ඉන්දියාවේ ‘දැවැදි දීමේ‘ අලුත්ම දත්ත හෙළිදරව්ව !

ඉන්දියාවේ විවාහයෙන් පසු යුවළයන්ගෙන් 90% කට වඩා සැමියාගේ පවුල සමඟ ජීවත් වේ

කන්දක් උඩ පුංචි පැල්පතක් හදාගෙන ලුණුයි බතුයි කාලා ආදරයෙන් ජීවත් වෙන්න තමයි පෙම්වතුන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ. එහෙම හිතන පතන අයට වටින්නේ පෙම්වතියගේ ආදරය පමණයි ! ඒත් සැබෑ ලෝකයේ ආදරය කියන තරම් සුන්දර හෝ සරල නැති බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ආදරය විවාහයකට පරිවර්තනය කර ගැනීම හිතන පතන තරම් පහසු නැහැ.

අපි මේ කියන්න යන්නේ අපට ඒ තරම් අදාළ නැතැයි කියලා හිතුණත් ඇත්තටම අපටත් අදාළ කරුණක් ගැන කතාවක්. මාතෘකාව ‘දෑවැද්ද‘. ස්ථානය ඉන්දියාව. කාලය වර්තමානය. ගැටලුව ‘මනුෂ්‍යත්වය‘ !

දෑවැද්ද ඉල්ලීම නීතියෙන් තහනම් වුව ද පසුගිය දශක කිහිපය තුළ ඉන්දියාවේ ගම්මානවල දෑවැදි ගෙවීම් තව දුරටත් 95%ක් වැනි අති විශාල ප්‍රතිශතයකින් සිදුවන බව ලෝක බැංකු අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. 1960 සිට 2008 දක්වා කාලය තුළ ග්‍රාමීය ඉන්දියාවේ සිදු වූ විවාහ 40,000 ක් පිළිබඳව පර්යේෂකයන් සොයා බැලීමෙන් පසුව තමයි මේ නිගමනයට පැමිණ තිබෙන්නේ.

1961 දී ඉන්දිය රජය විසින් දෑවැද්ද ඉල්ලා සිටීම නීති විරෝධි කළා. නමුත් එදා සිට අද දක්වා ම ඉන්දියාවේ සිදුවන විවාහ වලින් 95% ක් සඳහා දෑවැද්ද ගෙවා ඇති බව ඔවුහු සොයා ගෙන තිබෙනවා.

බොහෝ විට ‘සමාජ නපුරක්‘ ලෙස විස්තර කෙරෙන මෙම පුරුද්ද අඛණ්ඩව වර්ධනය වන අතර ගෘහස්ථ හිංසනයට හා මරණයට පවා කාන්තාවන් ගොදුරු වෙනවා.

දෑවැද්ද ගෙවීම සහ භාර ගැනීම දකුණු ආසියාවේ සියවස් ගණනක් පැරණි සම්ප්‍රදායක් වන අතර මනාලියගේ දෙමව්පියන් මනාලයාගේ පවුලට මුදල්, ඇඳුම් හා ස්වර්ණාභරණ තෑගි කරනවා.

මෙම අධ්‍යයනය පදනම් වී ඇත්තේ ඉන්දියාවේ ජනගහනයෙන් 96%ක් ජීවත් වන ඉන්දියානු ප්‍රාන්ත 17ක දෑවැදි දත්ත මත යි. පර්යේෂකයින් ග්‍රාමීය ඉන්දියාව කෙරෙහි අවධානය යොමු කළේ ඉන්දියානුවන් බහුතරයක් දිගටම ගම්වල ජීවත් වන නිසයි.

ආර්ථික විද්‍යාඥයින් වන එස් අනුක්‍රිති, නිෂිත් ප්‍රකාශ් සහ සුන්ගෝ ක්වොන් විවාහ වූ අවස්ථාවේ දී ලැබුණු හෝ ලබා දුන් තෑගි වල වටිනාකම පිළිබද තොරතුරු භාවිතා කර තිබෙනවා.

ඔවුන් “ශුද්ධ දෑවැද්ද” ගණනය කළේ මනාලියගේ පවුලේ අය මනාලයාට හෝ ඔහුගේ පවුලට සහ මනාලයාගේ පවුල විසින් මනාලියගේ පවුලට ලබා දුන් තෑගි වල වටිනාකම අතර වෙනස මතයි. මනාලයාගේ පවුල මනාලියගේ පවුලට ඉතා සුළු මුදල් හා තෑගි ප්‍රමාණයක් ගෙව තිබෙනවා.

සාමාන්‍ය ශුද්ධ දෑවැද්ද කාලයාගේ ඇවෑමෙන් “කැපී පෙනෙන ලෙස ස්ථාවර” වී ඇති බව ඔවුන් සොයා ගත් අතර 1975 ට පෙර සහ 2000 ට පසුව යම් ඉහළ යාමක් සිදුව තිබෙනවා.

මනාලියගේ පවුල මනාලියගේ පවුලට තෑගි වශයෙන් සාමාන්‍යයෙන් රුපියල් 5,000ක් වැය කරන බව පර්යේෂකයෝ සොයා ගෙන තිබෙනවා. නමුත් මනාලියගේ පවුලේ අයගෙන් ලද තෑගිවල වටිනාකම රුපියල් 32,000ක් පමණ වෙනවා. එය 700%ක වෙනසක්. මෙයින් ගම්‍ය වන්නේ සාමාන්‍ය සැබෑ ශුද්ධ දෑවැද්ද රුපියල් 27,000ක් බවයි !

දෑවැද්ද ගෘහස්ථ ඉතිරිකිරීම් සහ ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නියෝජනය කරනවා. 2007 දී ග්‍රාමීය ඉන්දියාවේ සාමාන්‍ය ශුද්ධ දෑවැද්ද වාර්ෂික කුටුම්භ ආදායමෙන් 14% ට සමාන වී තිබෙනවා.

“ආදායමේ කොටසක් ලෙස, දෑවැද්ද කාලයත් සමඟ පහත වැටී ඇත්තේ ඉන්දියාවේ සාමාන්‍ය ග්‍රාමීය ආදායම ඉහළ ගොස් ඇති නිසා” යැයි ලෝක බැංකු පර්යේෂණ කණ්ඩායමේ ආර්ථික විද්‍යාඥ ආචාර්ය අනුක්‍රිති පැවසුවා.

“නමුත් මෙය සාමාන්‍ය හිමිකම් පෑමක් පමණයි. සෑම ගෘහයකම ගෘහ ආදායමට සාපේක්ෂව දෑවැද්ද කොතරම් විශාලද යන්න ගණනය කිරීම සඳහා අපට ගෘහස්ථ ආදායම හෝ වියදම් පිළිබඳ දත්ත අවශ්‍යයි. නමුත් අවාසනාවකට අපට එවැනි දත්ත නැහැ”ෙ

ඉන්දියාවේ විවාහය

  • ඉන්දියාවේ සෑම විවාහයක්ම පාහේ ඒකාකාරී ය
  • දික්කසාද අනුපාතය 1%ක් වැනි පහළම අගයකි.
  • මනාලිය / මනාලයා තෝරා ගැනීමේදී දෙමාපියන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි – 1960 සහ 2005 අතර විවාහ වලින් 90%කට වඩා, දෙමව්පියන් විසින් කලත්‍රයා තෝරා ගත්හ
  • යුවළයන්ගෙන් 90% කට වඩා විවාහයෙන් පසු සැමියාගේ පවුල සමඟ ජීවත් වේ
  • කාන්තාවන්ගෙන් 85% කට වඩා වැඩි ප්‍රමාණයක් තම ගමෙන් පිටත කෙනෙකු විවාහ කර ගනී
  • විවාහ වලින් 78.3% ක් එකම දිස්ත්‍රික්කයක් තුළ වේ

මූලාශ්‍රය: විවාහ වෙළඳපොල සහ ඉන්දියාවේ දෑවැදි නැගීම – ගෞරව් චිප්ලුන්කර් සහ ජෙෆ්රි වීවර් විසිනි

2008 සිට මේ දක්වා ඉන්දියාවේ බොහෝ වෙනස්කම් සිදුවී තිබෙනවා. “විවාහ වෙලඳපොළවල්, නීති, පිරිමින්ගේ හා කාන්තාවන්ගේ මානව ප්‍රාග්ධනය සහ කාන්තා ශ්‍රම වෙළඳපොළ ප්‍රතිඵල වල කිසිදු කැපී පෙනෙන වෙනසක් හෝ ව්‍යුහාත්මක බිඳවැටීමක්” නොතිබීම නිසා දෑවැදි ගෙවීමේ ප්‍රවණතා හෝ රටාවන් ද නොවෙනස්ව පවතින බව පර්යේෂකයෝ පවසනවා

ඉන්දියාවේ සියලුම ප්‍රධාන ආගමික කණ්ඩායම්වල පවුල් අතර දෑවැද්ද ඉල්ලීම හා ලබාදීම බහුලව සිදුවන බව අධ්‍යයනයෙන් අනාවරණය වී තිබෙනවා. කිතුනුවන් සහ සීක්වරු අතර දෑවැද්දෙහි කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කළ අතර එය හින්දු සහ මුස්ලිම්වරුන්ට වඩා සාමාන්‍ය දෑවැද්දකට හේතු වී තිබෙනවා.

තවත් සිත්ගන්නා කරුණක් වූයේ කාලයත් සමඟ ප්‍රාන්තවල සැලකිය යුතු වෙනස්කම් ඇති වීමයි. දකුණු කේරළ ප්‍රාන්තය 1970 දශකයේ සිට “දැඩි හා අඛණ්ඩ දෑවැදි ඉහළ යාමක්” පෙන්නුම් කළ අතර මෑත වසරවලදී එහි කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව ඇති බව අධ්‍යයනයෙන් අනාවරණය වී තිබෙනවා. හර්යානා, පන්ජාබ් සහ ගුජරාට් වැනි අනෙකුත් ප්‍රාන්ත ද දෑවැද්ද ඉල්ලීමේ වර්ධනයක් වාර්තාකර තිබෙනවා. අනෙක් අතට, ඔඩීෂා (කලින් ඔරිස්සා), බටහිර බෙංගාලය, තමිල්නාඩු සහ මහාරාෂ්ට්‍ර වැනි ප්‍රාන්තවල සාමාන්‍ය දෑවැද්ද අඩු වීමක් නිරීක්ෂණය වී තිබෙනවා‍ෙ

“මෙම වෙනස්කම් පිළිබඳව අපට නිශ්චිත පිළිතුරු නැහැ. ඉදිරි පර්යේෂණ වලදී මෙම ප්‍රශ්නය ගවේෂණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි ආචාර්ය අනුක්‍රිති පැවසුවා.

පසුගිය ජනවාරියේ ප්‍රකාශයට පත් කරන ලද  පර්යේෂණ වාර්තාව සම්පාදනයට ආර්ථික විද්‍යාඥයින් වන ගෞරව් චිප්ලුන්කර් සහ ජෙෆ්රි වීවර් පසුගිය ශතවර්ෂය තුළ ඉන්දියාවේ විවාහ 74,000 කට වැඩි සංඛ්‍යාවක දත්ත භාවිතා කර තිබෙනවා.

1930 සිට 1975 දක්වා දෑවැදි ගෙවීම් ඇතුළු ඉන්දියානු විවාහවල අනුපාතය දෙගුණයක් වූ අතර දෑවැදි ගෙවීම්වල සාමාන්‍ය වටිනාකම තුන් ගුණයකින් වැඩි වූ බව පර්යේෂකයෝ සොයා ගෙන තිබෙනවා. නමුත් 1975 න් පසු සාමාන්‍ය දෑවැදි ප්‍රමාණය අඩුවී තිබෙනවා.

1950 සිට 1999 දක්වා කාලය තුළ ඉන්දියාවේ දෑවැදි ගෙවීම්වල මුළු වටිනාකම ඩොලර් ට්‍රිලියන 4/1ක් බව ඔවුහු ගණන් බලා තිබෙනවා.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *