ජාත්‍යන්තර සමූපකාර දිනය සමරයි

ලොව පුරා ව්‍යාප්තව පවතින ප‍්‍රමුඛතම සමාජ සුබසාධන ව්‍යාපාරයක් වන සමූපකාර ව්‍යාපාරය සිය 99 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ අතර ඊට සමගාමීව සණස සමිති, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස සංවර්ධන බැංකුව ඇතුළු මෙරට සණස සමූහ ව්‍යාපාරයට අයත් ආයතනද ජාත්‍යන්තර සමූපකාර දිනය අභිමානවත් ලෙස සැමරීය.

‘‘එක්වී මනාව යළි ගොඩ නැගෙමු’’ යන තේමාව ඔස්සේ මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය පැවැත්විණි. රටවල් 112ක් ජාත්‍යන්තර සමූපකාර සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇත. කාර්මික විප්ලවය සමග ඇති වුණ සාමාජීය සහ ආර්ථික වෙනස්කම් සමග පීඩනයට පත් වුණ ගොවියා සහ කම්කරුවා නගා සිටුවීමේ අරමුණින් සමූපකාර ව්‍යාපාරය මූලිකව අරඹන ලදි. 1923 දී ප‍්‍රථම වරට ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීමට තීරණය කරන ලදී.

ඒ අනුව සෑම වසරකම ජූලි මස පළමු වැනි සෙනසුරාදා ජාත්‍යන්තර සමූපකාර දිනය ලෙස නම් විය. ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹුණු සණස ව්‍යාපාරය සාමාජිකයන් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වන අතර සණස ප‍්‍රාථමික, දිස්ත‍්‍රික්ක, ජාතික සහ ජාත්‍යන්තර ලෙස මට්ටම් කිහිපයකින් ක‍්‍රියාත්මක වේ. එහි ප‍්‍රාථමික මට්ටමේ මූලික කාර්යයන් වන්නේ සාමාජිකයන්ගේ සකසුරුවම් බව වර්ධනය කිරීම, ආර්ථික වර්ධනයට මූල්‍ය සම්පත් සැපයීම, සාමාජිකයන්ට අධ්‍යාපනය සැපයීම ආදියයි.

සමූපකාර ව්‍යාපාරය නිර්මාණය වුණේ ලෝකයේ අර්බුද පවතින අවස්ථාවකය. එනිසා ඉතාම අර්බුදකාරී අවස්ථාවල ප‍්‍රමුඛ බලපෑමක් කරන්න සමත් ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස සමූපකාර ව්‍යාපාරය සෑම විටම ක‍්‍රියාත්මක විය. ‘‘වත්මන් කොවිඞ් අර්බුදය ඇති කළ ගැටලූ විසඳා ගෙන ජන ජීවිත ජය ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන්න අප සුදානම්’’ යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.