තිත්ත ඇත්ත: කාබනික කෘෂිකර්මාන්තය ගැන ගෝලීය පර්යේෂණාත්මක විමසුමක්

ගෝලීය වශයෙන් වැඩිම කාබනික ගොවීන් සංඛ්‍යාවක් සිටින්නේ ඉන්දියාවේ වන නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අරගල කරති

දුර්වල ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග, ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ සීමිත වෙළඳපළ රටේ කාබනික ගොවිතැනේ වර්ධනයට බලපායි.

ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මාන්තය වෙත විතැන් වීමට ගන්නා උත්සාහය බලාපොරොත්තු වූ ආකාරයටම සංකීර්ණ අර්බුදයක් බවට පත්ව තිබේ. සිය ලාභය ගැන පමණක් අවධානය යොමු කරන, ව්‍යාපාරික බෝග වගාවේ නියැලී සිටින ගොවීන් සහ විපක්ෂය එහිදී තීරණාත්මක ලෙස කාබනික ගොවිතැනට එරෙහි බලවේගය බවට පත්ව ඇත. ඒ සමග අඛණ්ඩව ඉහළ යන ජීවන වියදම සමග අරගල කරන අඩු ආදායම්ලාභීන් සහ මධ්‍යම පාන්තිකයින් අතර ද රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇත්තේ ඍණාත්මක ආකල්පයකි. එය සමහන් වනු වෙනුවට ක්‍රමිකව තීව්‍රර වන ආකාරයක් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

මේ තත්ත්වය නිර්මාණය වීමට බලපාන බහුවිධ සාධක තිබේ. විශේෂයෙන් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පසුගිය දශක කිහිපය පුරා අනුගමනය කර ඇති ප්‍රතිපත්ති සහ වැඩසටහන් ජනතාවගේ විශ්වාසය හීන කිරීමට ප්‍රබල ලෙස බලපා ඇති බවක් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. නිලධාරීන් වැඩමුළු සහ ලේඛනවල කියන දේ භූමියේ යථාර්ථය හා කිසිසේත් සමපාත නොවන බව කාට වුව ද පහසුවෙන් වැටහෙන දෙයකි.

විශේෂයෙන් පසුගිය කෙටි කාලය තුළ ක්‍රියාත්මක කරන ලද ‘සිතමු ගෙවතු වගා 25,000,00 වැඩසටහන, සෞභාග්‍ය යේ ගෙවතු වැඩසටහන (ගෙවතු දස ලක්ෂයක්) අපි වවලයි අපි කන්නේ, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන (2016-2018) ගම් දහසක් – වැව් දහසක්‘ වැනි වැඩසටහන් පමණක් නොව වත්මන් රජය විසින් ක්‍රියාවට නංවන ලද ‘බෝග 16 විප්ලවය‘ සහ ‘ජාතික ගෙවතු වගා සංග්‍රාමය‘‘ භූමිය තුළ යථාර්ථයක් වූ බව අදාළ නිලධාරීන්ට ලබාදිය හැකි සහතිකය කුමක්ද ?

කාබනික ගොවිතැන ගෝලීය තත්ත්වය

කාබනික ගොවිතැන වෙනුවෙන් දැඩිව පෙනී සිටින පාර්ශ්ව තම මතය සනාථ කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන දත්ත බෙහෝ විට තහවුරු නොවූ සහ සාවද්‍ය ඒකා බව පෙනේ. ඔවුන් උත්සාහා කරන්නේ වර්තමානය වන විට ‘ලෝකයම‘ කාබනික වගාවට යොමු වෙමින් සිටින බව තහවුරු කිරීමටය.

එහෙත් ඇත්ත කතාව කුමක් ද ? ලෝක කාබනික කෘෂිකර්ම වාර්තාව – 2018 (පෙබරවාරි) අනුව World of Organic Agriculture 2018 සහ එම වාර්තාව උපුටා දක්වන බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව (https://www.downtoearth.org.in/news/agriculture/30-per-cent-of-world-s-organic-producers-are-in-india-59748) ලෝකයේ කාබනික කෘෂිකර්මාන්තයේ නියැළී සිටින වගාකරුවන් ලක්ෂ 27ක් සිටින අතර ඉන් 50%ක්ට හිමිකම කියන්නේ චීනයයි. දෙවැනි ස්ථානය ඉන්දියාවට හිමිවන අතර ඉන්දියාවේ සහතික කළ කාබනික නිෂ්පාදකයින් 835,000 ක් සිටින එය ලෝකයේ මුළු කාබනික නිෂ්පාදකයින්ගෙන් 30%කි. තෙවන විශාලතම කාබනික නිෂ්පාදකයින් වන්නේ උගන්ඩාව (210,352) සහ මෙක්සිකෝව (210,000) ය. (කෙසේ වෙතත්, සහතික කරන ලද කාබනික වගාව යටතේ ඇති ප්‍රදේශය සම්බන්ධයෙන් ගත් කල, ඉන්දියාව දායක වන්නේ මුළු භූමි ප්‍රමාණයෙන් (හෙක්ටයාර මිලියන 57.8) සියයට 2.59 ක් (හෙක්ටයාර් මිලියන 1.5) පමණි)

ඉහත වාර්තාවට අනුව ලෝකයේ වැඩිම කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයක් කාබනික වගාවට යොමුකර ඇති රට ආජන්ටිනාව (හෙක්ටයාර් මිලියන 3ක්) වන අතර දෙවැනි රට ඕස්ට්‍රේලියාව වන අතර එරට හෙක්ටයාර් මිලියන 27.1 කාබනික කෘෂිකර්මාන්තයට යොමුකර ඇත. (මෙම ඉඩම්වලින් බහුතර තෘණබිම්ය) චීනය හෙක්ටයාර් මිලියන 2.4ක් කාබනික වගාවට යොමුකර ඇති අතර ඉන්දියාවේ එම අගය හෙක්ටයාර් මිලියන 1.5කි.

2016දී ලෝකයේ ප්‍රමුඛ කාබනික කෘෂිකර්මික රටවල් 10

ඉහත වගු සටහන දිගින් දිගටම විශ්ලේෂනය කිරීම අවශ්‍ය යැයි අපි නොසිතමු. මන්ද ගෝලීය යථාර්ථය මනාව පැහැදිලි වන හෙයිනි.

කාබනික කෘෂිකර්මාන්තය යනු පස, පරිසර පද්ධති සහ ජනතාවගේ සෞඛ්‍යය පවත්වා ගෙන යන නිෂ්පාදන පද්ධතියක් ලෙස අර්ථ දැක්වෙන අතර එය අහිතකර බලපෑම් සහිත යෙදවුම් භාවිතා කරනවාට වඩා පාරිසරික ක්‍රියාවලීන්, ජෛව විවිධත්වය සහ දේශීය තත්වයන්ට අනුවර්තනය වූ චක්‍ර මත රඳා පවතී.

ගෝලීය කාබනික නිෂ්පාදන වෙළෙදපොළ

ඩොලර් බිලියන 90 ක් වටිනා කාබනික නිෂ්පාදන 2016 දී ගෝලීයව අලෙවි වූ අතර ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය සහ ප්‍රංශය කාබනික නිෂ්පාදනවල විශාලතම වෙළඳපළට හිමිකම් කියයි. කාබනික නිෂ්පාදන ඒක පුද්ගල පරිභෝජනයෙන් ස්විට්සර්ලන්තය ඉහළින්ම සිටින අතර දෙවන ස්ථානය ඩෙන්මාර්කය සහ ස්වීඩනයයි.

කාබනික කෘෂිකර්මාන්තය 1999 දී හෙක්ටයාර මිලියන 11ක් නියෝජනය කළ අතර එය මේ වන විට සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන සිටී. නමුත් ගෝලීය වශයෙන් කාබනික කෘෂිකර්මාන්තයට හිමිවන්නේ සමස්ත කෘෂිකාර්මික භූමි ප්‍රමාණයෙන් 1.2%ක් පමණක් වීම අවධානයට ගත යුතුය.

වාර්තාවට අනුව ඕස්ට්‍රේලියාවේ විශාලතම කාබනික කෘෂිකාර්මික ඉඩම් (හෙක්ටයාර් මිලියන 27.1) ඇති අතර ආර්ජන්ටිනාව (හෙක්ටයාර් මිලියන 3) සහ චීනය (හෙක්ටයාර් මිලියන 2.4) ඇත.

ස්විස්ටර්ලන්තය කෘත්‍රිම පළිබොධනාශක තහනමට එරෙහිවූ හැටි

මේ තත්ත්වය තුළ කාබනික කෘෂිකර්මාන්තයට රට යොමු කළ යුතු බව අවධාරණය කරන මධ්‍යම පාන්තික වෘත්තිකයින් (වෛද්‍ය පාදෙනි්‍ය වැනි) සහ ඇතැම් විශ්වවිද්‍යාල උගතුන් ලෝකයේ / ගෝලීය කාබනික කෘෂිකර්මාන්තය, කෘත්‍රිම රසායනික භාවිතයෙන් ඉවත්ව ඇති රටවල් ගැන දක්වන දත්ත හා විශ්ලේෂණ කොතරම් දුරට සාවද්‍ය හා ගැටලුකාරී ද යන ප්‍රශ්නය අප හමුවේ පැන නගී.

උදාහරණයක් ලෙස පසුගිය ජූනි 11 වැනි දා ස්විස්ටර්ලන්තයේ පැවැති ‘කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කළ යුතු ද ? – නැද්ද ? ‘යන ජනමත විචාරණය ගත හැකිය. මෙහිදී කෘත්‍රිම පළිබෝධ නාශක තහනමට එරට රජය සහ ගොවීන් තීරණාත්මක ලෙස විරුද්ධ විය. අවසානයේ ජනමත විචාරණයේ ප්‍රතිඵලය කුමක්ද ? කෘත්‍රිම පළිබෝධ නාශක තහනම් කළ යුතුය යන ‘නාගරික තරුණ කණ්ඩායම්වල ඉල්ලීම (මෙම ඉල්ලීම කළේ ෆියුචර් 4 නම් නාගරික තරුණ කණ්ඩායමක් විසිනි) ස්විස් ජනතාවගේ 61%ක ඡන්දයෙන් සහ කැන්ටන් (ලංකාවේ දිස්ත්‍රික්ක ලෙස සලසමු) 24/23ක් ලෙස පරාජයට පත්වීමය.

භූතානයේ 100% කාබනික කතාව ඇත්තක්ද ?

ගොවීන්ට උපදෙස් දීම සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලයේ නියෝජිතයින් නිතිපතා ගොවිපලවල් වෙත පැමිණේ. රජය ගොවීන්ට කාබනික බීජ සපයන අතර ගොවීන් ඉතිරි ආයෝජනය කාබනික පොහොර සහ කාබනික පළිබෝධ නාශක වැනි දේ සඳහා යොදවයි.

මේ අතර ලෝකයේ කාබනික වගාවට 100%ක් යොමු වූ රට ලෙය ඇතැමුන් සලකන භූතානය ගැන ද ජාත්‍යන්තර වශයෙන් දැඩි විචේන පවතී. හිමාලය කදුකරයේ හුදකලාව පිහිටි භූතානය කාබනික වගාවට යොමුවීම හුදු දේශපාලනික තීන්දුවක් නොව එරට මුහුණ දෙන භෞතික, ආර්ථික හා පාරිසරික තත්ත්වයන් හමුවේ සිදු වූ දෙයක් ලෙස බොහෝ දෙනෙක් සලකති. ඔවුන් පෙන්වා දෙන්නේ ගෝලීය වශයෙන් හුදලකලා වී සිටින, සීමිත ජනගහනයක් ඇති භූතානය කාබනික වගාවට යොමුවීම කිසිසේත් ගෝලීය වශයෙන් සාර්ථක ආදර්ශයක් නොවන බවයි.

ඒ සමග ඔවුන් පෙන්වා දෙන්නේ කාබනික වගාවට පක්ෂපාතී කණ්ඩායම් දක්වන ආකාරයට භූතානය 100%ක් කාබනික වී නැති බවයි. ඒ බව සනාථ කිරීම සදහා ඔවුහු ජාත්‍යන්තර දත්ත උපුටා දක්වති.

ඉහත වගු සටහනේ දැක්වෙන ආකාරයට දකුණු ආසියානු කලාපයේ කෘෂිකර්මාන්තය සදහා රසායනික පොඓාර වැඩියෙන්ම භාවිතා කරන රට බංග්ලාදේශය වන අතර එහි වේගවත් වර්ධනයක් ද එරට වාර්තා කරයි. ඉන්දියාව දෙවැනි තැන ද පාකිස්ථාන තෙවැනි තැන ද සිටින අතර ශ්‍රී ලංකාව සිටින්නේ දකුණු ආසියානු කලාපයේ 04 වැනි ස්ථානයේය.

මේ අනුව කාබනික වගාවට පක්ෂපාතී, වසවිෂ ගැන කතා කරන බොහෝ දෙනෙක් සගවන හා පහසුවෙන් වසං කරන තත්ත්වයක් අපට ඉහත වගු සටහන අනුව වටහා ගත හැකිය. ඒ ලංකාවේ රසායනික පොහොර විවේචකයින් පවසන ආකාරයේ ‘දැවැන්ත‘ රසායනික පොහොර භාවිතයක් සිදු නොවන බවයි. එය 2018 දී හෙක්ටයාරයකට කිලෝ 139ක් වැනි අගයකි.

මෙහිදී දත්තමය වශයෙන් සලකන්නේ නම් දකුණු ආසියානු කලාපයේ ‘වසවිෂ නැති රට‘ යුද්ධයෙන් බැට කන ඇෆ්ගනිස්ථානය විය යුතුය. මන්ද ඔවුන් හෙක්ටයාරයකට භාවිතා කරන්නේ රසායනික පොහොර කිලෝ 7.7ක් වැනි ඉතාම සුළු ගණනකි. එය 2016දී කිලෝ 13.7 සිට 7.7 දක්වා අඩුවූ බව ද සැලකිය යුත්තකි.

එහෙත් ඇෆ්ගනිස්ථානයේ යථාර්ථය කාබනික ගොවිතැනේ තවත් ප්‍රචාරකවාදී රටක් වන ඇමෙරිකාු සම්බාධකවලින් බැටකන කියුබාව සහ උතුරු කොරියාවට නොදෙවෙනිය.

මෙහිදී යළිත් භූතානයේ කාබනික කතාව වෙත යොමු වුහොත් මේ හුදකලා රට, නිල වශයෙන් 100%ක් කාබනික ගොවිතැනට ගිය බව කියන රට 2016 දී හෙක්ටයාරයකට රසායනික පොහොර කිලෝ 13.3ක් භාවිතා කර ඇති අතර 2018 වන විට එය 36 දක්වා 270%කින් පමණ වර්ධනය වී ඇත.

ඉන්දියාවේ කාබනික වගාවේ අභියෝග හා හෙට දවස

Organic farms India

කාබනික ගොවිතැනට ප්‍රචාරක වාසියක් ලබා ගැනීම සදහා ඊට පක්ෂ කණ්ඩායම් ඉන්දියාව උපුටා දැක්වීම බහුලව දැකගත හැකිය. ලෝකයේ දෙවැනියට වැඩිම ජනගහනයක් සිටින, සහශ්‍ර වර්ෂ ගණනාවක අඛණ්ඩ කෘෂිකාර්මික ඉතිහාසයක් ඇති ඉන්දියාව සිය අධික ජනගහන නඩත්තු කිරීමට පමණක් නොව අපනයනය සදහා ද කෘෂිකර්මාන්තය යොදා ගන්නා බව අපට හොදාකාරවම දනිමු. ලංකාව ගතහොත් පරිප්පු, ළුෑණු පමණක් නොව කහ, කොත්තමල්ලි, කඩල, කුරක්කන් සහ සහල් පවා ඉන්දියාවෙන් අපනයනය කරමු. එනිසා අපට ඉන්දියාවේ ‘අති දැවැන්ත කෘෂිකර්මාන්ය‘ ගැන පහසු වැටහීමක් ඇත.

එහෙත් මෙහිදී අප අවධානයට ගත යුතු වන්නේ ඉන්දියාව යනු දකුණු ආසියාවේ බංග්ලාදේශයට පමණක් දෙවැනි වන රසායනික පොහොර භාවිතා කරන්නා බවයි. ඉහත සදහන් වගු සටහනට අනුව ඉන්දියව හෙක්ටයාරයකට රසායනික පොහොර කිලෝ 175ක් (2018) භාවිතා කරන අතර එය අඛණ්ඩ ඉහළ යාමකි ( 2016 දී කිලෝ 165.9, 2017 දී 170.00)

දකුණු ආසියාවේ කෘෂිකාර්මික දැවැන්තයා ද රසායනික පොහොර භාවිතයේ ද ඉහළ අගයක් හිමිකර ගන්නා ඉන්දියාව ලෝකයේ සමස්ත කාබනික නිෂ්පාදකයින්ගෙන් 30%ක් නියෝජනය කරන බව වාර්තාවල දැක්වේ. ඉන්දියාවේ සමස්ත කෘෂිකාර්මික වගාබිම් ප්‍රමාණය වන හෙක්ටයාර් මිලියන 57.8න් කාබනික වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 1.5ක් වන අතර එය සමස්ත වගාබිම් ප්‍රමාණයෙන් සියයට 2.59ක් වැනි අතිෂය සුළු අගයකි.  World of Organic Agriculture 2018 

ඒ අතරම, බොහෝ කාබනික ගොවීන් දුර්වල ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග, ඉහළ යන නිෂ්පාදන පිරිවැය සහ සීමිත වෙළඳපල හේතුවෙන් අරගලයක යෙදී සිටින බව Associated Chambers of Commerce and Industry of India (ASSOCHAM සහ ගෝලීය උපදේශන සමාගමක් වන Ernst & Young. විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

කාබනික ගොවිතැන තවමත් සාර්ථක වී නැත

2018 දී ඉන්දියාවේ පළමු කාබනික ප්‍රාන්තය ලෙස පිළිගත් සිකිම්හි පවා ගැටලු දක්නට ලැබේ. (සිකීම් ප්‍රාන්තය අසල්වැසි භූතානයට අතිෂයින් සමානය. බෞද්ධ බහුතරයක් ඇති ඉන්දියාවේ එකම ප්‍රාන්තයයි) දිල්ලිය පදනම් කරගත් විද්‍යා හා පරිසර මධ්‍යස්ථානය (Centre for Science and Environment) විසින් කරන ලද සමීක්ෂණයකින් පෙනී යන්නේ ‘සිකීම් ප්‍රාන්තය කාබනික ගොවිතැන සදහා මාරුවීම තවමත් සැබෑ සාර්ථකත්වයක් ලබා නොහැකි බවයි‘‘ (A survey by Delhi-based Centre for Science and Environment shows that the state’s transition to organic farming is yet to become a true success)

‘කාබනික පොහොර ලබා ගැනීමේ හැකියාව හා ප්‍රවේශය එකවර වැඩිවීම නිසා සිකිම්හි රසායනික පොහොර ඉවත් කිරීම අනුපූරක නොවන බව සමීක්ෂණයෙන් හෙළි විය.‘

සාම්ප්‍රදායික රසායනික ගොවිතැනේ සිට කාබනික ගොවිතැනට මාරුවීමේදී අඩු ඵලදායිතාව පිළිබඳව ගොවීන් පැමිණිලි කර ඇත. කාබනික භෝග වලට පළිබෝධ හානි සිදු වීම ගොවීන් අඩු ඵලදායිතාවයකට ගෙනහැර දැක්වීමට තවත් හේතුවක් වන අතර ඒ සමඟ කටයුතු කිරීමට අධ්‍යාපනය හා පුහුණුව ඉල්ලා ඇත.

‘‘ කාබනික ගොවිතැනට පරිවර්තනය වීමෙන් පසු පළිබෝධකයන්ගේ ගැටළුව වැඩි වූ නමුත් ශාක රෝග කළමනාකරණය සඳහා අවශ්‍ය වන මේ පිළිබඳව රජය තවමත් දත්ත පවත්වා ගෙන නොමැත‘ අදාළ වාර්තාව කියයි.

එසේම, රාජස්ථානයේ ගොවීන්ගෙන් 98% කට ආසන්න ප්‍රමාණයක් සාම්ප්‍රදායික රසායනික පදනම් කරගත් ගොවිතැනේ පාරිසරික උපද්‍රවයන් පිළිබඳව දැනුවත්ව සිටියද, නිෂ්පාදනය අඩුවනු ඇතැයි යන බිය සහ වෙළඳපොලේ කාබනික යෙදවුම් නොලැබීම කාබනික ගොවිතැනට මාරුවීම අධෛර්යමත් කරන බව 2015 දී සිදුකරන ලද අධ්‍යයනකින් හෙළි වී තිබේ.  

කාබනික ගොවිතැන බාධක වලින් පිරී තිබේ

ඉන්දීය කෘෂිකර්ම පර්යේෂණ සභාව සහ  ‘අශෝක් දල්වායි කමිටුව‘ විසින් ගොවීන්ගේ ආදායම දෙගුණ කිරීම පිළිබඳ වාර්තාව ද කාබනික වගාව වැලඳ ගැනීමේදී අස්වැන්න සියයට 30 කින් පහත වැටෙන බව පවසන ගොවීන්ගේ විවේචන ද සැලකිල්ලට ගෙන ඇත. කමිටු වාර්තාවට අනුව පරිවර්තනයට පෙර අස්වැන්න මට්ටම් ලබා ගැනීමට දශකයක් පමණ ගත වේ.

කාබනික නිෂ්පාදන අලෙවිකරණය සහතික කිරීම සඳහා ගොවීන් දේශීය හා ගෝලීය සැපයුම් දාමය සමඟ සම්බන්ධ කිරීම අතිශයින් වැදගත් ය. නමුත්  නව ICRIER අධ්‍යයනයකින්  හෙළි වූයේ සැපයුම් දාමය  ඌනසංවර්ධිත බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස කඳුකර ප්‍රදේශවල සහ ගෝත්‍රික ප්‍ර දේශවල පිහිටා ඇති කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ට වෙළඳපොළට පිවිසීම අතිශයින් දුෂ්කර ය. 

මිල අධික කාබනික නිෂ්පාදන

කාබනික නිෂ්පාදන වෙළඳපළ වෙත ළඟා වූ පසුව එහි අධික මිල පාරිභෝගිකයින් අධෛර්යයට පත් කරයි. පාරිභෝගිකයෙකු කාබනික ආහාර වෙත මාරු වුවහොත් මසකට රුපියල් 1,200–1,500 අතර අමතර වියදමක් දැරීමට සිදු වන බව ඇසෝචම් අධ්‍යයනය (ASSOCHAM study) පවසයි.

වඩා හොඳ වෙළඳපලක් සොයා ගැනීමට ගොවීන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටියද, කාබනික ආහාරපාන සඳහා දැනට පවතින සහතික කිරීමේ ක්‍රම මඟින් ඔවුන්ට එය අපහසු වේ.

ගොවීන් පවසන්නේ ඔවුන්ගේ කාබනික නිෂ්පාදන සාමාන්‍යයෙන් වඩා මිල අධික වන්නේ ඉහළ ශ්‍රම පිරිවැය සහ සාපේක්ෂව අඩු අස්වැන්නක් නිසා බවයි. 

ඇසෝචම් වාර්තාවට අනුව, කාබනික හා සාම්ප්‍රදායික නිෂ්පාදන අනිවාර්යයෙන් වෙන් කිරීම නිසා, විශේෂයෙන් සැකසුම් හා ප්‍රවාහනය සඳහා සාපේක්ෂව කුඩා කාබනික ආහාර හසුරුවීමෙන් පසු ඉහළ පිරිවැයක් දැරීමට සිදුවේ. 

“විශේෂිත ගොවි පුහුණු පිරිවැය, සැකසුම් හා ඉන්වෙන්ටරි රඳවා ගැනීමේ පිරිවැය ( without chemical additives ) සහ ඇසුරුම්කරණය, සැපයුම් සහ බෙදා හැරීමේ පිරිවැය වැඩි වීම (අඩු පරිමාව නිසා) කාබනික ආහාර නිෂ්පාදනවල ඉහළ මිලට දායක වේ” යනුවෙන් වාර්තාව පවසයි.

බහු සහතික කිරීමේ පද්ධති 

වඩා හොඳ වෙළඳපලක් සොයා ගැනීමට ගොවීන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටියද, කාබනික ආහාර සඳහා දැනට පවතින  සහතික කිරීමේ ක්‍රම මඟින් ඔවුන්ට එය අපහසු වේ. සහතික කිරීමේ පද්ධති කරදරකාරී හා කාලය වැය වනවා පමණක්  නොව, මිල අධිකය. කාබනික නිෂ්පාදනය සහ විකුණුම් නියාමනය කරන බහු සහතික කිරීමේ පද්ධති සහ බහු අමාත්‍යාංශ පිළිබඳ ව්‍යාකූලතා ඉවත් කිරීම වැදගත් ය. ඇත්ත වශයෙන්ම, ගොවීන්ගේ විරෝධතාවයෙන් පසුව, මේ 2018 ජූලි මස 1 වන දින සිට ආරම්භ කරන ලද කාබනික ආහාර පිළිබඳ රෙගුලාසි FSSAI නැවත සලකා බලයි.

මේ අතර රජය බාධක විසඳීමට ප්‍රමාණවත් තරම් කටයුතු කර නැත. ‘‘කාබනික ගොවීන් සඳහා මධ්‍යස්ථානයේ‘ (Centre’s free certification programme for organic farmers) නොමිලේ සහතික කිරීමේ වැඩසටහන වන Paramparagat Krishi Vikas Yojana (PKVY) ඊට නිදසුනකි.  ත්‍රිපුර, ඔඩීෂා සහ කර්ණාටක හැර සෙසු සියලුම ප්‍රාන්ත රාජ්‍යයන් තම අරමුදල්වලින් සියයට 50 ක් පවා මෙම යෝජනා ක්‍රමය යටතේ භාවිතා කිරීමට අපොහොසත් වී ඇති බව පීකේවීවයි ක්‍රියාත්මක කිරීම පිළිබඳ  2018 වාර්තාවක් අවධාරණය කරයි. වත්මන් වර්ෂය සඳහා මෙම යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිපාදන සියයට 44 කින් වැඩි කර ඇති අතර, ප්‍රාන්ත රාජ්‍යයන් වගකිව යුතු බවටත් “කාබනික ඉන්දියාව organic India” සඳහා දායක වීමටත් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.

Eco Business.com පදනම් වාර්තාව සහ තවත් ජාත්‍යන්තර වාර්තා රැසක් ඇසුරිණි – සකස් කළේ ඉන්ද්‍රිජිත් හේවාවිතාරණ

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.