දියවන්නා රාවය: පසුගිය සතියේ පාර්ලිමේන්තුව උණුසුම් කළ ‘කතා පිට කතා‘

ගතවූ සතිය තුළ කොවිඩ් 19 හේතුවෙන් සංචරණ සීමා පැනවීම, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවයට කැදවීම් සීමාකිරීම ඇතුළු අභියෝග මධ්‍යයේ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුව දින තුනක් රැස්විය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට පත්වීමත්,  ඒඅනුව ඊට අදාළ විවාදය පැවැත්වීමත් නිසා බොහෝ දෙනාගේ අවධානය පාර්ලිමේන්තුව කෙරෙහි යොමුව තිබිණි. මෙම විවාදය නිසාම පාර්ලිමේන්තුව බොහෝ උද්යෝගීමත් සහ උණුසුම් විය.

පසුගිය සතියේ  18, 19 සහ 20 තෙදින රැස්වූ පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයද ඉහළ මට්ටමක පැවතීම විශේෂ සිදුවීමක් විය. මැයි 18 වන දින මන්ත්‍රීවරු 202 (90%) දෙනෙක්ද මැයි   19 වන දින මන්ත්‍රීවරු 198 (88%) දෙනෙක්ද  සහභාගී වූ අතර  20 වන දින සහභාගීවූ  මන්ත්‍රීවරු ගණන 216 (96%) කි.

එසේම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මෙන්ම බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ද ගතවූ තෙදින තුළම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පාර්ලිමේන්තු රැස්වීම්වලට  සහභාගීවන අයුරු දක්නට ලැබිණි.

සතියට නියමිත පාර්ලිමේන්තු කටයුතු ඇරඹුනේ  17 වන සදුදා පෙරවරුවේ පැවැත්වුණු මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිවල අඬුපාඩුකම් හඳුනාගැනීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීමත් සමඟය. පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එහි පළමු රැස්වීම එදින පෙ.ව 10.30ට ඇරඹිණි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම කාරක සභාවේ කාර්යභාරයයි. රැස්වීම ආරම්භයේදී කාරක සභාවේ කාර්‍යභාරය එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  එහි සාමාජික මන්ත්‍රීවරයන්ට දැනුම්දීමෙන් පසු ඉදිරියේදී කාරක සභාවේ කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව සාකච්ජා විය. පාර්ලිමේන්තුව රැස්වන දිනයක් නොවුණද කාරක සභාව නියෝජනය කරන බහුතරයක් මන්ත්‍රීවරු ඊට එක්ව සිටීම කැපී පෙනුණි.

මෙහිදී මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යුහයේ සහ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජන අදහස් ලබා ගැනීමට ද මාසයක කාලයක් ලබා දීමට කාරක සභාව එකග විය. මේ අනුව මහජනතාවට සිය යෝජනා තැපැල් මගින් ලිඛිතව එවීමට හෝ විද්‍යුත් තැපෑල  මගින් යොමුකිරීමටත්, අවශ්‍ය නම් කාරක සභාව වෙත පැමිණ අදහස් දැක්වීමටත් ඉදිරි කටයුතු සලසන ලෙස කාරක සභාව මෙහිදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට  අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. මේඅනුව මෙම කාරක සභාවේ ලේකම් වන කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිගේ අත්සනින් යුතුව භාෂා ත්‍රිත්වයෙන් පුවත්පත් නිවේදන පළ කිරීමට මෙම සතිය තුළදීම කටයුතු කරන ලදී. 

පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක දෙකෙහි පැවති මෙම රැස්වීමට එහි සාමාජිකයන් වන කැබිනට් අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා,  මහාචාර්ය ජී. එල්. පීරිස්, එම්. යූ. එම්. අලි සබ්රි යන මහත්වරුද,  රාජ්‍ය  අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාද,පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන  කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ද සහභාගි වූහ.

වරාය නගර ආර්ථික කොමිසම පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා නිවේදනය කරයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව අනුව  ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත මේවන විට ලැබී තිබූ අතර එකී තීරණය පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් දිනය වූ මැයි 18 වැනිදා ආරම්භයේදීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව පෙන්වා ඇති ශ්‍රේෂ්ඨාධිකරණය එම අනනුකූල බව මගහරවා ගත හැකි නිර්දේශිත සංශෝධන ද එකී තීරණයේ සඳහන් කර තිබුණි.

අදාළ නිර්දේශිත සංශෝධන පනත් කෙටුම්පතට එකතු කරනු ලබන්නේ නම් එම වගන්තිවල තිබෙන අනනුකූල බව ඉවත්ව යන බවද, එවිට එය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සදහන් විය.

එදින පෙරවරුවේ සිදුවූ තවත් විශේෂත්වයක් වූයේ මානුෂීය මෙහෙයුම් විජයග්‍රහණය සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ විශේෂ ප්‍රකාශයයි. එදින පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා වෙන් කර තිබිණි. මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් යොමුකරමින් කොවිඩ් 19 අභියෝගය හමුවේ රට තුළ ඇති වී ඇති තත්ත්වය පිළිබද ප්‍රශ්න කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කිරීමද සිදුවිය. එහිදී ඉදිරි දිනකදී ඊට පිළිතුරු ඉදිරිපත්කිරීමට අපේක්ෂා කරන බව එතුමිය පැවසුවාය.

මේ අතර ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ   ඉක්මනින්ම මෙරට පී.සී.ආර් පරීක්ෂණාගාර ප්‍රමාණය වැඩිකරන බවයි. එසේම දැනට පවතින පී.සී.ආර් පරීක්ෂණාගාරවල ධාරිතාව වැඩි කිරීමට මේවනවිට පියවර ගෙන ඇති බවත් එම පරීක්ෂණාගාර පැය 24ම  කාර්යයේ යෙදෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරිය පැවසුවේ  බන්ධනාගාර ඇතුළත කොවිඩ් 19  ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් ඉක්මනින් පියවර ගන්නා බවයි.

එසේම මෙදින ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී සභාවේ අනුමතිය සදහා ගැසට් නිවේදන කිහිපයක් සභාගත කරමින්  වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ පරිගණක තාක්ෂණයෙන් දුරස්ථ අධ්‍යාපනය සිදු කිරීම දුෂ්කර ප්‍රදේශවල දරුදැරියන්ට ඇතැම්විට අසීරු විය හැකි බැවින්, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව නව වැඩසටහන් මාලාවක් ආරම්භ කරන ලෙස විද්‍යුත් මාධ්‍ය ආයතනවලට තමා යෝජනා කරන බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නාගරිකසංවර්ධනහානිවාසකටයුතුපිළිබඳඅමාත්‍යාංශයීයඋපදේශකකාරකසභාව රැස්වෙයි

මෙදින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන හා  නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්විය. කොළඹ වරාය නගරය ආර්ථීක කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය ප්‍රකාරව කටයුතු කිරීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසූ අතර මෙහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සිදු වූ කටයුත්තක් වූයේ  නිර්දේශිත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ  ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමට කාරක සභාවේ අනුමැතිය ලබා දීමයි.

මෙයට අමතරව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත්  කෙටුම්පත ද සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ අනුමතිය හිමිවිය.

මේ අවස්ථාවට ලොහාන් රත්වත්තේ , ඉන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

අණපනත් කිහිපයක් විවාද කිරීමෙන් අනතුරුව සම්මතයි

මැයි 18 වන දින පාර්ලිමේන්තුවේදී  අණපනත් කිහිපයක් විවාද කිරීමෙන් අනතුරුව සම්මත විය. මේ අනුව මුදල් පනත් යටතේ රෙගුලාසියක් හා නියෝග 02ක්, වරාය සහ ගුවන්‍ තොටුපොළ සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ  නියමයන් 08 ක්, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් 02ක්, විදේශ විනිමය පනත යටතේ වන නියෝගයක් යනාදී වශයෙන් සම්මත විය.

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ  නියමයන් ද්විත්වය ඉදිරිපත් කිරීමේ අරමුණ වූයේ හම්බන්තොට ඉදිවන සිලෝන් ටයර් මැනුෆැක්චරින් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් නම් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ව්‍යාපෘතිය  වන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (Colombo International Finance Center) මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතීන් සදහා පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා ගැනීමයි. මෙම ව්‍යාපෘති මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වෙයන් යුතු  රජයේ මුදල් පිළිබද කාරක සභාවට යොමුකළ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළ අනුමතිය ඊට එහිදී හිමිවිය.

ඉහත කී කාරණා සම්බන්ධයෙන් සියලු විස්තර පිළිවෙළින් 2021 මාර්තු මස 05 හා 23 නිකුත් කරන ලද අංක 2217/40 හා 2220/30 දරන අති විශේෂ ගැසට්පත්‍රවල සඳහන්ව තිබෙන අතර ඒවා පහත සඳහන් වෙබ් ලිපිනයන් ඔස්සේ බාගත කර ගත හැකිය:-

http://www.documents.gov.lk/files/egz/2021/3/2217-40_S.pdf

http://www.documents.gov.lk/files/egz/2021/3/2220-30_S.pdf

2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ ඉදිරිපත් කළ නියෝගය මගින් ඖෂධ නිෂ්පාදකයන් විසින් ඖෂධ නිෂ්පාදනය සඳහා ආනයනය කරනු ලබන අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන උපාංග සහ අමතර කොටස් ඇතුළත්ව යන්ත්‍රෝපකරණ සහ උපකරණ වරාය සහ ගුවන් තොටුපල බද්ද ක්‍රියාත්මක කිරීමෙන් නිදහස් කොට ඇත. එම පනතේ තුන් වන වගන්තිය අනුව  ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමනය යන විෂය අයත් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව මෙය සිදුකළ යුතු බව සඳහන්ව ඇත. මෙම නියෝගය 2021 ජනවාරි මස 05 වන දින සිට බලපැවැත්වේ. 

මෙහි අරමුණ වී ඇත්තේ ඖෂධ ආශ්‍රිත යන්ත්‍රෝපකරණ, උපාංග සහ අමතර කොටස්, මේ සඳහා තිබූ වරාය සහ ගුවන් තොටුපොළ බදුවලින් නිදහස් කිරීම තුළින් දේශීය ඖෂධ කර්මාන්තය නගා සිටුවීමයි. 

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ වන නියෝගය මගින් මීට පෙර 2202/07 ගැසට් පත්‍රයේ පළ කරන ලද  ‘ශ්‍රී ලංකාවේ සිටින නේවාසික ඕනෑම ශ්‍රී ලාංකික පුද්ගලයෙකු, ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික ඕනෑම ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ඇතුළු අදාළ පාර්ශව සදහා මෙම නියෝගයෙහි දිනයේ සිට ‘මාස දොළහක කාලයක්’ තුළ තමන් වෙනුවෙන් බැංකු පද්ධතිය හරහා විදේශයන්ගෙන් ලද ආමුඛ ප්‍රේෂණ වලින්, ශ්‍රී ලංකාවේ බලයලත් වෙළෙන්දෙකු සමග නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් “විශේෂ තැන්පතු ගිණුම” නම් ගිණුමක්  කාලීන තැන්පතු වශයෙන් විවෘත කිරීමට සහ පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇත’ යන නියෝගයේ   මාස දොළහක කාලය මාස විසිහතරක්  ලෙස සංශෝධනය කොට ඇත.

මෙම සංශෝධනයේ අරමුණ වී ඇත්තේ රට පුද්ගලික සහ විදේශ ව්‍යවහාර මුදල් තුළින් පවත්වාගෙන යන කාලීන තැන්පතු වල කාලය වැඩි කිරීම තුලින් රට තුළට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දීමයි. 

මීට අමතරව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් 08 ක් මගින් වෙළද භාණ්ඩ කිහිපයක් සදහා පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බදු සංශෝධනය කොට ඇත. 

එමෙන්ම එදින පාර්ලිමේන්තුව පස්වරු 4.30 ට කල් තැබීමෙන් පසුව පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය ගෙනා යෝජනාවකට අනුව ශ්‍රී ලංකාවේ සමූපකාර ක්‍රමය නගා සිටුවීම පිළිබද  සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් පැවැත්විණි.

වරාය නගරය පනත් කෙටුම්පත පිළිබද දින දෙකක් පුරා උණුසුම් වාදවිවාද

බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද දෙදින විවාදය පසුගිය 19 වැනිදා ආරම්භ විය. මෙහිදී පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කරමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  විසින් විවාදය ආරම්භ කරන ලදී.

මෙදින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මානුෂීය මෙහෙයුම් විජයග්‍රහණයේ 12 වසරක සැමරුම සිහිපත් කරමින් ඒසදහා දායකත්වය දැක්වූ සියලුම රණවිරුවන් ඇතුළු සියලු පාර්ශවයන්ට සිය ගෞරවය පුදකර සිටියේය.ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් 30 වසරක කුරිරු යුද්ධයේ අවසන් සටනට නායකත්ය දෙන්නට ලැබීම තම ජීවිතයේ ලද විශාලතම භාග්‍ය බවත් ඒ සදහා දායකත්වය දැක්වූ හිටපු ජනාධිපති සහ වත්මන් අගමැතිවරයාටත්, හිටපු ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු සමස්ත රණවිරුවන්ටත් සිය ගෞරවය පුද කරන බවත් පැවසීය.

විපක්ෂය වෙනුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් විවාදය ආරම්භ කරන ලදී.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙන්ම ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විවාදයට එක්වෙමින් මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය ප්‍රකාශ කළහ.

අමාත්‍යවරුන්, පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක් උද්යෝගයෙන් යුතුව අදහස් පළ කළ  දෙදින විවාදයෙන් සභාව උණුසුම්වූ අතර 20 වැනි දින සවස විපක්ෂය වෙනුවෙන් අවසන් කථාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිදුකළේය. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදය අවසන් කරමින් අදහස් දැක්වූයේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාය.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

සභාව උණුසුම් වූ දෙදින විවාදයෙන් අනතුරුව බොහෝ දෙනාගේ අවධානයට ලක්වූයේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද ඡන්ද විමසීමයි. ඒ අනුව 20 වැනි දින සවස, පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ දෙදින විවාදය  අවසානයේ බෙදීමක් (ඡන්ද විමසීමක්) අවශ්‍යදැයි කථානායකවරයා සභාවෙන් විමසා සිටියේය. එහිදී ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බවත් එහෙත් විපක්ෂයේ විරුද්ධත්වය සටහන් කරගන්නා ලෙසත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

එහෙත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් දෙවන වර කියැවීම සදහා  ඡන්ද විමසීමක්  ඉල්ලා සිටියේය. ඒඅනුව පැවැත්වූ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 148 ක්ද විපක්ෂව ඡන්ද 59ක්ද හිමිවිය. මේ අනුව දෙවැනිවර කියැවීම වැඩි ඡන්ද 89 කින් සම්මත විය.

ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී වගන්ති ගණනාවකට අදාළව  අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව  නිර්දේශ කරන ලද පරිදි  සංශෝධන රැසක්   ඉදිරිපත් කරන ලදී. මෙම සංශෝධන සභාවේ සම්මත වූ අතර ඇතැම් වගන්ති සදහා විපක්ෂය විසින් සංශෝධන  කිහිපයක් ඉදිරිපත් කළද ඒවා අධිකරණ අමාත්‍යවරයා   ප්‍රතික්ෂේප කළේය.

විපක්ෂය  වගන්ති ගණනාවකට කාරක සභා අවස්ථාවේදී තම විරුද්ධත්වය සටහන් කර ගන්නා ලෙස දන්වා සිටි අතර  ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා විසින්  වගන්ති තුනකට අදාළව ඉදිරිපත් කළ සංශෝධන සදහා ඡන්ද විමසීමක්  ඉල්ලා සිටියේය. මේඅනුව  7, 23 සහ 73  වගන්ති සදහා ඡන්ද විමසීමක් පැවැත්විය.

එහිදී  7 වන වගන්තිය සදහා  මන්ත්‍රීවරයාගේ සංශෝධනයට පක්ෂව ඡන්ද 46 ක්ද විපක්ෂව ඡන්ද  147 ක්ද , 23 වගන්තිය සදහා පක්ෂව ඡන්ද 45ක්ද විපක්ෂව 146 ක්ද 73 වන වගන්තිය සදහා පක්ෂව ඡන්ද 46 ක්ද විපක්ෂව ඡන්ද 148 ක්ද හිමි විය.

පනත් කෙටුම්පත  තෙවනවර කියැවීමේදී ද ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒඅනුව පැවැත්වූ ඡන්ද විමසීමේදී  ඊට පක්ෂව ඡන්ද 149 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 58 කි. එලෙස පනත් කෙටුම්පතේ තෙවනවර කියවීම  පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 91 කින් සම්මත විය.

කොළඹ වරාය නගරය තුළ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවා එහි ව්‍යාපාර කටයුතු නියාමනය කිරීමට අදාළව ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.

2021 මාර්තු 24 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 අප්‍රේල් 8 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

නීතිපතිවරයා ලෙස සංජය රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය

නව නීතිපතිවරයා ජනපතිවරයා හමුවේ දිවුරුම් දෙමින්

වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධව පාර්ලිමේන්තු සභාගැබෙහි උණුසුම් වාද විවාද සිදුවන අතරතුර තවත් සුවිශේෂි රැස්වීමක් 20 වැනි දින පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්විණි. ඒ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ  ‘පාර්ලිමේන්තු සභාවේ’ රැස්වීමයි.

ශ්‍රී ලංකාවේ මීළඟ නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පත් කිරීමට ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට එහිදී පාර්ලිමේන්තු සභාව  සිය එකඟතාවය පළ කළ කළේය.

මෙම රැස්වීමට ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුද සහභාගී වූහ.

තවද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නැවත පත් කිරීම සඳහා එවා තිබූ නිර්දේශයටද පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවිය.

එයට අමතරව අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික පුරප්පාඩුව සඳහා නිර්දේශව පැවති එච්. ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න මහතාගේ නම පාර්ලිමේන්තු සභාව විසින් අනුමත කර තිබේ.

එමෙන්ම හානිපූරණය සඳහා වන කාර්යාලයේ  පුරප්පාඩුව සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් ඩබ්ලිව්.පී.පී. ප්‍රනාන්දු මහතා පත් කිරීමටද  පාර්ලිමේන්තු සභාව යෝජනා කර සිටියේය.

වරාය නගර පනත් කෙටුම්පත  තෙවනවර කියැවීම ඡන්ද විමසීමෙන් පසු සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ සභාව කල් කල් තැබීමේ යෝජනාව අනුව පාර්ලිමේන්තුව  ජූනි මස 8 වන දින පෙ.ව 10.00 තෙක් කල් තබන බව  ගරු කථානායකවරයා  නිවේදනය කර සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *