව ඇති බවත් පවුලක සාමාන්‍ය පාරිභෝජන වියදමෙන් 03-4%ක් පමණක් නියෝජනය කරන සහල් සම්බන්ධයෙන් මෙතරම් ප්‍රබල දේශපාලන හා මාධ්‍ය අවධානයක් යොමු වීම අනවශ්‍ය බවත්ය.

සහල් පාරිභෝජනය සම්බන්ධයෙන් මෙවැනි පැහැදිලිතා තිබියදී (එනම් සහල් පාරිභෝජනය අඛණ්ඩව පහළ යාම) වී තව දුරටත් මෙරට දේශපාලන භෝගය බවට පත්ව ඇති අතර කිසිදු ආර්ථික විද්‍යාත්මක න්‍යායකින් පැහැදිලි කළ නොහැකි සංකීර්ණතා රැසකට ද හේතු වී ඇත.

උදාහරණයක් ලෙස නිෂ්පාදකයා (වී ගොවියා) සහ පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයම එකම අවස්ථාවක ආරක්ෂා කිරීමට (වී ගොවියාට ඉහළම මිලක් සහ පාරිභෝගිකයාට අවම මිලකට සහල්) රජයට සිදුව ඇති අතර ඒ සමග විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක වන මෙරට වෙළෙදපොළ යාන්ත්‍රණය තුළ ‘සහල්‘ සම්බන්ධයෙන් සුවිශේෂ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ද රජයට සිදුව ඇත.

ඒ සමග නිෂ්පාදනයේ (වී සහල් බවට පත් කිරීම) අවම අදියර සහ එහි පිරිවැය ගැන කිසිදු තැකීමක් දේශපාලන, නිලධාරී සහ මාධ්‍ය සමාජය තුළ දැකිය නොහැකි අතර එය නිතර නිතර ‘වී/සහල් මාෆියාවක්‘ ලෙස ලඝු කිරීම හෝ මිල පාලන ගැසට් නිවේදන දක්වා පමණක් ගමන් කර ඇත.

මේ සියලු සංකීර්ණතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය සහ එහි ධාරිතාව ගැන සමාජය තුළ බරපතළ සැකසාංකා නිර්මාණය වී ඇති අතර රජය විසින් (ශ්‍රී ලංකා මහ බැංකුව) වාර්ෂිකව හා කාර්තුමය වශයෙන් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත හා ප්‍රවණතා ගැන විශ්ලේෂණ ද බරපතළ සැකයට ලක්ව ඇත.

ඔවුන් ඊට හේතු වශයෙන් දක්වන්නේ සහල් පාරිභෝජනය අඛණ්ඩව පහළ යමින් තිබියදී වී නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ යමින් තිබෙන්නේ නම් ( නියග – ගංවතුර වැනිස්වභාවික ව්‍යවසනවලදී හැර) රට තුළ සහල් හිගයක් ‘න්‍යායිකව‘ නිර්මාණය විය නොහැකි බවයි.

මේ තත්ත්වය තුළ වී නිෂ්පාදනය සහ සහල් වෙළෙදපොළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ‘නිල වාර්තා‘ උපුටා දැක්වීමට අප සූදානම් වන අතර කතාවේ යථාර්තය ගැන විමසා බැලීම පාඨකයින්ට ම භාරදීමට සිදුව ඇත.

වී වගාවේ සහ සහල් නිෂ්පාදනයේ මැත කාලීන ප්‍රවණතා

2018/19 මහ කන්නයේ දී වාර්තා වූ ඉතා සරු අස්වැන්නත් සමග 2019 වසෙරේදී වී නිෂ්පාදන කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. ඒ අනුව, වී නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 2019 වසරේදී මෙටි‍්‍රක් ටොන් මිලියන 4.6ක් දක්වා සියයට 16.9කින් ඉහළ ගියේය.

වසර තුළ අස්වනු නෙළන ලද ශුද්ධ භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 957,596ක් දක්වා සියයට 8.3 කින් ඉහළ ගිය අතර, සාමාන්‍ය ඵලදාව 2018 වසරේදී වාර්තා වූ හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 4,443ක සිට 2019 වසරේදී හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 4,795ක් දක්වා ඉහළ ගියේය.

2019 වසරේදී මෙම අස්වැන්න ඉහළ යෑම, යල කන්නයේ නිෂ්පාදනය පහත වැටීම මධ්‍යයේ වුවද, 2018/19 මහ කන්නයේ නිෂ්පාදනය වර්ධනය වීමේ ප‍්‍රතිඵලයක් විය. 2018/19 මහ කන්නයේ වී නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් මිලියන 3.0ක් වූ අතර, එය පසුගිය මහ කන්නයේ නිෂ්පාදනය හා සැසඳීමේ දී සියයට 28.2ක වර්ධනයකි.

පසුගිය දශක හතරක කාලපරිච්ඡේදය තුළ කන්නයකදී වාර්තා වූ ඉහළම වී නිෂ්පාදනය 2018/19 මහ කන්නයේ දී වාර්තා විය. 2018 වසරේ අග භාගයේ දී ඇති වූ හිතකර වර්ෂාපතනය හේතුවෙන් ප‍්‍රධාන වශයෙන් වී නිෂ්පාදනය කරන ප‍්‍රදේශවල වගා කරන ලද ඉඩම් ප‍්‍රමාණය ඉහළ යෑම සහ හෙක්ටයාරයක සාමාන්‍ය අස්වැන්න ඉහළ අගයක් ගැනීම මහ කන්නයේ නිෂ්පාදනයේ සැලකිය යුතු ඉහළ යෑමට හේතු විය.

2018/19 මහ කන්නය තුළ දී අස්වැන්න නෙළා ගන්නා ලද භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 647,243ක් දක්වා සියයට 16.2කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. පසුගිය වසරෙඣ මහ කන්නයේ දී හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 4,302ක් වූ අස්වැන්නේ සාමාන්‍යය 2018/19 මහ කන්නයේ දී හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 4,747ක් දක්වා සියයට 10.3කින් ඉහළ ගියේය.

මේ අතර, 2018 යල කන්නය හා සැසඳීමේ දී 2019 යල කන්නයේ වී නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් මිලියන 1.5ක් දක්වා සියයට 0.9කින් සුළු වශයෙන් පහත වැටීමට ප‍්‍රධාන වගා ප‍්‍රදේශවල
ඇති වූ නියං තත්ත්ව හා පලිබෝධ හානි බොහෝ දුරට බලපෑවේය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස, 2019 යල කන්නයේ දී අස්වනු නෙළන ලද භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 310,353ක් දක්වා සියයට 5.2කින් අඩු විය. කෙසේ වෙතත්, 2018 යල කන්නයේ දී හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 4,683ක් වූ වී අස්වැන්නේ සාමාන්‍යය, 2019 යල කන්නයේ දී හෙක්ටයාරයකට කිලෝග‍්‍රෑම් 4,896ක් දක්වා සියයට 4.5කින් ඉහළ ගියේය.

මහ හා යල දෙ කන්නයෙහිම වාර්ෂික වී නිෂ්පාදනය, සහල් මෙටි‍්‍රක් ටොන් මිලියන 2.9කට සමාන වනු ඇති අතර, එය දළ වශයෙන් මාස 14ක දේශීය සහල් ඉල්ලූම සපුරාලීමට ප‍්‍රමාණවත් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

විවෘත වෙළඳපොළේ වී මිල ගණන් වසරේ මුල් භාගයේ දී පහළ මට්ටමක පැවතුන ද, දෙවන භාගය තුළ මිල ඉහළ යෑමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබුුණි.

2019 වසර තුළ දී සම්බා සහ නාඩු ප‍්‍රභේද සඳහා වී මිලදී ගැනීමේ සහතික මිල ගණන්, පිළිවෙලින්, කිලෝග‍්‍රෑමයකට රුපියල් 41.00ක් සහ රුපියල් 38.00ක් විය. 2018/19 මහ කන්නයේ දී ඉහළ ගිය වී සැපයුම හේතුවෙන් වසරේ මුල් භාගයේ දී වී සඳහා ගොවිපොළ මිල පහළ මට්ටමක පැවතිණි. කෙසේ වෙතත්, 2019 වසරේ අවසාන භාගයේ දී වී නිෂ්පාදනය කරන බොහෝ ප‍්‍රදේශයන්හි සියලූ වී ප‍්‍රභේදවල මිල ගණන් ඉහළ යෑමට මූලිකවම බලපානු ලැබුවේ විවෘත වෙළඳපොළේ තරගකාරී මිල ගණන් යටතේ පෞද්ගලික මෝල්කරුවන් විසින් වී මිලදී ගැනීම වැඩි කිරීම සහ 2019 යල කන්නයේ වී සැපයුම සීමිත වීමය.

සමස්තයක් ලෙස, සම්බා වී සඳහා සාමාන්‍ය මිල, 2018 වසරේදී වාර්තා වූ කිලෝග‍්‍රෑමයකට රුපියල් 51.04 සිට 2019 වසරේදී කිලෝග‍්‍රෑමයකට රුපියල් 42.78ක් දක්වා පහළ ගිය අතර, නාඩු වී සඳහා සාමාන්‍ය මිල 2018 වසරේදී පැවති කිලෝග‍්‍රෑමයකට රුපියල් 40.17 සිට 2019 වසරේදී කිලෝග‍්‍රෑමයකට රුපියල් 43.01ක් දක්වා ඉහළ ගියේය. වසර තුළ දී වී මිල ගණන්වල වෙනස්වීම්වලට අනුරූපව සම්බා සහල්වල සාමාන්‍ය සිල්ලර මිල ගණන් කිලෝග‍්‍රෑමයකට රුපියල් 102.29ක් දක්වා සියයට 6.4කින් පහළ ගිය අතර, නාඩු සහල්වල සාමාන්‍ය සිල්ලර මිල ගණන් කිලෝග‍්‍රෑමයකට රුපියල් 93.48ක් දක්වා සියයට 1.7කින් ඉහළ ගියේය.

ඉතා සරු අස්වැන්නත් සමග 2019 වසරේ දී සහල් ආනයනය පසුගිය වසරට වඩා සියයට 90.3කින් සැලකිය යුතු ලෙස පහළ ගියේය. ඒ අනුව, 2019 වසරේ දී සහල් ආනයනය පසුගිය වසර තුළ ආනයනය කළ මෙටි‍්‍රක් ටොන් 248,901 සිට මෙටි‍්‍රක් ටොන් 24,193ක් දක්වා පහත වැටුණේය.

කෙසේ වෙතත්, වසර අවසානය වන විට පෞද්ගලික අංශයෙන් වෙළඳපොළට සහල් සැපයීම සීමාසහිත වීම සහල් සිල්ලර මිල ගණන් ඉහළ යෑමට හේතු විය. එම නිසා, වී අලෙවි මණ්ඩලයේ ධාන්‍යාගාරවල ගබඩා කර තිබූ මෙටි‍්‍රක් ටොන් 40,000ක පමණ වී තොග සහල් බවට පත්කර ලංකා සතොස සමාගම හරහා වෙළඳපොළට ලබා දී සහල් මිල ස්ථාවර කිරීමට රජය විසින් පියවර ගන්නා ලදි.

එපමණක් නොව, පාරිභෝගිකයින් පීඩාවට පත්කරමින් සහල් මෝල් හිමියන් සහ වෙළදුන් අධික ලෙස ලාභ ඉපයීම වැළැක්වීමේ අරමුණින් සම්බා සහල් සහ නාඩු සහල් සඳහා කිලෝග‍්‍රෑමයට රුපියල් 98.00ක උපරිම සිල්ලර මිලක් පැනවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. කෙසේ වෙතත්, කීරී සම්බා සහ සූදරු සම්බා වැනි විශේෂ සහල් වරඣග සඳහා මෙම උපරිම සිල්ලර මිල අදාළ වූයේ නැත.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2019, පිටුව 66-68

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *