සේනා මර්ධනයට සියලු බලමුළු කැදවා අවසන් – කෘෂිකර්ම ඇමැති

මේ වනවිට ආරම්භ වී ඇති මහ කන්නයේ බඩඉරිඟු වගාවට යළි සේනා දළඹු උවදුරින් සිදුවන හානිය වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මේ පිළිබඳව පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ඇතුළු අදාළ නිලධාරින් පසුගිය සතියේ සිට ගොවිබිම් වෙතම ගොස් මේ පිළිබඳව කරුණු සොයා බැලීමට කටයුතු කළ බවයි. 

අම්පාර, මොනරාගල, අනුරාධපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මෙම බලපෑම් වැඩි වශයෙන් වාර්තාවන අතර, එය පාලනයට යොදා ගන්නා “එන්ජිවි වෛයිරසය” ක්ෂේත්‍ර නිලධාරින් මඟින් ගොවි ජනතාව වෙත ලබා දීමට මේ වනවිටත් පියවර ගෙන තිබෙන බවත් එසේම සේනා දළඹු උවදුරෙන් හානිවූ වගා බිම්වල තක්සේරු කටයුතු ද අදාළ ප්‍රදේශවල ක්ෂේත්‍ර නිලධාරින්ට කඩිනමින්, ප්‍රායෝගිකව, සාධාරණව සිදු කරන ලෙස උපදෙස් දී ඇති බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 

සේනා දළඹු උවදුර පාලනය සඳහා සියලුම පළාත් සභාවලට රුපියල් ලක්ෂ 60ක් ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා දැනටමත් මෙම උවදුරෙන් ගොවියා රැක ගැනීමට ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය.

නිවැරදි තක්සේරුවකින් අනතුරුව වගා හානි සඳහා සියලුම වන්දි නියත වශයෙන්ම ගොවි ජනතාවට ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 

කන්නය අවසානයේ තක්සේරුවෙන් පසු මාසයක් තුළ සියලු ගොවීන්ට එම වන්දි මුදල් හිමිවන නව ක්‍රමවේදයක් කාෂි රක්ෂණ මණ්ඩලය හරහා දැනටමත් හඳුන්වා දී බව කී අමාත්‍යවරයා නතර කර තිබූ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත පණගන්වා ගොවියාට සාධාරණය ඉටු කිරීමට රජය මේ වනවිටත් පියවර ගෙන අවසන් බවද සඳහන් කරයි. 

වන්දි ගෙවීම, තක්සේරු කිරීමේ ගැටළු, වගා හානිය තුළ වූ ගොවි ගැටළු, කෘෂිකර්ම අමාත්‍යාංශයට, කෘෂි රක්ෂණ මණ්ඩලයට මෙන්ම තමා වෙතද දැනුම් දීමට පියවර ගන්නා ලෙසද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *