පොළිය වසරට 40%-365%ක් – පවුල් 50,000ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවෙලා

අතමාරුවට හදිසියකට අනුන්ගෙන් ණයට ගැනීම මෙරට ජනතාව අතර නිතර දක්නට ලැබෙන්නකි. එය විවිධ තරාතිරම්වලදී දක්නට පුළුවන. එවැනි කුඩා මිල මුදල් අවශ්‍යතා ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා වශයෙන් හැඳින්වේ. එහෙත් එසේ සඳහන් කළ විට කෙනකුට මේ පිළිබඳ හරිහැටි නොවැටහෙන්නට පුළුවන. එසේම, සමාජ‍යේ බොහෝ දෙනකුට එය ආගන්තුක නොවේ.

බොහෝ දෙනකු එදිනෙදා අතමාරුවට අවිධිමත් අයුරින් පොලී අනුපාත පිළිබඳ ද නොවිමසමින් මුදල් ණයට ගනිති. ගම්බදව පමණක් නොව නාගරිකව ද එය දක්නට පුළුවන. එහෙත් අවසානයේදී කන, කර ආභරණ, ගේ දොර ඉඩකඩම් පමණක් නොව ඇතැම් විට ජීවිතවලින්ද වන්දි ගෙවීමට ඒ ක්ෂණික ගනුදෙනුව හේතු වනු ඇතැයි බොහෝ දෙනකු සිතන්නට පෙලඹෙන්නේ නැත.

ජාතික වශයෙන් එහි බලපෑම දැඩි වීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශය යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මහජනතාවගේ ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීම සහ ඒ හා සම්බන්ධ ගැටලුවලට ස්ථිර පිළියම් යෙදීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශය භාර අධ්‍යක්ෂ එස්. ඒ. එස් වික්‍රමසිංහ මහතා සමඟ කළ කතාබහකි මේ.

බොහෝ දෙනකු මෑතක සිට වැඩි පොලියක් දෙනවායැයි කියන සමාගම් සමඟ ගනුදෙනු කිරීමට පෙලඹී සිටිනවා. ඒ ඇයි?

ලෙඩකට හෝ දුකකට ඉක්මන් මුදල් අවශ්‍යතාවක් ඇතිවූ විට බොහෝ දෙනා පොලිය ගැන විමසන්නේ නැතිව පහසුම කෙනාගෙන් ණයක් ලබා ගන්නයි පෙලඹෙන්නේ. දවස් ණය, සති ණය, මාස් ණය වශයෙන් සරලව හැඳින් වුවත් ඒ තුළ සැඟවුණු පොලිය පිළිබඳ හුඟ දෙනකුට හරි වැටහීමක් නැති වග පෙනෙනවා. පොලිය දවසට 1%ක් බවට හඳුන්වා දුන්නත් අවුරුද්දකට එය 365%ක්. ඒ වුණත් රැයක් දහවලක් කියා වෙනසක් නැතිව මොන විදියකින් හරි මුදල් හදිසිය ඉක්මනින් විසඳා ගන්නයි හුඟ දෙනෙක් උත්සාහ කරන්නේ. ඒ වග එදිනෙදා ණයට අනුන්ට මුදල් දීමට පෙලඹුණු තැනැත්තන් හා එම ආයතන හොඳින් වටහාගෙන සිටිනවා.

ඒ අයුරින් ජනතාවට 40% සිට 330%ටත් වඩා වැඩි පොලියට මුදල් ණයට දීමේ ක්‍රියාවලියක් ඇතැම් පුද්ගලයන් හා ආයතන හරහා මෙරටින් හඳුනා ගැනීමට පුළුවන්. තනි පුද්ගලයන් පමණක් නොව එතරම් ඉහළ පොලී අනුපාත අයකරන ඇතැම් මූල්‍ය ආයතන ක්‍රියාත්මක වන බවත් හෙළිවී තිබෙනවා. ඒවා නිසා අගතියට පත්වූ තැනැත්තන් බොහොමයක් පිළිබඳ නිතර අසන්නට ලැබෙනවා. රට පුරා පවුල් 50,000ක් පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවී ඇතැයි අප මේ වන විට හෙළිකරගෙන තිබෙනවා. නැඟෙනහිර පළාතේ මඩකළපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල වැඩි පිරිසක් මේ නිසා විවිධ අර්බුදවලට මුහුණ දෙන බවත් අපට දැනගන්නට ලැබී තිබෙනවා. එපමණක් නොවෙයි. පුත්තලම, පොළොන්නරුව, මහනුවර, මාතලේ දිස්ත්‍රික්වලත් සැලකිය යුතු පිරිසක් ඉහළ පොලියට ණය ලබා ගෙන ඒවා ගෙවාගත නොහැකිව අසරණව සිටින අයුරුත් අපට පෙනී ගියා. උතුරු පළාතෙනුත් මේ හා සම්බන්ධ සිද්ධි මාධ්‍ය හරහා දක්නට ලැබෙනවා.

මේ අර්බුදවලින් ජනතාව බේරා ගන්නේ කොහොම ද?

මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම එහිදී ඉතා වැදගත්. දැනටමත් අනුරාධපුරය, කුරුණෑගල දිස්ත්‍රික්කවල පැවැත්වූ සම්මන්ත්‍රණවලදී අපට ඒ දැනුම සරලව ජනතාවට දීමට හැකි වුණා. රට පුරාම ඒ වැඩසටහන් මේ වසර තුළදී පවත්වා හමාර කරන්නට බලාපොරොත්තු වෙනවා. සමස්ත සමාජයම මේ උගුලෙන් ගලවා ගත හැකි වන්නේ මේ පිළිබඳ සියලු දෙනා හරිහැටි දැනුවත් වුවහොත් පමණයි. රටක ආර්ථිකයට එරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉතා වැදගත්. ඉදිරියේදී මූල්‍ය සාක්ෂරතාව පාසල් විෂයයට ඇතුළත් කිරීමට නියමිත වන්නේත් ඒ නිසයි. ඒත් උපයන දේ කළමනාකරණයට තවමත් අපේ රටේ හුඟ දෙනෙක් හුරුවී නොසිටීමයි ගැටලුව. වැඩිපුර මේ උගුලේ පටලැවී සිටින්නේ කාන්තාවන් බවත් කිව යුතුමයි. අප කටයුතු කරන්නේ ඒ සියල්ලන්ටම සහන සැලසීමටයි. දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂවරු යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

මොකක් ද ඒ අලුත් වැඩපිළිවෙළ?

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන විෂයයන්ට වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙනවා. අප දැනටමත් මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට සම්මන්ත්‍රණ පවත්වා හමාර කළ දිස්ත්‍රික්කවලදී ඉතා අඩු පොලියකට ඉක්මනින්ම කුඩා ප්‍රමාණයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ජනතාවට දැන් වැඩිපුර ඉඩ ප්‍රස්ථා ඇතිකර තිබෙනවා. ඒ අනුව 7% වාර්ෂික පොලියට බැංකුවලින් කුඩා ප්‍රමාණයේ ණය සැපයෙනවා. තවදුරටත් වර්ෂයකට 4% තරම් අඩු පොලියට ව්‍යවසායකත්ව ණය යෝජනා ක්‍රම හඳුන්වාදීම හරහා ස්වශක්තියෙන් නැඟී සිටින්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතාවට දිරි දීමට සූදානමින් සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ජනතාවට පැහැබර හෙටක් උදා කිරීමේ පරමාර්ථයෙන් සද්භාවයෙන් යුතුවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ කඩිනම් වැඩසටහනට උරදී සිටින්නේ. ඒ අනුව දැනටමත් මෙරට ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතාවලින් 50%ක් පමණ අප සපුරාලනවා.

මුළු රටේම ඉතුරුම් තැන්පතුවලින් 30%ක් පමණ පවතින්නේ සමෘද්ධි බැංකු පද්ධතියේ. ඒ අයගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමෙන් ණය ලබා ගැනීම හා ඒවා නැවත ගෙවීමත් ඉතුරුම් ආයෝජනය ආදිය පිළිබඳ දැනුම්වත් කෙරෙනවා. මේ යටතේ එකවර රුපියල් මිලියන 9000ක් පමණ ගමට යෑමෙන් ඒ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා කඩිනමින් ඉටු වෙනවා. මෙරට සමෘද්ධිලාභින් ලක්ෂ 18කට ආසන්න ගණනක් සිටිනවා. ඉන් 80%ක් පමණ කාන්තාවන්. එය සුවිශේෂයි. ඒ පවුලේ සියල්ලන් සමඟ එක්ව එහි දියුණුවට මුල්වී කටයුතු කරන්නී ඇය නිසයි. ඊට අමතරව රටපුරා පිහිටි සමෘද්ධි බැංකු 1073කට මහ බැංකුව හරහා තවත් අරමුදල් ඉදිරියේදී අපට ලැබෙන්නට නියමිතයි. ඒ වගේම, ප්‍රජා මූල සංවිධාන 3211ක් අප සතුයි. මේ වර්ෂය තුළ ඒ සියලු ප්‍රජා මූල සංවිධානවලට තම තමන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා තමන්ටම සම්පූර්ණ කර ගැනීමේ හැකියාව මේ හරහා ලැබෙනවා. එයින් විශේෂ අවධානයක් ජනතාවගේ ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමට යොමු කෙරෙනවා.

සමෘද්ධි නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ඒ කටයුතු ක්‍රියාත්මකයි. රුපියල් 2000 සිට 10,000 දක්වා ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා ඒ අනුව මසකට 1% පොලියට පිරිමසා ගැනීමට දැන් ජනතාවට පුළුවන්. ඊට තවත් පහසුකම් වැඩි කර තිබෙනවා. ඒ අනුව, කලින් ණයක් ලබා ගැනීමට නම් මාස 3ක් සාමාජිකයකු වශයෙන් සිටිය යුතු වුණා. දැන් ඒ කාලය සති 2ක් දක්වා අඩු කර තිබෙනවා. එකල ආරම්භක ණය වශයෙන් දුන්නේ රුපියල් 50,000යි. එය දැන් 100,000 දක්වා වැඩි කෙරුණා. සමෘද්ධි බැංකු පද්ධතියෙන් 7% පොලියට ප්‍රජා මූල කණ්ඩායම් ඇප මත රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 10දක්වා ව්‍යවසායකත්ව ණය දෙනවා.

එසේම, සමෘද්ධි බැංකු සමිති 331ක් හරහා රුපියල් ලක්ෂ 20ක් දක්වා ණය නිකුත් කෙරෙනවා. දේපළ ආදී ඇප අවශ්‍ය වන්නේ ඊටත් වැඩි නම් පමණයි. මේ යටතේ දවසේ ඕනෑම වේලාවකදී තමන්ගේ ගමේ අසල්වාසි ප්‍රජා මූල සංවිධාන නායකයා හමුවී ඉතා අඩු මාසික පොලියකට අතමාරුවට ණයක් ලබා ගැනීමේ හැකියාව දැන් පවතිනවා. එමෙන්ම, සමෘද්ධිලාභියාට මුදල් ඵලදායීව වියදම් කරන විදියත් අපි කියා දෙනවා. ඒ සඳහාත් අපි ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළු රටපුරා පවත්වනවා. ඒ සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා ඉදිරි කටයුතු කෙරෙනවා.

ඒත් ලාභ ලැබීමත් අවශ්‍යයි නේද?

පැහැදිලිවම. ඒත් ඒ ප්‍රශස්ත ලාභයක් විය යුතුයි. අපේ ප්‍රමුඛ ඉලක්කය ජනතාවට සලසන සේවාවයි. දුප්පත් ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමේ රජයේ ඉලක්කය ඊට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති වලට එකඟවයි අප කටයුතු කරන්නේ. එහිදී මුදල් අමාත්‍යාංශය ඇතුළු සෙසු රාජ්‍ය ආයතන නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව වැඩි මහජන සුබසිද්ධියක් සැලසෙන ආකාරයටයි අප තීන්දු තීරණ ගන්නේ.

එහෙමනම් ගිනි පොලීකරුවන් පහුබහියි නේද?

දැනටමත් ඒ හුඟ දෙනෙක් කලින් අය කළ ගිනි පොලිය 40% තරම් මට්ටමක පවත්වාගෙන යන බව පෙනෙනවා. ඉදිරියේදී එය තවත් අඩු නොවුණොත් මහජනතාව අතර පැවැත්මක් ඒ අයට නැති වෙයි. ඒ වග ඔවුන් හොඳින්ම දන්නවා. අනෙක ඒ අක්‍රමිකතා යළි ඇති නොවන්නට නීති රීති ඇති කිරීමටත් අවධානය යොමු කර තිබෙන වග අපට හඳුනා ගැනීමට ලැබෙනවා.

නුවන් මහේෂ් ජයවික්‍රම – දිනමිණ ඇසුරිණි

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *