කාබනික කෘෂිකර්මාන්තයේ මූලධර්ම මොනවාද ?

2005 වසරේ සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර රැස්වූ IFOAM – Organics International හි මහා මණ්ඩලය විසින් කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ සංක්ෂිප්ත අර්ථ දැක්වීමක් ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් සම්මත කරන ලදී.

නම් කරන ලද කාර්ය සාධක බලකායක් විසින් වසර තුනකට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් පසු, කාබනික කෘෂිකර්මයේ මූලධර්ම හතර සංක්ෂිප්ත ආකාරයකින් පිළිබිඹු කරන අර්ථ දැක්වීමක් ඉතාලියේ විග්නෝලා හි දී සම්මත කරන ලදී.

ඒ අනුව ‘‘කාබනික කෘෂිකර්මාන්තය යනු පස, පරිසර පද්ධති සහ ජනතාවගේ සෞඛ්‍යය පවත්වා ගෙන යන නිෂ්පාදන පද්ධතියකි. එය අහිතකර බලපෑම් සහිත යෙදවුම් භාවිතා කරනවාට වඩා පාරිසරික ක්‍රියාවලීන්, ජෛව විවිධත්වය සහ දේශීය තත්වයන්ට අනුවර්තනය වූ චක්‍ර මත රඳා පවතී. කාබනික කෘෂිකර්මාන්තය සම්ප්‍රදාය, නවෝත්පාදන හා විද්‍යාව ඒකාබද්ධ කොට හවුල් පරිසරයට ප්‍රතිලාභ ලබා දෙන අතර සාධාරණ සම්බන්ධතා සහ යහපත් ජීවන තත්ත්වයක් ප්‍රවර්ධනය කරයි. – IFOAM මහා සභාව2008

කාබනික කෘෂිකර්මයේ මූලධර්ම (The Principles of Organic Agriculture) හතර වන්නේ

  1. සෞඛ්‍යය Health
  2. පරිසර විද්‍යාව Ecology
  3. සාධාරණත්වය Fairness
  4. රැකවරණයයි Care.

සෞඛ්‍ය මූලධර්ම

සෞඛ්‍යය යනු ජීවන පද්ධතිවල පූර්ණත්වය හා අඛණ්ඩතාවයි. එය හුදෙක් රෝගාබාධ නොමැතිවීම නොව ශාරීරික, මානසික, සමාජීය හා පාරිසරික යහපැවැත්ම නඩත්තු කිරීමයි. ප්‍රතිශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව සහ පුනර්ජනනය සෞඛ්‍යයේ ප්‍රධාන ලක්ෂණ වේ.

කාබනික කෘෂිකර්මාන්තයේ කාර්යභාරය වන්නේ පසෙහි සිට මිනිසා දක්වා පරිසර පද්ධති හා ජීවීන්ගේ සෞඛ්‍යය පවත්වා ගෙන යාම සහ වැඩි දියුණු කිරීමයි.

විශේෂයෙන් කාබනික කෘෂිකර්මාන්තය අපේක්ෂා කරන්නේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සඳහා දායක වන උසස් තත්ත්වයේ පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනය කිරීමයි. මෙය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකි පොහොර, පළිබෝධනාශක, සත්ව ඖෂධ සහ ආහාර ආකලන (food additives) භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය. (ආහාරවල ආරක්ෂාව, නැවුම් බව, රසය, වයනය හෝ පෙනුම පවත්වා ගැනීම හෝ වැඩි දියුණු කිරීම සඳහා ආහාරයට එකතු කරන ද්‍රව්‍ය ආහාර ආකලන food additivesලෙස හැඳින්වේ. සමහර ආහාර ආකලන සියවස් ගණනාවක් තිස්සේ ආහාර කල් තබා ගැනීමේ උත්සාහයක කොටසක් ලෙස භාවිතා කර ඇත, උදාහරණයක් ලෙස විනාකිරි, ලුණු, සීනි ආදිය)

පරිසර විද්‍යාවේ මූලධර්ම

මෙම මූලධර්මය ජීව පාරිසරික පද්ධති තුළ කාබනික කෘෂිකර්මාන්තය මුල් බැස ගනී. නිෂ්පාදනය පාරිසරික ක්‍රියාවලීන් හා ප්‍රතිචක්‍රීකරණය මත පදනම් විය යුතු බව එහි සඳහන් වේ.

සමනලයා

පෝෂණය හා යහපැවැත්ම සාක්ෂාත් කරගනු ලබන්නේ නිශ්චිත නිෂ්පාදන පරිසරයේ පරිසර විද්‍යාව මගිනි. උදාහරණයක් ලෙස, බෝග සම්බන්ධයෙන් ගත් කල මෙය ජීවමාන පස වේ; සතුන් සඳහා එය ගොවිපල පරිසර පද්ධතියයි; මත්ස්‍ය හා සාගර ජීවීන් සඳහා ජලජ පරිසරය.

කාබනික ගොවිතැන ඍතුව, ස්වභාවධර්මයේ චක්‍ර හා පාරිසරික සමතුලිතතාවයට ගැළපේ. මෙම චක්‍ර විශ්වීය නමුත් ඒවායේ ක්‍රියාකාරිත්වය අඩවි විශේෂිත වේ. කාබනික කළමනාකරණය දේශීය තත්වයන්, පරිසර විද්‍යාව, සංස්කෘතිය හා පරිමාණයට අනුගත විය යුතුය. පාරිසරික ගුණාත්මකභාවය පවත්වා ගෙන යාම සහ සම්පත් සංරක්ෂණය කිරීම සඳහා ද්‍රව්‍ය හා බලශක්තිය නැවත භාවිතා කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ කාර්යක්ෂමව කළමනාකරණය කිරීම මඟින් යෙදවුම් අඩු කළ යුතුය.

කාබනික කෘෂිකර්මාන්තය ගොවිතැන් සැලසුම් කිරීම, වාසස්ථාන පිහිටුවීම සහ ජාන හා කෘෂිකාර්මික විවිධත්වය නඩත්තු කිරීම තුළින් පාරිසරික සමතුලිතතාවය ළඟා කර ගත යුතුය. කාබනික නිෂ්පාදන නිෂ්පාදනය, සැකසීම, වෙළඳාම හෝ පරිභෝජනය කරන අය භූ දර්ශන, දේශගුණය, වාසස්ථාන, ජෛව විවිධත්වය, වාතය සහ ජලය ඇතුළු පොදු පරිසරය ආරක්ෂා කර ප්‍රතිලාභ ලබා ගත යුතුය.

සාධාරණත්වයේ මූලධර්මය

සාධාරණත්වය යනු මිනිසුන් අතර මෙන්ම අනෙකුත් ජීවීන් සමඟ ඔවුන්ගේ සබඳතාවලදී සමානාත්මතාවය, ගෞරවය, යුක්තිය සහ භාරකාරත්වයයි.

මෙම මූලධර්මය මගින් අවධාරණය කරනුයේ කාබනික කෘෂිකර්මාන්තයට සම්බන්ධ අය සියලු මට්ටම්වල සාධාරණත්වය සහතික වන අයුරින් මානව සම්බන්ධතා පැවැත්විය යුතු බවයි.ගොවීන්, කම්කරුවන්, සකසනයන්, බෙදාහරින්නන්, වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් යන සියලු පාර්ශවයන් ඊට අයත් වේ. කාබනික කෘෂිකර්මාන්තය සෑම කෙනෙකුටම හොඳ ජීවන තත්ත්වයක් ලබා දිය යුතු අතර ආහාර ස්වෛරීභාවයට සහ දුප්පත්කම අවම කිරීමට දායක විය යුතුය. හොඳ තත්ත්වයේ ආහාර සහ වෙනත් නිෂ්පාදන ප්‍රමාණවත් ලෙස සැපයීම එහි අරමුණයි.

මෙම මූලධර්මය අවධාරණය කරන්නේ සතුන්ට ඔවුන්ගේ කායික විද්‍යාව, ස්වාභාවික හැසිරීම සහ යහපැවැත්මට අනුකූල වන ජීවන තත්වයන් සහ අවස්ථාවන් ලබා දිය යුතු බවයි.

නිෂ්පාදනය හා පරිභෝජනය සඳහා භාවිතා කරන ස්වාභාවික හා පාරිසරික සම්පත් සමාජීය හා පාරිසරික වශයෙන් යුක්ති සහගත ලෙස කළමනාකරණය කළ යුතු අතර අනාගත පරපුර කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. සාධාරණත්වයට විවෘත හා සමානාත්මතාවයෙන් යුත් නිෂ්පාදන, බෙදාහැරීම් සහ වෙළඳ පද්ධති අවශ්‍ය වන අතර සැබෑ පාරිසරික හා සමාජ වියදම් සඳහා වගකියනු ලැබේ.

රැකවරණය පිළිබඳ මූලධර්මය

කාබනික කෘෂිකර්මාන්තය යනු අභ්‍යන්තර හා බාහිර ඉල්ලීම් හා කොන්දේසි වලට ප්‍රතිචාර දක්වන සජීවී හා ගතික පද්ධතියකි.

කාබනික කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ට කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ඵලදායිතාව ඉහළ නැංවීමට හැකි නමුත් මෙය සෞඛ්‍යය හා යහපැවැත්මට තර්ජනයක් විය යුතු නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස නව තාක්ෂණයන් තක්සේරු කළ යුතු අතර පවතින ක්‍රම සමාලෝචනය කළ යුතුය. පරිසර පද්ධති සහ කෘෂිකර්මාන්තය පිළිබඳ සම්පූර්ණ අවබෝධය සැලකිල්ලට ගෙන සැලකිලිමත් විය යුතුය.

මෙම මූලධර්මය පවසන්නේ කාබනික කෘෂිකර්මාන්තයේ කළමනාකරණය, සංවර්ධනය සහ තාක්‍ෂණික වරණයන්හි ප්‍රධාන කරුණු වන්නේ පූර්වාරක්ෂාව සහ වගකීම බවයි.

කාබනික කෘෂිකර්මාන්තය සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත සහ පාරිසරික වශයෙන් ශක්තිමත් බව සහතික කිරීම සඳහා විද්‍යාව අවශ්‍ය වේ. කෙසේ වෙතත්, විද්‍යාත්මක දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. ප්‍රායෝගික අත්දැකීම්, සමුච්චිත ප්‍රඥාව සහ සාම්ප්‍රදායික හා දේශීය දැනුම වලංගු විසඳුම් ලබා දෙයි.

කාබනික කෘෂිකර්මාන්තය සුදුසු තාක්‍ෂණයන් අනුගමනය කිරීමෙන් සහ ජාන ඉංජිනේරු විද්‍යාව වැනි අනපේක්ෂිත ඒවා ප්‍රතික්ෂේප කිරීමෙන් සැලකිය යුතු අවදානම් වළක්වා ගත යුතුය. තීරණ විනිවිද පෙනිය යුතු අතර සහභාගීත්ව ක්‍රියාවලීන් තුළින් බලපෑමට ලක්විය හැකි සියලු දෙනාගේ සාරධර්ම හා අවශ්‍යතා පිළිබිඹු කළ යුතුය.

IFOAM Organic International ඇසුරිණි – සැකසුම – තුෂාර වල්ගම

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *