දැන් ඉතිං දේශගුණික විපර්යාසයන්ගෙන් ගැළවීමක් නෑ !

පෘථිවිය උණුසුම් වීම වැළැක්විය හැකි සහ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා අඩු මට්ටමක තබා ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා සියලු ජාතීන් දැඩි උත්සාහයන් ගත යුතුය.

  • ශ්‍රී ලංකාව සහ මාලදිවයින දැඩි අවදානමක
  • ගල් අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතය අවසන් කිරීම අවශ්‍යයි
  • 2030 වන විට සූර්ය හා සුළං මගින් විදුලිය නිපදවන ධාරිතාව වැඩි විය යුතුයි
  • තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඉදිරි පියවර ගත යුතුයි
  • කොවිඩ් -19 න් පසු හරිත ආර්ථිකයක් යෝජනා කෙරේ
  • ගෝලීය උණුසුම ඉහළ යාම සමග ගංවතුර තර්ජන ඉහළ යනු ඇත

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් යම් විනාශයක් සිදුවනු ඇතැයි අනතුරු අඟවන එක්සත් ජාතීන්ගේ නව වාර්තාවක් පරිසරවේදීන් විසින් මානව වර්ගයාගේ ‘අවසාන අවදි කිරීමේ ඇමතුම final wake-up call’‘ ලෙස නම් කර ඇත.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change – IPCC) විසින් ඉතා අපේක්‍ෂිත වාර්තාවක් පසුගිය අගෝස්තු 15 වැනිදා නිකුත් කර ඇත. ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 ට ආසන්නව හෝ කාර්මික පූර්ව මට්ටමට වඩා සෙල්සියස් අංශක දෙකකට සීමා කිරීමේ උත්සාහයන් ඉදිරි දශක දෙක තුළදී ක්ෂණික ක්‍රියාමාර්ගවලින් තොරව (හරිතාගාර වායු විමෝචනය වේගයෙන් හා විශාල පරිමාණයෙන් අඩු කිරීම වෙත) “ළඟා විය නොහැකි” බවට අනතුරු අඟවා ඇත.

වාර්තාවේ දක්වා ඇති සෙල්සියස් අංශක 1.5 සීමාව ඉතා වැදගත් ගෝලීය ඉලක්කයක් වන්නේ මෙම මට්ටමෙන් ඔබ්බට උච්චතම අවස්ථාව (tipping points) වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවිනි. හැරවුම් ලක්ෂ්‍යය මඟින් දේශගුණික පද්ධතියේ ආපසු හැරවිය නොහැකි වෙනසක් ඇති වන අතර එමඟින් තවදුරටත් ගෝලීය උණුසුම ඉහළ යාම අවහිර වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් දැඩි අවදානමට ලක්ව ඇති රටවල් අතර මාලදිවයින ද වේ. ඉදිරි වසර කිහිපය තුළ මාලදිවයින ජලයෙන් යට වේ යැයි බියක් පවතී. 

මෙම වාර්තාව පිළිබඳව මාලදිවයිනේ පාරිසරික, දේශගුණික විපර්යාස හා තාක්‍ෂණ අමාත්‍ය අමිනාත් ෂෝනා (Aminath Shauna) සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි (Hanaa Singer-Hamdy) සමඟ  කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය පහත පළ වේ.

මාලදිවයින මෙන්ම දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ද බරපතළ දේශගුණික විපර්යාස අර්බුදයක මුවවිට සිටින හෙයින් මාලදිවයිනේ අදහස් හා සැලසුම් අපට ද අදාළ වේ.

Q – මෙම වාර්තාව මඟින් බොහෝ රටවල් පරිසරය ආරක්ෂා කිරීම සඳහා අඩු ප්‍රමුඛතාවක් ලබා දී ඇති අතර එහි ප්‍රතිවිපාකවලට අපි දැන් මුහුණ දී සිටින බවක් හැඟීමක් ඇති කරයි. දැන් ප්‍රමාද වැඩියි නේද?

හනා සිංගර් : වාර්තාවට අනුව, මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසයෙන් ගැලවීම තවදුරටත් කළ නොහැකියි. දේශගුණික විපර්යාස දැන් සෑම මහද්වීපයකටම, සෑම ප්‍රදේශයකටම, පෘථිවියේ සෑම සාගරයකටම සහ කාලගුණයේ සෑම අංශයකටම බලපා තිබෙනවා. කෙසේ වෙතත්, මිනිසුන් කැමති නම් නරකම හානිය වළක්වා ගැනීමට තවමත් කාලය තිබෙනවා. 

එම නිසා ඔබේ ප්‍රශ්නය වෙත ආපසු ගියහොත්, වාර්තාවේ අරමුණ වන්නේ අපි සන්ධිස්ථානයක සිටින බව ඉස්මතු කර දැක්වීමයි. අපට දැන් වෙනස්කම් කිරීමට හෝ දරුණු ප්‍රතිවිපාක විඳීමට සිදු විය හැකියි. නිදසුනක් වශයෙන්, මානව ක්‍රියාකාරකම් වලින් හරිතාගාර වායු විමෝචනය වීම හේතුවෙන් ඉදිරි වසර 20 තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අවම වශයෙන් අවුරුදු මිලියන දෙකකටත් වඩා 2019 දී වැඩි වුණා. 

තවත් කරුණක් නම් පසුගිය වසර 800,000 තුළ මීතේන් සහ නයිට්‍රික් ඔක්සයිඩ් සාන්ද්‍රණය ඕනෑම අවස්ථාවක වඩා වර්තමානයේ වැඩි වීමයි. එසේ නම් අප සිටින අර්බුදයේ විශාලත්වය ඔබට සිතා ගත හැකියි. නමුත් පොසිල ඉන්ධන භාවිතය සීමා කිරීමෙන් සහ වන විනාශය නැවැත්වීමෙන් ඍණාත්මක දේශගුණික ප්‍රවණතාවයන් නැවැත්වීමට අපට තවමත් අවස්ථාවක් තිබෙන බව ද අපි සිතනවා. එබැවින් ලෝකය දැන් කාබන් දූෂණය විශාල වශයෙන් කප්පාදු කළ යුතුයි. ගල් අඟුරු සහ පොසිල ඉන්ධන අපේ පෘථිවිය විනාශ කිරීමට හා මනුෂ්‍යත්වය විනාශ කිරීමට පෙර ඒවායේ අවසානය දැක ගත යුතුයි. 

2021 න් පසු නව ගල් අඟුරු බලාගාරයක් නොතිබිය යුතුයි. 2030 වන විට සංවර්ධිත රටවල් පවතින ගල් අඟුරු ඉවත් කරන බව අප දැක ගත යුතු අතර, 2040 වන විටත් සෑම රටක්ම එසේ කළ යුතුයි. සෙසු රටවල් ද සියළුම නව පොසිල ඉන්ධන ගවේෂණය හා නිෂ්පාදනය අවසන් කළ යුතුයි. අපේ පෘථිවියේ අනාගතය ආරක්‍ෂා කර ගැනීමට නම් 2030 වන විට සූර්ය හා සුළං බලශක්ති ධාරිතාව හතර ගුණයකින් වැඩි විය යුතු අතර පුනර්ජනනීය බලශක්ති ආයෝඡන තුන් ගුණයකින් වැඩි විය යුතුයි. තවද මම මෙය තදින් අවධාරණය කිරීමට කැමතියි. අපි බලාපොරොත්තු සුන් කර ගත යුතු නැහැ. පෘථිවිය මත අපගේ ක්‍රියාවන්හි බලපෑම සීමා කිරීමට අපට තවමත් ක්‍රියා කළ හැකියි.   

Q – විශේෂයෙන් මෙම කලාපයේ දේශගුණික විපර්යාසයන්ගෙන් වැඩි අවදානමක් ඇති රටවල් මොනවාද ?

හනා සිංගර්: දේශගුණික විපර්යාස ලොව සෑම ප්‍රදේශයකටම බලපාන අතර පෘථිවිය මත මානව ක්‍රියාකාරකම් වල බලපෑම අවම කිරීම සඳහා සෑම රටක්ම වැදගත් භූමිකාවක් ඉටු කිරීම අවශ්‍යයි. වාර්තාගත ලෙස ඉහළ උෂ්ණත්වය, නියඟය සහ ලැව් ගිනි අපි දකිනවා. මේ වසරේ මධ්‍යධරණී මුහුදේ, රුසියාවේ සහ උතුරු ඇමරිකාවේ එම තත්ත්වය වඩාත් ප්‍රදර්ශනය වුණා. පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ සිදු වූ දරුණු ලැව් ගිනි අමතක කළ හැක්කේ කාටද? ගෝලීය උණුසුම ඉහළ යනු වායුගෝලයේ ජල වාෂ්ප ඉහළ යාමක් ද වන අතර එමගින් වඩාත් තීව්‍රර ගංවතුර තර්ජන ඇති කරනවා. උදාහරණයක් ලෙස යුරෝපයේ සහ චීනයේ ගංවතුර තත්ත්වය සැලකිය හැකියි. 

දැන් සාගරය උණුසුම් වීම නිවර්තන කුණාටුවල ගණන, තීව්‍රතාවය සහ ස්ථාන කෙරෙහි ද බලපා තිබෙනවා. එබැවින් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑමෙන් අපට ගැලවිය හැකි ස්ථානයක් මිහිපිට නැහැ. පසුගිය දා නිකුත් වූ වාර්තාවේ රටවල් සඳහන් වන්නේ නැහැ. කෙසේ වෙතත්, දකුණු ආසියානු කලාපය සඳහා තාප තරංග සහ තෙතමනය සහිත තාප පීඩනය වඩාත් තීව්‍ර හා නිතර සිදුවන බව එහි සඳහන් වෙනවා. 

දෙවන කරුණ නම් වාර්ෂික සහ ගිම්හාන මෝසම් වර්ෂාපතනය වැඩි වෙනවා. එයින් අදහස් කරන්නේ ආසියානු කලාපයේ වාර්ෂික වර්ෂාපතනයේ වැඩි වීමයි. වාර්තාව පවසන්නේ, ආසියාව වටා මුහුදු මට්ටම ගෝලීය සාමාන්‍යයට වඩා වේගයෙන් ඉහළ ගොස් ඇති බවයි. එමගින් වෙරළ තීරය අහිමි වීම සිදු වෙනවා. නව වාර්තාව කියන තවත් කරුණක් නම් කලාපීය මධ්‍යම මුහුදු මට්ටම ද තවදුරටත් ඉහළ යනු ඇති බවයි. 

එවිට ශ්‍රී ලංකාවට කුමක් සිදුවේද ? මුහුදු මට්ටම ඉහළ යාම, වෙරළ ඛාදනය, ජල උෂ්ණත්වය ඉහළ යාම සහ අධික ආම්ලිකතාවය හේතුවෙන් බොහෝ වෙරළබඩ ප්‍රජාවන් යැපෙන සාගරික පරිසර පද්ධති සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකියි. ඇත්තටම දේශගුණික විපර්යාසයන්ගෙන් වඩාත් අවදානමට ලක්ව ඇත්තේ ඊට මුහුණ දීමට ඇති සීමිත හැකියාවන් ඇති අයයි. මෙය ආර්ථික සංවර්ධනයේ මට්ටම මත බෙහෙවින් රඳා පවතිනවා. එබැවින් දේශගුණයට සංවේදී වෘත්තීන්වල නිරතව සිටින දුප්පතුන්ගේ ජීවනෝපාය මාර්ග සාමාන්‍යයෙන් පටු විය හැකියි.

Q – දේශගුණික විපර්යාස හේතුවෙන් මාලදිවයින කෙරෙහි ඔබ දකින්නේ කෙබඳු ආකාරයේ සහ දිගු කාලීන බලපෑමක් ද? 

 

අමිනාත් ෂෞනා. දේශගුණික විපර්යාස මාලදිවයිනට පැවැත්මේ තර්ජනයක්. නවතම IPCC වාර්තාව මඟින් තහවුරු කර ඇති දේශගුණික හදිසි තත්ත්වය මාලදිවයිනට, එහි අඛණ්ඩ පැවැත්මට තර්ජනයක් බව සනාථ කරනවා. අපේ දූපත් වලින් 80% ක් තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 1 කටත් අඩු දුරකින් වන නිසා සාගර ජල මට්ටම ඉහළ යන විට අපට දුවන්නට උස් බිමක් නැහැ. දූපත් වලින් 90% කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ගංවතුරට ගොදුරු වන අතර දූපත් වලින් 97% ක් වෙරළ ඛාදනය වාර්තා කරනවා. දූපත් වලින් 64% ක්ම දැඩි ඛාදනයට ගොදුරු වී තිබෙනවා. මාලදිවයිනේ නිවාසවලින් 50% කට ආසන්න ප්‍රමාණයක් ඉදිකර තිබෙන්නේ වෙරළ තීරයේ සිට මීටර් 100ක් ඇතුළත යි. එබැවින් බොහෝ දූපත් වලට සුනාමි හැරුණු විට උදම් රළවලට ඔරොත්තු දිය නොහැකයි. අපේ ආදායම, ආහාර සහ අපගේ පැවැත්ම රඳා පවතින්නේ මෙම අවදානම් මත යි. 

Q – දේශගුණික විපර්යාසයන්ගෙන් ආරක්ෂා වීමට මාලදිවයින හදිසි පියවර ගෙන තිබෙනවාද ?

අමිනාත් ෂෞනා: දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම සහ පාරිසරික හායනය විසඳීම සඳහා මාලදිවයින් රජයට ප්‍රමුඛ ප්‍රතිපත්තියක් තිබෙනවා. ලෝකයේ වඩාත්ම තිරසාර ධීවර කර්මාන්තය අප සතුයි. පරිසරය සුරැකීමට සහ දේශගුණික තර්ජනය අවස්ථාවක් බවට පත් වීම සහතික කිරීම සඳහා අපට කළ හැකි බොහෝ දේ තිබෙනවා. අපට අපේ ආර්ථිකය ඩීසල් වලින් දුවන තැන සිට හිරු එළියෙන් දුවන දෙසට මාරු කළ හැකියි. මේ සම්බන්ධයෙන් මාලදිවයින 2030 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟාවීම ඉතා අපේක්‍ෂිත ඉලක්කයයි. 2030 වන විට අපේ සාගර සම්පත් වලින් 20% ක් ආරක්‍ෂා කිරීමේ ප්‍රතිපත්තියක් ද අප සතුව තිබෙනවා. අපි මෙම ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර එම ප්‍රතිපත්ති වලින් සමහරක් අපි දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. 2023 වන විට එක් වරක් භාවිතා කරන ප්ලාස්ටික් ඉවත් කිරීම සඳහා වූ ප්‍රතිපත්ති අප සතුව තිබෙනවා. මේවා දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම විසඳීම සඳහා අප ගෙන ඇති ලොව ප්‍රමුඛතම ප්‍රතිපත්ති යි.   

Q – දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා මාලදිවයිනට දකුණු ආසියානු අසල්වැසියන්ගෙන් ලබා ගත හැකි සහයෝගය කෙබඳුද? 

අමිනාත් ෂෞනා:   සංඥා ඉතා පැහැදිලියි. ලෝක නායකයින්, සාකච්ඡා කරන්නන්, පරිත්‍යාගශීලීන් සහ අනෙකුත් අරමුදල් සපයන ආයතන, අපි සියලු දෙනාම එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේ (Climate Change Conference of the Parties (COP26)  කොටසක් වීමට සහ COP26 සාර්ථක කර ගැනීමට සූදානම්. එබැවින් මාලදිවයින ඇත්ත වශයෙන්ම මෙය සාර්ථක COP එකක් බවට පත් කිරීම සඳහා අපේ දකුණු ආසියානු අසල්වැසියන්ගෙන් සහ මිතුරන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වන්නේ මාලදිවයින පමණක් නොවෙයි. එය තවදුරටත් කුඩා දූපත් ජාතීන් සහ වෙරළබඩ ප්‍රදේශ පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. එම නිසා, අපේ පෘථිවිය උණුසුම් වීම වැළැක්වීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 ට වඩා අඩු මට්ටමක තබා ගැනීම සඳහා සියළුම උත්සාහයන් දැරීමට අපේ දකුණු ආසියානු අසල්වැසියන්ට සහ මිතුරන්ට සහයෝගය ලබා දීමට අපි ඇත්තෙන්ම බලාපොරොත්තු වෙනවා. 

Q – පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා එක්සත් ජාතීන් වසර ගණනාවක් තිස්සේ ඉටු කර ඇති කාර්යභාරය කුමක්ද?


හනා සිංගර්: එක්සත් ජාතීන් මෙම ප්‍රදේශයට පුළුල් ලෙස සම්බන්ධ වී සම්බන්ධ වී සිටිනවා. උදාහරණයක් ලෙස, දේශගුණික ක්‍රියාකාරකම් සහ අභිලාෂයන් වැඩි කිරීම සහ වේගවත් කිරීම සඳහා 2019 දී පැවැති දේශගුණික ක්‍රියාකාරී සමුළුව (Climate Action Summit 2019) ගත හැකියි. මෙම සමුළුවේදී වැඩි අවධානයක් යොමු කළ හැකි ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු වුණා. 2015 වසරේ දී අත්සන් කළ පැරිස් දේශගුණික ගිවිසුම (Paris Climate Agreement) අප හමුවේ තිබෙනවා.

එහිදී ලෝකය ප්‍රධාන එකඟතාවයන් තුනකට අත්සන් තැබුවා. පළමුවැන්න නම් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 දක්වා සීමා කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කිරීම සහ එය සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමට තල්ලු කිරීමයි. දෙවැන්න නම් වසර 5 කට වරක් රටවල් විසින් කරන ලද කැපවීම සමාලෝචනය කිරීම සහ තුන්වන ගිවිසුම නම් දේශගුණික විපර්යාසයන් අවම කිරීමයි. තෙවැන්න නම් දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ දේශගුණික ක්‍රියාදාමයන්ට අනුවර්තනය වීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍යාධාර සැපයීමයි.   

Q – පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාව දිරිමත් කරන වෙනස්කම් මොනවාද?

අමිනාත් ෂෞනා: දේශගුණික විපර්යාසයන්ට සහ ආපදා වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම සහ පාරිසරික කළමනාකරණය ශක්තිමත් කිරීම එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ මූලෝපායික සැලැස්මේ (අපගේ ප්‍රධාන අරමුණු හතරේ) ඉතා තීරණාත්මක අංගයන් වශයෙන් සැලකිය හැකියි. දැන් අපි රජය, සිවිල් සමාජය, පරිසරවේදීන්, ප්‍රජාවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් රාශියක් සමඟ එක්ව ශක්‍ය විසඳුමක් ඉදිරිපත් කරමින් වැඩ කරමින් සිටිනවා.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව ඉතා හොඳ කැපවීම් කර තිබෙනවා. ඔවුන් ජාතික දේශගුණික විපර්යාස අනුවර්තී උපායමාර්ගය අනුවර්තනය සහ ආපදා අවදානම් කළමනාකරණය යන දෙකම කෙරෙහි අවධානය යොමු කරනවා. උදාහරණයක් වශයෙන්, පැරිස් ගිවිසුමේ දේශීය ඉලක්ක සපුරා ගැනීම සඳහා UNFCCC වෙත වඩාත් අභිලාෂකාමී ජාතික අධිෂ්ඨාන දායක දායකත්වයක් ශ්‍රී ලංකාව විසින් සන්නිවේදනය කර යාවත්කාලීන කර තිබෙනවා. 

2019 දී තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශයට (Colombo Declaration on sustainable nitrogen management) ශ්‍රී ලංකාව ද නායකත්වය දුන් අතර නයිට්‍රජන් අභියෝග ජය ගැනීම වෙනුවෙන් පියවර ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් අනුමත කළා. දැන් අංශ හරහා විවිධ වෙනස්කම් සිදු කළ හැකියි. මම ඔබට උදාහරණ කිහිපයක් දෙන්නම්. මෙය සම්පූර්ණ ලැයිස්තුවක් නොවේ. නමුත් මම බල ශක්තියෙන් පටන් ගන්නම්. පොසිල ඉන්ධන දහනය කරන බලාගාර සඳහා තාක්‍ෂණිකව හා ආර්ථික වශයෙන් ශක්‍යතා ඇති ඕනෑම ස්ථානයක අපි පුනර්ජනනීය බලශක්ති තාක්‍ෂණයන් (renewable energy technologies) ප්‍රවර්ධනය කළ යුතුයි. 

දෙවන කරුණ නම් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය (sustainable waste management) තුළින් හා අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම තුළින් අපද්‍රව්‍ය වැළැක්වීමයි. උදාහරණයක් ලෙස කෘෂිකර්මාන්තයේදී අපට දේශගුණික බුද්ධිමත් කෘෂිකාර්මික තාක්‍ෂණය (climate smart agriculture technique) අවශ්‍යයි. සංරක්‍ෂණය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක්ද තිබෙනවා. කෘෂිකාර්මික ක්‍රම සහ දේශගුණික විපර්යාස සහ විවිධ අනුවර්තන විකල්පයන් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සිදුකළ යුතුයි. 

වෙරළ සංරක්‍ෂණය සඳහා තීරණාත්මක ප්‍රදේශ නිර්වචනය කිරීම සහ හවුල්කරුවන් සහ පාර්ශවකරුවන් සම්බන්ධ කර ගනිමින් පශ්චාත් COVID-19 හරිත ආර්ථිකය (post COVID-19 green economy) ගොඩනැගීම සඳහා විශේෂිත ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට සූදානම් වීමේ අවශ්‍යතාවය තිබෙනවා. දැන් මම සඳහන් කළ මේ සෑම ප්‍රදේශයකම, එක්සත් ජාතීන්ගේ ආයතන, රජය, සිවිල් සමාජය, පරිසරවේදීන් සහ ප්‍රජාවන් සමඟ සහයෝගයෙන් වැඩකරනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එය මනුෂ්‍යත්වයේ ‘රතු කේත (Code Red’ of humanity) ලෙස හැඳින්වූ හෙයින්, අපි තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙමින් සිටිනවා. කෙසේ වෙතත් අපේ බලාපොරොත්තු සුන් වී නැහැ. අපට තවමත් දේවල් ආපසු හැරවීමට හෝ අවම වශයෙන් පෘථිවියට ඇති වන හානිය අවම කර ගැනීමට හැකියි. නමුත් මේ සඳහා අපගේ උත්සාහයන් වේගවත් කිරීම සහ සහයෝගයෙන් එකට වැඩ කිරීම අවශ්‍ය වෙනවා.

2021 අගෝස්තු 17 වැනි දින ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක් ඇසුරිණි – පරිවර්තනය – තීක්ෂණ වෙළෙන්එගොඩ

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.