‘පාවෙන සූර්ය බලාගාර’ – ගමේ වැවෙන් තවත් විස්මිත වැඩක් !

වර්තමානයේ කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය ආධාර කරගැනීමේ ඉහළ නැඹුරුවක් පවතී. එබැවින් විදුලි බලය, පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත පොදු මධ්‍යස්ථානයක් ගම තුළ ස්ථාපනය කළ හැකිනම් එය ගොවි සංවිධාන වලටත්, පොදුවේ ග්‍රාමීය ප්‍රජාවටත් තොරතුරු තාක්ෂණය භාවිතයෙන් නව දැනුම සොයා යාම සඳහා අවස්ථාව උදාකර දේ.

චින්තක ජයසුරිය – පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

වර්තමාන ලෝකය මුහුණ දෙන අභියෝග අතරින් ප්‍රධානතම අභියෝගයන් ලෙස බලශක්ති අර්බුදය හැඳින්විය හැකිය. රටක බලශක්ති ඉල්ලුම සපුරාලීම – සම්පත් සීමිත, සංවර්ධනය වෙමින් පවතින, ආර්ථික ශක්තිය අඩු රටවල් සඳහා ඉතා අසීරු මෙන් ම විශාල වියදමක් දැරිය යුතු කටයුත්තක් බවට පත්ව තිබේ.

එසේම ගෝලීය බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා භාවිතා කරනු ලබන මූලික ප්‍රභවය වන ඛනිජ තෙල් දහනය හේතුවෙන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහලයාම සහ ඒ ආශ්‍රිත පාරිසරික ගැටලු හේතුවෙන් ඛනිජ තෙල් වලින් බැහැරව විකල්ප බලශක්ති උත්පාදන ප්‍රභවයන් වෙත යොමු වීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත.

සූර්ය පැනල සඳහා කිසියම් වියදමක් දැරීමට සිදු වුවුද භාවිතය සමඟ ක්ෂය නොවීම, (පුනර්ජනනීය ප්‍රභවයක් වීම) භාවිතයේ දී පරිසරයට හානි සිදු නොවීම, නඩත්තු වියදම හැරුනු කොට බලශක්ති නිෂ්පාදනය සඳහා භාවිතාවන අමුද්‍රව්‍ය සඳහා කිසිදු වියදමක් සිදු නොවීම හේතුවෙන් සූර්ය ශක්තිය මගින් විදුලි බලය නිශ්පාදනය  ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී.

පාවෙන සූර්ය බලාගාර යනු මොනවාද?

සූර්යාගේ ආලෝක ශක්තිය මගින් විදුලි බලය නිශ්පාදනය කලහැකි සූර්ය කෝෂ නැතහොත් සූර්ය පැනල භාවිතා කිරීමේ නවතම ක්‍රමයක් ලෙස පාවෙන සූර්ය පැනල පදිධති හඳුන්වා දිය හැක. වහලය මත හෝ විවෘත බිමක ස්ථාවරව සවිකිරීම වෙනුවට  ජල පෘෂ්ඨක් මත පාවෙමින් පවතින පරිදි සකස් කර ඇති සූර්ය කෝෂ/පැනල පද්ධති- පාවෙන සූර්ය බලාගාර ලෙස හඳුන්වයි. වහලය මත හෝ භූමියන ස්ථාවරව සවිකිරීමේ ක්‍රමයට සාපේක්ෂව මෙම ක්‍රමය මඟින් ලබා ගත හැකි වාසි හේතුවෙන්ම පාවෙන සූර්ය බලාගාර බොහෝ වේගයෙන් ලෝකය පුරා ප්‍රචලිත වෙමින් පවතී.

දැනට පවතින තාක්ෂණයට අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා වැයවන වියදම භූමිය මත ස්ථාපනය කරන බලාගාරයට වැයවෙන වියදමට වඩා සුළු වශයෙන් ඉහළ අගයක් ගත්ත ද පසුගිය දශකයක කාලය තුළදී මෙම වියදම 30%කින් පමණ අඩු වී ඇති අතර ඉදිරි කාලයේදී එය තවදුරටත් අඩුවන බවට පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත.

පාවෙන මාදිලියේ සූර්ය බලාගාර මඟින් ඇති වාසි

ඉඩම් සඳහා තරඟයක් ඇති නොවීමත්, සෙවන මඟින් සිදු වන බලපෑම අල්ප වීමත්, ඉහල ධාරිතාවක් කාර්යකෂමව නිෂ්පාදනය කිරීමේ හැකියාවත් පාවෙන මාදිලියේ සූර්ය බලාගාර මගින් ලබාගත හැකි ප්‍රධාන වාසි ලෙස දැක්විය හැක. එසේම, මෙම ජල ප්‍රෘෂඨය මතින් සිදුවන වාෂ්පීභවනය අඩු වීම සහ ඇල්ගී වර්ධනය සීමා වීම තුළින් ජලය නාස්තිය වීම අවම වීම සහ සුපෝෂණය වැනි තත්ත්වයන් ඇතිවීමට ඇති අවස්ථාවන් අවම වේ.  ඒ අනුව පාවෙන සූර්ය බලාගාර විදුලි ජනනය සඳහා වන පරිසර හිතකාමී සහ තිරසාර විකල්පයක් ලෙසත්, අතිරේක ආදායමක් ලබාගතහැකි  ආයෝජන අවස්ථාවක් ලෙසත්, සමස්ථ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ක්‍රමයක් ලෙසත් හඳුනාගත හැකිය.

එසේම ආවරණය නොවූ ජල පෘෂ්ඨයකින් සිදු වන වාෂ්පීභානයට සාපේක්ෂව පාවෙන සූර්ය පැනල මගින් ආවරණය වී ඇති ජල පෘෂඨයකින් ජලය ඉවත්වීම 70%කින් පමණ අඩු වන බවත් ජල ප්‍රභවය මඟින් ඇති කරන සිසිල් බව හේතුවෙන් සූර්ය කෝෂ තුළ විදුලිය නිෂ්පාදනය 6%ක් පමණ අගයකින් ඉහළ යන බවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය

සංඛ්‍යාව අතින් ඉහළම පාවෙන සූර්ය බලාගාර ප්‍රමාණයක් වාර්ථා වන්නේ ජපානයෙන් වුවද ධාරිතාවය අතින් ඉහළම පාවෙන සූර්ය බලාගාරයට හිමිකම් කියන චීනය මෙම ක්ෂේත්‍රෙය් ප්‍රමුඛයා ලෙස සැලකේ. චීනය හා ජපානයට අමතරව තායිවානය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, සිංගප්පූරුව, ඉතාලිය හා නෙදර්ලන්තය වැනි රටවල් පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම අතින් ඉදිරියෙන් සිටින අනෙකුත් රටවල් වේ. පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම සඳහා කෘත්‍රීම පොකුණු, කෘෂිකාර්මික ජලාශ, අපජලය රැස් කරන ජලාශ, අත්හැර දමන ලද පතල් ආශ්‍රිත ජලාශ ආදී ජල ප්‍රභව රැසක් භාවිතා කරයි. දකුණු ආසියාතික කලාපයේ පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ ප්‍රමුඛයා ලෙස ඉන්දියාව හැඳින්විය හැකි අතර සාපේක්ෂව කුඩා පරිමාණයේ නමුත්, විවිධ කාර්යයන් සඳහා ඉදි කරන ලද ජලාශ කිහිපයක් භාවිතා කරමින් පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමට ඉන්දියාව මේ වනවිට සමත්ව ඇත.

ශ්‍රී ලංකාවට මේ සඳහා ඇති අවස්ථාව

සූර්ය බල සංග්‍රාමයේ  හතරවන අදියර යටතේ  මෙගා වොට් 400ක ධාරිතාවක් ලබාගතහැකි පරිදි පාවෙන සූර්ය බලාගාර හතරක් ඉදිකිරීමට යෝජනා කර ඇති අතර ඉන් පළමුවැන්න ලෙස මෙගා වොට් 100ක  පාවෙන සූර්ය බලාගාරයක් මාදුරු ඔය ජලාශයේ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ කැනේඩියානු සූර්ය බල ආයතනය (Canadian Solar Institute) අතර අවබෝධතා ගිවිසුමක් 2019 අප්‍රේල් මාසයේ දී අත්සන් තැබිණ. නමුත් ගිවිසුම් අත්සන් කිරීම හැරුණු කොට ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන් කෙරුනු බවක් හෝ එහි මූලික අදියරේ වැඩකටයුතු කඩිනමින් සිදු වන බවක් හෝ පෙනෙන්නට නොමැති වීම කණගාටුවට කරුණකි.

නමුත් සතුටු විය හැකි කරුණක් නම්, මීට මාස කීපයකට ඉහතදී යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොචිචි මණ්ඩපයට අයත් වපසරිය තුළ කුඩා පරිමාණයේ පාවෙන සූර්ය කෝෂ පද්ධතියක් ඉදිකර අවසන් වූ අතර එය ලංකාවේ ඉදිවූ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය ලෙස ඉතිහාසයට එක් විය.

බහුකාර්යය ජලාශ, මහා වාරි සහ මධ්‍ය වාරි ජලාශ, නාගරික වැව් ආදිය හැරුණු කොට පාවෙන සූර්ය පැනල පද්ධති සඳහා භාවිතා කළ හැකි තවත් ජලාශ කාණඩයක්  ශ්‍රී ලංකාව සතුවේ. ඒ අන් කිසිවක් නොව ග්‍රාමීය වැව් පද්ධතියයි.  සංඛ්‍යාවෙන් ආසන්න වශයෙන් 14000ක් පමණ වන මෙවැනි වැව්වලින් ඇතැම් වැව් ගොවිතැන සඳහා දියවර සපයන අතර ඇතැම් වැව්  ගොවිතැන් සඳහා ජලය ලබා දීමක් සිදු නොකල ද ග්‍රාමීය ප්‍රජාවගේ දෛනික ජල අවශ්‍යතාවන් සපුරාලයි. මෙම ග්‍රාමීය වැව් මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම කෙතරම් යෝග්‍ය ද සහ එමඟින් ග්‍රාමීය ප්‍රජාවට සහ රටේ සමස්ත ආර්ථිකයට සැපයිය හැකි දායකත්වය කෙබඳුද යන්න විමසා බැලිම මෙම ලිපියේ මූලික අරමුණයි.

මෙසේ ලබාගන්නා විදුලිය භාවිතා කර වැවට ඉහලින් ඇති මෙතෙක් වැවෙන් ජලය ලබා ගත නොහැකි වු ඉඩම් සදහා ජලය පොම්ප කර ලබා දීම සදහා යොදා ගැනිමේ අවස්ථාවක් ද පවතී. එම සේවාව වෙනුවෙන් අදාල ගෙවීන්ගෙන් යම් මුදලක් අයකර එය වැවේ හෝ ගමේ සංවර්ධ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට ද හැකිය

ග්‍රාමීය වැව් මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමට ඇති හැකියාව සහ එමගින් ලබාගත හැකි වාසි

ගොවිතැන් සඳහා ජලය ලබාගන්නා වැව් බොහොමයක් ගොවි සංවිධාන යටතේ පාලනය සහ නඩත්තු වේ. එබැවින මෙවැනි කුඩා වැව් මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම එම වැව් හා සම්බන්ධ ගොවි සංවිධාන වලට විශාල වාසි අත්කර දියහැකි අවස්ථාවකි.

ග්‍රාමීය වැව් පද්ධතිය තුළ විශාල විවිධත්වයක් පවති. එබැවින් පළමුවෙන්ම – වැවේ වර්ගප්‍රමාණය, ගැඹුර, වැවේ පැරණි බව, ජලය පිරී පවතින කාලය, වැවෙහි භාවිතයන්, වැවට පිවිසීමට ඇති පහසුව සහ විදුලි සැපයුම් පද්ධතියකට ඇති දුර ආදී කරුණු සැලකිල්ලට ගනිමින් වැව් විවිධ කාණ්ඩ යටතට වර්ගකර ඒ ඒ වැව් තුළ  පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමට ඇති විභවය හඳුනා ගැනීම වැදගත් වේ. 

ඇතැම් වැව් වල  වසර පුරා ජලය පිරී පවතින නමුත් ඇතැම් වැව් වර්ෂාව අඩු කාලයේ දී සිඳී යයි. එසේ සිඳී ගිය පසු (හරකුන් තණ උලාකෑම වැනි භාවිතයක් හැරෙන්නට) වෙනත් විශේෂ කටයුත්තක් සඳහා වැව් භූමිය භාවිතා කිරීමක් සිදු නොවේ. මේ නිසා පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් විශේෂ අහිතකර බලපෑමක් ග්‍රාමීය ප්‍රජාවන්ට ඇති නොවේ. එසේම සූර්ය පැනල මගින් ආවරණය වන ප්‍රමාණය වැවේ වර්ගප්‍රමාණයෙන් 10%-30% පමණ හෝ ඇතැම් විට ඊටත් අඩු වන නිසා සූර්ය පැනල මගින් ධීවර කටයුතු වලට සිදුවිය හැකි බාධාව ද අවම වේ.

වර්තමානයේ කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය ආධාර කරගැනීමේ ඉහළ නැඹුරුවක් පවතී. එබැවින් විදුලි බලය, පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත පොදු මධ්‍යස්ථානයක් ගම තුළ ස්ථාපනය කළ හැකිනම් එය ගොවි සංවිධාන වලටත්, පොදුවේ ග්‍රාමීය ප්‍රජාවටත් තොරතුරු තාක්ෂණය භාවිතයෙන් නව දැනුම සොයා යාම සඳහා අවස්ථාව උදාකර දේ. බොහෝ ගම්මාන සතුව ප්‍රජා ශාලාවක් හෝ ගමේ පොදු කටයුතු සඳහා පිරිසකට රැස්විය හැකි ස්ථානයක් පැවතිය ද එවැනි ඇතැම් ශලාවන්ට විදුලිය පහසුකම් නොමැත. එවැනි අවස්ථාවක ගමේ වැව මත පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකර අදාළ ශාලාව සඳහා විදුලිය සපයා ගත හැකිය.

එසේම ඉන් නිපදවෙන අතිරික්ත විදුලිය ජාතික විදුලි සැපයුමට විකිණිම මගින් ආදායමක් උපයා ගැනීමට ද ගොවි සංවිධානයට අවස්ථාව උදා වේ. එම ආදායම ඉහතින් සඳහන් කල මධ්‍යස්ථාවනට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා හෝ වෙනත් සංවර්ධන අවශ්‍යතාවයන් සදහා භාවිතා කල හැක. විශේෂයෙන්ම මෙම ආදායම නිශ්චිත අදාදයමක් නිසාවෙන් ගොවිතැන් වලින් සහ වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙන ආදායම් අහිමිව යන අවස්ථාවන්හිදි ගොවි සංවිධානයන් හි ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා විශාල සහයෝගයක් වනු ඇත.

මෙසේ ලබාගන්නා විදුලිය භාවිතා කර වැවට ඉහලින් ඇති මෙතෙක් වැවෙන් ජලය ලබා ගත නොහැකි වු ඉඩම් සදහා ජලය පොම්ප කර ලබා දීම සදහා යොදා ගැනිමේ අවස්ථාවක් ද පවතී. එම සේවාව වෙනුවෙන් අදාල ගෙවීන්ගෙන් යම් මුදලක් අයකර එය වැවේ හෝ ගමේ සංවර්ධ අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට ද හැකිය. එසේම ගමේ විදුලි බලය නොමැති සිමිත ගෘහ ඒකක ගණනකට අඩු පිරිවැයකින් විදුලිය ලබා දිය හැකි ප්‍රජා විදුලි සැපයුම් පද්ධතියක් පවත්වාගෙන යාමට ද මෙවැනි පාවෙන බලාගාර යොදා ගත හැක. ඉන්දියාව වැනි රටවල එවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක වෙමින පවතී. එමෙන්ම වැව අවට පිහිටා ඇති ගොවි බිම් සදහා විසිරුම් හෝ බිංදු ජල සම්පාදනය වැනි වැඩිදියුණුකළ ජල සැපයුම් ක්‍රම භාවිතා කිරීම සඳහා අවශ්‍ය විදුලියෙන් ක්‍රියාත්මක වන ජල මෝටර් යොදා ගැනීම සඳහා ද අවස්ථාවක් පවති.

පුණර්ජණනීය බලශක්ති නිශ්පාදනය මගින් රටේ ප්‍රධාන විදුලි සැපයුමට දායකත්වයක් සපයන බැවින් අංශ කීපයක් හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවැනි ව්‍යාපෘති ඉවහල් වේ.  එනම් ඛනිජ තෙල් ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි වීම, පරිසර දූෂණය අඩු වීම, ජල විදුලිය සඳහා පවතින ඉල්ලුම අඩු වීම සහ, වාෂ්පීභවනය අඩුවීම මගින් ජල හානිය අවම වී එසේ ඉතිරි වන ජලය වෙනත් අවශ්‍යතා යොදා හැකි වීම මෙම ක්‍රමය මගින් ලබා ගතහැකි අතිරේක වාසි වේ.

ස්ථිර සහ අඛණ්ඩව ආදායමක් ලබා ගතහැකි වීමත්, පුණර්ජණනීය ප්‍රභවයන් භාවිතා කිරීම නිසා කාබන් ඩයොක්සයිඩි විමෝචනය අඩු කිරීමට දායකතත්වයක් සැපයීමත් නිසා පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම වැනි ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට දෙස් විදෙස් – පුද්ගලික අංශයේ ආයෝජකයන් මහත් කැමැත්තක් දක්වනු ඇත.  එබැවින් අවශ්‍ය නම් ගොවි සංවිධානවලට තම ගමේ වැව මෙවැනි ව්‍යාපෘති ඉදිකිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත පෞද්ගලික අංශයේ ආයෝජකයින් හට ලබා දිය හැකිය.  එවිට අදාල ව්‍යාපෘතිය සඳහා ගොවි සංවිධානයට කිසිදු මුදලක් වැය කිරීමට සිදු නොවන අතර වැව ලබා දීම වෙනුවෙන් මාස්පතා ලැබෙන ආදායම තම සංවිධානයේ සංවර්ධන අවශ්‍යතා සඳහා යොදා ගත හැකිය. 

කාබන් ඩයොක්සයිඩි විමෝචනය ඉහළ යාම සහ ඒ නිසා ඇතිවන දේශගුණික විපර්යාස හේතුවෙන් මුලු ලෝකයම පීඩා විඳින මෙවන් වකවානුවක, කාබන් ඩයොක්සයිඩි විමෝචනය අවම කිරීමට ආයක වන මෙවැනි ව්‍යාපෘති ඉතා වටිනා අවස්ථාවන් රැසක් උදා කර දෙයි.  පැරිස් සම්මුතිය මඟින් අපේක්ෂිත, කාබන් ඩයොක්සයිඩි විමෝචනය අවම කිරීම සඳහා අප රටට පැවරී ඇති ඉලක්කය වෙත ලඟා වීම සඳහා ද මෙවැනි ව්‍යාපෘති  මඟින් සැපයිය හැකි දායකත්වය අති මහත්ය. 

කෙසේ නමුත් පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් ඇතිවිය හැකි දීර්ඝ කාලීන බලපෑම් පිළිබඳව පැහැදිළි අවබෝධයක් නොමැති වීම මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ දී මුහුණ දියහැකි අවදානමකි. ඒ හැරුණුකොට ග්‍රාමීය වැව් ආශ්‍රිතව මෙම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමේ දී වැදගත් විය හැකි නමුත් මේවනවිට අප සතුව නොමැති ඇතැම් තොරතුරු/කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීම ද ඉතා වැදගත්ය. 

ග්‍රාමීය සහ ගොවිජන පර්යේෂණ සම්බන්ධයේන් ක්‍රියාත්මක වන  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය, ග්‍රාමීය වැව් ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර කිරීමේ දී වැදගත් විය හැකි තොරතුරු සපයා ගැනීමේ අරමුණින් පර්යේෂණ අධ්‍යයනයක් ආරම්භ කිරීමට උත්සහ දරමින් සිටී.  උදාහරණයක් ලෙස ලංකාව පුරා විසිරී ඇති වැව් ජාලයෙන් මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝග්‍ය වැව් මොනවාද යන්න මූලිකව හඳුනා ගැනීම වැදගත් වේ.  ඒ අනුව අදාල ප්‍රදේශයට සූර්යාලෝකය ලැබෙන ප්‍රමාණය, වැව වටා ඇති ගස් මඟින් සෙවන නොවී පවතිව වර්ග ප්‍රමාණය ජලයේ ගැඹුර සහ වැවේ වයස යන කරුණු මත පදනම්ව සූර්යාලෝකය මඟින් ආලෝකය නිපදවීමේ විභවතාවයක් සහිත වැව් හඳුනා ගැනීමට අවශ්‍ය වනු ඇත.  එමෙන්ම මෙවැනි ව්‍යාපෘතීන් සඳහා  ගොවීන්, ගොවි සංවිධාන, සහ පොදුවේ ග්‍රාමීය ප්‍රජාව දක්වන කැමැත්ත සහ මේ සම්බන්ධව ඔවුන්ගේ අදහස් මොනවා ද? යන්න ද හඳුනා ගත යුතුව ඇත. 

තව ද මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමේ එහි අයිතිය, ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ  පවත්වාගෙන යාම කවුරුන් විසින් කෙසේ සිදු කළයුතු ද යන කාරණා  සැලකිල්ලට ගනිමින් මෙවැනි ව්‍යාපෘති සදහා භාවිතා කළ හැකි ක්‍රියාකාරීත්ව මොඩලයන් හදුනා ගැනීම ද  වැදගත් අවශ්‍යතාවයකි. 

අවශ්‍ය පසුබිම් තොරතුරු සපයාගෙන ග්‍රාමීය වැව් ආශ්‍රිතව පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකිනම් එමඟින් ගොවි සහ ග්‍රාමීය ප්‍රජාවන්ටත්, පොදුවේ රටේ ආර්ථිකයටත් කිනම් ආකාරයේ  යහපත් බලපෑමක් සිදු වේ දැයි වටහා ගැනීමට හැකිවනු ඇත. එසේම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ දායකත්වය ඉහළනැංවීමේ ප්‍රයත්නයට ද මෙවැනි නියමු ව්‍යාපෘතියක් මගින් අලගු සැපයෙනු ඇත. 

චින්තක ජයසුරිය – පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *