හෙක්ටයාර් 446කින් මේ රට සංවර්ධනය කිරීමට පුළුවන් යැයි කීම විහිළුවක්

‘‘මේ රටේ වර්ග කිලෝ මීටර් 65610ක භූමි ප‍්‍රමාණය සංවර්ධනය කිරීමට හෙක්ටයාර් 446ක භූමි ප‍්‍රමාණයක් යොදාගැනීමට කතා කිරීමම විහිළුවක්‘ යැයි මහ බැංකුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ නීතිඥ නිර්මලා සිරිවර්ධන සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සිර්වර්ධන මහත්මිය මෙසේද පැවසුවාය,

“කොළඹ වරාය කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වන අය මන්තරයක් වගේ කියන්නේ ජාතික ආර්ථිකය හෝ ජාතික යහපත සඳහා මේ කොමිෂන් සභාව පිහිටුවන බව. රජයේ නිලධාරීන් සහ රජයේ නායකයින් දක්වන ප‍්‍රධානම කාරණය රජයේ නිලධාරීන්ගෙන් ව්‍යාපෘතියක් කර ගැනීමට තිබෙන අපහසුතාවය. මහ බැංකුවේ අතිරේක අධ්‍යක්ෂවරියක් හැටියට කටයුතු කර, විශ‍්‍රාම ගත් නිලධාරියෙක් විදිහට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් අවශ්‍යයි. 77දී 5/6ක බලයක් ලබාගත් ජයවර්ධන ආණ්ඩුවෙන් මහකොළඹ ආර්ථික කොමිසම පිහිටවූයේත් මේ රට දියුණු කරන්න. බියගම සහ කටුනායක ආර්ථික වෙළඳ කලාප පිහිටවූයේ මේ රටේ සාමාන්‍ය නීතිය බලපැවැත්වීම අඩුකර හෝ සම්පූර්ණයෙන් අත්හිටුවා රටේ සංවර්ධනයට අවශ්‍ය බව දක්වමින්. නමුත් ලංකාවේ භූමියේ තිබෙන සම්පත් පිළිබඳව අවධානය යොමු නොකර, මානව සම්පත කළමනාකරණය නොකර, කටයුතු කළා. මේ රටේ වර්ග කිලෝ මීටර් 65610ක භූමි ප‍්‍රමාණය සංවර්ධනය කිරීමට හෙක්ටයාර් 446ක භූමි ප‍්‍රමාණයක් යොදාගැනීමට කතා කිරීමම විහිළුවක්.”

“අවුරුදු 2500ක ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන බව කීවත්, ඉංගී‍්‍රසීන්ගෙන් නිදහස ලැබුණු දා සිටම කටයුතු කළේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට මේ රට සූරාකෑමේ හැකියාව වඩාත් හොඳින් තහවුරු කරමින්. මේ නගර ව්‍යාපෘතියක්. එහි බලවත් දිගුවක් හැටියටයි මම දකින්නේ. වරාය නගර කොමිසම පිහිටුවා මේ රටේ නීති රීතිවලින් තොරව අවශ්‍ය ඕනෑම ආකාරයකින් ඔවුන්ගේ ප‍්‍රාග්ධනයට ප‍්‍රතිලාභ ලබාගන්න ඉඩ සකසා තිබෙනවා. මේ මෑතම ඉතිහාසයේ ගැසට් ගහලා මේ රටේ භාණ්ඩාගාරයට අයවිය යුතු බදු කොයිතරම් ප‍්‍රමාණයක් වෙනත් අයගේ සාක්කුවලට එකතුකර ගන්න ඉඩ දුන්නාද කියලා අපි දකිනවා. විදේශීය ජාතිකයෙක් මහ බැංකු අධිපති ධුරයට පත්කරලා සිදුකළ හානිය අපි දැකලා තිබෙනවා. මේ ව්‍යාපෘතිය ගැනත් ධනාත්මකව හිතන්න කියන්නේ මේ පසුබිම තුළයි. ඒ නිසා මේ රටේ පවතින සාමාන්‍ය නීතිරීති තුළ පවා රජයේ වගවීම සාමාන්‍ය ජනතාවට ප‍්‍රශ්න තිබෙනවා. පවතින නීතිරීති තුළ නිලධාරීන්ටත් වගවීමකින් තොරව කි‍්‍රයාකරන්න ඉඩදී තිබෙනවා. එහෙම නම් මේ රටේ ප‍්‍රශ්නවලට උත්තර හොයා ගන්න බැරි මේ නිසයි.

මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න ඕනෑ කියලා දකිනවා නම්, කළ යුත්තේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ 2/3ක බලය යොදාගෙන මුළු රටටම ගැලපෙන සිස්ටම් එකක් ගොඩනැගීමයි. නමුත් එවැනි දෙයක් නොකර, රජයේ නිලධාරීන් මහජනතාවට වගවීමේ තත්වයෙන් තවදුරටත් ඈත් කිරීමක් අපි දකිනවා. එවැනි තත්වයක් ඇති කිරීමට පසුබිම හදන අයම ආර්ථික කොමිසම ගැන කතා කරනවා. නීති-රීති අඩුකිරීම තුළ මේ ව්‍යාපෘති ඇති කිරීමට වඩා දැනට රටේ ආදායම් ජනිතවන ව්‍යාපාරත් අහිමි කිරීමේ අවස්ථාවක් මේ තුළින් නිර්මාණය කරනවා. වෙනරටකින් ඇවිල්ලා ව්‍යාපාර ඇතිකරලා ආදායම් උපයාගෙන තමන්ගේ රටවල්වලට සූරාකෑම් ගෙනගියා මිස සංවර්ධනය කළ ඉතිහාසයක් අපට නැහැ. කොළඹ වරාය කොමිෂන් සභාව සම්බන්ධ පනත පිළිබඳව ඔබගේ බුද්ධිය මෙහෙයවලා සිතා බලන්න කියලා මේ රටේ සියලුම ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා.”

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *