ජනපති මට බැණ වදිමින් තර්ජනය කළා – විජේදාස ‘මන්ත්‍රවරුන්ටත් මෙහෙම නම් පුරවැසියන්ට යන කළ කුමක්ද ?’ – අනුර කුමාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පරුෂ වචනයෙන් ඉතාමත් පහත් ආකාරයට කෝපයෙන් වෙව්ලමින් බැනවැදුනු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අද (16) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහු එහිදී සදහන් කළේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් ඊයේ (15) නාරාහේන්පිට අභයාරාමයේදී සිදුකළ කරුණු පැහැදිලි කිරීම නිසා ජනපතිවරයා උරණ වී සිටින බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (16) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කරමින් විමසා සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තර්ජනය කරනවානම් සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව තත්වය කුමක්ද? යනුයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් තර්ජනය කරනවානම් සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව තත්වය කුමක්ද?

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසුවේය.

“වරාය නගරය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර තිබෙන කොමිෂන් සභාව අපේ රටේ ව්‍යවස්ථාවට, අපේ රටේ ක්‍රියාත්මක නීති ගණනාවකට පටහැනිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මීට පෙරත් අප පෙන්වා දුන්නා. නගර සභා ආඥා පනත, ආයෝජන මණ්ඩල පනත, ක්‍රමෝපායික සංවර්ධන පනත ඇතුලු වැදගත් පනත් 07ක් වරාය නගර කොමිෂන් සභාවට ඇතුළත් වෙන්නේ නැහැ. ඊට අමතරව දේශීය ආදායම් බදු පනත, වැට් බදු පනත, ඇතුලු මුදල් පනත් ගණනාවක් සහ තවත් පනත් 14ක් මීට ඇතුළත් වෙන්නේ නැහැ. වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තුළ මෙම පනත් මුළුමනින්ම නිදහස් කිරීම හෝ අර්ධ නිදහසක් ලබාදීමට යෝජනා කර තිබෙනවා.

ඒ වගේම කිසිදු නගර සභාවකට, පළාත් සභාවකට හෝ අවම වශයෙන් කොළඹ දිස්ත්‍රික්කටවත් ඇතුලත් නොවුණ ප්‍රදේශයක් බවට පත්කර තිබෙනවා. අපේ රටේ යම් ප්‍රදේශයක් පාලනය කිරීම ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන නියෝජිතයන් විසින් සිදුකරනවා. නමුත් වරාය නගරයට අයත් අක්කර 1115ක් ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන කිසිදු ආයතනයකට යටත් වෙන්නේ නැහැ. එය මුළුමනින්ම ජනාධිපතිවරයා විසින් පත්කරන 05 දෙනෙකුට නොඅඩු, 07 දෙනෙකුට නොවැඩි කණ්ඩායමකට බලය ලබාදෙනවා. ශ්‍රී ලාංකිකයෙකු මෙම ප්‍රදේශයට ඇතුල්වී යම් භාණ්ඩයක් රැගෙන ආපසු එනවා නම් වෙනත් රටක සිට තවත් රටකට භාන්ඩ ගෙනයාමේදී මෙන් බදු ගෙවීමේ නීතියක් යෝජනා කර තිබෙනවා. මෙම බල ප්‍රදේශයේ වැටුප් විදේශීය මුදල් ඒකකයකින් (බොහෝ දුරට යුවාන්වලින්) ගෙවිය යුතු බවට නිර්දේශයක් මෙම පනතට ඇතුළත් වී තිබෙනවා.

ඒ වගේම කොමිෂන් සභාව සමග හෝ, ස්වාමියා සහ සේවකයා අතර හෝ යම් ආරවුලක් ඇති වුවහොත් එය විසඳීමට ජාත්‍යන්තර බේරුම්කරන මණ්ඩලයක් හමුවට යාමේ යෝජනාවක් තිබෙනවා. ඒ නිසා මේ කොමිෂන් සභාව අපේ භූමියට ඇතුළත් නොවන සුවිශේෂී ප්‍රදේශයක් හැටියට නිර්මාණය කෙරෙනවා. මෙහි භූමියෙන් 80%කට වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නේ චයිනා හාබර් නම් චීන සමාගමකට. මේ සමාගම පසුගිය කාලයේ විවිධ දේශපාලඥයන්ගේ ඡන්ද ව්‍යාපාරවලට සල්ලි ලබාදුන් බව ඇමරිකානු පුවත්පත්වල වාර්තා කර තිබුණා. මේ සල්ලි ලබාදුන්නේ කාටද, ලබා දුන්නේ කවදාද, ලබාදුන් චෙක් අංක ආදිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් මවිසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ආර්ථික කොමිෂන් සභාව පිහිටුවන්නේ චයිනා හාබර් සමාගමේ බල කිරීම මත. ඒ මිස ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගයට අනුරූපීව නොවේ. චීනයේ ජාත්‍යන්තර දේශපාලන ආර්ථික වුවමනාවන් සමග පෙළගැසීමක් පමණයි සිදුවෙන්නේ. චීනයේ භූ දේශපාලනික උපායමාර්ගයට අදාල ව්‍යාපෘතියකට ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව මේ හරහා පණ පොවමින් සිටිනවා.

අද ලෝකයේ බලවතුන් අතර විවිධ දේශපාලන ගැටුම් පවතිනවා. චීනය සහ ඉන්දියාව අතර දේශපාලන ගැටුමක් පවතින බව රහසක් නොවේ. කවර හෝ රටකට වඩා ඇඟෑලුම් පෑම නිසා අනික් පාර්ශවයෙන් එල්ලවන තර්ජනය අති මහත් විශාල විය හැකියි. ජනතාවගේ ඡන්දයෙන් පත්කරගන්නා ජනාධිපතිවරයාගේ ධූර කාලය සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය අවුරුදු 05යි. ඔවුන් මේ රටේ භාරකරුවන් මිස කිසිසේත්ම අයිතිකරුවන් නොවේ. එසේ තිබියදී මෙවැනි චීන ප්‍රාන්තයක් ගොඩනැගීමට කිසිසේත්ම ජනවරමක් නැති බව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව තේරුම් ගත යුතුයි. උතුරු දකුණු භේදයකින් තොරව, සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව, දුප්පත් පොහොසත් භේදයකින් තොරව අපි සියලු දෙනාටම අයිති රටක් මේක. මේ රට සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු ගන්නවා නම් ජනතාවගෙන් අනුමැතියක් ලබාගත යුතුයි. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිහින් මේ කොමිෂන් සභා පනතට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය පමණක් නොව ජනමත විචාරණයකින් අනුමැතියක් ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

මේසයක් මත තබා කේක් ගෙඩියක් කපනවා වගේ අපේ රටේ ඉඩම් කෑලි, කෑලිවලට වෙන්කිරීමේ කිසිදු අයිතියක් ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආණ්ඩුවට නැහැ. ආණ්ඩුව හැමවිටම බලහත්කාරය යොදමින් විවිධ වර්ගයේ වංචාවන් සිදුකරමින් ක්‍රියාත්මක වෙනවා හැර ආණ්ඩුව විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. 20වැනි සංශෝධනයට අනුව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සතියක් ඇතුළත අධිකරණය හමුවට යා යුතුයි. 20වැනි සංශෝධනයට පෙර ඒ සඳහා සති දෙකක කාලයක් තිබුණා. මේ පනත ඉදිරිපත් කළේ 08වැනි බ්‍රහස්පතින්දා. වැඩ කරන දිනයක් හැටියට ඉතිරි වුණේ 09වැනි සිකුරාදා. ව්‍යවස්ථානුකූලව නඩුවක් පැවරීම සඳහා ඉතිරිවී තිබුණේ 15වැනි බ්‍රහස්පතින්දා විතරයි. සෙනසුරාදා, ඉරිදා, සඳුදා රජයේ නිවාඩු දින. අඟහරුවාදා, බදාදා සිංහල, දෙමළ අලුත් අවුරුද්ද. රට පිළිබඳව තීරණාත්මක පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ දින 05ක දීර්ඝ නිවඩුවක් තිබෙන කාලයක. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පුරවැසියන්ට තිබෙන අවස්ථාව පවා අහුරන්න ක්‍රියා කර තිබෙනවා.

සිංහල, දෙමළ අලුත් අවුරුද්දට ගම්වලට ගිය නීතිඥයින් පවා අවුරුදු නිවාඩුව නොතකා නැවත කොළඹට පැමිණ නඩුව ගොනුකිරීමට සිදුවුණා. ආණ්ඩුවේ පළවැනි උපක්‍රමය බවට පත්වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඉඩනොදී මෙය සම්මත කරගන්නයි. ඊළඟ උපක්‍රමය තර්ජනය සහ බිය ගැන්වීමයි. අභයාරාම පන්සලේදී ඊයේ (15) මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන්ගේ මුලසුනෙන් පැවති මාධ්‍ය හමුවේදී විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයකට ජනාධිපතිතුමාගේ උරණ වීම ගැන අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ වචනවලින්ම කිව්වොත් “ද්වේශයෙන්, වෛරයෙන්, ආවේගයෙන්, වෙව්ලමින්, පහත් වචනවලින් බැන වැදුණා.” අපිට විජේදාස රාජපක්‍ෂගේ දේශපාලනය පිළිබඳව විවේචනයක් තිබෙනවා. මේ ජනාධිපතිවරයා බලයට පත්කිරීමේදී විජේදාස රාජපක්‍ෂ මහත්මයා විශාල කාර්යභාරයක් ඉටුකළා. වර්තමාන ජනාධිපතිවරයාගේ බියවැද්දීම්, තර්ජනයන් පිළිබඳව මෙය අලුත් සාකච්ඡාවක් නොවේ. ඔහුගේ ආරක්‍ෂක ලේකම් ධුරය කාලයේ වංචා-දූෂණයන් පිළිබඳව චෝදනා එල්ල වුණා. ඒ පිළිබඳව නඩුව අධිකරණයේදී විභාගවෙමින් තිබුණා. පැහැරගෙන යෑම්, සුදුවෑන්, සහ සමහර ඝාතනයන් පිළබඳව ඔහුට චෝදනාවන් තිබෙනවවා.

විජේදාස රාජපක්‍ෂ මහත්තයලා විශාල කැපකිරීමක් කරලා ගෙනාවේ එවැනි කළු අතීතයක් තිබෙන කෙනෙක්. විජේදාස මහත්තයා මේ වනවිටත් මහින්ද රාජපක්‍ෂ මහත්මයා නායකත්වය දරන පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු 20වැනි සංශෝධනයේදී ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ අයෙක්. ඔහු තමන්ගේ මතයක් ප්‍රකාශ කළාට පස්සේ ජනාධිපතිවරයාගේ හැසිරීම ද්වේශයෙන්, වෛරයෙන්, ආවේගයෙන් වෙව්ලමින් පහත් වචනයෙන් බැනවැදීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් තර්ජනය කිරීමේ තත්වයකට ජනාධිපතිවරයා පත්ව තිබෙනවා නම් සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව තත්වය මොකක්ද? ජනාධිපතිවරයා බලයට පත්වූ පසුව තර්ජනය එල්ල කළ පළමු පුද්ගලයා විජේදාස රාජපක්‍ෂ නොවන බව අපි දන්නවා. ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් දුරකතනයෙන් බැන වදිනවා නම් ඒ රට ගමන් කරමින් තිබෙන්නේ කවර දිශාවකටද?

මා මේ කියන ප්‍රකාශය පිළිබඳව ඔහුට ඔහුගේ පැත්තෙන් අදහස් දැක්වීමේ අයිතිය තිබෙනවා. ජනාධිපතිවරයාගේ සතියේ මාධ්‍ය සාකච්ඡාව වන ‘ගම සමඟ’ පිළිසඳරේදී උත්තර දෙන්න තිබුණා. එහෙම නැත්නම් මහජන මුදලින් පඩි ගෙවන ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් කරුණු ඉදිරිපත් කළ හැකියි. එහෙමත් නැන්තනම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස යම් මන්ත්‍රීවරයෙක් හෝ පුරවැසියෙකු ඉදිරිපත් කරන කරුණුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා එවැනි අවස්ථා ගණනාවක් තිබෙනවා. එසේ නොකොට බිය වද්දමින් තර්ජනය කරමින් මේ යන්නේ හිට්ලර් වගේ වෙන්න කියලා අමාත්‍යවරයෙක් කළ ප්‍රකාශයෙන් උද්දාමයට පත්වෙලාද කියලා අපි දන්නේ නැහැ. මෙවැනි ගණයේ තර්ජනයෙන්, බිය වැද්දීමෙන් ගෙනයන පාලනයකට ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් දරන මෙම උත්සාහය නතර කළ යුතුයි. අප මේ මතු කරන්නේ රට පිළිබඳව ප්‍රශ්නයක්.

මේ දේශපාලන කඳවුර දේශප්‍රේමිත්වය පිළිබඳව මහා ඝෝෂාවකින් නිර්මාණය වුණු බව ඔබට මතක ඇති. විකිණීමට එරෙහි කඳවුරක් ලෙස ඔවුන් පෙනී සිටියා. අධිරාජ්‍යවාදයට එරෙහි කඳවුරක් ලෙස පෙනී සිටියා. ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේ කඳවුරක් ලෙස පෙනී සිටියා. ඔවුන්ට ලැබුණු ජනවරම ආර්ථිකයේ ලිබරල්කරණය දෙසට යන ජනවරමක් නෙවෙයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා පිටුපස දැනුවත්ව, නොදැනුවත්ව, වැරදීමෙන් හෝ රැවටීමට ලක්වීමෙන් ලැබුණු ජනවරමක් තිබෙනවා. ඔවුන්ව බලයට පත්කළ ජනවරමටත් එකඟ නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. අපි එකඟන නොවුනත් විදේශ ආයෝජන කැඳවාගැනීම සඳහා සම්මත වූ පනත් දෙකක් තිබෙනවා. ආයෝජන මණ්ඩල පනත සහ ක්‍රමෝපායික සංවර්ධන පනත. ෂැංග්‍රිලා හෝටලය ගොඩනැගීමේදී එය ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස නම් කර සමහර බදු සහන අවුරුදු 43ක් දක්වා දී තිබෙනවා. ජේම්ස් පැකර්ගේ සූදු ව්‍යාපාරය ගේන්න උත්සාහ කළ වෙලාවේදී මෙවැනි බදු සහන දෙන්න යෝජනා කළා. රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය විකිණීමෙන් පසු ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ බදු සහන දෙන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා. අපි ඒ පනතට විරුද්ධ වුණා.

හැබැයි ක්‍රමොපායික සංවර්ධන පනත විශාල බදු සහන ලබාදෙන්න පුළුවන් පනතක්. මෙවැනි ව්‍යාපෘති වේගවත්ව අධීක්‍ෂණය සහ මෙහෙයවීම සඳහා ආයෝජන මණ්ඩලය තිබෙනවා. පෝර්ට් සිටියට යම් ව්‍යාපෘතියක් එනවා නම් ආයෝජන මණ්ඩලය හරහා යන්න බැරි ඇයි? ඒ ව්‍යාපෘතිවලට බදු සහන දෙන්න ඕනෑ නම් ක්‍රමෝපායික සංවර්ධන පනත හරහා පොර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන දෙන්න බැරි ඇයි? එම කලාපයට පමණක් විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්නේ ඇයි? චීනයට වුවමනා වන පරිදි ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලන උපාය මාර්ගයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට අදාල පනතක් මේ ගෙන එන්නේ. ඒ නිසයි අපි නැවත නැවතත් කියන්නේ මෙය ජනමත විචාරණයකට ලක්කිරීමකින් තොරව අනුමැතිය නොදිය යුතුයි කියලා. අපේ රටේ ස්වෛරීභාවය, රටේ අනාගතය සම්බන්ධයෙන් ව්‍යවස්ථාව, මූල්‍ය පනත් අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිසි තීරණයක් ලබාදෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…

“මෙම කලාපයේ වැටුප් ගෙවීම සඳහා විදේශීය මුදල් ඒකක පාවිච්චි කළ යුතු බව කෙටුම්පතේ සඳහන් වෙනවා. මෙම කලාපයේ විදේශ ගනුදෙනුවලදී යොදා ගන්නේ ඇමරිකන් ඩොලර්. 35වැනි වගන්තිය මම ඔබට කියවන්නම් “සේවා නියුක්තිකයාට ශ්‍රී ලංකා රුපියල් නොවන, නම් කරන ලද විදේශ මුදල්වලින් පාරිශ්‍රමික ගෙවීමට ඉඩ ලැබිය යුතුය.” මෙතන විදේශ මුදල් ඒකකය නම්කරලා නැහැ. පෝට් සිටියේ වැඩිම පංගුව හිමි චීනයට නම් මේ මුදල් ඒකකය යුවාන් වෙන්න පුළුවන්.

යම් ආයතනයකට මුදල් වෙන්කර ගැනීමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිය යුතුයි. හැබැයි මේ කලාපයට පාර්ලිමේන්තුව අනුමැතියක් නැතිව මුදල් වෙන් කිරීම් කරගත හැකියි. ඒකාබද්ධ අරමුදලකට ගැට ගැහෙන්නේ නැහැ. ඒ වගේම විගණන බලය තියෙන්නේ විගණන දෙපාර්තමේන්තුවට. නමුත් මේ කලාපයේ ජාත්‍යන්තර විගණන සමාගමකින් විගණනය කෙරෙනවා. ඒ නිසා විගණනය කිරීමේදීත් පාර්ලිමේන්තුවට ගැට ගැහෙන්නේ නැහැ. තවත් ලෙසකින් බදු පැනවීම හෝ බදු නිදහස් කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් සිදුකළ යුතුයි කියන කොන්දේසියෙන් ගැට ගැහෙන්නෙත් නැහැ. කොමිෂන් සභාවට බදු සහන ලබාදිය හැකියි. ඕනෑම ආයතනයක් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෝ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවිය හැකියි. හැබැයි මේ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට කැඳවන්න බැහැ. හැබැයි මෙතන අපේ පාර්ලිමේන්තුවේ සම්මත කරන නීතියකට යටත් නොවන කලාපයක් නිර්මාණය වෙනවා.

ඒ වගේම ලාංකීය දේශීය ව්‍යාපාරිකයන්ට අවස්ථා මෙම කලාපයේ අහුරා තිබෙනවා. සමාන ව්‍යාපාරයක තිබෙන තරඟකාරිත්වය අසමාන තත්වයකට පත්කරනවා. අපි නොපිළිගන්නවා වුණත් මේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික මූලධර්මයක් වී තිබෙන්නේ සම තරඟකාරිත්වය. ලිබරල් ආර්ථික ක්‍රමයේ සම තරඟකරුවන් කියන එක සැලකිය යුතු ප්‍රමාණයකින් ආරක්‍ෂා කරනවා. හැබැයි මෙතැන නිර්මාණය වෙන්නේ සම තරඟකරුවන් නෙවෙයි. රටේ එක ප්‍රදේශයක බදු සහ විවිධ වරප්‍රසාද ලැබුණු කොටසක් ඉන්න අතර තව භූමි ප්‍රදේශයක බදු සහ විවිධ වරප්‍රසාද අඩු කොටසක් ආයෝජකයන් ලෙස ඉන්නවා. අපේ රටේ ආර්ථික ප්‍රසාරණය සම්බන්ධයෙන් තියෙන අසමාන තත්වයක් මේ තුළින් තව තවත් වර්ධනය කරන කොළඹ කේන්ද්‍රීය තත්වයක් නිර්මාණය වෙනවා. මේ අනුව විශාල අසමාන තත්වයක් ආර්ථිකයේ සම තරඟකරුවන් අතර ඇති වෙනවා.”

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *