පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න ඕනේ නෑ…අපිට ඩීල් දාන්න ඕනෙත් නෑ -ජනපති

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ, ප්‍රහාරයට සම්බන්ධ සමහර දේශපාලනඥයින්ගේ නම් ඇතුළත්ව නැතැයි පසුගිය දිනක මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 14 වන අදියර අද පැවැත්වුණේ ගාල්ල, හික්කඩුව, ගලගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂය විසින් එල්ල කරන චෝදනා පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“කොමිෂන් සභා වාර්තාව පාස්කු ඉරිදා. මේකේ හැමතැනම තියෙන්නේ පසුගිය රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිදු තැකීමක් කළේ නෑ ඒකයි මේ පහරදීමට හේතුව. ඇත්ත අපේ රජය යටතේ බෙදුම්වාදී අන්තවාදයට හෝ ඉස්ලාම් ආගම්වාදී අන්තවාදයටවත් අපි ඉඩදෙන්නේ නෑ. සමහර අය රජයක් හැටියට ඒවා අතපසු කරලා දැන් උත්සහ කරනවා හිටපු ජනාධිපතිවරයාට විතරක් මේක පටවන්න.ආණ්ඩුවක් හැටියට පැහැදිලිවම පෙන්වලා දීලා තියෙනවා රජය කොහොම ද මේක රාජ්‍ය ආරක්ෂාවට නිසි තැන දුන්නේ නැත්තේ, කියන කාරණය. ඒ අය ඔක්කෝම වගකියන්න ඕනේ. කාදිනල්තුමා මේ ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා. සමහර දේශපාලනඥයින් මේකට සම්බන්ධ අයගේ නම් මේකට ඇවිල්ලා නෑ කියලා. අපි ඒ අය ගැනත් සොයා බලනවා. හැබැයි ඔය කියන දේශපාලනඥයින් අපිත් එක්ක නෑ. මාව බලයට ගේන්නවත්, අපේ රජය බලයට එන්නවත් ඔය කියන දේශාපලනඥයෝ අපිට උදව් වුණේ නෑ. ඒ අය ඉන්නේ විරුද්ධ පක්ෂයත් එක්ක. අපිට අවශ්‍ය නෑ කිසිම කෙනෙක් සම්බන්ධ නම් ඒ අය ආරක්ෂා කරන්න. අපිට කිසිම අවශ්‍යතාවයක් නෑ. අපිට ඩීල් දාන්න අවශ්‍යතාවයක් නෑ. මේකේ පැහැදිලිවම කියලා තියෙනවා “X ලෙස සලකුණු කරලා ඇති ලියකියවිලි රජයේ බුද්ධි අංශ හරහා ලබාගත් තොරතුරු වර්ගීකරණය කොට දක්වා ඇති බව ඔබ තුමාගේ අවධාරණය යොමුකරමු. තවත් බුද්ධි අංශ හා බුද්ධි තොරතුරු ඇතුළු ජාතික ආරක්ෂාවට අදාළ සාක්ෂි, සාක්ෂිකරුවන් විසින් ලබාදෙන විට රහසිගතව ලබා ගන්නා ලදී. වාර්තාව ප්‍රසිද්ධ කිරීමට තීරණය කිරීමට පෙර එම කරුණු පිළිබඳ සලකා බැලිය යුතු යැයි අපි ඉතා ගෞරවයෙන් නිර්දේශ කරමු.“ඒක ජාතික ආරක්ෂාව ඒකට නඩු දාන්න අවශ්‍ය දේවල් නෙමෙයි. නමුත් මම පැහැදිලිව කිව්වා මේවා ප්‍රසිද්ධ කරන්න එපා. මේවා නඩු දාන්න අවශ්‍ය නම් පාවිච්චි කරන්න කියලා නීතිපතිවරයාට භාරදුන්නා. ඒ ගැනත් මම දැක්කා බොරු ප්‍රචාර කරලා තිබුණා.“ 

ගලගොඩ ජනපද කනිටු විදුහල් භූමියට පැමිණි ජනාධිපතිවරයා එහිදි ජනතාව ඇමතීමෙන් පසුව ජනතාව විසින් සිය ගැටලු ද ඉදිරිපත් කළේය.

ජනතාව –
ඌරවත්ත ධීවර නිවාස සංකීර්ණය. පවුල් තුන්සිය ගාණක් තියෙනවා. දැන් අවුරුදු 20ක් වගේ වෙනවා. ඒවා දැන් සහමුලින්ම දිරාපත් වෙලා.

රාජ්‍ය නිලධාරියෙක් – 
ජනතාව කියන එක හරි. ධීවර අමාත්‍යාංශය යටතේ පවරාගත් ඉඩමක මේ නිවාස සංකීර්ණය හදලා තියෙන්නේ.

ජනාධිපති –
නිවාස අධිකාරියට පවරා දෙන්න. එතකොට මම නිවාස අධිකාරියට කියන්නම් ඒවා පුනරුත්ථාපනය කරලා දෙන්න කියලා.

ජනතාව –
ජනාධිපතිතුමනි, ඔප්පු ලබාදෙන්න කියලා ඉල්ලනවා.

ජනාධිපති – 
මේවට ඔප්පු ලබාදීලා අලුත්වැඩියා කරන්න. මහින්ද ජනාධිපතිතුමා මුලින්ම ධීවර ඇමතිවරයා වශයෙන් කරපු ව්‍යාපෘතියක්. ඒ හින්දා අලුත්වැඩියා කරලා දෙන්න. 

ජනතාව –
මේ ප්‍රශ්නය අදාළ වෙන්නේ බූස්ස, පිටිවැල්ල සහ කදුරුපේ කියන ග්‍රාම නිලධාරි කොට්ඨාස තුනට. මේ ප්‍රදේශයේ තියෙනවා පුරන් කුඹුරු යායක්. වතුර හොඳට පිරිච්ච හෙලක්. හුංගා, කාවයියා, ලූලා, මගුරා ඔය ඕනතරමක් මාළු ඉන්නවා. කොළඹ ලස්සන පරිසරයක් හැදුවා වගේ මේ ප්‍රදේශය හොඳට හාරලා ජලාශයක් කරලා මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට අදාළ විදිහට ඒක ලස්සනට හදලා දුන්නොත් ප්‍රදේශයට ඉතාම වටිනවා.

ජනාධිපති –
පහත් බිම් එකෙන් කරන්න පුළුවන්. 

ජනතාව –
ඇවිදින මංතීරු දාලා ලස්සන සංචාරක පුරවරයක් කරන්න පුළුවන්.

නිලධාරියෙක් –
අපි ගිහිල්ලා බැලුවා. සමීක්ෂණයක් කරලා ව්‍යාපෘති වාර්තාවක් හදනවා. 

ජනාධිපති –
ඉක්මනට හදන්න. ඔයා පොඩ්ඩක් මේ කට්ටියත් එක්ක සම්බන්ධ වෙන්න. ඔහොම අය ඉන්නවනම් ටක්ගාලා දියුණු කරන්න පුළුවන් රට.

“ගම සමඟ පිළිසඳර” වැඩසටහනට සමගාමිව ගලගොඩ ජනපද කනිටු විදුහලේ ස්ථාපිත කරන ලද නව සුහුරු
පංති කාමරයද  ජනාධිපතිවරයා මෙහිදි සිසු අයිතියට පත්කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *