කොළඹ වරාය නගරයේ සාමාන්‍ය මූල්‍ය වටිනාකම ලංකාවේ අවුරුදු දෙකක ආදායමටත් වඩා වැඩියි !

‘‘නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කොළඹ නගර සභා ප‍්‍රදේශයේ පර්චස් එකක් මිලියන 16ක් කියලා තක්සේරු කර තිබුණා. ඒ අනුව හෙක්ටයාර් 446ක වටිනාකම රුපියල් බිලියන 3000ක්. අවුරුද්දක රජයේ මුළු ආදායම 2020දී බිලියන 1,389යි. 2019දී රුපියල් බිලියන 1,889යි. ඒ කියන්නේ ලංකාවේ රජයේ වාර්ෂික ආදායමටත් වඩා වැඩි වටිනකමක් තිබෙන වත්කමක් ගැනයි අපි මේ කතා කරන්නේ‘‘ යැයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන අශෝක පීරිස් සඳහන් කරයි.

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නව මානයකින් අදහස් දැක්වූ අශෝක පීරිස් මහතා මෙසේද සදහන් කළේය,

“වරාය නගරයට අයත් භූමි ප‍්‍රමාණය ගැන නොයෙකුත් මත තියෙනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තු සිතියම් සහ අනෙකුත් සාධක පරීක්ෂා කළාම අවසාන වශයෙන් හෙක්ටයාර් 446ක් තියෙනවා. මේ භූමි ප‍්‍රමාණයේ වටිනාකම කොපමණ ද? නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කොළඹ නගර සභා ප‍්‍රදේශයේ පර්චස් එකක් මිලියන 16ක් කියලා තක්සේරු කර තිබුණා. ඒ අනුව හෙක්ටයාර් 446ක වටිනාකම රුපියල් බිලියන 3000ක්. අවුරුද්දක රජයේ මුළු ආදායම 2020දී බිලියන 1,389යි. 2019දී රුපියල් බිලියන 1,889යි. ඒ කියන්නේ ලංකාවේ රජයේ වාර්ෂික ආදායමටත් වඩා වැඩි වටිනකමක් තිබෙන වත්කමක් ගැනයි අපි මේ කතා කරන්නේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරු වශයෙන් අපි කවදාවත් නම්වත් අහලා නැති අය මේ ගැන කතාකරන්න පටන්ගෙන. කබ්රාල් කියන්නේ මේක හැරවුම් ලක්ෂයක් කියලා. මේකෙ තිබෙන වාසි අතිශයෝක්තියට නගලා තිබෙනවා. කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් තාමත් තිබෙන්නේ පනත් කෙටුම්පතක්. මේ කෙටුම්පත ඉදිරිපත් කළේ, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තිබෙන ඉඩකඩ අහුරලා. මේක ගැන ඇත්ත විවේචනයක් තිබෙන උදවිය සහ ඇත්ත විවේචන ආපස්සට හැරවීම සඳහා විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. රුපියල් බිලියන 3000ක වටිනාකමකින් යුත් මේ ඉඩමේ භාරකාරත්වය දීලා තිබෙන්නේ මේක ගොඩකළ සමාගමට. ඉඩමෙන් 10%ක විතර සුළු ප‍්‍රමාණයක් ශ්‍රී ලංකා රජයට පැවරෙනවා. ඉතිරි සියලුම භූමිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ගොඩකළ සමාගම.

මම ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් හැටියට අවුරුදු 05කට වැඩිකාලයක් හිටියා. ඒ නිසා ඉඩම් නීති රීති ගැන යම් අවබෝධයක් තිබෙනවා. මේ රටේ නීති රීති පෝට්සිටි බිම් තීරයට මේ කෙටුම්පත අනුව අදාළ වෙන්නේ නැහැ. හැබැයි ජනාධිපතිවරයා පත්කරන පස්දෙනෙකුට නොඅඩු හත්දෙනෙකුට නොවැඩි කොමිසමක් පත්කර මෙහි පාලනයට භාරදෙනවා. මේ කොමිසම අවතාර කොමිසමක්. මේ සාමාජිකයන්ගේ සුදුසුකම් පනත් කෙටුම්පතේ දක්වා නැහැ. අධ්‍යාපන සුදුසුකම්, ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනෑද කියන මූලික කරුණුවත් නැහැ. හිස් අවකාශයක් දීලා තිබෙන්නේ. ජනාධිපතිවරයාට ඕනෑ කෙනෙක් පත්කරන්න පුළුවන්.

මේ කොමිසම අවතාර කොමිසමක් කීවේ වැඩි බලය තිබෙන්නේ අයිතිකාර සමාගමට නිසයි. අධිකරණ ඇමතිවරයා, ප‍්‍රමුඛ කිහිපදෙනෙක් හැරුණු කොට, ආණ්ඩුවේ බහුතරයක් මේ ගැන නිශ්ශබ්දයි. රජයට සම්බන්ධ මේ පොදු ප‍්‍රශ්නය වරාය කොමිසම සම්බන්ධයෙන් වැඩියෙන් පෙනෙනවා. අනිත් අය නිහඬවෙලා ඉන්නේ ඇයි? ඒ ගොල්ලන්ගේ මතය රටට කියන්න. දේශප්‍රේමී සළුපිළි පොරවා ගත් ලොකු මහත්වරුන්ගේ මතය ජනතාවට කියන්න. ඒගොල්ලන්ට වුණත් බැලූ බැල්මට පෙනෙන කරුණු තිබෙනවා. ඒ තේරුණත් කටක් අරින්නේ නැහැ. මේ ආණ්ඩුවට එල්ලෙන්න තැනක් නැතිව දැන් මේක අල්ලාගෙන හැරවුම් ලක්ෂය හැටියට හඳුන්වනවා. ආයෝජකයින් පැමිණීමේ දර්ශකයේ ලංකාව ඉන්නේ 192වැනි තැන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ඉඳලා ආයෝජකයන් ගෙන්වා ගන්න ලොකු උත්සාහයක් ගත්තා. හම්බන්තොට වරාය ආශ‍්‍රිත කර්මාන්ත පුරය කියලා එකක් පටන් ගත්තා. ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වී සිටියදී ආයෝජකයන් කැඳවීමේ කමිටුවේ මමත් හිටියා. මාසයකට සැරයක් ආයෝජකයන් කැඳවීමේ දැන්වීම් දැම්මත් ආවේ නැහැ.

ඒවගේම ආයෝජකයන් කැඳවා ගන්න සූරියවැව ක්‍රිකට් ක්‍රීරඩාංගනය හැදුවා. නෙළුම් කුළුණ හැදුවා. පාවෙන ආපනශාලා හැදුවා. ඉතාම ආකර්ශනීය වචනවලින් හැඳින්වූවා. ව්‍යවසායකයන් ආවේ නැහැ. පෝට්සිටිය දැම්මා කියලා අමුතුවෙන් ආයෝජකයන් එන්නේ නැහැ. අතීත අත්දැකීම්වලින් පෙනිලා තිබෙන්නේ ආකර්ශනීය දේවල්වලට ව්‍යවසායකයන් ආවේ නැතිබව. ඒකට හේතුව ලංකාවේ දූෂණය සහ වංචාව. ආයෝජකයන් එනවා නම්, හැමතැනකටම සල්ලි බෙදන්න වෙනවා. කොරියන් සමාගම ලංකාවේ ගොල්ෆ් පිට්ටනියක් ගන්න ඇවිත් හැමතැනම රස්තියාදු වුණා. හැමකෙනෙක්ම කොමිස් මුදල් ඉල්ලූවා කියලා ඔහු මාත් සමග කීවා. පාලකයන්ගේ නෑදෑයන් සහ මිතුරන් සියලූ දෙනාම කොමිස් මුදල් ඉල්ලනවා. ඒ නිසා කබ්රාල් උන්නැහේ කියනවා වගේ ආයෝජකයන් එන්නේ නැහැ. ඒවා හීන. විවේචනය කරන උදවිය මේ ව්‍යාපෘතියට විරුද්ධව කතා කරනවා කියලයි ආණ්ඩුවේ අය චෝදනා කරන්නේ. අපි කියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ නීති රීතිවලට අනුව සිදුකරන ලෙසයි. ඒ හැර දැන් මේකට විරුද්ධව කටයුතු කළා කියලා වැඩක් නැහැ. මුහුද ගොඩකරලා ඉවරයි. මේ ප‍්‍රදේශය ව්‍යවස්ථානුකූල රටේ සාමාන්‍ය පරිපාලනයට යටත් ප‍්‍රදේශයක් බවට පත්කළ යුතුයි.”

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *